මා ඔහේ මේ ළිපි ලිව්වා මිසෙක, ඒවා එකතුකර පොතක් ලියන්න හෝ බ්ලොග් එකක් ලියන්නට කිසිම අදහසක් තිබුනේ නැත. එහෙත්, ‘ඒ පැරණි ළිපි මුහුණු පොතේ සොයාගත නොහැකිය’ සේ වන බොහෝ දෙනාගේ චෝදනාව නිසාම, මේ බ්ලොග් එක ලියන්න සිදුව ඇත. ඒ ළිපි හැකිතාක් එකතු කලෙමි.
ලියු ළිපි සියල්ල සොයාගැනීමටද නොහැක. එහෙත් සොයා ගත හැකි ප්‍රමාණයක් එකතු කර බ්ලොග් එකක් තැනූවෙමි. මේ බ්ලොග් කතාව මට අළුත්ය. එසේ හෙයින් සියළු ළිපි අච්චාරුවක් මෙන් එකට එකතු වී තියෙන්නට පුළුවන. එසේ හෙයින් විවිධාකාරයේ ළිපි එකට එක්ව තියෙන්නට පුළුවන.
මානසික විවරණයක් හෝ තූලනාත්මක සේ ආගම් විවේචනයක් ගැන ඇති පෝස්ට් එකකට අනෙක් පැත්තේ කුණුහරුප පෝස්ට් එකක් තියෙනවාට මට බනින්න එපා…! මේ බ්ලොග් කලාව ගැන ඉගෙන ගන්නා අතරේ, එම ළිපි පිළිවෙලකට මාතෘකා යටතේ අඩුක්කු කරන්න උත්සාහ කරමි.
මෙසේ ළිපි ලියන්න හේතුවක් වශයෙන් එක කාරණයක් තිබුනේ නැත. සතුටට, දුකට, ඉගෙන ගත් ශිල්ප දීමට, විහිළු කතා, පරිවර්ථන …මේ බොහෝ හේතු නිසා ලීවෙමි. එහෙත් ලියන්නට මූලික හේතුව එය නොවීය. කුඩා දරුවෙක්ව සිටි 60 සහ 70 දශක කාලයේ, මිහිර පත්තරයේ දුටු එක්තරා ළිපි පෙළක් සිතේ තදින් කාවැදී තිබිණ. එය වූ කලී, ‘ජ්යෝප්රි බේකන්’ නමින් ආරුඩ නමකින් ලියු පිට රටවල් පිළිබඳ ළිපි පෙළකි.
ඔහු හෝ ඇය, බොහෝ විදේශයන්හී චාරිකා කර ඇති බවද, ඒ අත්දැකීම් කුඩාවුන්ට කියන්න කැමති කෙනෙක් බවද, එමගින් දරුවන්ට අධ්‍යාපනයක් දෙන්නට කැමති කෙනෙක් බවද පෙනිණ.
ඒ කාලයේ රූපවාහිණිය හෝ අන්තර් ජාලය නොතිබුණි. නිවසින් එහා අපගේ ලෝකය වූයේ පාසැල, පන්සලේ කුඩා පුස්තකාලය සහ ‘මිහිර’ වැනි පත්තර, වෙල්, ගංගා, වැව්, ඇළ දොළ සහ බඩවැටි පමණි. මිහිර පත්තරය එනතුරු මඟ බලා සිටියෙමි. ‘එස්. ඒ. දිසානායක’ මහතා විසින් රචිත, එහි ඇති බූ, බබා, යෝධයා, බටකොළ ආච්චි එකල කුඩා වුන්ගේ සිත් ගත් චරිත විය.
එතනින් එහාට බලන්න තිබුනේ, ‘ජ්යෝප්රි බේකන්’ගේ ළිපි පෙළය. එමගින් අප ජීවිතය ගැන දැන ගත්තෙමු. පසු කළක කිසියම් දෛවෝපගත හේතුන් නිසා රටින් රට ගියෙමි. ඒ අත්දැකීම් තව කෙනෙක්ට නොදී මිය යන එක පාඩුවකි. මා සම්භාව්‍ය ලේඛකයෙක් නොවුණද, ඉහත හේතුව මෙම ළිපි ලිවීමට මූලික හේතුව විය.
කෙමෙන් මුහුකුරා යනවිට, ඇළ, දොළ, බඩවැටියෙන්, පාසැලෙන්, පන්සලෙන් එහා ලෝකය දුටුවෙමි. එහෙත් ලෝකය දුටු අයුරු ඔබ දුටු ආකාරය නොවෙන්නට ඇත. එහෙයින් මේ ළිපි වල ඇති කරුණු සමඟ ඔබ එකඟ නොවෙන්නට ඉඩ ඇත. එයට මා අමනාප නැත. අවශ්‍ය වන්නේ සංවාදය පමණි. කෙසේ හෝ මේ ලින්ක් වලට ගොස් මුහුණු පොතේම සංවාදය වන්නේ නම් මැනවි.
ජීවිතය රිලේ රේස් එකකි. බැටන් එක අරගෙන දුවන ක්‍රීඩකයා හති වැටෙන අවස්ථාවේ, එය රැගෙන රේස් එක දිවීමට තවත් ක්‍රීඩකයෙක් පැමිණිය යුතුය. ජීවිත රෝදය වට භාගයකට වඩා කැරකී ඇති මේ අවස්ථාවේ, එම මුල් ක්‍රීඩකයාගේ භූමිකාව මේ අවස්ථාවේ රඟ පාන්නෙමි. මේ ඔබ දකින ළිපි වලින් යම් කිසි අවබෝධයක් කෙනෙක්ට ලැබේ නම් එය සතුටකි.
ඒවා මගේ නම ඇතිව හෝ නැතිව වුවද කොපි කර ඕනෑම ආකාරයකට භාවිතා කලාට කිසිම ප්‍රශ්ණයක් නැත.
මක්නිසාදයත්, මේ ළිපි වල වෙනත් අයගේද අදහස් තියෙන්නට ඇති හෙයිණි. එනම් යම් යම් අවස්ථාවල් වල ළිපිවලට අදහස් අන්තර් ජාළයේ හෝ පොත් වලින් ගෙන ඇත. හැකි සෑම විටම ඒ මූලාශ්‍ර සඳහන් කලද, ‘බුදුන් වහන්සේ’ හැර ස්වයං විභුෂනාත්මක දැනුමකින් බැබළුණු කෙනෙක්ට හැර, තවත් දැනුම් සම්භාරයකට සම්බන්ද නොවී, දැනුමක් දෙන්නට කිසි කෙනෙක්ට නොහැකි හෙයිණි.
ස්වයං විභුෂනත්වයකින් යුත්, එනම් දෙවියෙක් හෝ වෙනත් කෙනෙක්ගෙන් ණයට ගත් ආලෝකයකින් නොදිළුණු, සත්‍යය පිළිබඳ ස්වකීය ආලෝකයෙන්ම බැබළුණු පුද්ගලයන් හැර, තමා ලියන දේ ‘කොපි-රයිට්’ කල යුතු නැත’ යන මතයේ සිටිමි. මේ බොහෝ ළිපිවල මගේම අදහස් තිබුනද, ඉහත හේතුව නිසා මේ ළිපි කැමති ආකාරයකට පරිහරණය කිරීමේ වරදක් නොදකිමි.
මුහුණු පොත, බ්ලොග් කලාව වැනි නවීන මාධ්‍යමය සොයාගැනීම් හරියට බැලුවහොත්, ‘පිහියක්’ වැනිය. එයින් කෙනෙක්ගේ බෙල්ල කපනවා මෙන්ම, කැලෑවක් සුද්ධ කිරීමටද හැක. අපි එයින් කැලෑවල් සුද්ධ කරන්නට උත්සාහ කරමු.
“කුඩා දරුවෙක්ව සිටි 60 සහ 70 දශක කාලයේ, මිහිර පත්තරයේ දුටු එක්තරා ළිපි පෙළක් සිතේ තදින් කාවැදී තිබිණ. එය වූ කලී, ‘ජ්යෝප්රි බේකන්’ නමින් ආරුඩ නමකින් ලියු පිට රටවල් පිළිබඳ ළිපි පෙළකි.” එකල සිතින් රට රටවලට ගොස් ඒ ලිපි ලියූ ජේ. ප්‍රේ. අබේකෝන් මහතාගේ ලිපි කියවූ අපි අද රට රටවල් සියැසින් දැක ඔබ ලියන ලිපි කියවන්නට වාසනාවන්ත වීමු.
LikeLike