පැරණි ශිෂ්ටාචාර සංසන්දනය කළහොත් කෑම බීම සහ බෙහෙත් අතින් ඊජිප්තුවේ තිබි තත්වය ඉතා ඉහළ බව පෙනී යයි.
මුලින්ම එහි කෑම බීම ගැන සඳහන් කළහොත්, ඊජිප්තු සිතුවම් වල ඇඳ ඇති කෑම බීම වර්ග මෙන්ම, සොහොන් ඇතුලත තිබි කෑම භාජනද මේ සඳහා විවිධ සාක්‍ෂි දරයි. සොහොන් වල බිත්ති හී ඇඳ ඇති විවිධ ආකාරයේ සමාජයීය ක්‍රියා කාරකම් අතර කෑම සහ වයින් වැනි බීම තනන ආකාරයද පෙන්වා දී තිබේ.
තාරාවන්, හංසයන්, කොකුන්, කුකුළන්, පරෙවියන්, පාත්තයන් වැනි පියාසර කල හැකි සතුන් ගේ මස් සහ මිරිදිය මාළු, පැරණි ඊජිප්තු ජාතිකයා බහුලව ආහාරයට ගත් බවට සාධක ඇත. මෙයට හේතුව වන්නේ මේ සතුන් නයිල් ගංගාව සහ එහි කුඩා අතු ගංගා වල තිබී ගොහොරු බිම්වල සිටින්නට ඇති නිසා විය හැක. එහෙත් මේ සතුන් බොහෝ විට කාලයක් තබාගත හැකි අයුරෙන් විනාකිරි වැනි ද්‍රව වල බහා තියාගත්හ. හරක් මස් ධනවතුන් ගේ ආහාරයක් විය.
කිරි, බටර් සහ වෙනත් කිරි ආහාර සඳහා එළුවන්, බැටළුවන් සහ එළදෙනුන් පැරණි ඊජිප්තු වාසීන් භාවිතා කල අතර ගොනුන් කෘෂිකාර්මික වැඩකටයුතු සඳහා බහුලව භාවිතා කරන ලදී. දේවාල වැනි යම් ස්ථාන වල කිරි භාවිතය තහනම් විය. සමහරවිට කිරි ඉක්මනින් නරක් වන හෙයින් සහ එවිට එයින් දුර්ඝන්ධයක් එන බැවින් වෙන්නට හැක. කෘෂි කර්මයේද සමාජයීය තල තිබිණ. ගොවියෙක්ට අයිති ගවයන් ප්‍රමාණය එම ගොවියා ගේ ධනය පෙන්වන සාධකයක් විය.
සෑම වසරකම නයිල් නදිය පිටාර ගලන්නේය. අප්‍රිකාවේ තවත් ඈත කොනක ඇති නිල් නයිල් නදිය සහ සුදු නයිල් නදිය එක්ව විශාල ගංගාවක් සේ එක්ව ඇතිවන මහා නදිය ඊජිප්තුවේ පිටාර යන්නේ සරු රොන් මඩද සමඟිනි. පිටාරයෙන් පසු නයිල් නදිය දෙපස මෙන්ම කයිරෝ අවට භුමිය බොහෝ සාරවත් වී ගස් වැල් වල වර්ධනය වේගවත් වන කාලයක් උදා වේ. මෙය එළවළු සහ පළා වර්ග බෙහෙවින් වැවෙන කාලයයි. අද දිනද මේ පළතුරු සහ එළවළු වෙළඳාමේ යෙදෙන දුප්පත් ගොවීන් ජීවත්ව ඇත්තේ නයිල් නදී තීරය අසබඩ වේ.
ඔවුන් ඉතා සුහදශීලී වේ. ඔබ එවැන්නෙක් සමඟ ඉතා ඉක්මනින් මිත්‍ර වනු ඇත. ඔවුන් ඔබට ඔවුන්ගේ නිවසට එන ලෙසට ආරාධනය කරනු ඇත. එහෙත් ඔවුන් ඔබට දෙන කෑම බීම නොගෙන සිටිනවාට නම් ඔවුන් කැමති නැත. වරක් මෙසේ හමු වූ ගොවියෙක්ගේ නිවසේදී තේ එකක් බීමට සිදු විය. එයට කිරි දමා කලවම් කලේ ඔහුගේ මැද ඇඟිල්ලෙනි !
අන් සෑම ආහාර වර්ගයකින් මෙන්ම එළවළු පළතුරු වලින්ද පැරණි ඊජිප්තු ජාතිකයා පොහොසත් වී සිටියේය.
ළූණු, සුදු ළූණු, ලීක්ස්, ගෝවා, චව් චව්, රාබු, විවිධ ටර්නිප් වර්ග, පිපිඥඥා මේ නයිල් නදී තීරයේ වැවෙන සාමාන්‍ය එළවළු වේ. ඇපල්, මිදි, නාරන්, දෙළුම්, දොඩම්, පීච්, පෙයාර්ස්, චෙරි, දෙහි, ඇප්‍රිකට්, කොමඩු, අත්තික්කා ද වැනි පළතුරුද එසේම සරුවට වැවේ. මේ ශාඛ විවිධත්වය නිසා මී මැස්සන්ගෙන් අඩුවක් නැති නිසාම, මී පැණි වලින්ද ඊජිප්තුවට අඩුවක් නැත. ඊජිප්තුව සම ශීතෝෂ්ණ ගුණයෙන් යුතු රටක් නිසා ඔලිව්ද වැවේ. එහෙත් ඔලිව් ගස් සාර්ථකවම වැවෙන්නේ නදී තීරයෙන් තරමක් ඔබ්බේ වේ. තවත් ඈතින් එනම් කාන්තාර සීමාවේ රට ඉඳි ගස් වැවේ.
සෑම ආහාර වේලකම පාහේ විනාකිරි සහ ඔලිව් තෙල් අඩංගු වේ.
අද දිනද මැද පෙරදිග රටවල් වූ එක්සත් අරාබි ජනරජය, සව්දි අරාබිය, කුවේට් වැනි රටවල් වලට පළතුරු සහ එළවළු එවන ප්‍රධාන රටක් වන්නේ ඊජිප්තුව වේ.
කුරුඳු, එඬරු, තල, කොත්තමල්ලි, සූදුරු, මාදුරු වැනි ඝර්ම කළාපීය රටක වැවෙන දේද ඊජිප්තුවේ වැවේ. නමුත් සීත කාලය ඝර්ම කළාපීය රටකට වඩා සීතල හෙයින්ද, අවුරුද්දේ බොහෝ කාලයක් දේශගුණය වියළි සහගත හෙයින්ද ඔලිව් ගස් හොඳින් වැවේ.
පොල් ගස් නම් ඊජිප්තුවේ නැතැයි සිතමි. පළතුරු බීම වර්ග වලට ප්‍රසිද්ධ වන්නේ ලොකු දෙහි වර්ගයක් මිරිකා ලත් පානය වේ. ඊට ඔවුන් මී පැණි දැමීමෙන් පානය තවත් රසවත් කරති. හිබිස්කස්, සියබලා පානද ජනප්‍රිය වේ.
එදා පැරණි ඊජිප්තුවේ භාවිතා කල කෑම වර්ග වලට අළුතෙන් එක්වී තියෙන දෙයක් වන්නේ සීණිය. එතෙක් කෑමක් පැණි රස කරගන්නට ඔවුන් රට ඉඳි, අත්තික්කා, මිදි වැනි පළතුරු වලින් තැනූ සිරප් වර්ග භාවිතා කලහ.
පිරමීඩ වල ඇති මමී වලට අන්දවා ඇති ඇඳුම් වල, වටිනා සිල්ක් රෙදි කොටස්ද ඇති අවස්ථාවන් ඇත. මෙහිදී සිතිය හැක්කේ, සේද මාවතේ වැදගත් සන්ධිස්ථානයක් වූ ඊජිප්තුවට චීන සිල්ක් රෙදි පැමිණි බවත් ඒවා ඊජිප්තු නිෂ්පාදන නොවන බවත්ය. තවද පිරමීඩ ඇතුලේ සුවඳ වර්ග 2000 ක් පමණ තිබි බව සොයාගෙන ඇත. ඒවා ඊජිප්තුවෙන්ම ලබාගත් සුවඳ වර්ග නොවේ. යාබද ඉතියෝපියාවෙන් ලිබියාවෙන් සහ ඉරානයෙන්ද ඒවා ආනයනය කරන්නට ඇත.
නයිල් නදිය වට කර ගෙන වැවුණු මඩ වගුරු මෙන්ම කුඩා ලඳු වල මුවන්, ගෝනුන් වැනි සතුන් සිටින්නට ඇති බව පැරණි පැපිරස් සිතුවම් වලින් පෙනී යයි. ධනවතුන්ගේ එක් ක්‍රීඩාවක් වූයේ මේ සතුන් දඩයම් කිරීමය.
පැරණි ඊජිප්තු වැසියාගේ ප්‍රධාන ආහාරය වූයේ පාන් සහ රොටි වේ. මේ රොටි නම් විශාල ආකාරයෙන් තනා අද දිනද විකුණනු ලැබේ. ඒ එක රොටියක් කොතරම් විශාළද යත්, කුඩා දරුවෙකුට එහි පහසුවෙන් නිදා ගත හැක. දුප්පත් මිනිසුන් සිටින ප්‍රදේශයක ඇවිද ගියහොත් මේ රොටි බිම දමා ගොඩවල් වලින් විකුනනවා දැකිය හැකිය. පාන් තනන්නට අත් දෙක මෙන්ම, කකුල්ද භාවිතය එතරම් අවුලක් නැත්තේ, උදුනේ ඒවා පිච්චෙන විට විෂබීජ නැතිවන හෙයිණි. යීස්ට්, නොයෙක් කුළුබඩු වර්ග සහ බිත්තර සාරු පාන් වලට දමනු ලබයි.
පැරණි ඊජිප්තියානුවන් ගේ විශේෂ ආහාරයක් සේ වයින් ගත හැක. ඊජිප්තුවේ වයින් නිෂ්පාදනය මෙයට අවුරුදු 5000 කට වඩා ඈතට යයි. ලෝකයේ වයින් නිෂ්පාදනයේ ඈත අතීතයට ඊජිප්තුව යයි. ඉතා අනර්ඝ තත්වයේ වයින් ඊජිප්තුවේ තනන ලද බව කියැවේ. පැරණි ඊජිප්තු ජාතිකයා වයින් තැනුවේ මෙසේය. හොඳින් වැඩුණු පිරිමින් හය දෙනෙක්, ටැංකියක දැමූ මිදි ගෙඩි පාගමින් එම මිදි ගෙඩි හොඳින් පොඩි කරනු ලබයි. ඉන්පසු ඒ සාරය දැවැන්ත මැටි හැළියකට දමා, ටාර්ට්‍රෙට් අම්ලය සහ තවත් ද්‍රව්‍ය දමා, වාතය නොයන ආකාරයෙන් මුද්‍රා කෙරේ.
නියමිත කාලය පැමිණි විට එයින් වයින් නිෂ්පාදනය කර ගනු ලැබේ. ඉතා අනර්ඝ තත්වයේ රතු සහ සුදු වයින් තිබුණු බව පැපිරස් පත්‍රිකා වලින් පෙනේ.
වයින් භාවිතය ධනවත් සමාජයේ සිදු විය. පාරාවෝ රජවරුන්ට විශේෂ ආකාරයේ වයින් තනන ලදී. ඒ වයින් වර්ග රස කර තත්වය පරීක්ෂා කිරීමට නිළ වශයෙන් ‘වයින් බොන්නන්’ සිටියෝය. නමුත් බියර් වර්ග භාවිතය සාමාන්‍ය ජනතාව සහ වැඩකරන කම්කරුවන් අතර පැවති බව පෙනේ. සාපේක්ෂව ඊජ්ප්තියානු බියර් වල ඉහළ මධ්‍යසාර සාන්ද්‍රණයක් තිබුණද, ජළය පානය කරනවාට වඩා ඔවුන් බියර් බොන ලද බැව් පෙනී යයි. එයට හේතුව වන්නේ, ප්‍රචණ්ඩ ජළ ධාරා ගැලිය හැකි නයිල් නදියේ ජළය මඩ සහිත වූ නිසා විය හැක. ළමයින් පවා බියර් පානය කල බවට වාර්ථා වී ඇත.
ඒ බියර් තිරිඟු සහ බාර්ලි වලින් තනන ලදී.
පැරණි මැටි බඳුන් විද්‍යාත්මක, රසායනික විශ්ලේෂණයන්වලට භාජනය කර ඒවායේ තිබුණු කෑම බීම මොනවාදැයි සොයාගැනීමට හැකිවීම ජයග්‍රහණයකි. එකළ භාවිතා කල වයින් මෙන්ම අනෙකුත් කෑම බීම වලද අන්තර්ගතය සොයාගැනීමට මේ ක්‍රමයෙන් හැකිව ඇත. මේ අතර එකළ භාවිතා කල ඖෂද වර්ග වල සංයුතියද සොයා ගැනීමට හැකි වී ඇත. ක්‍රිස්තු පූර්ව 1850 දී පමණ භාවිතා කල ඖෂද වර්ග ගැන ලිඛිත සාක්‍ෂි සමඟ විද්‍යාත්මක ක්‍රම සමගාමී වේ.
ඊජිප්තුවේ ඉස්ළාමය පැතිර යන තුරු වයින් නිෂ්පාදනය සහ භාවිතය බහුලව කෙරිණ. සෑම ආහාර වේලකම අනිවාර්ය අංගයක් වූයේ වයින් සහ බියර් විය. ඉස්ලාම් ආගම විසින් එය, ලෝකයේ ජීවත් වන ජීවිතය සඳහා තහනම් කරන ලදී. මේ ආත්මයේ මධ්‍යසාර වලින් වැලකී සිටි අයෙක්ට, ‘ස්වර්ගයේ මධ්‍යසාර ගංගා පරිභෝජනය කල හැකිය යන්න’ එහි තත්වානුරූප ඉගැන්වීමක් [Conditional] විය !…!!. පැරණි ඊජිප්තු සමාජය මුලින්ම යුදෙව්වන්ගේ සිරිත් විරිත් සහ, පසුව දෘඩ ඉස්ලාම් ආගමික අදහස් පැතිරිණි.
නිදහස් විනෝදකාමී සාමකාමී සමාජයක්, නීතියෙන් භීතියෙන් පාලනය කෙරෙන සමාජයක් බවට කෙමෙන් පරිවර්ථනය විය. අවසානයේ පිරමීඩ වල ඇලබස්ටර් තහඩු ගලවා, ඒවායින් ඉස්ළාමික පල්ලි තැනුහ. ඉස්ළාමයට විරුද්ධ, පිරමීඩ ඇතුළු පැරණි නෂ්ටාවේශ මුළුමනින්ම විනාශ කල යුතුය යයි කියන වර්තමාන ඊජිප්තු ජාතිකයන් ගණන සුළු පටු නොවේ.
එය ලෝක උරුමයක් බව ඔවුන්ට වටහා දිය හැකි කෙනෙක් නැත.
පැරණි ඊජිප්තුවන්ගේ විවාහයේද මූළික අරමුණ වූයේ දරුවන් ලබා ගැනීම වුවද, විවාහය සාමකාමී, එතරම් ආගමික චාරිත්‍ර නැතිව කෙරුණක් විය. බොහෝ සමාජවල පැවති, පිරිමියාට වඩා ගැහැණියට පහළ තත්වයක් දීම ඊජිප්තු සමාජයේ නොතිබිණ. ඉස්ළාමය එනතුරු එයද මාතෘ මූළික සමාජයක් විය. බහු විවාහ ක්‍රම ඒ පැරණි ඊජිප්තුවේ නොතිබුණු දෙයක් විය.
නැවතත් පැරණි ඊජිප්තුවේ කෑම බීම සහ ඖශද වෙත,
මේ ආකාරයේ සංකීර්ණ මෙන්ම ඖෂදීය වශයෙන් වැදගත් වන්නාවූ බෙහෙත් හේත් නිසා එකළ සමාජයේ සෞඛ්‍යය ඉහළ තැනක තියෙන්නට ඇත යන්න අනුමාන කෙරේ. ඊජිප්තු සමාජයේ කාම සුඛල්ලිකානු ජීවිතය ගැන ඉහත ලිපියක ලියා ඇත. ඒ අනුව අනුමාන කල හැක්කේ, ‘බොහෝ ලිංගික රෝග තිබෙන්නට ඇත’ යන්නය. එහෙත් එය එසේ නොවීය. හේතු සරළ විය.
ඊජිප්තු සමාජයේද එකළ ග්‍රීසියේ මෙන් නොයෙක් ආකාරයේ සමාජ ස්ථර තිබිණ. මහ දෙවොලේ පූජකවරිය හා කරන ආගමික සංසර්ගය සාමාන්‍ය මිනිසාට කල නොහැකි විය. ඒ සඳහා සහභාගී විය හැකි වූයේ රාජකීයයන් මෙන්ම ධනවත් පුද්ගලයන්ට පමණි. ඔවුන්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය ගැන වඩාත් උනන්දු වූහ. එය එක් උදාහරණයකි. අනවශ්‍ය දරු උපත් පාලනය සඳහා කිඹුළාගෙන් ගන්නා ලද වසුරු හෙවත් ගොම තනුක කර, කිරි සහ මී පැණි සමඟ එකට කලවම් කර තනා ගන්නා මිශ්‍රණය සංසර්ගයේදී භාවිතා විය. මේ ආකාරයේ බෙහෙත් හේත්ද සමහරවිට ලිංගික රෝග මර්ධනයට උපයෝගී වන්නට ඇත.
පසු කලෙක හීබ්රු ජාතිකයන් සමඟ මිශ්‍ර වීම නිසා සුන්නත්කරණය යම් ප්‍රමාණයකින් ඇති විය. 6 වන රජ පරම්පරාව කාලයේදී සුන්නත් කරන ලද දර්ශනයක් ඇති පැපිරස් පත්‍රිකාවක් හමු වී ඇත.
ලිංගික රෝග අඩුවීමට තවත් හේතුවක් වූයේ අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවති ‘මැජික් ක්‍රම’ විය. මේවා කෙසේ වුවත් ඒ සමඟ භාවිතා කල ඖෂද වර්ග හේතුවෙන්, ‘ගොනෝරියා’ වැනි සමාජ රෝග ඇතිවීමේ ප්‍රවණතාවය පැරණි ඊජිප්තුවේ බොහෝ අඩු විය.
එක්තරා කාලයක ඊජිප්තුව විස්මිත නිර්මාණ කල ලෝකයේ ඉතාම දියුණු රටක් වූයේය. රටක් දියුණු වන්නට, රටක් සුඛිත මුදිත වන්නට, ඒ රටේ මූළික අවශ්‍යතා ඇතුළු සියළු අංගෝපාංග ඉහළ තත්වයක තිබිය යුතුය. සුඛයෙන් සහ සෞඛයෙන් යුතු ජනතාවක් ඇති වන්නට සමතුලිත ආහාර රටාවක් අත්‍යවශ්‍ය අංගයක් වේ.
අද බොහෝ ඊජිප්තු වාසීන් අන්ධ මූල ධාර්මික ඉස්ළාමිකයන් වුවද, එකළ පැරණි ඊජිප්තු වාසීන් මේ හැම පාර්ශවයකින් පාහේ වාසනාවන්ත වූ බව පෙනේ.
Leave a Reply