අපැහැදිළි අනාගතය

                                                                         ඊයේ මිනිසෙක් අමුතු ආකාරයකට ඈත සිට ඇවිද එන බව දුටුවෙමි. උඩට ඇඳි වස්ත්‍රයක් නැත. සුදු සරම වලාපොට ගසාගෙන වැනි වැනී එන ගමනෙන් පෙනී ගියේ, ඔහු බීමතින් සිටින බවය. මේ පටු පාර යන්නේ තරමක් ඈත පාලු කඳුකරයට ඇදෙන, වැඩි ප්‍රමාණයක් වතු කම්කරුවන් සිටින පළාතකටය. මිනිසා මා දෙසට පැමිණෙත්ම , සමහරවිට ගෞරවය උදෙසා හෝ සරම පහත දමා මා සමඟ කතා කළේය.

ඔහුට මෙතැන් සිට කිලෝ මීටර් තුනක් පමණ ඈතට යන්නට සිදුව ඇත. තවත් ටිකකින් කෑලි කැපිය හැකි අඳුර පැමිණෙන අතර, තද බෑවුමක් ඇති පාරක කිලෝ මීටර් තුනක් කළුවර පාරක එසේ යනවා කියන්නේ, සමතලා පාරක ඒ දුර දෙගුණයක් මෙන් වන බවය. ළඟට පැමිණි විට හඳුනාගත් ඔහුගෙන් ආගිය තොරතුරු ඇසුවද, වැඩ හැරී ඔහු මේ ගෙදර යන ගමන ගැන එතරම්ම විස්තරයක් ඇසීමේ තේරුමක් නැත්තේ ඔහු බීමතින් සිටින හෙයිණි.

ඇසීමට අනවශ්‍ය එක කරුණක් වන්නේ කිසියම් කුලී වැඩක් කරන්නට යන ඔහු, නැවත කෙසේ නම් නිවස කරා යන්නේද යන්නය. මක්නිසාදයත්, ඒ සඳහා මට දිය හැකි පිළිතුරක්ද නැත. මේ කාලයේ වීල්ද නැත. තිබුනද පෙට්‍රල් මිළ වැඩිවීම නිසා වීල් රියදුරන්ට එදා ගිය මුදලෙන් මේ මිනිසුන්ට පිහිට වන්නටද නොහැක. එදා වීලයක් ආධාරයෙන් ගමට ගිය බොහෝ දෙනා යන්නේ අපහසුවෙන් ඇවිදිමිනි. එහිදී මහළු අය සහ කුඩා දරුවන් වඩාගෙන යන ගැහැණුන්, ඉණට අත තියා ගෙන අපහසුවෙන් කන්දේ ඉහළට ඇදෙමින් ගාට ගාටා මේ කැඩුණු බිඳුණු පටු පාරේ යෑම දැන් සුලභ දසුනකි.

ඉහත කී මිනිසා කුලී වැඩ කර අපහසුවෙන් සොයා ගත් මුදලේ වැඩි කොටසක් බීමට වියදම් කිරීම ගැන අසන එකේ තේරුමක් නැත. ඒ මිනිසා මට කීවේ සියළු ගැටළු අමතක වන්නට බොන බවය. එහෙත් ඔහුට තමාගෙන් යැපෙන අඹු දරුවන් කෙසේ ජීවත් වන්නේද යන්න ගැන අවබෝධයක් නැත. මේ සරළ අවබෝධය මේ ආකාරයේ මිනිසුන්ට ග්‍රහණය කර ගැනීමට අපහසුද , එසේ නැත්නම් හුදෙක් ආත්මාර්ථකාමී බව නිසා එසේ කරනවාද යන්න ගැන මට නම් නොතේරේ.

මිනිසා ස්වභාවයෙන්ම පරිකල්පනයේ දක්ෂය. එයම ගැටළු වලින් පළායෑමට හේතුවකි. මීට තවත් උදාහරණයක් නම්, මේ කාලයේ සිසු සිසුවියන්ගේ හැසිරීමය. ඔවුන්ට හෙටක් පෙනෙන්නේ නැති හෙයින් විනෝදයට බර වීම පුදුමයක් නොවේ. සමාජයේ දකින්නට ඇත්තේද විෂමාචාරයන්ය. එහෙයින් සිගරැට් බීම, හෝ පෙම්වතාට හෝ පෙම්වතියට පාටියක් දීම වැනි දේ ගැන අප පුදුමයට පත්විය යුතු නැත. එහෙත් ඊට හේතු වූයේ මොනවාදැයි බලා අන්න ඒවා පිටු දැකිය යුතුය. ජඩ මාධ්‍යයෙන් කරන්නේ කුණු ඇවිස්සීම පමණි.  

මේ මුළු කතාවෙන්ම මා කියන්න අදහස් කලේ, එක පරාමිතියක් නිසා ජන ජීවිතය යටි උඩුකුරු වී ඇති ආකාරයේ චිත්‍රයේ පැති කඩක් කියා පෑමයි. එම පරාමිතිය කුමක්වත් නොව ප්‍රවාහනය කඩා වැටීමයි. බස් රථද නැත. බොහෝ විට වී ඇත්තේ බස් රථ සහ ඒවාට ඉන්ධන තිබුනද ටයර් වැනි ඒවාට අවශ්‍ය උපාංග ගැනීමට ඩිපෝ වලට මුදල් නැති වීමය. “සයිකලයක් භාවිතය” කල හැකිය කියා කෙනෙක්ට කිව හැක. ඒ පිළිතුර ප්‍රායෝගික නැත්තේ මේ කඳු වල සයිකල් පැදීම කල නොහැකි හෙයිණි.

තවද එදා වේල සරි කරගන්නට නොහැකි මිනිසෙක්ට සයිකලයක් මිළට ගැනීම සිහිනයක් පමණි.   

දරිද්‍රතාවය ඉහළ යනවිට අනිවාර්යයෙන්ම සොරකම් වැනි අපරාධ වැඩිවීම යතාර්ථයකි. එවිට යමක් කමක් ඇති කෙනෙක්ට වුවද මේ ක්‍රමයෙන් ගැලවීමක් නම් නොවනු ඇත. අප අපගේ කුඩා ලෝකවල සමහරවිට සුරක්ෂිත යයි සිතමින් ජීවත් වන්නෙමු. එහෙත් එය මිරිඟුවකි. සත්‍යය ඊට වඩා හාත්පසින්ම වෙනස් වේ.    

ලංකාවේ මන්දපෝෂණය නැතැයි කියන්නෝ, ඔවුන්ගේ හිස් අල්ලා අං වැඩී තිබේදැයි බැලිය යුතුය. පොල් මද ඊට පිළියමකි කියන්නෝ පොල් ගෙඩියේ මිළ දනීද ? [පින්තුරය රෝහණ අගලකඩ මහතාගෙනි.] මන්දපෝෂණය දැකීමට ඒ ඒ සඳලු තලවලින් බැස සාමාන්‍ය මිනිසුන් අතරට පැමිණිය යුතුය. මිනිසුන්ගේ දරිද්‍රතාවය පිටු නොදක සදාචාරය ගැන කතා කරන්නේ, එක්කෝ පිස්සෙක් හෝ බල්ලෝ හෝ මරා සල්ලි හොයා ජීවත් වන්නෙක් හෝ, අදත් මිනිසුන්ගේ මුදල් ගසා කන බහිරවයෙක් පමණි.

ජන ජීවිතයේ කඩා වැටීම සහ කියන්නට නොහැකි ලියන්නට නොහැකි අනෙක විධ වර්තමාන දුක්ඛ දෝමනස්සයන් ගෙන් පෙළෙන මිනිසුනට දිය හැකි සහනදැයි පිළිතුරු ගැන ඔබ දන්නේද ?

දන්නේ නම් මටත් කියන්න.

https://www.facebook.com/photo.php?fbid=10161664973456729&set=a.140146881728&type=3&notif_id=1664372277822686&notif_t=feedback_reaction_generic&ref=notif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: