බුද්‍ධ චරිතය උපග්‍රන්ථය.

සිංහහනු රජතුමාට සුද්ධෝදන, ශුක්ලෝදන, අශුක්ලෝදන, ධෝතෝදන, අමිතෝදන යැ යි පුත්තු පස්දෙනෙක් ද අමතාවී නම් දුවක් ද වූහ යි මැදුම් සඟි අටුවායෙහි කියන ලදි. ශුධෝදන, ශුක්ලෝදන, ධෝතෝදන, අමිතෝදන යැ යි පුතුන් සිවු දෙනෙකුන් ද අමිතා, ප්‍රමිතා යැ යි දූන් දෙදෙනෙකුන් ද වූ බව මහා වංශයෙහි දැක්වේ. ශුද්ධෝදන, අමිතෝදන, ශුක්ලෝදන, අශුක්ලෝදන යැ යි සොහොයුරන් පස් දෙනා ගේ නම් සූත්‍ර නිපාත අටුවායෙහි දක්නා ලැබේ. වප්ප රජු ද බුදු රජු ගේ සුළු පියෙකැ යි අංගුත්තර අටුවාහි පෙනේ.

ශුද්ධෝදන, ශුක්ලෝදන, ද්‍රෝණෝදන, අමෘතෝදන යැ යි සොහොයුරෝ සිවු දෙනෙක් ද, ශුද්ධා, ශුක්ලා, ද්‍රෝණා යැයි සොහොයුරියෝ තිදෙනෙක් ද වූහ යි අවදානකල්ප ලතා පල්ලව නම් සංස්කෘත ග්‍රන්ථයෙහි සඳහන් වේ.

ශුද්ධෝදන රජු ගේ දරුවෝ තිදෙනෙකි, ඔහු නම් නන්ද කුමරිය, සිද්‍ධාර්ථ කුමාරයන් වහන්සේ, නන්ද කුමරු යන තිදෙනා යි. මෙයින් නන්දා තොමෝ සිද්‍ධාර්ථ කුමරුටත් වැඩි මහලු යි. නන්ද කුමරු තිදෙනාගෙන් ම වයසින් බාලයා යි. නන්දා නන්ද දෙදෙනා ප්‍රජාවතී ගෞතමියගෙන් ද සිද්‍ධාර්ථ කුමරු මහාමායා බිසොව ගෙන් ද සුදොවුන් රජුට ලැබුණු දරුවෝ යැ යි දත යුතු.

සූර්ය වංශයෙහි රාජ පරම්පරාව

මහාසම්මත (මනුරජ),රෝජ,කාලරජත, වරරෝජ,කල්‍යාණ, වරකල්‍යාණ, මන්ධාතු, චර, උපචර, චේතිය, මුචල, මුචලින්ද, සාගර, සාගර,හරථ,

හගීරථ (හගීරස),රුචි,සුරුචි, ප්‍රතාප, මහා ප්‍රතාප,පනාද,මහා නාද,දෙනෙක්,

සුදර්ශන,මහා සුදර්ශන, නේරු, මහා නේරු, අර්චිෂ්මත්

(මේ රජහු අට විසි දෙන කුසාවතී රාජගෘහ මිථිලා යන නුවර තුනෙහි රජය ජයසේන කැරැවූහු).

අර්චිෂ්මත්

සාගර

ශුද්ධෝදන

මඛාදෙව (මිථිලායෙහි)

(මේ පරපුරෙහිම)

නිමි

ප්‍රේමකර

අශෝක

(මේ පරපුරෙහි රජුහු බොහෝ දෙනෙක් බරණැස රජය කැරවූහ.)

උපෝසථ

දිලීප

රඝු

අජ

දශරථ

රාම

(මේ පෙළපතෙහි මැ)

විජය

(පිළිවෙළින් දරු මුණුබුරු පසළොස් දෙනෙක්)

ඔක්කාක

කුස

සුජාත

——– ශාක්‍ය වංශය ආරම්භය මෙතැන් සිට

ඉක්ෂ්වාකු උල්කා මුඛ ආදි සතර

(කපිල වාස්තු පුරාරම්භය)

නිපුර

(දරු මුනුබුරු අට දෙනෙක්)

සීහසුර

(දරු මුනුබුරු පරපුරෙහි)

ජයසේන

සිංහහනු

ශුද්ධෝදන

සිද්‍ධාර්ථ

(භාග්‍යවතුන් වහන්සේ).

මේ මහා බෝධිවංශ ග්‍රන්ථි පද විවරණයේ ආ පරිදියි. දික්සඟි අටුවා ආදියේ රජ පෙළපත මෙයට මඳක් වෙනස් ලෙස පෙනේ.

2. මායා දේවී නකත් කෙළි උළෙලට සම්බන්ධ නොවී රජුගෙන් අවසර ගෙන පෙහෙවස් වුසුවා යි මහායාන පොත්හි දැක්විණ.

3. මායා බිසව දුටු ස්වප්නය ගැන ලලිත විස්තර සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ :- මායා දේවි සුඛශයනප්‍රසුප්තා ඉමං ස්වප්නමපශ්‍යත් :- හිමරජතනිහශ්ව ෂඩිවිෂාණඃ සුවරණවාරුභූජඃ සුරක්තශීර්ෂඃ

උදරමුපගතො ගජප්‍රධානො ලලිතගතිර් දෘඨවජ්‍රගාත්‍රසන්ධිඃ

4. බෝසතාණන් තුසීලොවින් ච්‍යුත වන්නට පෙර ස්වකීය ඔටුන්න මෛත්‍රෙය බෝසෙතාණන් හිසෙහි පළඳවා එ තුමනට දිව්‍ය රාජ්‍යය පවරා ඉන් චුත වූ බව ලලිත විස්තරයෙහි පෙනේ.

තව ද පසු දා උදය මායාදේවි පිරිවර ස්ත්‍රීන් කැටුව අශෝක වනයට ගොස් සුදොවුන් රජුට පණිවුඩයක් යැවූ බව ද, රජ එය අසා ගියහු අශෝක වන ද්වාරයේ දී සිය සිරුර උසුලා නො ගත හැකි සේ බරක් දැනී “මේ කිමෙක් දැ?” යි විස්මිත වූ බව ද, එ කෙණෙහි ශුද්ධාවාසකායික දෙව් පුතකු අර්ධ ශරීරයෙන් පෙනී සිට බෝසතාණන් උපන් බව කී වගත් ලලිතවිස්තර සූත්‍රයෙහි පෙනේ.

5. බෝධි සත්ත්ව මාතාව ගේ පහසුව සඳහා විශේෂ ප්‍රාසාදයක් සුදොවුන් රජු කැරැවූ බව ද ශක්‍ර සුයාමාදී දෙවියනුත් කපිල පුරයෙහි තන්හි තන්හි ප්‍රාසාද මැවූ බව ද බෝධිසත්ත්වයන් වහන්සේ මහාව්‍යුහ නම් සමාධියේ ආනුභාවයෙන් ඒ සියලු ප්‍රාසාදයෙක ම මෑණියන් සහිත ව පෙනෙමින් මවු කුස දකුණු පසෙහි බද්ධපර්‍යංකයෙන් හුන් බව ද ලලිත විස්තර සූත්‍රයෙහි දැක්වේ.

6. මේ ප්ලක්ෂ වෘක්ෂයෙකැ’ යි ලලිත විස්තරයෙහි දැක්වේ. අශෝක රුකෙකැ යි ය්වංජීශ්වාං ගේ හ්රමණ වාර්තායෙහි පෙනේ.

7. බෝසතාණන් බිසව ගේ දකුණැලයෙන් ඍද්‍ධියෙන් නික්මුණු බවත් ලලිතවිස්තරයෙහි දක්වන ලදී. යශෝධරා දේවී, ඡන්නාමාත්‍ය, කාළුදායි අමාත්‍ය, ආජානීය ඇත් රජ, කන්ථක අස්රජ, මහ බෝරුක, සතර මහා නිධාන යන මොවුන් ද මෙ දින ම උපන්හ යි ජාතකට්ඨ කථා ආදියෙහි දැක්වේ.

මායා දේවීන් ඇඳක සැතැපුණු පසු බෝසත් උපත වී යැ යි අශ්වඝෝෂයන් ගේ බුද්‍ධචරිත (සමහර) පිටපතෙක සඳහන් වේ.

8. කලියුග වර්ෂ 2478 හි වෙසක් මසැ පුණු පොහෝ ලත් ඉරිදා උදයාදි එකොළොස් පෑ විනාඩි හතරට විසානැකතින් කටක ලනයෙන් සිංහ නවාංශකයෙන් බෝසතාණන් උපන්හයි කෞමාර නාඩිවාක්‍යයේ සඳහන් වේ. උන්වහන්සේ ගේ ජීවිත කාලය අවුරුදු 80 මාස 10 දින 15 කැ යි ද එහි ම සඳහන් වේ. එහි දැක්වෙන බුද්‍ධ කේන්ද්‍රය මෙසේ ය.

හෙළදිව බැවහාර වන බුද්‍ධකේන්ද්‍රයේ දස වැන්නේ බුධ රවි එකට සිටුනා බව දැක්වෙතත් නාඩිපොත්හි එන කේන්ද්‍රයේ ඒ දෙදෙනා ගෙන් බුද දසයේත් රවි එකොළොසේත් ඇතැයි දැක්වේ. කාකයර්නාඩි බුද්‍ධචරිතයේ ද කේන්ද්‍ර මේ සැටිම ය. බාග විට භාව වශයෙන් වෙනස් ව ඇති සැටියක් මෙයින් දැක්වෙතැයි සිතිය හැක්ක. ජ්‍යොතිර් විද්‍යාඥයෝ විමසත්වා.

9. උපන් කෙණෙහි බෝසතුන් කීදෑ “අග්ගොහමස්මි ලෝකස්ස” යන ආදීන් අටුවාහි දැක්වේ. සකු බණ පොත්හිද මෙය දැක්වේ. බෝසතාණන් ගේ උත්පත්තිය ගැන අච්ඡරියබ්භූත සූත්‍රාදියෙහි තුසී ලොවින් චුත වූයේ සිහි ඇතිව මැ යි ද පිළිසිඳ ග ත් දැනුම ඇතිව යැ යි ද සඳහන් වේ. මෙසේ හෙයින් බෝසතාණෝ ජාතිස්මරණ (ගිය ජාතිය සිහිකරන) නුවණ ඇත්තෝ වූහ. මව කුසැ වුසුවේත් සිහිනුවණ ඇතිව ම ය. එ බැවින් උපන් කෙණෙහි කථා කිරීම අවිශ්වාසයට කරුණු නො වේ. උපන් කෙණෙහි සත් පියක් පියුම් පිටින් යෑම ද අවිශ්වාසයට කරුණක් නො වේ. ගව ආදි සමහර සතුන් ද උපන් හැටියේ ම දිව ඇවිදී. මව් කුස තුළ දී ම සිරුර එ පමණට වැඩුණ බැවිනි. කලාතුරෙකින් කිසි මනුෂ්‍යයකුටත් එබඳු ශක්තිය ඇති ව ඉපදීමට බැරිකමෙක් නැත.

උපන් හැටියේ කථා කළ තවත් අය ගැන ලෝක වාර්තා ඇත.

1875 දී එංගලන්ත යේ පළ වු Loydi’s Weekly නම් සතිපතා පත්‍රයේ උපන් කෙණෙහි කථාකළ දරුවකු ගැන සඳහන් වේ. ප්‍රංශයේ සා ලුයි (Zaar – Louis) නම් ගමේ ගෙයක දරුවෙක් උපන. මිතුරෝ රැස්ව දරුවාගේ පියාට ප්‍රීතිය පවසමින් හුන්හ. මේ අතර දරුවා උපන. එහි සිටියෙක් දැන් වේලාව කීය දැ? යි ඇසී ය. එ කෙණෙහි ම උපන් දරුවා පැහැදිලි වචනයෙන් දැන් දෙකයි’ කී ය. සියල්ලෝ විස්මිත ව නිහඩව බලා හුන්හ. එවිට දරුවා කථා කරමින් “මේ 1875 වන වර්ෂය ශුභ යි. 1876 දී මේ රටේ ලේ වැගිරීම් ඇති වෙයි. මෙය දන්වන්නට මෙ ලොවට ආමි” යි කී ය.

මේ ප්‍රවෘත්තිය ඒ පත්‍රයෙන් උපුටා ගෙන lsis Unveiled (https://en.wikipedia.org/wiki/Isis_Unveiled) නම් පොතෙහි 438 වැනි පිටේ දක්වා ඇත. තවද උපන් අළුත දරුවන් නෙළුම් මල් අතුරා පිට තබාගෙන යෑම ද ඉන්දියාවේ සමහර පළාත්වල අද ද දන්නට ලැබෙන සිරිතකි. මේ සිරිත පැරණි එකෙකි. එදා බෝසතාණන් උපන් බිමැ නෙළුම් මල් අතුරා තුබුණා නම් ඊ පිටින් සත් පියක් වැඩියා යන්න අවිශ්වාස කටයුතෙක් නො වේ.

සාරාසැකිකප් ලක්ෂයක් පෙරුම් පිරූ බෝසතාණන් සෙසු සාමාන්‍ය මිනිසුන් ගේ ගණයෙහි ලා සැලැකීම වැරැදි ය. ලොව පහළ වූ හැම දැයින් ම සෙස්සනට වැඩි දෙවියන්ටත් වඩා උසස් ආශ්චර්‍ය්‍ය පුද්ගලයෙකි මහා බෝසතාණෝ.

10. පුත්‍ර ප්‍රසුතිය අසා සුදොවුන් රජ ලුම්බිනියට ගියහ යි ද පෙරළා එන ගමනේ ශාක්‍යයන් ගේ දෙවි වූ ශාක්‍යවර්ධන දෙවියාගේ කෝවිලට ආ හයි ද ප්‍රජාවතී ගෞතමීන් බෝසතාණන් වඩාගෙන එහි ඇතුල් වූ හයි ද එ කෙණෙහි දේව රූපය නැගිට නමස්කාර කළ හයි ද ය්වංජීශ්වාං ගේ ගමන් වාර්තායෙහි පෙනේ. මේ දෙවොල අහයා නම් දෙවඟනක ගේ කෝවිලක් බව ද මේ සිද්‍ධියෙන් පසු බෝසත් දේවාධිදේව නම් වී යයි ද මහාවස්තුයෙහිත් ටිබැට් පොත්වලත් පෙනේ. ලුම්බිනියෙන් පෙරළා ඊම සතියකින් පසුවී යැ යි සමහර සංස්කෘත පොත්හි පෙනේ.

ශාක්‍යවර්ධන නම් දේවතාවා ගේ දේවාලයට ශාක්‍යයන් තම දරුවන් ගෙන ගොස් නමස්කාර කරවන බව ද, එ සිරිතට අනුව බෝසතාණන් ලවා ද වන්දවන්නට තැත් කළ බව ද එ කෙණෙහි දේව රූපය උන් වහන්සේ ගේ පා මුල වැටුණ බව ද අවදාන කල්පලතාපල්ලවයෙහි පෙනේ.

බෝසතුන් දකුණු පය දෙවොල ඇතුළෙහි තබනු සමග ම එහි තුබූ ශිව, ස්කන්ධ, නාරායණ, කුවේර, චන්ද්‍ර, සූර්‍ය්‍ය, වෛශ්‍රවණ, ශක්‍ර, බ්‍රහ්මාදි දේවරූප බෝසතුන් ගේ පා මුළ වැටී බෝසත්නට ගාථාවලින් ස්තුති කළ බව ලලිතවිස්තරයෙහි දැක්වේ.

Refer:-https://pitaka.lk/books/buddha-charithaya/27.html

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: