විශ්ව සාහිත්‍යයෙන් 7 : ලංසක්කාරයෙක්ගේ බිරිඳ – ප්‍රංශ ගත් කතුවර, ‘ගී ද මෝපසාන්’ විසිණි.

Untitled

පෙරවදන:- “ලංසක්කාරයා” යන්නට සිංහළ වචනයක් සෙව්වෙමි. එය සොයාගන්නට නොහැකි විය. ඕනෑ නම්, ‘හෙල්ල විදින්නා’ යයි කිව හැක. එහෙත් එවිට එතන වචන දෙකක් නිසා, ඒ වචනය අසාර්ථකය. සිංහළ භාෂාව හොඳින් දත් කෙනෙක් මේ ගැන කියනු ඇතැයි බලාපොරොත්තු වෙමි. කෙසේ හෝ, ලංසක්කාරයෙක් යනු, ලී මිටක සවි කල දිගැති හෙල්ලයක් ආයුධය සේ භාවිතා කරන හේවායා වේ. මෙය මෝපසාන් විසින් උත්තම පුරුෂයෙන් ලියන ලද, ‘Lancer’s wife’ යන කෘතියේ සිංහළ පරිවර්ථනයකි. තරමක් දිග කතාවක් හෙයින්, යම් යම් විස්තර අඩු කලෙමි.

ලංසක්කාරයාගේ බිරිඳ

නැගෙනහිර ප්‍රංශයේ බලය බිඳුණු අවස්ථාවේ, ප්‍රංශ සොල්දාදුවන් එක්දාස් පන්සීයක් පමණ නියත මරණයෙන් බේරීමට ස්විස්ටර්ලන්තයට පැන යන ලදී. සාගතය, අධික සීතල වැනි දේ ඔවුන් හෙම්බත් වුනෝය. ඒ පිරිසට අපද අයත් විය. අපට තිබුණු විශාලතම ප්‍රශ්ණය වූයේ කූඩාරම් නැති වීමය. ආහාරද ඉතා හිඟ විය. එතනින් ස්විස්ටර්ලන්තයට පැමිණි අප විසි දෙදෙනෙක් එක් වීමු. අපට එහිදී ආරක්ෂාව මෙන්ම විඩා හැරීමට අවස්ථාව ලැබිණ. සැමදාම යමක් අනුභවයට මෙන්ම, සැම රැයකම නිදා ගන්නට එහිදී අපට වාසනාව තිබිණ.

ස්විස්ටර්ලන්ත හමුදාව, එකිනෙකාට විරුද්ධව සටන් කල ප්‍රංශ සහ ජර්මන් හමුදා අතර සිටියද, නැගෙනහිර ප්‍රංශයේ යුද්ධය තදින් ඇවිළෙමින් පැවතිණ. ලීග දෙක තුනක් එහා ජර්මන් හමුදාව ජයග්‍රහණය කරන බව ඇසීම අපට ඉවසා සිටිය හැකි නොවිය. විශේෂයෙන් අප මේ වන විට ශක්තිමත්ව සෞඛ්‍ය සම්පන්නව සිටිය නිසා, සටන් බිමට නැවත යාමට ආශාවක් අපට තිබිණ. ඇත්ත වශයෙන්ම අප සිටිය ස්ථානය නිසා අපට ආරක්ෂාව ලැබිණ. එහෙත් ඒ නිසාම අප බලයෙන් රහිත යන අදහස සිතේ තිබිණ.

අපේ කැප්ටන් උස සිහින්, එහෙත් යකඩ වැනි තදැති සොල්දාදුවෙකි. නිළයෙන් උප ලෙෆ්ටිනන්ට් කෙනෙක් වූ ඔහු ජර්මානුවන්ට විරුද්ධව දරුණු සටන් කල කෙනෙක් විය. ඔහුට මේ කිසි දෙයක් නොකර ස්විස්ටර්ලන්තයේ ඉන්නා නිදහස් ජීවිතය, තිත්ත වී තිබිණ. දිනක් ඔහු අප පස් හය දෙනෙකුට කතා කළේය.

…”මෙහි සිට පැය දෙකක් ඇවිද්දොත්, නුඹලා දන්නේ නැද්ද ජර්මන් වරු හරියට ලෝර්ඩ්ලා වගේ අපේ කඳු වල ඇවිදනා බව? …”මට මෙහෙ හිරවෙලා ඉන්න බැහැ”… “ මම යනවා”… …”එහෙත් කැප්ටන්, කොහොමද එය ඔබ කරන්නේ ? අප ඇසුවෙමු.    …”කොහොමද? …”ඒක එච්චර අමාරු නැහැ”…” පසුගිය හය මාසය තුල අපි කරපුවා අමතකද? …”අමතක නැහැ, එහෙත් තුවක්කු නැතිව අපි මොනවා කරන්නද? …”මොනවා ? ආයුධ නැතිව?…”අපිට ඒවා එහෙදී හොයාගන්න පුළුවන්”… …”එහෙත් එහෙම ගියොත්, අපි ස්විස්ටර්ලන්තයේ මිනිසුන් සමඟ ඇති කරගත් සම්මුතියට ද්‍රෝහී වෙනවා”…” …”ඕවා ඔක්කොම වැරදි හේතු”…”අපි නැවත ගිහින් පෘසියන් වරු මරමු”…”

පෘසියන්වරු යනු එකල සිටි ජර්මන් හමුදාවේ සොල්දාදුවන්ට කිව් නමකි. …” නුඹලා මාත් එකක එන්න බලාපොරොත්තුවක් නැත්නම්, මම තනියෙන් යනවා”…”මට වෙන කව්රුවත් ඕනා නැහැ”… ඔහු කීවේය.

අනිවාර්යයෙන්ම අප මේ අදහසට විරුද්ධ වූයෙමු. එහෙත් කිසි අයුරකින් කැප්ටන්ගේ තීරණය වෙනස් කල නොහැකි විය. අප කැප්ටන්ගේ අදහසට එකඟ විය යුතුය යන අදහස මෙන්ම, එවැන්නෙක් අප දමා යාම පිළිබඳ වද අකමැති වූ හෙයින් අවසානයේ මේ අදහසට කැමති වූයෙමු. අනෙක් දේ වූයේ, ඔහු බොහෝ වතාවක් අපව නොයෙකුත් ආකාරයේ ආපදා වලින් බේරා ගැනීමය. මෙවැනි අගනා මිනිසෙක් අපට වටී. කැප්ටන්ගේ සැලැස්ම මෙසේ විය. එය කාලයක් තිස්සේ ඔහු සිතා සිටි සැළැස්මක් විය.

ඔහු හඳුනන කෙනෙක් ගෙන් කරත්තයක් ගෙන, එම කරත්තයේ ‘ස්විස් චීස්’ පටවා ඊට යටින් පිදුරු දමා අප එහි සැඟව යාම එම සැලැස්මේ මූලික පියවර විය. දෙදෙනෙක් එම චීස් කරත්තයේ ආරක්ෂාවට යනවා සේ පෙන්වූයෙමු. අනෙක් අය චීස් කරත්තයේ පිදුරු අතර සැඟව ගියහ. ස්විස් නිළධාරීන් අපට දේශ සීමාවෙන් යන්නට ඉඩ දුන්හ. පිදුරු අතර සිරවී, සීතලේ වෙව්ලමින් බාගෙට හුස්ම ගොස් සිටි මා ඉන් එළියට පැන්නෙමි.

ජර්මන් ආරක්‍ෂක කපොළු දුර්වල විය. දොරටුවේ සිටි ජර්මන් නිළධාරියා කතා කලේ උතුරු ජර්මනියේ භාෂාවය. කැප්ටන් කැඩුණු ජර්මන් භාෂාවෙන් කතා කළේය. ජර්මානුවා තමා උගතෙක් බව පෙන්වන්නට, කැප්ටන් කියූ දේ තේරුණු බව හැඟවූවේය. අප රාත්‍රී කාලය වන විට චීස් කරත්තය සමඟ කුඩා ගම්මානයකට පැමිණියෙමු. අප කුමක් කරම්දෝ යයි නොදනිමු. අපගේ එකම බලාපොරොත්තුව වූයේ කැප්ටන්ගේ දිරිය විය.

චීස් හැර වෙන කන්න දෙයක් තිබුනේද නැත. පතරොම් දාහක් පමණ කරත්තයේ සඟවා ගෙන ආවද, තුවක්කු තිබුනේ නැත. එහෙත් කැප්ටන්ගේ සැලසුමක් තිබිණ. ගම්මානයේ අප සැඟව සිටියදී ඔහු සහ තවකෙක් හිස් කරත්තය පදවා ගෙන ඔමෙන්ස් වෙත ගියෝය. එතනදී කරත්තය අතහැර ඔවුන් බෙසන්කන් වෙත ගොස් නිර්භීත ප්‍රංශ ජෙනරාල් කෙනෙක් වූ රෝලන්ඩ් හමු විය. ඔහු කැප්ටන් ගේ අභිප්‍රාය අසා සිනාසී, රයිෆල් තුවක්කු 6ක් දුන්නේය. බෙසන්කන් හී සිටි මෙතෙක් සිටි කැප්ටන්ගේ බිරිඳද සමඟ ඔවුන් නැවත එන්නට පිටත් වූවෝය. රයිෆල් තුවක්කු හය කෙනෙක් දුටුවහොත් සැකයක් ඇති විය හැකි බැවින්, ඔවුන් ගමන් කලේ රාත්‍රියේ දීය.

ඔවුන් අප වෙත පැමිණි රාත්‍රියේ, කැප්ටන් අවට ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට තනිවම ගියේය. තද කඳු බෑවුමක තිබුණු කුඩා ගම්මානයේ දුප්පත් මිනිසුන් සිටි අබල දුබල නිවාස කීපයක් විය. ‘කූලී’ සේ හැඳින්වුණු ගම්මානයේ එම මිනිසුන් මේ කන්දේ තිබුණු ගස් කපා දර වෙළෙන්දන්ට ඒවා විකුනුවෝය. මේ දර ගොඩ ගසා තිබෙන තැනට කැප්ටන් ගිය පසු, ඉන් බොහෝ ඈතින් පැමිණි වෙඩිල්ලක ශබ්දයක් අපට ඇසිණ. කැප්ටන් අපට කියා සිටියේ, ඔහුගේ නළාව හඬවන්නේ නැත්නම් අපගේ පැමිණීම අනවශ්‍ය බවය.

එළු හමකින් තනා තිබුණු කැප්ටන්ගේ නළාව ලීගයක් පමණ දුර ඇසේ. වෙඩිල්ලේ හඬ ඇසුනද, ඔහුගේ අණ නැතිව අපට සෙලවීමට නොහැකි හෙයින්, අප වික්‍ෂිප්තව අපගේ රයිෆල් තුවක්කුද සූදානම් කරගෙන බලා සිටියෙමු. කැප්ටන් ගේ බිරිඳ අපට වඩා නොසන්සුන් වූවාය.

හදිසියේ ඔහුගේ හොරණෑ ශබ්දය අපට ඇසුණේය. අප බලාපොරොත්තු වූ පරිදි කන්ද පහළින් ආ යුතු ශබ්දයක් ගමෙන් පැමිණියේ මන්ද යන්න පුදුමයකි. එය අපට අබිරහසක් විය. නමුත් ඔහු මිය ගොස් ඇතිද? අපව උගුලකට අසු කරගන්නට වෙන කෙනෙක් මේ නළාව පිඹින්නේද? එහෙත් කැප්ටන්ගේ බිරිඳ, හදිසියේම කෑ ගසමින්, “එන්න එන්න ඔහුට කරදරයක් වෙලා නැහැ”…කියමින් එළියට දිව්වාය. කැප්ටන් අසෙක් පිට නැගී තම නළාව පිඹිමින් පැමිණීම සතුටක් විය. කැප්ටන් මෙසේ කීවේය. … “ජර්මන් ලංසක්කාරයෙක් දොරටුව අසළට පැමිණි විගස, මා ඔහු මරා දමා, ඔහුගේ අශ්වයා පැහැර ගතිමි. මා පසුපස ජර්මානුවන් අට දෙනෙක් හෝ දහ දෙනෙක් පැමිණියද, කැලෑවේ අඩි පහරවල් හරහා ඔවුන් මඟ හරවමින් පැමිණියෙමි. දැන් ඔවුන් විසින් අපව සාමකාමීව අල්ලාගන්නට පෙර අපි ඔවුන් රයිෆල් උණ්ඩවලින් ඔවුන් පිළිගත යුතු වේ”…

ජර්මානුවන් එන තුරු අප සැඟව බලා සිටියෙමු. එහෙත් කිසි කෙනෙක් අප හඹා ආවේ නැත. මේ අතර කැප්ටන් සමඟ ගිය, පීඩලොට් නම් අපගේ අනෙකුත් සගයා දැකීමට නොහැකි වීම ගැන අප අසතුටට පත් වුනෙමු. ඔහු දක්ෂ වෙඩික්කාරයෙක් බවද තුවක්කුව හොඳින් හසුරවන්නෙක් බවද කැප්ටන් කීවේය. රාත්‍රිය එත්ම අප ඔහු සොයා ගියෙමු. සෑම තැනකම බැලුවද ඔහු සොයා ගැනීමට නොහැකි වීම සිත් කරදර කරන්නකි. එහෙත් මධ්‍යම රාත්‍රිය වන විට, ඈතින් පෙනෙන දීප්තිමත් එළියක් දුටුවෙමු. …”බිය ගුල්ලෝ”..! අනිවාර්යයෙන්ම, ඔවුන් දර වෙළඳපොලේ මිනිසුන්ගේ ගෙවල් පුළුස්සලා”…”අපි ගිහින් බලමු”… කැප්ටන් කීවේය.

තවත් විනාඩි විස්සකින් පමණ අප කඳු පාමුළට පැමිණියෙමු. ඇත්තටම ගින්න ඇතිවී තිබුනේ, ගෙයක් පසුපසය. එහෙත් අප බොහෝ හෙමෙන් පිය නැගුවෙමු. හේතුව වූයේ මෙය කුමක් හෝ උගුලක් වන්නට හැකි හෙයිණි. හදිසියේ පිඩලොට් ගේ හඬ ඇසිණි. එහෙත් එය දුර්වල හඬක් විය. එය දුක්මුසු භයානක දසුනක් විය. පිඩලොට්ව කණුවක බැඳ දමා, ගින්නෙන් දැවෙන්න ඉඩ හැර තිබිණ. ඔහු දරුණු සේ දැවී තිබිණ …”ඔහු කෑ ගැසූවේය”… “ශුභ උදෑසනක් කැප්ටන් !…”මේ කාලකන්ණි විස්සක් අපිව මරන්න ආවා”…” …”විස්සක් ආවා?

අප මවිත වුනෙමු. …”ඔව් ඒකයි මම කැප්ටන්ගේ අණ නොතකා තනියෙන් සටන් කලේ”…” එහෙම නූනා නම්, උන් අපි ඔක්කොම මරනවා”…”හතර දෙනෙක් යාර විස්සක් ඈත ඉඳන් මට පහර දුන්නා”…ඔහු කීවේය. කැප්ටන් එවිට මෙසේ ඇසීය. …” ඇයි ඉතින් උදව් ඉල්ලලා කතා කලේ නැත්තේ ?

…”මම ඕනෑකමින්ම එය කලේ”…”ඔබ සියල්ලන්ම ආවා නම්, ඔබට මාව බේරා ගන්න බැරි වෙනවා වගේම සියල්ලන් මැරේවි”…”කොහොමද පස් දෙනෙක් විස්සක් එකක සටන් කරන්නේ? … අපි හනික ඔහුව තවමත් ප්‍රචණ්ඩව දැල්වෙන ගිණි දළු වලින් ගලවා ගතිමු. …”අපි ඔබට මේ ගමන යන්න නොදුන්නා නම් වඩා හොඳයි…”මට ඇත්තටම මෙතෙන්ට ඔබව ගෙනෙන්න ඕනා වුනේ නැහැ”…”මේ ගැන අපි මින් පස්සේ කතා නොකරමු”…”ඔබට දැන් කොහොමද, සනීපයක් දැනෙනවාද ? කැප්ටන් ඇසීය.

…”නැහැ , මගේ හුස්ම හිරවෙනවා”…”උන් මාව මේ ගහේ බැන්දා”…”මාව බාගෙට මැරෙන්න උන් මට තැලුවා”…”මගේ අත කැඩුවා, කඩලා එය කැරකුවා”… ”මම කඳුළු බිංදුවක් හෙළුවේ නැහැ”…”මේ මගේ අවසානයි”…”එහෙත් දැන් මට සතුටුයි, මගේ මිත්‍ර වරුනි”…”එයින් එක හොඳක් වුනා”… එවිට කැප්ටන් මෙසේ කීවේය. …”පිඩලොට්, අපි ඔබ වෙනුවෙන් ඒ පළිය ගන්නවා”…”

…” මම එය දන්නවා, …විශේෂයෙන් මේ කණ්ඩායම සමඟ ගැහැණියෙක් ඉන්නවා”..” ඒ ඊයේ කැප්ටන් මරපු, ලංසක්කාරයෙක්ගේ බිරිඳ”…”ඇයත් ලංසක්කාරයෙක් වගේ ඇඳලා ඉන්නේ”… “ඇයයි, මට වැඩියෙන්ම වධ දුන්නේ”…”මාව පුච්චන්න කියා යෝජනා කලේ ඇයයි” …මෙසේ කියමින් ඔහු සිහි නැති වුණේය. කැප්ටන් ගේ බිරිඳ ඔහුගේ මුහුණේ වෑහෙන දහදිය පිහ දැම්මාය. අපගේ ඇස් වල කඳුළු සඟවන්නට නොහැකි විය.

ඔහු තවත් පැය භාගයක් පමණ වේලාවකදී මිය ගියේය. එහෙත් මිය යන්නට පෙර සතුරන් ගිය දිශාව ඔහු අපට කීවේය. අපේ හදවත් වේදනාවෙන් සහ පළි ගැනීමේ අදහසින් පිරී තිබිණ. ..”මේ නිසා අපි පෘසියන් හමුදාවම මැරුවත් මදි, එහෙත් පිඩලොට්ගේ මිණීමරුවන් පස්සේ යමු”… කැප්ටන් කීවේ මහත් ආවේගශීලීවය… …”මේ මගේ අණයි”… ”අපි තව දුරටත් දිවුරලා පොරොන්දු වෙමු, මම මළත් මේ දේ වෙන්න ඕනා”…”…”හැම සිරකරුවෙක්ම හමුවුණු විටදීම මරා දමන්න ඕනා”…”ලංසක්කාරයා ගේ ගෑණිට වධ දීලා මරන්න ඕනා” …!

එවිට කැප්ටන්ගේ බිරිඳ මෙසේ කීවාය. …”ඇයව වෙඩි තියා මරන්න එපා”…”මොකද ඇය ගැහැණියෙක් නිසා”…”වධ දීම පමණක් ඇති”…”එහෙත් ඔබ මේ සතුරන් සොයා යාමේදී මැරුනොත්, මගේම දෑතින් ඒ ගැහැණිය මරනවා”

පසු දින උදෑසන ගව් හතරකට එහා අහම්බෙන් මෙන් අපට පෘසියන් වරු කණ්ඩායමක් මුණ ගැහුණහ. අපේ ක්‍ෂණික ප්‍රහාරය සාර්ථක විය. මොහොතකින් අපට සිරකරුවන් පස් දෙනෙක් ලැබිණ. කැප්ටන් ඔවුන් ගෙන් ප්‍රශ්න අසා, ඔවුන් පිඩලොට් ගේ මරණයේ කොටස්කරුවන් යයි තේරුම් ගත්තේය. මෙහිදී අපෙන් එකෙක් අපූරු යෝජනාවක් ගෙනාවේය. එනම් මේ සිරකරුවන් සියල්ලන් නිර්වස්ත්‍ර කල යුතු බවය. එහි ගැහැණියක් සිටින බව තේරුම් ගත් පසු අපට ඇතිවූ ප්‍රීතිය නිම් හිම් නැති විය.

ඔව්, ඒ ගැහැණිය පිඩලොට්ට වධ කල ගැහැණිය වූවාය. පිරිමි සිරකරුවන් හතර දෙනාට ඒ වෙලාවේම වෙඩි තියා දැමුවෙමු. ගැහැණියටද වෙඩි තබා දැමීමට අප සියල්ලන්ට අවශ්‍යතාවය තිබුණද, එය කැප්ටන්ගේ බිරිඳ මහත් පරිශ්‍රමයෙන් යුතුව වැළක්වූවාය.

අනෙක් දවසේ පෘසියන් වරු සහ නැගෙනහිර ප්‍රංශය අතර සටන් විරාමයක් ඇති වූ බවට ආරංචි ලැබිණ. අපගේ සැලැස්ම මේ නිසා තාවකාලිකව නවත්වන්නට සිදු විය. එහෙත් මේ නිසා නැගෙනහිර විසූ අපෙන් දෙදෙනෙක් ගම් බිම් බලා ගියහ. ඉතිරි වුනේ බෙසන්කන් සිට පැමිණි අප දෙදෙනෙක්, කැප්ටන් සහ ඔහුගේ බිරිඳ පමණි. සටන් විරාමය අමතක කර, බෙසන්කන් වටලා පෘසියන් වරු තවමත් සිටි හෙයින් අපගේ අදහස වෙනස් නොකළෙමු. කැප්ටන් කීවේ සටන් විරාමය උගුලක් බවය. ශීත සෘතුව අවසන් වූ වහාම ජර්මන්වරු සේනා තර කරගෙන නැවත පහර දීම ආරම්භ කිරීම පැහැදිළි හෙයින්, අප සිතා සිටි සැලැස්ම ඒ අයුරෙන්ම දිගටම ක්‍රියාත්මක කල යුතුය යන්න, ඔහුගේ අදහස විය.

එය ඉතා දරුණු ශීත සෘතුවක් වූ හෙයින්, අපි එතරම් එළියට නොගියෙමු. තවද ගැහැණු සිරකාරිය බලා ගැනීමටද අපට සිදු විය. ඇය මානසිකව බොහෝ වැටුණු බවක් පෙන්වුවද, අයගේ සැමියා මරා දැමූ කැප්ටන් දෙස ක්‍රෝධයෙන් පසුවන බව ඇය ඔහු දෙස බලන ආකාරයෙන් පෙනිණ. මීටත් වඩා දඬුවමක් ඇයට අනවශ්‍යය. පිඩලට්ට වධ කිරීම සම්බන්දයෙන් ඇය මේ ආකාරයට වධ විඳීම ගැන අප කැමති වුනෙමු. එහෙත්, අපි ‘මේ ගැහැණිය අව තක්සේරු කලෙම්’ යයි මොහොතකටවත් නොසිතුවෙමු. මුලින් ඇයව ලණුවකින් බැඳ අසළ තිබුණු විශාල ඕක් ලී බංකුවේ ගැට ගැසුවෙමු.

එහෙත් ඇය කලබලයක් නොපෙන්වූ හෙයින්, දින කීපයකට පසු ඇයව ලිහා දැමුවෙමු. ආයුධ අත ඇති අප හතර දෙනෙක්ට සසඳා, ආයුධයක්වත් අත නැති ගැහැණියෙක්ට බිය විය යුතු නැත යයි සිතුවෙමු. තවද ඈ සිටිය යුතු වුනේ, කාමරයේ අන්තයේය. නිවාසයේ දොර ළඟ කෙනෙක් සැමවිට මුරට සිටියේය. ඒ අතර කැප්ටන් ඔහුගේ බිරිඳ සහ මා නිදා ගත්තෙමි.

කැප්ටන් නිවාසය මුර කරන එක් දිනක්, ලංසක්කාරයාගේ බිරිඳ සාමාන්‍ය තරමටත් වඩා නිසලව නිදා ගත්තාය. ඇය එදා සිනහ මුසු මුහුණෙන් සිටියාය. එහෙත් මධ්‍යම රාත්‍රියේ විශාල කෑ ගැසීමක් නිසා උඩ ගොස් බිම වැටුනෙමු. වහා අවදි වී බලන විට, කැප්ටන් සහ ලංසක්කාරයා ගේ බිරිඳ පොර බදනවා දුටිමු. අප වහා ඔවුන් වෙන් කළෙමු. ඇය වියරුවෙන් කෑ ගසමින්, සිනහ වෙමින් සිටියාය. කැප්ටන් තවමත් මාරයා සමඟ පොර බදනවා මෙනි. අඳුරේ එතරම් අපට නොපෙනුණ නිසා පහනක් රැගෙන විත් බැලූ විට, කැප්ටන් ගේ බෙල්ලේ බයිනෙත්තුව ඇණී තියෙන බවත්, එයින් බොහෝ ළේ වහනය වී ඇති බවත් පෙනිණ.

වචනයක් හෝ කියන්නට නොහැකිව, විනාඩි කීපයකින් කැප්ටන් මිය ගියේය. ඇය ක්ෂණිකව කැප්ටන්ගේ තුවක්කුවේ එල්ලී බයිනෙත්තුව ගලවා ගෙන ඔහුට ඇන ඇත.

ඔහුගේ බිරිඳ කඳුළු බිඳුවක් සෙලුවේ නැත. ඇය ලංසක්කාරයා ගේ බිරිඳ දෙස එක එල්ලේ බලා සිටියාය. ඒ බැල්මේ රුදුරු බව උපරිම අයුරෙන් තිබිණ. ඉන් පසු ඇය මෙසේ කීවාය. “මේ ගෑණි මටයි අයිති”…”සතියකට පෙර නුඹලා දිව්රුවා, මේ ගෑණි මම තෝරන අයුරෙන් මැරෙන්න ඕනා කියා”…”දැන් මගේ ස්වාමි පුරුෂයා මැරුණ නිසා නුඹලා ඒ දිව්රීම අනුව කටයුතු කල යුතුයි”…”මේ ගෑනිව ගිනි උදුන ගාව ගැට ගහපල්ලා”…”ඉන් පසු නුඹලාට ඕනා තැනක යන්න පුළුවන්”…”එහෙත් මෙතනින් ඉතා ඈතකට යා යුතුයි.”…”මම මගේ පළිය ඇයගෙන් ගන්නම්”…”කැප්ටන්ගේ ශරීරය මෙතන තියන්න” …” මෙතන ඉන්න ඕනා අප තුන්දෙනා පමණයි”… අපි ඇයට අවනත වුනෙමු. ඇය අපට ලියන බවට පොරොන්දු වූවාය.

දින දෙකකට පසු මට ඇයගෙන් පහත ළිපිය ලැබුණි. එහි දාතම වූයේ, අප එදින ඒ ස්ථානයෙන් ගිය පසු දිනය විය.

දයාබර හිතවත;

මගේ පොරොන්දුව අනුව ඔබට ලියන්නෙමි. මා එම නිවසේ සිටිමි. ගැහැණු සිරකාරිය මා පෘසියන් නිළධාරියෙක්ට භාර දුන්නෙමි. හිතවත, මම මෙය ඔබට කිවයුතු වෙනවා. “මේ ගැහැණිය ජර්මනියේ ළමයි දෙදෙනෙක් අතහැර දමා තමන්ගේ ආදරණීය ස්වාමියා සමඟ යුධ බිමට විත් තියෙන්නේ, ඔහුට ඇති අවදානම අඩු කර ආරක්ෂා කර ගැනීමේ අදහසින්”…”දරුවන් දෙදෙනා ඔවුන්ගේ සීයා සහ ආච්චි ළඟ ඉන්නවා”…

…”මේ සියලු දේ මා දැනගත්තේ ඊයේ දින තුලයි”…”

පළි ගැනීමේ අදහස වෙනුවට මානුෂීය ලෙස මේ දෙස බලන්නට මා තීරණය කලෙමි. එහෙත් මා මුලින් මේ ගැහැණියට මට හැකි හොඳම ආකාරයෙන් තර්ජනය කරමින්, …”පිඩලොට් මිය ගිය ආකාරයෙන්ම, පුච්චා මරණ බව ඇයට මා කීවෙමි” …”එහෙත් මේ වෙලාවේදී කලබල නැතිව ඇය මා දෙස බලා මෙසේ කිව්වා”…

…”ප්‍රංශ ගෑණි, … “මා දෙස ඔය ආකාරයෙන් ද්වේශයෙන් කටයුතු කරන්න හේතුව කුමක්ද ? නුඹ හිතන්නේ නුඹගේ ස්වාමි පුරුෂයා මිය යාම සම්බන්දව මේ කරන්න හදන දේ හරි කියලාද  ? …”මා ‘ඔව්’ කීවෙමි. …” මගේ ස්වාමි පුරුෂයා මැරූ එකේ පළිය ගැනීමටයි මේ ලැහැස්ති වෙන්නේ ”…”එනම් දැන් නුඹ මට කරන්න හදන දේ මයි”…”ඉතින් නුඹ පළි ගැනීම අනුමත කල නිසා, මේකටත් ලැහැස්ති වෙයන්”…මා කීවෙමි. ඇය; …මා බිය නොවෙමි ”… කියා කීවාය.

ඇත්තටම ඇය අයගේ දිරිය අඩු වූ බවක් පෙනුනේ නැත. ඇයගේ මුහුණ සංසුන් වූ අතර මා දෙස ඈ බියෙන් තොරව බැලුවාය. මේ අතර මා ලී කොටන් සහ වියළි කොළ ඇයගේ දෙපස අතුරා, ඇයගේ මරණය වඩාත් කෘර කරවීමට වෙඩි බෙහෙත් කොපු ගලවා, එහි කුඩුද එහි දැමුවෙමි. මා මොහොතක් මේ කරන්න හදන දෙය ගැන සිතා බැලුවෙමි. මේ අතර කැප්ටන් ගේ ලෙයින් වැකුණු ශරීරය එහි ඇත. මා ඔහු දෙස බැලුවෙමි. ඔහු සුදුමැළි වී ඇත. ඔහු මදෙස බලා සිටින්නේ, වීදුරු ඇස් දෙකකින් මෙනි.

මා මොහොතකට නැවතී ඔහුගේ සුදුමැළි දෙතොල් සිප ගතිමි. මා හිස ඔසවන විට ඇය හඬමින් සිටියාය. එය මට විමතියක් විය.

…”අන්තිමට එහෙනම් නුඹට බිය හිතුණා නේද ? මා ඇසුවෙමි.

… “නැහැ, …ඔබ, ඔබගේ ස්වාමිපුරුෂයා සිප ගන්නවා දුටු මටද, මගේ ආදරය කළවුන් මතක් වුනා”…ඇය දිගටම ඉකි බිඳින්නට පටන් ගෙන හදිසියේ නැවතී, මෙසේ ඇසුවාය. …”ඔබට ළමයි ඉන්නවාද?  මගේ ඇඟ මොහොතකට හිරි වැටිණි. මේ ගැහැණියට ළමයින් සිටිනවා යයි මොහොතකට මට සිතුණි. ඇයගේ පොකට් සාක්කුවේ තිබුණු දේ ගන්න යයි ඇය මට සන් කළාය. එහි මා දුටුවේ කුඩා දරුවන් දෙදෙනෙක්ගේ පින්තුර සමඟ ලොකු ළමා අකුරෙන් ලියන ලද ළිපියකි.

පින්තුර දෙකේ පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් සිටියේය. කම්මුල් ලොකු ඔවුන්, ජර්මන් ළමයින් ගේ නියම ස්වභාවය විය. ඒ ළිපි කවරය ඇතුළත ‘අම්මේ ආදරෙයි’ යන වචන සමඟ, ගැට ගැසූ ඔවුන්ගේ කෙස් රොදවල් කීපයක්ද විය. මට මගේ කඳුළු නවත්වා ගැන්මට නොහැකි විය. මා ඇය ලිහා දැමුවෙමි. නැවත මගේ ස්වාමි පුරුෂයා ගේ මුහුණ නොබලා ඇයට යන්නට ඉඩ හැරියෙමි. යන්නට පෙර, ඇය කඳුළු පිරි දෑසින් යුතුව මා වැළඳ ගත්තාය. මා මගේ ස්වාමි පුරුෂයා වෙත යමි.

දයාබර හිතවත; ඔබට හැකි ඉක්මනින් මෙහි පැමිණෙන්න. පැමිණ අප දෙදෙනාගේ ශරීරවලට කළයුතු දේ කරන්න.

මා හැකි ඉක්මනින් ඒ ස්ථානයට යන විට පෘසියන් නිළධාරින් එහි සිටියහ. මෙහි තේරුම කුමක්දැයි මා අසන විට, ප්‍රංශ හමුදාවේ කැප්ටන් කෙනෙක් සහ ඔහුගේ බිරිඳගේ දේහයන් නිවස ඇතුලේ ඇතැයි ඔවුන් කීහ. මා ඔවුන්ගේ නම් සහ වතගොත කී විට, මා ඔවුන්ව හොඳින් හඳුනන බව ඔවුන් තේරුම් ගත්හ. ඔවුන්ගේ අවසාන කටයුතු කිරීමට ඉඩ දෙන සේ මා ඔවුන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියෙමි. එහෙත් ඔවුන් කීවේ වෙන දෙයකි.

“ඔවුන්ගේ හොඳම යහළුවා යයි කියන වෙන කෙනෙක්, ඒ කටයුතු කිරීමට බාර ගෙන ඇත. ඒ හෙයින් ඔබ ඒ නිවස ඇතුලේ මේ වෙලාවේ සිටින යහළුවා සමඟ කතා කර කැමති දෙයක් කරන්න” කියාය. මා ඇතුළට යන විට කැප්ටන් සහ ඔහුගේ බිරිඳ ඇඳක් උඩ තබා රෙද්දකින් වසා තියෙනවා දුටුවෙමි. මා එය ඔසවා බැලුවෙමි. කැප්ටන්ගේ බිරිඳද, සිය දිවි නසා ගෙන තිබුනේ කැප්ටන්ගේ මෙන්ම බෙල්ලට වැදුණු බයිනෙත්තු පහරකිනි.

ජර්මන් නිළධාරීන් විසින් මට කියූ හොඳම යහළුවා, ඒ ඇඳට සමීපව සිටියාය. ඇය මිය ගිය යුවළ දෙස බලමින් හඬමින් සිටියාය.

ඒ ලංසක්කාරයාගේ බිරිඳ විය.

 

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑