“චිලී” සිට කිලෝ මීටර් 2300ක් සහ “තායිවානයේ” සිට කිලෝ මීටර් 2500 ක් ඈතින් ඇති, “ඊස්ටර් දූපත” හුදෙක් පැසිෆික් සාගරයේ ඇති තවත් පාලු දූපතක් මෙන් පෙනේ. එය කුඩාය. වැඩිම පළල ඇති ස්ථානය කිලෝ මීටර් 18 ක් පමණි. වල් අශ්වයන් සිටින එහි මියගිය ගිණි කඳු කීපයක විවරයන් තිබේ. ඉන් නිකුත්වූ ලාවා ඝනවී ගිය පසුව තනන ලද මිනිස් හැඩ රුව ඇති අද්භූත ගල් රූප දහසක් පමණ එහි දැකිය හැක.
මේවාට කියන්නේ “මොවායි” [Moai] කියාය. නමුත් මේවා නිර්මාණය කල දිනක් මෙතෙක් කිසි කෙනෙක් සොයාගෙන නැත. එම රූප අඩි 15 සිට 66 තෙක් වන විවිධ උසින් යුක්තය. කුමක් නිසා ඒ රූප මේ පාලු දූපතේ සවි කර තිබේද ? කව්රුන් විසින් ඒවා නිර්මාණය කර තිබේද ? යන ප්‍රශ්ණ වලට කිසිදිනෙක විසඳුමක් නොලැබෙනවා සේය. ටොන් 250ක් පමණ බර අඩි 66 ක් උස රූපය වඩාත් කුතුහලයක් ගෙන දෙන ගල් රූපයකි.
තවත් ගල් රූප වල ඇස් යොමුව ඇත්තේද, මළානික වෙමින් හිරු බැසයන බටහිර දෙසටය. එයද ශුක්ෂම සේ නිරීක්ෂණය කළහොත් ඔවුන් බලා සිටින්නේ “Equinox” ඇතිවන ස්ථානයට ය. මෙයට සිංහලෙන් කියන්නේ “සම රාත්‍රී පූර්ව ගමන” වන දිනයේ, එනම් දිවා රාත්‍රී කාලයන් එක හා සමාන වන දිනයේ හිරු බසින දිශාවය. මේ දිශාවේ ඇති අරුමය කුමක්ද ?
මිනිසා තරම් පරිකල්පනයේ යෙදෙන්නට දක්ෂ තවත් සතෙක් මිහිපිට නැත. මේ චරිත හතට එක් එක් අය විවිධ නිරූපන දෙති. ඔබ මා ඊට කියන්නේ කුමක්දැයි අසන්නේ නම්, ඊට හිතුවක්කාරකමට සහ මෝඩ කමට මෙසේ කතාවක් කියමි. එනම් ඒ නව ග්‍රහ මණ්ඩලයේ චායා ග්‍රහයන් වන රාහු සහ කේතු හැර, අනෙක් ග්‍රහයන් හත් දෙනාය. ඔවුන් බලා ඉන්නේ බටහිර හෙවත් මළවුන්ගේ දේශයේ දොරටුව දෙසය. එනම් ඔවුන් ලෝකයේ මිනිස් සංහතියේ අවසානය පෙන්වන්නේ එම ග්‍රහයන් ඒක රාශි වන විටය.
මෙසේ ග්‍රහයන් මෝදු වූ එක අවස්ථාවකට සමීප ග්‍රහ පිහිටීමක් වන්නේ, 2019 වසරේ දෙසැම්බර් 26 වනදා සම්පූර්ණ සූර්ය ග්‍රහණයක් වූ දිනයේදීය. මෙය ජ්‍යෝතිෂ සේ සලකන්නේ නම්, “කොරෝනා රෝගයට” පාදක වූ ග්‍රහ පිහිටීම වේ. දැන් මේ මා කියූ දේ සිනාසී අමතක කරන්න. ඔබටද ඒ ගැන යමක් දැන් හිතුමතේ කිව හැක.
එසේ බලා සිටින මොවායි වරුන් එකෙක්වත් සිනා වෙනවා නම් මා නුදුටුවෙමි. සියල්ලන්ටම ඇත්තේ බැරෑරුම් පෙනුමකි. තවත් දෙයක් වන්නේ මේ රූපවල ඇති ස්වභාවයයි. ඉතා සිහින් ඇඟිලි ඒ රූප වල පෙන්වා ඇත. මිනිසෙක්ගේ හැඩයේ ස්වභාවය ඉන් පෙන්වන්නේ නමුදු, ලොව කිසිදු තැනක ඒ ආකාරයේ මිනිසුන් නම් නැත. එමඟින් කව්රුන් පෙන්වන්නේද ?
මොවායි වරුන්ගේ පුදුම එතැනින් සමාප්ත නැත. එනම් මේ හුදෙකලා දූපතේ සොයා ගන්නා ලද ලියැවීම් ඊට බොහෝ ඈත ඇති, “මොහෙන්දෝ ජාරෝ හරප්පා ශිෂ්ටාචාරය” ඇතිවූ පෙදෙසේ සොයාගත් ලියැවිලි වලට සමාන බවය. ඒ එකකවත් ඇති විස්තර අද වන තුරුද මිනිසා විසින් අවබෝධ කරගැනීමට හැකිව නැත. ඒ ලියැවිලි වල ඇති දේ අවබෝධ කරගත් දිනෙක මොවායි වරු ගොළු බසින් කියන්නේ මොනවාදැයි සොයාගත හැක.
මේ එක ස්ථානයක් තවත් ඊට බොහෝ ඈතින් ඇති වෙනත් ස්ථානයක් හා සම්බන්ද වන ආකාරය පුදුමාකාර දෙයකි. පීරු දේශය ගැන දැන් සොයා බලමු. එහි ඇති, “නැස්කා ප්‍රදේශයේ” තිබෙන අඩි සිය ගණන් දිග, උතුරට යොමු වූ, අරුම පුදුම හැඩයේ රූප කව්රුන් විසින් කුමකට අඳින ලද්දේද යන්න ද පුදුමයකි. මේවා අඳින ලද්දේ ක්‍රිස්තු පූර්ව 540 සිට ක්‍රිස්තු වර්ෂ 750 කාලයේ යයි අනුමානය කෙරේ.
එතනම ඇති ගුවන් යානා බැස්සවීමට තනන ලද මාර්ග හැඩයේ හරි කෙලින් පථයන් ගෙන එන්නේ තවත් පුදුමයකි.
කිසියම් හේතුවක් නිසා ඒවා ගුවන් ගමන් පථ වූවා නම්, ඒ ඈත අතීතයේ තිබි ගුවන් යානා අද ඇති යානා වලට වඩා බොහෝ විශාල විය යුතුය. මක්නිසාදයත් ඒවා සමහරක් සැතපුම් 10 කට වඩා දිග හෙයිනි. ලෝකයේ කිසිම ගුවන් තොටුපලක ඒ ආකාරයේ විශාල ගුවන් පථ නැත. තවද ඒ ප්‍රදේශයේම ඊජිප්තුවේ දකින්නට හැකි ආකාරයේ මමී දේහ ඇත. තවත් දුරකින් ඇති “මච්චු පීචු” ප්‍රදේශයේ ඇති ගල් තාප්ප ගොළු බසින් තවත් පුදුමයක් කියා පායි.
තාප්පයක් බැඳීමට ඔබ විවිධ හැඩයේ ගල් භාවිතා කරන්නේය යයි සිතන්න.
පහසුම සහ එක ගලක් එකිනෙකට හොඳින්ම තදවන ක්‍රමය වන්නේ ඒ ගල් යම් එකම ආකාරයකට කපා භාවිතා කිරීමය. එසේ නැත්නම් නොගැලපෙන ස්ථානයක සිමෙන්ති වැනි දෙයක් හෝ හිඩැසට කුඩා ගලක් දැමීම කරනු ඇත. එහෙත් එය මෙහි සිදුවී නැත. තාප්ප නිර්මාණය කළවුන් කර ඇත්තේ කිසියම් අවිනිශ්චිත හැඩයක ඇති ගලකට හරියටම සම්බන්ද වන සේ තව ඒ අවිනිශ්චිත බවම ඇති ගලක් සොයා බිත්ති නිර්මාණය කිරීමය. තාප්පයක් තැනීමට මේ තරම් මහන්සි වන්නේ ඇයි ?
එසේ සම්බන්ද වූ සංකීර්ණ හැඩයෙන් යුතු ගල් අතර, කිසිම හිඩැසක් ඇති නොවෙන්නට ඒ නිර්මාණ කරුවා වග බලා ගත්තේ කෙසේද ? දැන් අපට පෙනෙන්නේ ඒ ගල් සැකසුම අහඹුවක් කියාය. නමුත් ඒ ගොඩනැගිල්ලේම වෙනත් තැනක, ඒ ගල් සැකසුමේ “මිරර් ඉමේජ්” එක හෙවත් ප්‍රතිබිම්භය අනුව නිම කල තවත් ගල් බිත්තියකි. මේ නම් මිනිස් අතකින් කල දෙයක් වීමට නොහැක.
එකම එක අනුමානයක් නම් ඉන් ගත හැක. දකුණු ඇමරිකාවේ ගල් බිත්ති තිබෙන ස්ථාන වල බොහෝ භූ කම්පනයෙන් යුතුය. එහෙත් ඒ එකදු කම්පනයකින් මේ තාප්ප වල අවම සෙලවීමක්වත් වී නත. එය එසේ නම් මේ ආකාරයේ නිමවීම් භූ කම්පන වලට ඔරොත්තු දෙනවා ඇත.
මේ එකම ආකාරයේ, එනම් එකම හැඩයෙන් නිර්මාණය කල ගල් බිත්ති, “ඊස්ටර් දූපතේ”, පීරු හී “මච්චු පීචු” සහ ඊජිප්තුවේ “ගීසා” හී තිබීම විශාලම පුදුමයයි. බොහෝ විට, “එකම නිර්මාණ කරුවා” ඒවා නිර්මාණය කලාක් වැනිය. එය එසේ නොවේ නම් ඔහු ගොළු බසින් අනාගත ලෝකයාට කියා ඇත්තේ, ඒවා කලේ එකම එක පුද්ගලයෙක් හෝ එකම කණ්ඩායමක් බවය. ඊටත් වඩා පුදුමයක් මෙහි ඇත. එනම් මේ ස්ථාන තුනම එකම රේඛාවක පිහිටා තිබීමය.
එසේ ඇඳිය හැකි රේඛාව සමකයට අංශක 30ක ආනතියක් දරන්නේය. මේ රේඛාවේ පළල කිලෝ මීටර් 100ක් නම්, එය මගින් ආවරණය කෙරෙන පැරණි ස්ථාන ප්‍රමාණය ඔබ දන්නේ නම් පුදුම වෙනු ඇත.
ඒවා, ඊස්ටර් දූපතෙන් ආරම්භ වී → පීරු→ පැරකස් →මච්චු පිචු → කුස්කෝ නගරය → සැක්සයිවාමන් [Saksaywaman] → පැරටොරි පිරමිඩය [paratory pyramid] → ඉන්පසු එය අප්‍රිකානු මහාද්වීපයේ, මාලී → ජෝර්දානයේ පෙට්රා → ඊජිප්තුවේ සියුස් දෙවොල → ගීසා → ඉරානයේ පර්සිපොලිස් → මොහෙන්දෝජාරෝ [මෙහි අදත් රේඩියෝ විකිරණ පවතින ඇට සැකිළි ඇත.] → ඉන්දියාවේ කජුරාහෝ [Khajuraho] → ඇන්ග්කොර්වැට් →, ඉන් සමහරක් වේ.
මේ එක එක ස්ථානයක් අදටත් විස්තර සොයා නොගත් පැරණි නටබුන් ඇති ස්ථාන වේ. මේ ස්ථාන වල ඇති වෙනස නම් ඒවා යම් අයුරකින් තාරකා සිතියම් වලට සම්බන්ද වීමය. රැකියා කටයුතු නිසා වාසනාවට මේ බොහෝ ස්ථාන වලට ගොස් ඇත්තෙමි. ඔබට එවිට දැනෙන්නේ වෙනත් ලොවකට ගියාක් වැනිය.
මෙසේ ඉතාමත් නිවැරදි ජ්‍යාමිතික අගයයන් ගන්නට හෙවත් තාරකා විද්‍යාවේ උච්චම දැනුමක් මේ ස්ථාන ස්ථානගත කිරීමට භාවිතා කරන්නට හේතුව කුමක්ද ? තාරකා විද්‍යාව සහ තිරස්චීන විද්‍යාවක් සේ සලකන ජ්‍යෝතිෂය ඉතා සමානව යන්නේය. මේ ජ්‍යෝතිෂ සාධක සඳහා ගත් දැවන්ත තාරකා ඔරලෝසුවක්ද ? නිදන වක්තෘ සේ හඳුන්වන “එඩ්ගාර් කේසි” ගේ ජීවිත කතාවේ ආකාරයට ඔහුට ඒ හැකියාව ලැබුනේ පුරාණ ඊජිප්තුවේ පූජකයෙක්ව සිටි හෙයිණි.
එකල ඊජිපිතුවේ පූජකයෙක් වෙනවා යනු, ජ්යෝමිතියේ පරට තෙරට ගිය, තරු ගමන් ගැන මහත් අවබෝධයක් ඇති තාරකා විද්‍යාඥයෙක්ව සිටි කෙනෙක් වීමය.
මේ අතර අප මෙක්සිකෝව ගැන සිතා බලමු. එහි “Teotihuacan” නම් වූ ස්ථානයක් ඇත. ඒ ප්‍රදේශයේ ඇති ජන ප්‍රවාද අනුව, එය දෙවියන් රැස්වූ තැනක් විය. ඔවුන් “පස්වන සූර්යයා” එහි නිර්මාණය කලේය” යන්න කියති. ඉන්ද අපට ලැබෙන්නේ “Equinox” ගැන හෝඩුවාවකි.
“ඉංගේ ගල්” හෙවත් “ඉන්කා ගල්”, [The Inga stone] යනු මේ ආශ්චර්යයන් සියල්ල කැටි වූ ඒ පැරණි දේ පෙන්වන පටුනකි.
බ්‍රසීලයේ පිහිටා ඇති එය ලෝක පුරාවිද්‍යා ආශ්චර්යයකි. එය වසර 6,000 කට වඩා පැරණි වන අතර එහි අමුතු සංකේත සිය ගණනක් ඇත. ලොව පුරා විද්‍යාඥයන් එය කුමක්දැයි සොයා ගැනීමට අදත් උත්සාහ කරති. මෙතෙක් ඒ උත්සාහයන් සඵල වී නැත.
“ඊජිප්තු”, “ෆිනීෂියානු” සහ “සුමේරියානු” අක්ෂර “ඊස්ටර් දූපතේ”, “රොන්ගොරොංගෝ” යයි කියන අක්ෂර හා සමාන වේ. ඒවා ප්‍රධාන වශයෙන් මානව වර්ගයාගේ පැරණිම හා දුර්ලභම වූ, “නොස්ටැටික් භාෂාවේ සංකේත” වේ. මේ ගල මත, “ඔරායන්” හෙවත්, “ඔරියන්” තාරකා මණ්ඩලය, ක්ෂීරපථය, ඉදිරි ලෝක ව්‍යසනයක පණිවිඩ. අනාගතයේදී, මානසික දොරටු විවෘත කරමින් වෙනත් මාන ලෝක වෙත ගමන් කිරීමේ ක්‍රම, ගණිතමය සූත්‍ර, සමීකරණ සහ තවත් බොහෝ විස්තර එහි ඇඳ ඇත.
මීට වසර 6,000 කට පෙර එවැනි දැනුමක් ලිඛිතව ඉතිරි කර ගියේ කවුද? ඔවුන් මේ සියල්ල අතීතයේ දැන සිටියේ කෙසේද?
චීනය තවත් පුදුමයන් දහසක් ඇති රටකි. එහිද, එනම් Shen-shi ප්‍රදේශයේ නිර්මාණය කරන ලද දැවැන්ත පිරමීඩයකි. නමුත් චීන නීති නිසා ස්ථානය ගැන ඒ ගැන වැඩි විස්තර ලැබීම තවමත් අප්‍රකට වේ. ඒ පිරමීඩයද මෙක්සිකෝව සහ ඊජිප්තුවේ ගීසා යා කරන රේඛාවේ පවතී. මුලින් කී රේඛාව සහ මෙම රේඛාවට පොදු ස්ථානය වන්නේ, “ඊජිප්තුවේ ගීසා පිරමීඩ” වේ.
“Hieroglyphics” යයි කියන අකුරු විශේෂය පැරණි ඊජිප්තුවේ භාවිතා කල අක්ෂර වේ. ඊජිප්තුවට බොහෝ ඈත ඇති චීනයේ මෙන්ම මායන් ශිස්ටාචාරයේද ඊට සමාන අක්ෂර තිබීම තවත් විශාල කුතුහලයක් ගෙන දෙන කරුණකි.
මේ සියල්ලක් හුදෙක් අහඹු සේ සිදුවීය සේ ඉවත් කල හැක. නමුත් වී ඇති එකම ආකාරයේ සිදුවීම් විශාල ප්රමාණයකි. එසේ හෙයින්, “ඒවා අහඹු සේ සිදුවිය” සේ ගන්නා උපකල්පනය ගැන දෙවතාවක් නොව සිය වතාවක් අපට සිතන්නට වනවා ඇත.
https://www.facebook.com/lalith.karunaratna/posts/pfbid029D2uEnKJ7HjpfVrsBpQjPQfpcXf1KvqZFtLcgxQN3Kfj1wGrwrRmWMjXvMU2tnffl?notif_id=1658983913918987¬if_t=feedback_reaction_generic&ref=notif
Leave a Reply