මරණයට කෙසේ මුහුණ දිය යුතුද ?

                                                          මිනිසුන් මිය යාමේදී සංසුන්ව ඇඳ උඩට ගොස් කොට්ටයට හිස තබන විටම මිය ගිය අය කී දෙනෙක් ගැන අප දැක ඇත්ද? දැකීම කෙසේ වුනත් අඩු තරමේ එවැනි මරණ ගැන අප අසාවත් තිබේද ? සිදු නොවෙන තරමට එය විරළය. මියයාම අපට කැමති අයුරකින් කරගන්නට අවස්ථාව ලැබේ නම් ඔබ කුමක් තෝරා ගන්නේද? සාමාන්‍යයෙන් මැරෙන බොහෝ දෙනා එසේ මියයන ක්‍රම වන්නේ, වාහන අනතුරකින්, බෙහෙතක් විෂ වීමෙන්, එල්ලී මැරීමෙන්, උසකින් වැටීමකින්, වෙඩි තැබීමකින්, හෘදාබාධයකින්, පිහි ඇනුමකින් හෝ ජලයේ වැටීමෙන් වැනි දෙයකිනි.

ඒ අතරින් ඔබ කුමක් තෝරා ගන්නේද ?  තෝරා ගන්නට අවස්ථාවක් ලැබේ නම්, මා නම් තෝරාගන්නේ අහස් යානාවක ගමන් කරන විටදී, එය ක්‍ෂණයකින් විනාශ වීමය. එවිට මරණය ක්ෂණිකය, විඳවීමේ කාලය අවමයකි. තම ආදරණීයයන්ට සැළකිය යුතු වන්දියක් ලැබේ. මිණී පෙට්ටි, ශෝක ප්‍රකාශ, මල් වඩම්, මළ බත, දාම් ලෑලි, කැරම් බෝඩ්, සිගරැට් හෝ අරක්කු අනවශ්‍යය.

ජපානයේ සිටි තම දරුවන්ගේ නිවාස වල මාස තුනක් සිටි වසර 83ක් වූ ගුරුවරියක් නැවත ලංකාවට පැමිණියාය. ඇය පාලු දැනීම නිසා සිය දිවි හානි කරගත් බව පෝස්ට් එකක ලියා තිබිණ. සියදිවි නසා ගැනීම සාමාන්‍යයෙන් සිදු වන්නේ තරුණ අවදියේ වුවත් මෙය විශේෂ සිද්ධියක් වන්නේ ඒ නිසාම නොවේ. එය ජීවිත අවබෝධය වඩාත් වැඩියි සිතිය හැකි ගුරුවරියක් විසින් කරගැනීමත්, ඊට හේතුව පාලු බව වීමත් විශේෂ සිද්ධීන් වේ.

මා නම්, ඊටත් වඩා විශේෂ සිද්ධියක් ඒ පෝස්ට් එකේ දුටුවෙමි. එනම් ඒ පෝස්ට් එකේ වැඩි දෙනෙක් දුක්මුසු මුහුණු වලින් ප්‍රතිචාර දැක්වීමය. දුක් වෙනවා යනු අපද ඒ තනි වීමේ දුකට මුහුණ දීමට අකමැති බවය. ඒ ආකාරයේ ඉරණමකට අපද සමීප බවය. 

පහසු නොවුවද, මරණයට මුහුණ දිය යුත්තේ සතුටෙනි. මක්නිසාදයත්, එය කවදා හෝ අප සොයා එන හෙයිණි. කලකින් හමු නොවුණු මිතුරෙක් සේ අප විසින් එය පිළිගත යුතුය. හැරත් ඔබ එය කෙසේ පිළිගත්තත් නැතත් එය ඔබව වැළඳ ගනී.ඒ තීරණාත්මක මොහොතෙන් පසු අප කොහේ යනවාද යන්න නොදනිමු. වෙනත් ස්ථානයක උපදීද,… ස්වර්ගයට හෝ නිරයට යන්නේද…. එසේ නැත්නම් එතනින් එහාට වෙන කිසි දෙයක් සිදු නොවේද,… මේ කිසි දෙයක් අප නොදනිමු. හුදෙක් අප උපන් සමාජයෙන් අපට ලැබුණු, පිළිගන්නා හෝ පිළි නොගන්නා හේතු අනුව මෙහිදී කිසියම් විශ්වාසයන් ගොඩ නැගේ.  

ඒ එකක්වත් අදාළ නැත. ඒ විශ්වාසයේ වැරදි නිවැරදි බව අනාගතයේ දිනයක අප, අප විසින්ම දැන ගන්නෙමු.

පාලු බව ගැන අප නොහිතුවාට, එය මරණය වේගවත් කර ගැනීමේ තීරණාත්මක සාධකයකි. විශේෂයෙන් බටහිර සමාජයේ වයසක උදවිය මේ පාළුව නිසා වේදනාවට පත් වෙති. වයසට ගිය විට මහළු නිවාස වලට යන්නට සිදු වීම සංස්කෘතික වශයෙන් ඒ සමාජයන්ට ගැටලුවක් නොවේ. නමුත් ඒ මහලු නිවාසයට යන්නන්ට එය විශාල ගැටලුවකි. එහෙත් ඔවුන් වෙනුවෙන් හඬක් නොනගී. කල හැක්කේ එකම එක දෙයක් පමණි. ඒ තත්වය පැහැදිළිව අවබෝධ කර ගැනීමය. මරණය අපට එන බව අවධාරණය කිරීමය. 

සමූහ සේ සිටින සමහර කුරුල්ලන්, යම් අනතුරකදී එය රංචුවට කියා පායි. එහෙත් සමහර කුරුල්ලන් එසේ නැත. ඔවුන් බොහෝ විට අනතුරකදී මුනිවත රකිති. මිනිසාද සැමවිටම ඝෝෂා කරන කුරුල්ලෙක් මෙනි. ඔහු සමාජයීය සත්වයෙකි. ඔහු ලොව කොතන උපන්නද, මිනිසාගේ තත්වය වෙනස් නොවේ. මිනිසාට ආදරය කරන්නට හෝ රන්ඩු කරන්නට තවත් මිනිසුන් අවශ්‍යය. සමාජයෙන් බැහැරට අප ඇදෙන විට ඒ තනිකමේ වේදනාවට අපද මුහුණ දිය යුතුය. එය ස්වභාවිකය. 

කුඩා කල අපේ හොඳම යාලුවාව සිටියේ කව්ද ? එකළ අපට සිටි හිතවතුන් හිතවතියන් ගණන් නැත. අප පාසැල් ගියේ ඔවුන් දැකීමටය. ඔවුන්ගේ එක වචනයක් නිසා අප දින ගණනාවක් දුක් වන්නෙමු. අද දින ඔවුන් මේ ලොව සිටිනවාද යන්න වත් අප නොදනිමු. සිටියද අපට ඒ ගැන වද වීමට වෙලාවක් නැත. ඇති වැඩකුත් නැත. ජීවිතය වෙනස් වන ආකාරය අරුමයකි. පුදුමයකි. මිනිසුන් අපේ ජීවිත හැර දමා ගොසිණි. අප ඔවුන්ද හැර දමා ගොසිණි.

කුඩා දරුවෙකුට කොලයක් සහ විවිධ වර්ණ වලින් යුතු පැන්සල් කීපයක් දුන් විට, දරුවා ඔහේ අයාලේ අඳින රේඛා ගැන සිතමු. විවිධ වර්ණයැති ඒ රේඛා සමහරෙක් තව රේඛාවක් කපයි. එසේ කැපෙන ස්ථානයට එන්නට පෙර ඈතින් ඒවා මතු වේ. කැපෙන තැන සිට ඒවා නැවත එකිනෙක ඈත් වී යයි. සමහර රේඛා තවත් රේඛාවක් සමඟ සෑහෙන දුරක් එකටම යයි. අවසානයේ වෙන්වී යයි. ජීවිතයද, අපට එහිදී හමුවෙන නා නා ප්‍රකාර පුද්ගලයන්ද එසේමය. අපේ ජීවිතය එක රේඛාවකි. මුළු සමාජය රේඛා සමූහයකි.

රේඛා එකිනෙක කපමින් අවසානයේ ඈත්වී නැති වී යයි.  

අනෙක් රේඛාවන් අපගේ ජීවිත රේඛාව අත්හැර ගියද, එකම එක රේඛාවක් හෙවත් පුද්ගලයෙක් පමණක් අපව මෙතෙක් අතහැර ගියේ නැත. ඒ අපට අපමය. ඔබට ඔබ මය. මට මා මය.  එය එසේ නම් අපගේ හොඳම මිතුරා විය යුත්තේ අප මය. ඔබට ඔබ මය. මට මා මය. පාලු බව නැති කරගත හැකි හොඳම ක්‍රමය ඒ මිතුරා අප සමඟ සිටින්නේය යන්න අවබෝධ කර ගැනීමය.   

කුමන පරිමාණයක උපන්නද, ජීවත් වුනද, අප සංසාරයේ අසරණව තැනින් තැන යන අසරණ සත්වයෙක් බව අප විසින්ම අවබෝධ කරගත යුතුය. සංසාරය ගැන ඔබ විශ්වාස කලේ නැතද, අවම වශයෙන් ජීවිත කාලය තුල හෝ එසේ වන බව පිළි ගැනීමට අපට සිදු වනු ඇත. සත්‍ය වශයෙන්ම ජීවත් වීමේ ඇති තේරුමක් නැත. එකම තේරුම වන්නේ සත්‍යය, සත්‍යය සේ අවබෝධ කරගැනීම පමණි.  සත්‍යය අවබෝධ කරගත් කෙනෙක් එතැනින් එහාට ජීවත් වන්නේද නැත.

එතෙක් යතාර්ථයට අප මුහුණ දිය යුතුය.

https://www.facebook.com/photo?fbid=10161710859301729&set=a.140146881728&notif_id=1665973742972012&notif_t=feedback_reaction_generic&ref=notif

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑