බුදු දහම ලොව පැතිරී ගිය ආකාරයෙන් බිඳක්

                                                    බුදු දහමේ විස්තර කෙරෙන පන්සිල්, මූලික වශයෙන් බුදු දහම තුලින්ම පැමිණියාක් නොවීය. ඒවා බුදු දහම ඉන්දියාවේ පැතිර යාමට පෙර සිටම තිබී නීති සහ රීති විය. බුදුන් වහන්සේ එකල ඒවා එකවර වෙනස් කිරීමට උත්සාහ කලේ නැත්තේ, එවිට එවන් උත්සාහයක ප්‍රතිඵලය සමාජයේ ප්‍රගතියකට උර දෙනවාට වඩා, එය සමාජයේ රැල්ලක් ඇති වීමට හේතු වීම ගැන දත් හෙයිණි.

නමුත් අප දන්නා පන්සිල් සහ බුදුන් වහන්සේ විසින් ඒවා අනුදැන වදාළා , ඒවා රැකිය යුතුය යන්නේ කුඩා වෙනසක් තිබිණ. එය එකවර බැලූ විට කුඩා වෙනසක් යයි සිතුනද, සියුම්ව බලන කල දැවැන්ත වෙනසක් විය. උදාහරණයක් සේ …”මා ප්‍රාණඝාතය නොකරමි”… සහ …”මා ප්‍රාණඝාතයෙන් වැලකී සිටීමේ සිල්පදය සමාදන් වෙමි”… යන්න එකවර දුටු කල එහි එතරම් වෙනසක් ඇති බවක් නොපෙනේ.

නමුත් කෙනෙක්ට මුළුමනින්ම ප්‍රාණඝාතයෙන් වැලකී සිටීමට නොහැකි බව බුදු ඇසින් දුටුවා වෙන්නට ඇත. උදාහරණයක් සේ මේ සිල් පදය රජෙක් විසින් රකින්නට ගියහොත් කුමක් වේද ? රටක නීතිය පවත්වා ගැනීමට මරණ දඬුවම හෝ ඊට සමාන දඬුවම් අවශ්‍ය වන බවට විවාදයක් නැත. රටක පවතින නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒ ඒ අදාළ අපරාධ කරුවන්ට මරණ දඬුවම් දීම ඒ රටේ නීතියකි. එයට පිටුපා වැඩ කිරීමට රජුටවත් නොහැක.

අපට මෙය තවත් ආකාරයකින් ගත හැක. වාහන පදවන හොඳ රියදුරෙක් කිසි විටෙක රතු පැහැයෙන් පෙන්වන මාර්ග සඥාව නොකැඩීමට වග බලා ගනී. සමහරවිට ඔහු හෝ ඇය ජීවිතයේ කිසිම විටෙක ඒ රතු සඥාවට විරුද්ධව රිය පැදවූවේ නැති වන්නටත් ඇත. එහෙත් ඒ වාහනයේ, මිය යන්නට ඔන්න මෙන්න සිටින අසාද්‍ය රෝගියෙක් සිටින්නේ නම් සහ ඔහුව ආරෝග්‍ය ශාලාවකට ගෙන යන්නේ නම් කුමක් වේද? තව දුරටත් රතු එළිය ගැන රියදුරා සිතන්නේද ?

එවැනි අවස්ථාවක් ඉතා දුලභ වුවද, එය යතාර්ථයක් විය හැකිය. මෙන්න මේ යතාර්ථය දුටු බුදුන් වහන්සේ එම රීතිය වෙනස් කර වදාළ සේක. එවිට ඒ රීතිය හෝ නීතිය සිල් පදයක ආකාරයෙන් ඉදිරිපත් කිරීමට වග බලාගත් බවක් පෙනී යයි.  සම්පූර්ණයෙන්ම වුවද ප්‍රාණඝාතයක නොදී සිටීමට ඒ සිල් පදයෙන් අවහිරයක් නොමැත. එසේ හෙයින් ඒබ්‍රහමික ආගම් වලින් පැනවෙන නීතියක් වන, … Thou shall not kill”… යන්න සැමවිටම ප්‍රායෝගික නොවේ. 

සිද්ධාර්ථ කුමරුවා උපදින කාලයේ, ඉන්දීය සමාජය සත්‍යය සෙවීමේ රැල්ලකට අසුවී තිබුණි. බොහෝ ශ්‍රාස්තෘවරු විවිධ සංකල්ප ගෙන හැර පාමින්, ඒ ඒ ආගම් නිවැරදි බව කියුහ. විශේෂයෙන්ම ඉන්දීය සමාජයේ හින්දු ආගමේ සංකල්ප කොටස් මෙන්ම ඇදහීම් ප්‍රමාණයන් බොහෝ පුළුල් විය. මේ සියලු සංකල්ප වලට සරිලන ආකාරයේ දහමක් ප්‍රකාශ කිරීම අපහසු වුවද, බුදු සමය සෑහෙන ප්‍රමාණයකට එකල සමාජයේ විවිධ ස්ථර වලට විහිද යාමට හේතු තිබිණ.

ඒ ගැන කීම සඳහා, ඉන් පෙර යමක් කිව යුතුය. එනම් එකල ප්‍රචලිනතව තිබී හින්දු ආගමේ ස්වභාවයම වේ. අනෙක් සියලු ආගම් වලට වඩා හින්දු ආගමේ තිබුණු විශේෂත්වයක් වූයේ එය දාර්ශනිකයන් විසින් “නුග ගහකට” සමාන කිරීමය.

නුග ගහක මුල් අවදියේ, ඊට පැහැදිලි කඳක් සහ මුලක් ඇත. එහෙත් එය පැලවී අතු පතර දමා මහා වෘක්ෂයක් වන කල්හී මුල් කඳ දැකීමට නොහැකි තරම් වන සේ නුග ගැහෙ ඉහළින් වැටෙන වෙනත් මුල් හෙවත් “ආකාසජ මුල්” නිසා තව තව කඳන් ඇති වී තිබෙන බව දැකිය හැකිය. සමහරවිට ඒ කඳන් නිසා මුල් කඳ නොපෙනී යයි. හින්දු ආගමත් එසේමය. එනම් එය අනෙක් ආගම් හෝ සංකල්ප වලට විරුද්ධව යනවාට වඩා කලේ, ඒ ඒ ආගම් සහ සංකල්ප අවශෝෂණය කිරීමය.

එවිට වන්නේ ඒ ආගම් අදහන්නන්ද හින්දු ආගමට අවශෝෂණය වීමය.

මහා පෞරුෂත්වයක් සහ අසමසම තාර්කික ශක්තියක් තිබී තිබී බුදුන් වහන්සේ ජීවත් වූ කාලයේ, බුදු දහමට ද ඒ ක්‍රමය අනුගත කරන්නට ඒ කුලීන බමුණු සමාජයට නොහැකි වුවද, පසු කාලීන භාරත සමාජයේ බුදු දහමද හින්දු ආගමේ කොටසක් විය. නව අවතාර අතරේ “බුද්ධ අවතාරය” පැමිණෙන්නේ ඒ අයුරෙනි. ඇත්ත වශයෙන්ම බුද්ධ අවතාරය කියා දෙයක් නැත. ඇත්තේ “බුද්ධි අවතාරය” යන්නය. එනම් බුද්ධියට මුල් තැනක් දෙන නව යුගයයි. නව අවතාර වල මුල් අවතාර ඇති වූයේ ජලයෙන්ය යන්නෙන් ලෝක යේ මුල් අවදිය හැඳින්වේ.            

බොහෝ අය සාවද්‍ය සේ සිතන තවත් දෙයක් වන්නේ ජෛන ආගම සහ බුදු දහම අතර වෙනසක් නැත යන්නය. මේ තත්වයද සියුම් සේ විග්‍රහ නොකරන්නේ නම්, එය සත්‍යයක් සේ පෙනෙනු ඇත. අපි උදාහරණයක් ගනිමු.  ජෛන ආගමේ ඇති පහත සංකල්ප නිරීක්ෂණය කරමු.

ඥාථපුත්‍ර නිඝන්ටයා අදහන ජෛනයන්ගේ භාවනා ක්‍රම දොළසකි. අන්‍යානුප්‍රේක්ෂා [සියල්ල අනිත්‍ය යයි යළි යළිත් බැලීම], අසරනාණුප්‍රේක්ෂා [ආත්මය කර්ම විපාක නිසා අසරණ වන බව බැලීම] , සංසාරානුප්‍රේක්ෂා [සසර සරන තුරු ආත්මය විමුක්තිය ලද නොහැකි වන බව බැලීම], ඒකත්වානුප්‍රේක්ෂා [තමාම කර්ම කරන්නා බවත්, තමාම එහි ඵල විඳින්නා බවත් සැලකීම], අන්‍යත්වානුප්‍රේක්ෂා [නෑදෑ ආදීනුත් ලොව අන් සියලු දෙයත්, සිත කය දෙකත් අන්‍ය බව, ආත්ම නොවන බව නුවණින් බැලීම],

අශුව්‍යානුප්‍රේක්ෂා [සිරුරේ පිළිකුල මෙනෙහි කිරීම], ආසුවානුප්‍රේක්ෂා [කර්මයන් තම ආත්මයට පිටින් වෑස්සීම නිසා කෙලෙසුන් හැදෙන බව සහ එනිසා එය භවයේ හේතුව බව සැලකීම], සංවරානුප්‍රේක්ෂා [කර්මයන් තම ආත්මයට වෑස්සීම වැළැක්විය යුතු බව මෙනෙහි කිරීම], නිර්ජරානුප්‍රේක්ෂා [ආත්මය කෙරෙන් කර්ම රූප සොලවා ඉවත් කල යුතු බව සැලකීම],  ලෝකානුප්‍රේක්ෂා [ලොවත්, එය සෑදීමට කරුණු වූ තතු නුවණින් බැලීම], බෝධිදුර්ලභානුප්‍රේක්ෂා [සත්‍යාවබෝධයේ දුර්ලභ බව මෙනෙහි කිරීම] සහ ධර්මස්වාක්ඛ්‍යාතතානුප්‍රේක්ෂා [ධර්මයේ අගය මෙනෙහි කිරීම] යනු ඒ භාවනා දොලස වේ.

මේවා එකෙනෙහිම බුදු දහමට සමාන බව පෙනී ගියද, ඒවායේ විශාල සංකලපීය වෙනසක් ඇත්තේය. එනම් බුදු දහමේ ආත්මය පිළි නොගැනීමයි. ආත්මය වූ කලී කිසි විටෙක වෙනස් නොවන්නේ යයි සැලකෙන ධර්මතාවයකි. එය බුදු දහමෙන් පිළිකෙව් කෙරේ. එතනම ඉහත ජෛන භාවනා ක්‍රම සහ බුදු දහම අහසට පොළව මෙන් වෙනසක ඇති බව ඥාණවන්තයා අවබෝධ කරගනී.

එකවර දුටු විට එතරම් වෙනසක් නැත සේ පෙනෙන සංකල්ප නිසා බුදු සමය භාරතයට අවශෝෂණය වීමේ අපහසුවක් නොවිණි. මෙය පසු කාලීනව බුදු දහම අන් රටවල් වලට ප්‍රේෂණය වන විටද ඒ ඒ සංස්කෘතික හරයන් හරහා එය ගමන් කිරීමේදී ඇති වූ තත්වයන්ද විමර්ශනය කිරීම මැනවි. උදාහරණ වන්නේ ජපානය සහ චීනයයි. එනම් ඒ රටවල් වල එතෙක් පැවතී ආගම් සමඟ අන්‍යොන්‍ය සබඳතාවයක් ඇතිව බුදු දහම ඒ ඒ රටවල් වල ප්‍රචලිත වීම සිදු විය.

මෙහි අනෙක් පැත්ත වන්නේ, පසු කාලීනව ද්‍රවිඩ ආභාෂය ඇති වූ බෞද්ධ පන්සල් වලට ද්‍රවිඩ සහ හින්දු දෙවි වරුන්ගේ පිළිම ගෙන ඒමය.                     

සුභ වප් පුර පසළොස්වක පොහෝ දිනක් වේවා…. !!!

https://www.facebook.com/photo.php?fbid=10161689807696729&set=a.140146881728&type=3&notif_id=1665294913698708&notif_t=feedback_reaction_generic&ref=notif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: