මුහුදේ පාවෙන හෝටලය – “Wonder of the Seas”

මේ දැවැන්තයා, “Oasis” සේ කියන ලද අධි සුඛෝපභෝගී කාණ්ඩයට අයත්, දිගෙන්, බරෙන් සහ වැඩිම සෙනඟකට ගමන් කල හැකි ලෝකයේ ඇති විශාලතම නැවක් සේ වාර්තාගත වේ. එය නිර්මාණය සඳහා වියදම් වූ මුදල ඩොලර් බිලියන 1.35 කි… !! 

“Wonder of the Seas” හි දිග මීටර් 362  ක් වන අතර එහි තට්ටු 18ක් ඇත. ටොන් 236,857ක් බර මෙම නෞකාව මගීන් 5,734 දෙනෙකුට “ද්විත්ව පදිංචියකදී” [double occupancy] උපරිම මගීන් 6,988ක් දක්වා මෙන්ම කාර්ය මණ්ඩලය 2,300කටද පහසුකම් සපයයි. අමුත්තන්ගේ භාවිතය සඳහා තට්ටු 16 ක්, අවන්හල් 20 ක්, නාන තටාක 4 ක් සහ කුටි 2,867 ක් ඇත.

මේ පහසුකම් අතර ළමා ජල උද්‍යානයක්, ළමා ක්‍රීඩා පිටියක්, සම්පූර්ණ ප්‍රමාණයේ පැසිපන්දු පිටියක්, අයිස් ලිස්සා යාමේ වළල්ලක්, “සර්ෆින් සිමියුලේටරයක්”, “තට්ටු 10 ක් උස සිප් ලයින් එකක්” [a zip line], අයිස් රින්ක් එකක්, ආසන 1400 ක රඟහලක්, එළිමහන් ජලජ රඟහලක් ඇතුළත් වේ. සියලුම Oasis පන්තියේ නැව් මෙන්ම, නැවේ ඇති විශේෂ අංගයක් වන්නේ මධ්‍යම උද්‍යානය වන අතර එය සැබෑ ශාක 12,000 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ.

මෙහි වෛද්‍ය විද්‍යාගාරයක් ඇති අතර, ඉහළ තත්වයේ වෛද්‍ය පහසුකම් වලින්ද යුක්තය.  


පහත දත්ත ඇත්තේ කාර්මික කරුණු වලට කැමති අයට පමණයි !!… ! …  [වැරදිලාවත් අනෙක් අය බලන්න එපා… ! 🙂 ]

කාර්මික දත්ත කීපයක්:-
නැව තුලදී සමුද්‍ර-ඩීසල් කට්ටල [marine-diesel sets,] හයකින් බලගන්වනු ලබන අතර, ඒ සෑම එකක්ම සිලින්ඩර 16 Wärtsilä වර්ගයේ [16V46D] එන්ජින් තුනකින් සහ සිලින්ඩර 12  [Wärtsilä 12V46D] යන ටර්බෝ ක්‍රමය ඇති, “Common rail “ වර්ගයේ, දෙපහර ඩීසල් වර්ගයේ එන්ජින් වේ. දෙපහර සහ V ඇටවුම් ආකාර [හෙවත් පිෂ්ටන් 12, පිෂ්ටන් දෙකක් V හැඩයෙන් එකිනෙක එක්ව සම්බන්ද වී ක්‍රියාකරන] එන්ජින් නිසා, එහි භාරය සහ විශාලත්වය අඩුය.

මේ එන්ජින් සියල්ලක් “කෑම් ශාෆ්ට් නොමැති” [camshaftless intelligent diesel main propulsion engine] වර්ගයේ වේ. මෙට්‍රික් ටොන් 82ක් බර මේ එන්ජිමේ, “කෑම් ශාෆ්ට්” එකද තිබ්බා නම් , එයද ටොන් ගණනාවක් බර විය යුතුය. එවැන්නක් මෙහි නැත.

කැම් රහිත [Camless] හෝ නිදහස් කපාට [Free valve] පිස්ටන් එන්ජිමක් යනු සම්ප්‍රදායික කෑම් ශාෆ්ට් එක වෙනුවට විද්‍යුත් චුම්භක, හයිඩ්‍රොලික් හෝ වායුමය ක්‍රියාකාරක මගින් ක්‍රියාත්මක වන කපාට ඇති එන්ජිමකි. න්‍යායාත්මකව, එය බලය, ව්‍යවර්ථය සහ ඉන්ධන ආර්ථිකය සැලකිය යුතු ලෙස වැඩි කරනු ඇත. මේවා විශාල එන්ජින් වලට පමණක් නොව දැන් Renault, BMW, Fiat, Valeo, General Motors, Ricardo, Lotus Engineering, Ford, Jiangsu Gongda වැනි මෝටර් රථ වලද භාවිතා වේ. 


කාර්යක්‍ෂමතාවය විශේෂයෙන් වැඩිවන හේතුවක් නම්, බරැති කෑම් ශාෆ්ට්ස් නොමැති වීම සහ ඒවා කරකැවීමට ශක්තියක් අනවශ්‍ය වීමය. එන්ජිමේ ඇත්තේ “වියළි සම්ප්” එකකි. එනිසා දැවැන්ත ලිහිස්සුම් ද්‍රව ප්‍රමාණයක් නඩත්තු කල යුතු නැත. ප්‍රචාලනය හෙවත් ජල තෙරපුම සඳහා, නැවේ, කිලෝවොට් 20,000 “ඇසිපොඩ්” වර්ගයේ ප්‍රධාන එන්ජින් තුනක් භාවිතා කරයි. ඇත්තෙන්ම ඒවා එන්ජින් කියා කියුවද, විදුළි තෙරපුම් හෙවත් මෝටර් වේ.

මෙය අද ඇති සාමාන්‍ය ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රියහී බල ප්‍රචාලන සිද්ධාන්තය මෙන්ම වේ. එන්ජිම කෙලින්ම ශාෆ්ට් එකක් හරහා පංකාවට සවි කරනවාට වඩා, එන්ජිමෙන් ජෙනරේටරයක් ක්‍රියා කර ඒ එන විදුළියෙන් මෝටර් ක්‍රියාත්මක කර, ඉන් ජල පංකා ක්‍රියාත්මක කිරීම වඩාත් ඵලදායි නිසා, ඒ ක්‍රමය භාවිතා වීම හතර ගුණයකින් වැඩි වී ඇත.

ඒ අනුව, බලය භාවිතා කරන ස්ථානයෙන් ස්වාධීනව යාත්‍රාවේ ඕනෑම කොටසක ජනක යන්ත්‍ර ස්ථානගත කිරීමේ හැකියාව, එනිසාම ගුරුත්ව කේන්ද්‍රය නැවේ අවශ්‍ය ස්ථානයට ගැනීමට හැකිවීම, කුඩා එන්ජින් කාමර සහ මන්දගාමී වේගයකින් එන්ජින් සහ කුඩා ජනක යන්ත්‍ර කිහිපයක් භාවිතා කිරීමේ හැකියාව, සුඛෝපභෝගී නෞකාවක් සඳහා විශේෂයෙන්ම අවශ්‍ය අඩු ශබ්දය සහ කම්පනය සහ දිගු ඩිෆරෙන්සල අවශ්‍ය නොවීම, නම්‍යශීලී බව හෙවත් එක් එන්ජිමක බලය බහු උපාංග සමඟ බෙදා ගැනීමේ හැකියාව, අතිරික්ත බලයක් අපතේ නොයෑම, කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට හැකිවීම වේ.

එනම් මේ ඉහත හේතු නිසා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සැපයිය හැකිය. මෙම මෝටර් මගින් නැවේ ඇති අඩි 20ක් විෂ්කම්භය ඇති පංකා ක්‍රියාත්මක වේ.

එම විද්‍යුත් තෙරපුම් තුනට අමතරව, “ඩොකින් කිරීම” හෙවත් නැව වරායකට ගාල් කිරීම සඳහා භාවිතා කරන යන්ත්‍ර හතරකි.
ඒ එකකට අශ්වබල 7,380 ක් ඇත. ඒවා නැවේ පත්ලේ සවි කර ඇත්තේ, හරියට සුළං මෝලක පංකාවක් මෙන් දිශාව වෙනස් කල හැකි අයුරෙනි. වෙනස ඇත්තේ ඒ ඇටවුම සුළං මෝලක මෙන් උඩට නොව යටි අතට තිබීමය. ඒ අනුව නැවට ඕනෑම අතකට චලනය විය හැක.  

කාර්මික දත්ත :- ඉවරයි

පංකා නිර්මාණය කර ඇත්තේ කොම්පියුටර තාක්‍ෂණයෙනි. අවම ආකූල ප්‍රවාහයක් [Turbulant flow] ඒවායින් ඇති වන සේ නිර්මාණය කර ඇත්තේ, නැවේ යන මගීන්ට ඉතා සුමට සහ සුඛෝපභෝගී ගමනක් ලැබීටය. මෙසේ නැවේ පංකාවේ හැඩය එකළ දෙවන මහා ලෝක සංග්‍රාමය කාලයේ සබ්මැරීන වලට ඉතාමත් තීරණාත්මක දෙයක් විය. මක්නිසාදයත්, සතුරාට මුහුදු ජළය හරහා ඇසිය හැකි ශබ්ද හරහා සබ්මැරීන aති ස්ථාන ගැන දැන ගැනීමට හැකි වීමය. එකළ ඒ පංකා නිර්මාණය කලේ පරිඝනක වලින් නොවේ.

බොහෝ ස්වල්ප නිෂ්පාදකයන් පිරිසක් පමණක් ජලය යට සුමට සේ කරකැවෙන ඒ පංකා නිර්මාණය කළහ. ඒ නිර්මාණ එකළ යුධ රහස් විය.     

මේ ආකාරයේ නැවක් තවත් ටයිටැනික් නෞකාවක් මෙන් ගිලී යන්නට ඇති ඉඩ කඩක් තිබේද ? ඕනෑම දෙයක්, ඕනෑම විටෙක විය හැකිය. එහෙත් මීට වසර සීයකටත් වඩා පැවති තාක්ෂණයට වඩා අද දින සංනිවේදන, ආරක්‍ෂිත, රේඩාර් වැනි තාක්‍ෂණ බොහෝ දියුණු වී පවතී. ඊටත් අමතරව “සැටලයිට් ට්‍රැකින්” වැනි නවතම තාක්‍ෂණ නිසා මේ ආකාරයේ නැවකට බොහෝ ආරක්ෂාව සැලසේ.

මෙහි වැඩි වශයෙන් ගමන් කරන්නේ ධනවතුන් හෙයින් මේ ආරක්ෂාව තවත් වැඩි කර ඇතැයි අනුමාන කල හැක.

තවද ටයිටැනික් නෞකාවේ තහඩු එකිනෙකට සම්බන්ද කර තිබුනේ “රිවට්” වලිනි. නමුත් නවීන යාත්‍රා වල තහඩු සම්බන්ද කරන්නේ වෙල්ඩින් තාක්‍ෂණය භාවිතයෙනි. එයද “ක්ෂුද්‍ර ශබ්ද තරංග” [Ultra zonic waves] මගින් නැවතත් පරීක්‍ෂාවට ලක් කෙරේ.  

එනිසා මෙවැනි නෞකාවක් මුහුදුබත් වීමේ සම්භාවිතාවයක් ඇත්තේම නැති තරම් යයි අපට අනුමාන කල හැක.  
මෙහි ඇති පහසුකම් ?

ඒවා බොහෝය. ඒවා ලියනවාට වඩා මේ පින්තුර වලින් ඒ ගැන යම් අදහසක් ගන්නට හැකි වනු ඇත. පාවෙන තරු පහේ හෝටලයක් මෙනි. නැවේ ඇති විස්මයජනක කරුණ නම්, සියළු තාක්ෂණික සහ සුඛෝපභෝගී කරුණු එකිනෙක මනාව ගලපා සකස් කර ඇති උසස් කළමනාකරණය වේ.

https://www.facebook.com/lalith.karunaratna/posts/pfbid0VUujomoHT1i5taUNwMX1aLB2ZguEMPWoBZi8y5MNcsYmLXuRSKaGxkirpGAABusyl?notif_id=1660527713327278&notif_t=feedback_reaction_generic&ref=notif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: