භික්ෂුවගේ අල්පේච්ච බව මනින අපි

බුදු දහමේ අවවාදය වන්නේ, තමා ගැන සෙවීම මිසෙක අනුන් ගැන සෙවීම නොවේ. කෙසේ වුවද දමා ඇති පින්තුරය ගැන බොහෝ දෙනා කතාකර තිබිණි. සමහරෙක් කියා සිටියේ මේ ආකාරයට හැසිරෙන විට සාමාන්‍ය ජනතාවගේ ශ්‍රද්ධාව ඒ නිසා වැඩිවන බවය. අනෙක් අතට ලාභාපේක්ශාවෙන් මෙසේ හැසිරෙන්නේ නැද්ද යයි කියාද කෙනෙක්ට සිතන්නට හැක. එසේ නම් දුස්සීල භික්ෂුවකට මෙසේ සිවුරක සැඟවී විනය විරෝධී දේ කල නොහැකිද ?

මේ සිවුර හෙවත් චීවරය “පාංශුකූල සිවුරක්” සේ හැඳින්වේ. මෙසේ චීවරයක් හැඳ ගත් භික්ෂුවක් තම ජීවිතයේ වෙනත් චීවරයක් පළඳින්නේ නැති බවට “වතක්” පුරයි. ඉන් පෙන්වන්නේ අල්පේච්ච බවමය. යම් හෙයකින් චීවරය ඉරී ගියහොත්, තවත් විසි කරන ලද රෙදි කැබැල්ලක් ඊට අලවා පඬු පොවා කහට පැහැය ලබා ගනී.

දුස්සීල භික්ෂුව අමතක කරමු. වඩාත් ඉක්මනින් නිර්වානාබෝධය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙසේ මහණ වන සිල්වත් භික්ෂුව බොහෝ විට අප්‍රසිද්ධියේ ජීවත් වේ. ඒ ආකාරයේ භික්ෂුවක් සිටින, මා දන්නා එක්තරා ආරාමයකට, සාමාන්‍ය ජනතාවට ගිය හැක්කේ මසකට දින දෙකක් පමණි.

පිඬු සිඟා යාමේදී දානය දෑතින් පාත්‍රය අල්ලා පිළිගත යුතුය. එනම් එවිට කුඩයක් රැගෙන යාම අපහසු නිසා වර්ෂාවේ තෙමෙමින්ම පිඬු සිඟා යා යුතු වේ. එසේම එසේ දානය සිඟා යන්නේද දිනකට එක වතාවක් පමණි. කුමන ආකාරයේ භික්ෂුවක් වුවද, ඒ භික්ෂුවගේ භවගාමී ජීවිතය අපට හඳුනා ගැනීමට නොහැක. ඒ නිසා භික්ෂුවක් කෙරේ අප සැළකිය යුතු එකම ආකාරය වන්නේ, භික්ෂුවගේ පෙනෙන පාර්ශවය නොව, එම භික්ෂුවත් “දස දෙසින් වඩින මහා සංඝරත්නයෙන්” එක භික්ෂු වහන්සේ කෙනෙක් සේය.

ඕනෑම භික්ෂුවකට එකම ආකාරයේ ගෞරවයක් සහ ශ්‍රද්ධාවක් ඇතිව දානය හෝ වෙනත් යමක් පිළිගැන්වීම බුදු දහමේ කියා පායි.

ඉන් ලැබෙන කුසලය සඳහා එම භික්ෂුව නිවැරදිවම හඳුනා ගැනීම අනිවාර්ය සහ ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නොවේ. සමහරවිට ඒ සාමාන්‍ය, දුස්සීල හෝ මහ රහත් තෙර නමක් විය හැක. එය අප හඳුනා ගත්තද නැතද, ඒ ඒ ආකාරයට කුසලයේ මහන්තත්වය තීරණය වේ. බුදුන් වහන්සේ කිසිම තැනක, … “භික්ෂුව පිඬු සිඟායාමෙන් පමණක් ජීවත් විය යුතුය”.. කියා අනුදැන වදාරා නැත. මෙය “දේවදත්ත භික්ෂුවගේ” ඉල්ලීම් වල සඳහන් කර ඇත. “කැමති කෙනෙක් එසේ කරත්වා” යන්න අවවාදය විය.

බුදුන් වහන්සේ ඉතා අලංකාර කුටි වල මෙන්ම ගරා වැටුණු අම්බලම් වලද රාත්‍රිය ගත කළහ. ගරා වැටුණු අම්බලමකට රජෙක්, කුමාරයෙක් හෝ අනේපිඬු සිටුතුමා වැන්නෙක් පැමිණෙන්නේ නැත. එහෙත් මහා කරුණා සමාපත්තිය තුලින් නිවන් මඟට සමීපතයන් හඳුනා ගන්නා බුදුන් වහන්සේ, ඒ සඳහා අවශ්‍ය ස්ථාන වලට වැඩම කිරීම කළහ. එහෙත් ඒ ඒ භික්‍ෂුව සසරේ පුරුදු පුහුණු වී ඇති ආකාරයෙන් නිවන් අවබෝධය සඳහා යන ගමනට බුදුන් වහන්සේ අවහිර කලේද නැත.

හොඳ උදාහරණයක් වන්නේ “අසිත” හෙවත් “කාලදේවල තාපස තුමා” ගේ නැගණියගේ පුත් “නාළක” තෙරුන්ය. ඒ තෙරුන් වහන්සේ ඉතා අපහසු වතක් වන “මොනෙයිය” වත පිරූහ. එය එක ගම්මානයක, එක පන්සලක, එක ගසක් යට නොසිට චාරිකා කරමින් ජීවත් වීමයි. එය කොතරම් අපහසුද යත්, එවන් භික්ෂුවක් වැඩි කලක් ජීවත් වන්නේද නැත.

එසේ හෙයින් බෞද්ධ භික්ෂුවක් අල්පේච්චද නැද්ද යන්න ගැන සාමාන්‍ය ජනතාව වන අපට තීරණය කල නොහැක. ඒ අනුව අපගේ ශ්‍රද්ධාවද වෙනස් වන්නේ නම්, බුදු සමය ඔස්සේ බලන විට නම් එයද ගැටලුවකි. නිවන් අවබෝධ කරගන්නට යන භික්ෂුව එය වට පිටාවට හඬ ගා කියන්නේ නැත. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී හෝ රහත් වැනි ඉහළ ඵලයක් ලබාගත් භික්ෂුවක් වුවද එය තව කෙනෙක්ට කියන්නේ නැත.

හේතුව වන්නේ, එය ඔප්පු කල නොහැකි නිසා ඉන් ඇති පලක් නැති හෙයිණි.    

“ශීල විශුද්ධියෙන්” පසුව “චිත්ත විශුද්ධිය” ලබා ගන්නා බෞද්ධ භික්ෂුව ඉන් පසු, “දෘෂ්ටි විශුද්ධිය” ලබා ගනී. ඉන් පසු ඔහු නාමරූප ධර්මයන් නාම-රූප ධර්මයන් අයුරෙන් සලකයි. තමා තමා හැටියට, සහෝදරයා සහෝදරයා හැටියට, මව මව ආකාරයෙන්, පියා පියා ආකාරයෙන් ගන්නා, “ආත්ම දෘෂ්ටිය” හෙවත් “සක්කායදෘෂ්ටිය” තව දුරටත් ඔහුට නැත. දැන් ඔහු “විදර්ශනා ඥාණය” ග්‍රහණය කර ගෙන ඇත. ආත්ම දෘෂ්ටියෙන් තොරවූ ඔහුට ඇත්තේ “දෘෂ්ටි විශුද්ධිය” හෙවත් “පිරිසිදු ඥාණය” යන්න ය.  

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: