ටයිටැනික් වතගොත – සංගීත කණ්ඩායම

 
අදත් පිටිසර පලාත්වල, “නැව ගිලුනත් බෑන් චූන්” …යයි කතාවක් ගැමියෝ කියති. එසේ කියන්නේ, බොහෝ කරදර සිදු වී තිබුනද, ඒ සියල්ල සිනහමුසු මුහුණෙන් ඉවසා සතුටෙන් ජීවත් වන්නෙක්ටය. 

ටයිටැනික් සංගීත කණ්ඩායම ගැන බොහෝ අද්භූත කථා ලියැවිණි. “වොලස් හාර්ට්ලි”, ටයිටැනික් හි සාමාජිකයින් අට දෙනෙකුගෙන් යුත් සංගීත කණ්ඩායමට නායකත්වය දුන්නේය. නැව ගිලෙන අවස්ථාවේ මගීන්ගේ භීතිය සංසිඳවා ලීමට, සියලු දෙනා සන්සුන්ව තබා ගැනීමේ උත්සාහයක් ලෙස සංගීතයේ යෙදීමට ඔවුන් සියල්ලන් පළමු පන්තියේ විවේකාගාරයට රැස් විය.

සෙසු සංගීත කණ්ඩායමේ සාමාජිකයින් හත්දෙනා වූයේ, වයලීන වාදක, “ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ක්‍රින්ස්” සහ “ජෝන් ලෝ හියුම්”, වයලීන වාදක සහ බේස් වාදක, “ජෝන් ෆ්‍රෙඩ්රික්”, සෙලිස්ට් වාදක “ජෝන් වෙස්ලි වුඩ්වර්ඩ්” සහ “රොජර් මාරි බ්‍රිකෝක්ස්” සහ පියානෝ වාදකයින් වන “පර්සි කොර්නේලියස් ටේලර්” සහ “තියඩෝර් රොනල්ඩ් බ්‍රේලි” ය.

නැව දිගින් දිගටම ගිලී යන විට පවා ඔවුන් වාදනය කළහ. සංගීත කණ්ඩායම නැවේ තට්ටුවේ එසවෙන ඉදිරි භාගයට ගොස් ඔවුන්ගේ විනාශය පැහැදිළිව පෙනෙන විට පවා දිගටම වාදනයේ යෙදුනහ. ටයිටැනික් සංගීත කණ්ඩායමේ සියලුම සාමාජිකයින් එදින රාත්‍රියේ වාදනය කරමින්ම මිය ගියහ. කෙසේ වෙතත්, ඔවුන් ගායනා කළ අවසන් ගීතය තවමත් බොහෝ විවාදයට ලක්ව ඇත.

පළමු පන්තියේ කැනේඩියානු මගියෙකු වන “වේරා ඩික් මහත්මිය” වාර්තා කළේ, සංගීත කණ්ඩායමේ අවසාන ගීතය “මගේ දෙවියන්, ලඟට ” [“Nearer, My God, to Thee”] යන ගීතය බවයි. කෙසේ වෙතත්, වාර්තා පෙන්වා දෙන්නේ “වේරා ඩික් මහත්මිය” ජීවිතාරක්ෂක බෝට්ටුවට නැග, පැය එකයි මිනිත්තු විස්සකට පසු නැව ගිලී ගිය බවය. එනම් ඇයට සංගීත කණ්ඩායමේ අවසන් ගීතය දැකීමට නොහැකි වූ බවයි.

තවද ඔවුන් සමඟ ලෝකයේ වටිනාම, “ස්ටඩිවේරීස්” වර්ගයේ වයලීනයක්ද මුහුදුබත් විය. එය සංගීත කණ්ඩායමේ නායක “හාට්ලි”ට අයත් විය. අද දින එවැනි වටිනා වයලීනයක මිල ඩොලර් මිලියන දහය ඉක්මවයි. නමුත් තවත් කතාවක් අපට වෙනස් දෙයක් කියයි.

“CS Mackay-Bennett” නම් කේබල් අලුත්වැඩියා කරණ නෞකාවේ සෝදිසි කණ්ඩායමක්, අත්ලාන්තික් සාගරයෙන් ටයිටැනික් සංගීත කණ්ඩායමේ නායක “වොලස් හාට්ලි”ගේ අප්‍රාණික දේහය ජලයෙන් ඇදගත් විට, ඔහුගේ පපුවේ වයලීන පෙට්ටියක් බැඳ ඇති බැව් දකිනු ලැබිණි. වාර්තා වන පරිදි, වටිනා වයලීනය එංගලන්තයට පැමිණීමට පෙර අතුරුදහන් විය.

එහෙත්, ඒ වයලීනය හාර්ට්ලිගේ පෙම්වතිය වන “මාරියා රොබින්සන්” වෙත නැවත ආපසු ලබා දී ඇති බවට වාර්ථාද  “මාරියා රොබින්සන්”ගේ දිනපොතේ ලියා ඇත: …“නැවත පැමිණීමට හැකි වූ සියල්ලන්ටම මගේ හෘදයාංගම ස්තූතිය ඔබට ප්‍රකාශ කළ හැකි නම් මම වඩාත් කෘතඥ වෙමි”….”මගේ නැසීගිය පෙම්වතාගේ වයලීනය ලබා දීමට ඔබ මා වෙනුවෙන් කරන ලද කාරුණික මැදිහත්වීම පිළිබඳව, පුද්ගළිකව ඔබට මගේ කෘතඥතාව ප්‍රකාශ කරමි”… ඇය ලීවාය.

ඇය නැවත විවාහ වූයේ නැත. ඒ වයලීනය ඔවුන්ගේ විවාහයේ මුදු මාරු කිරීම හෙවත් ලියා පදිංචියේදී, ඇය විසින් ඔහුට දුන් ත්‍යාගයක් විය.

කිසිදු කැළඹීමක්, කෝලාහලයක් නැවේ එදින නොතිබුණි බව කියති.  ස්වභාවධර්මයේ පළමු නියමය හෙවත් “ශක්තිවන්තයා ජයගනී” [Survival of the fittest] යන්න අභිබවා මුහුදේ පාලනය පැවතුනි. සංගීත කණ්ඩායම වාදනය කරමින් සිටින විට,…  සහ ගිලෙන නැවේ විදුලි පහන් තවමත් දැල්වෙමින් තිබියදී,… ඒවා එකින් එක නිවී යනවිට,….  විනාශයට පත් වන සංගීත කණ්ඩායම ඒ අවසානය එනතුරු බලා සිටියහ.
ඔවුන් වීරයන් මෙන් මිය ගියහ, … ඔවුන් මිනිසුන් මෙන් මිය ගියහ. … එය ඛේදජනක වුවද එය වීරයන්ගේ මරණයක් විය.

“ශිෂ්ට සම්පන්න” බව යන උදාර ගුණාංගය විසින් ප්‍රාථමික, ම්ලේච්ඡ සහජ බුද්ධිය, සහ ආත්මාර්ථය ජයගෙන මිනිසාගේ ස්වභාවයේ උසස් හා උතුම් ගුණාංග වල ආධිපත්‍යය ඇති කල ආකාරය, ඒ සිදුවීම හරහා අපට කියා දෙන්නේය.  ආත්ම දමනය, පරිත්‍යාගය, ධෛර්යය සහ නිර්භීත පුරුෂභාවය පිළිබඳ මීට වඩා විශිෂ්ට හා ආශ්වාදජනක උදාහරණයක් ඉතිහාසයේ තවත් නැති බවය.

ඔබට එහි ප්‍රතිවිරුද්ධ බවක් දැකීමට අවශ්‍ය නම්, අද දින ලංකාවේ සමහර ඉන්ධන පෝලිම් අතර ඇති කලබලය ගැන සිත් යොමු කල හැක. මෙය ශිෂ්ටාචාරයේ වෙනසයි. වීරත්වයට ප්‍රතිවිරුද්ධ මුග්ධ බවේ සහ අශීලාචාර බවේ ලකුණයි. එදා ටයිටැනික් නැවේ, අප ඉන්ධන පෝලිම් වල සිටින්නවුන් සිටියා නම් කුමකින් කුමක් වෙන්නට තිබුණේද ?

සංගීත කණ්ඩායම වීරයන් වූයේ එලෙසිණි. එහි සිටි වැඩිමහලුම සංගීත වේදියාගේ වයස වසර 32 ක් පමණි.

ඔවුන් තම ආරක්‍ෂාව ගැන, ස්වතාර්ථය ගැන සැලකිල්ලක් නොදක්වා විධිමත් ලෙස හැසිරුණා පමණක් නොව, ඔවුන් එකළ අයත් වූ තරුණ පිරිමි පරම්පරාව නීච,.. කම්මැලි,.. උඩඟු,.. ආගම් විරෝධි,.. නොසැලකිලිමත්,.. ආත්මාර්ථකාමී,…  ස්වයං තෘප්තිමත්,.. දුර්වල සහ කලහකාරී නොවන බවට,.. අඳුරේ මඟ පෙන්වන දීප්තිමත් ආලෝකයක් මෙන් පණිවිඩයක් ලොවට ඉදිරිපත් කළහ.

තූර්ය වාදක කණ්ඩායමේ සහ සාමාන්‍ය සොල්දාදුවන් අතර වෙනසක් විය. එනම් ඔවුන්ව අනතුරට මුහුණ දීමට පුහුණු කර නොතිබීමය. එහෙත් අනතුරේදී ඔවුන් නිර්භීත සොල්දාදුවන් සේ වීරයන් මෙන් ක්‍රියා කළහ. අහඹු මිනිසුන් අට දෙනෙකුට ක්ෂණිකව එකමුතුව එවැනි චරිත ශක්තියක් ප්‍රදර්ශනය කළ හැකි නම්, අහඹු ලෙස තෝරාගත් තවත් මිනිසුන් අට දෙනෙකු, අද වුවද ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දැක්වීමට හැකිය.  

සංගීත කණ්ඩායම ස්වේච්ඡාවෙන් හෝ නියෝග යටතේ වාදනය කළේ දැයි අද නොදනිමු. කෙසේ වුවද ඔවුන් එකාවන්ව ක්‍රියා කර ඇති බව පැහැදිළි වන්නේ ඔවුන් සංගීතයක් ඉදිරිපත් කල බැවිනි. වෙනත් කාර්යයක් මෙන් නොව, එය ඉහළ මනෝභාවයකින් යුතුව සංවරයෙන් කල යුතු දෙයකි.  මිනිසුන් “හාට්ලිගේ” අණ යටතේ සිටි අතර ඔහුගේ බලපෑම ඔවුන්ගේ හැසිරීම සකස් කරන්නට ඇත. ඔහු ආගමික බවක් පිළිබඳ ලිඛිත පාපොච්චාරණයක් ඉතිරි කර නැත.

1912 මැයි 18 වන දින, හාට්ලිගේ දේහය ඔහුගේ පවුලේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කිරීම සඳහා එංගලන්තයේ ලැන්කෂයර් වෙත ආපසු ගෙන එන ලදී. සෙවුම් පාර්ශවයන් විසින් සොයා ගන්නා ලද සංගීත කණ්ඩායමේ සිටි එකම දේහය ඔහුගේ විය. අධික වර්ෂාව නොතකා ඔහුගේ අවමංගල්‍යයට 30,000 ත් 40,000 ත් අතර පිරිසක් සුසාන භූමියට පැමිණ සිටි බව ගණන් බලා ඇත. ඔවුන් බොහෝ දෙනෙක් ඒ අවමංගල උත්සවයේදී, “වොලස් හාට්ලි” සිහි කරමින් හැඬු කඳුලින් යුතුව ඔවුන්ගේ අත්‍යන්ත ගෞරවය පුද කළහ.  

එක් එක් තූර්ය වාදකයාගේ ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු නොමැති විට, ඔවුන්ගේ සදාචාරාත්මක ස්වභාවය වර්ධනය විනිශ්චය කිරීම දුෂ්කර ය. ඔවුන් වීරයන් ලෙස කතා කරන විට, ළමා වියේදී ඔවුන් සෑම කෙනෙකුම වේදනාවට බිය නොවූ බවත්, ස්වයං පාලනයේ සහ කැපකිරීමට ඇති කැමැත්තේ අද්විතීය සලකුණු විදහා දැක්වූ බවත් සිතීමට අප පෙළඹේ, නමුත් සමහර අය ස්වභාවයෙන්ම නිර්භීත වන්නට ඇති අතර අනෙක් අය ස්වභාවිකවම බියෙන් සිටි අය වෙන්නට හැකිය.

සංගීතයට මනෝභාවයන් වෙනස් කළ හැකි බව බොහෝ කලක සිට දන්නා කරුණකි. සමහරවිට ඔවුන් එමගින් ඒ මරණ බිය නැති කරගන්නට ඇත.

ඇත්ත වශයෙන්ම, සංගීත කණ්ඩායමේ පුරාවෘත්තයට විශේෂ අන්දරයක් ලබා දුන්නේ හාර්ට්ලිගේ කතාවයි. දිවි ගලවා ගත් එක් අයෙක් වාර්තා කර ඇත්තේ, ඔහු තම සෙසු සංගීතඥයන් සමඟ, ගිලෙන තට්ටුවේ වීරෝදාර ලෙස සිටගෙන, මහ පඩිපෙළේ රේල් පීලිවල එල්ලී, …“මහත්වරුනි, මම ඔබෙන් සමුගනිමි”.. යනුවෙන් නැවේ එම කොටස සමඟ ජලයේ පහළට ඇදගෙන යාමට මොහොතකට පෙර කෑගසනු දැක ඇති බවයි.


යුද්ධයේ උණුසුම තුළ කිසිවිටෙකත් තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සිදු නොවූ ඔවුන්, අහඹු ලෙස තෝරාගත් ඔවුන්ගේ ජීවිතයේ හරස්කඩක් හරහා තීව්‍ර අවස්ථාවකට මුහුණ දී සදාකාලික වීරයන් වූහ. මේ ගැන ලියු බ්‍රිතාන්‍යයේ “සන්ඩේ ඔබ්සර්වර් පුවත් පත”, …. “අපි හදාවඩා ගන්නේ ස්වයංපෝෂිත ජාතියකි”… “ජීවන සටන සඳහා හොඳින් සන්නද්ධ වූ පිරිමින් සහ ගැහැණුන්ගේ ජාතියක් අපට ඇත,”… “එය බ්‍රිතාන්‍යයේ ආඩම්බරයයි”… 

සත්‍ය වශයෙන්ම මෙවැනි අපූරු පුද්ගලයන් නොසිටින්නට එදා බ්‍රිතාන්‍යය “ලෝකයේ හිරු නොබසින රාජධානිය” නොවන්නට ඉඩ තිබිණ.

… “අවාසනාවන්ත ටයිටැනික් නෞකාවේ සිටි බ්‍රිතාන්‍යයන්ගේ වීරත්වය නිසැකව ම පෙන්නුම් කරන්නේ, නෙල්සන් සෙනෙවියාගේ කාලයේ සිට අප පරිහානියට පත් වී නැති බවයි”.. යයි පුවත් පත වැඩිදුරටත් 1912 අප්‍රේල් 24 දා පවසා සිටියේය. 

https://www.facebook.com/lalith.karunaratna/posts/pfbid02weVPBQrjbxLPVKefJL5dDeoSfPDo9wbtmjLXQdpSM3KgLEDrKsmYBegXTgA9dFkel?notif_id=1660183414787550&notif_t=feedback_reaction_generic&ref=notif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: