බෞද්ධ භික්ෂුන්ගේ කාර්ය භාරය සහ ගිහි අපට ඉන් ඇති ඵලය

රූපවාහිනියේ නම් පෙන්වන්න, දේශපාලනයේ ක්‍රියාකාරී වීම, හොඳ මස් හොද්දක් හැදීම, එළවළු වැවීම, ආදිය භික්ෂුන් වහන්සේලාගේ කාර්ය භාරය යයි කෙනෙක් සිතන්නේ නම්, මෙතනින් එහාට මේ ලිපිය කියවීමේ පලක් නැත. 

මුල් බුදු සමයේදී භික්ෂුවක් විසින් කරන්නට හැකි වැරදි පාරාජිකා, සංඝාධිශේෂ, සහ ඇවත් සේ සිල් පද දැකිය හැක. මේ සියල්ල ගැන ලියන්නට ගියොත් ලිපිය දිග වැඩි වනු ඇත. ඔබට අවශ්‍ය නම් “පාරාජිකා පාලි” සිංහල පිටපත සහ රේරුකානේ චන්දවිමල තෙරුන් වහන්සේගේ පොත් කියවා බලන්න. මුහුණු පොතේ ඉහළ පහළ යනවාට වඩා, ගමේ පන්සලේ පුස්තකාලයෙන් එවිට යමක් ඉගෙන ගත හැකි යයි සිතමි. පාරාජිකා ආකාරයේ ගණයට වැටෙන වැරදි වලින් එකක් ගැන පමණක් මෙහි සලකා බලමු.

ආපත්ති සිදුවන විශාල වරදක් වන්නේ පාරාජිකා කාණ්ඩයේ වැරදි වේ. ඇවැත් ගණයට වැටෙන වැරදි, අනෙක් සංඝයා ඉදිරියේ කියා ඒ වැරදි වලින් මිදීමට හැකි වුවද, පාරාජිකා ගණයට අයත් ආපත්තීන්ගෙන් ඉවත් විය නොහැක. එකෙනෙහිම ඒ භික්ෂුව භික්ෂුත්වයෙන් මිදේ. තව දුරටත් සිවුර දාගෙන ඔහුට සිටිය හැකි වුවද, ඒ සිවුර දාගෙන සිටිනා මිනිසෙක් මිසෙක බෞද්ධ භික්ෂුවක් නම් නොවේ. බෞද්ධ භික්ෂුවක් මත්පැන් පානය කළහොත් කුමක් වේද ?

ඔහු තවත් ස්වාමින් වහන්සේ කෙනෙක් ඉදිරියට පැමිණ, …”ස්වාමිනි මා ඊයේ දිනයේ මත්පැන් පානය කලෙමි”… කියූ පමණින්, උන් වහන්සේ සියේට සීයක් සිල්වත් පිරිසිදු භික්ෂුවක් වේ. එහෙත් “සංඝාධිශේෂ සිල් පද” කඩා ඇත්නම් ඒවායින් එසේ ලෙහෙසියෙන් ඉවත් විය හැක. සන්ඝාධිශේෂ ආපත්ත්ති 13 ක් ඇත. ඉන් එකක් වන “කුල දූෂක” සන්ඝාධිශේෂ ආපත්තිය සලකා බලමු. පැවිද්දෙක් අදාළ නැති කරුණු වලින්, විසින් ගිහි සමාජය දූෂණය කිරීම එහි කෙටි අදහස වේ. එය අද සමාජයට වඩාත් ගැලපී යයි.

එකල, “අස්සජි”, “පුනබ්බුසුඛ” සේ නම් කල භික්ෂුන් වහන්සේලා දෙදෙනෙක් පන්සලේ මල් සිටවූහ, ඒවාට වතුර දමති, පෝර දමති, මල් මාලා ගොතති, එපමණක් නොව සාමාන්‍යයෙන් මල් වලට කැමති ස්ත්‍රීන්ට මල් දීම කෙරෙති. මල් ගහක් සිටවීම කුල දූෂක ආපත්තියක් නම්, එළවලු සිටවීම හෝ හොද්දකට ආශිර්වාද කිරීම ගැන තවත් කියන එකේ තේරුමක් නැත. සම ආසනයේ ගිහියන් හා හිඳ ගනිති. සෙල්ලම් කරති. මේවා “කුල දූෂණ ආපත්ති” වේ. මේ ආකාරයේ අයට “පබ්බාජනීය කර්මය” කරන්න යයි බුදුන් වහන්සේ අනුදැන වදාරා සේක. එහි තේරුම වන්නේ හිඳින පන්සලෙන් නෙරපීමය.

මේ ආපත්තියෙන් මිදීම පහසු නැත. විනය කර්මයකින් පමණක් ඉන් මිදිය හැක. විනය කර්මයකින් එසේ ඉවත් වුවද, භික්ෂුව ඒ මුලින් වැරදියට ඇසුරු කල ගිහියන් හා ඇසුරක් කල යුතු නැත. කිසියම් එවන් ගිහියෙක් භික්ෂුව ගෙන් එසේ සම්බන්දයක් නැත්තේ කුමක්ද කියා ඇසුවහොත්, “කුල දූෂණ ආපත්තියක්” කල හෙයින්, එය විනයට අකැප යයි භික්ෂුව කිව යුතුය. නමුත් ගිහියා එවිට භික්ෂුවට මෙසේ කියන්නේ නම් ,…”දැන් ඔබ වහන්සේ එසේ නොකරන හෙයින්, මේ දානය පිළිගත මැනවි”…කිවහොත් පමණක් භික්ෂුවට ඒ ගිහියාගේ දානය කැප වේ.

මේ තරම් නීති රීති වලට භික්ෂුව යටත් වන්නේ ඇයිද යයි කෙනෙක්ට සිතෙන්නට පුළුවන. හේතුව සරළය. භික්ෂුවගේ කාර්ය භාරය තමාගේ විමුක්තිය ලබාගැනීම සහ ගිහියා ඒ මඟට යොමු කිරීමය. ඒ සඳහා මුලින්ම ස්වයං විනයක් අවශ්‍ය වේ. කෙනෙක් තම පූර්ණ විමුක්තිය ලබනතාක් කල් දීර්ඝ කාලීන සේ තම ස්වයං විනය සකස් කරගත යුතුය. එය එසේ නොවේ නම් උපැවිදි වීම කර සසුනේ ඉවත් විය හැක. සිවුරක් දරාගෙන සසුනේ තව දුරටත් ඉන්නේ ඇයිද යන්න අවබෝධ කර ගැනීමට රොකට් සයන්ස් අවබෝධය අනවශ්‍යය.    

අද සමාජයේ භික්ෂුව ජනප්‍රිය වන්නේ, මයික් එකක් ඉදිරියේ කෑ ගසමින් ස්පීකරයක හඬ ගම පුරා විහිදවන, දේශපාලනයේ යෙදෙන, ගිහියන් සමඟ එක් තලයේ සිට සුහදව බුදු දහමට අනුකූල නොවන දේ කතා කරන,  ගිහි සමාජයේ දරුවන් සුරතල් කරන බෙහෙත් කරන, යන්ත්‍ර මන්ත්‍ර කරන, වගා කරන භික්ෂුන් ආකාරයේ අය වේ. මේ අය වැටෙන්නේ මේ කියන ලද කුල දූෂක ආපත්ති කරන්නා වූ භික්ෂුන් ලෙසය. එහෙත් අද සමාජයේ මාර්කට් කරන්නේ සහ ජනයා ප්‍රිය කරන්නේ මෙන්න මේ ආකාරයේ භික්ෂුන් ය. වීරයන් වන්නේ ඔවුන්ය.

එහෙත් භික්ෂුව යනු වගා කරන්නෙක් නොවේ. ඔහු මස් හොද්දක් දෙස බලා එය හදන ආකාරය විස්තර කර ඊට හේතු භූත වූ අහිංසක සතාගේ ආත්මයට ආශිර්වාද කර, හොද්දට ආශිංශනය කරන්නෙක් නොවේ. …”සමන්තා චක්කවාලේසු” ,…යයි දෙවියන්ට බණට ආරාධනය කර මස් හොදි හදන හැටි, පෝර දාන හැටි, එළවළුවලට ගොම දාන හැටි, නිල් පැහැයෙන් කටරොලු බත් හදන හැටි කීම, බණ නොවේ.      

ඉහත ආකාරයේ භික්ෂුන් මෙසේ කියයි… “රහතන් වහන්සේලාට සිල් පද පනවා නැත”… සේය. එහෙත් මූලාශ්‍රය සේ “මහාවග්ග පාලියේ උපෝසථ කාණ්ඩය” අනුව , … “මහා කප්පින රහත් තෙරුන් සිතු දේ මෙසේ විය. …” රහතන් වහන්සේ කෙනෙක් වූ එම තෙරුන්ට, පැවිද්දේ අරමුණ ලබා ගත් නිසා, අනෙක් මහනුන් සමඟ පැවිදි අරමුණු වැඩිය යුතු නැත නේද යන්න තෙරුන් වහන්සේට සිතින. මෙය දැන ගත් බුදුන් වහන්සේ වදාළේ, …”ඔබ පොහොය කල යුතුය, පූජා කල යුතුය, ධර්මයට විනයට ගෞරව කල යුතුය”…යයි දේශනා කිරීමය.

බෞද්ධ භික්ෂුවගේ කාර්ය භාරය විනයානුකූල විය යුතුය. වර්තමාන සමාජය බෞද්ධ භික්ෂුව දෙස බලන කෝණය ඉඳුරා වැරදිය. බෞද්ධ භික්ෂුවක් හරියට වෛද්‍යවරයෙක් මෙනි. කුල දූෂණයේ යෙදුනු භික්ෂුව සමාන වන්නේ, “උන්මන්තක භික්ෂුවක්” මෙනි. එවන් උන්මන්තක වෛද්‍යවරයෙක්ගෙන් ලැබෙන ඖශධවල වටිනාකමක් තිබේද ?

අද සමාජයේ විශ්ව විද්‍යාල වලින් බිහිවෙන්නේ භික්ෂුන් නොවේ. ආචාර්ය මහාචාර්ය වරු පමණකි. භික්ෂුව, නාම රූප අනිත්‍ය භාවය වඩා නොමැති නම්, අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය දැක නැත්නම්, නාමයන්ගේ ඇති අනාත්ම ස්වභාවය දැක නැත්නම්, පටිච්ච සමුප්පාදය නොහඳුනයි නම්, ආචාර්ය මහාචාර්ය පදවීන් කුමටද ? මහ නායක තනතුරු කුමටද?

සසුනේ නිවැරදි දිශානතිය සඳහා භික්ෂු අධ්‍යාපනය ආරාමික විය යුතු අතර, ත්‍රිපිටකානුගත විය යුතුය.

සංඝයා වහන්සේලා යනු, දරුවාගේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට නූල් බඳින්නන් නොවේ,… කුඹුර හෝ හේන හරියට අස්වද්දන්නට උදව් දෙන්නන් නොවේ,… නැති බැරි වෙලාවට බඩු මල්ලක් දෙන්නෙක් නොවේ,… එළවළු ඇට බෙදන්නෙක් නොවේ,… මිය යන කෙනෙක්ගේ ජීවිතය දිගු කරන්නට පිරිත් නූලක් ගැට ගසන්නෙක්ද නොවේ, බුදු සසුන වූ කලී  ඒ ආකාරයේ කුල දූෂක චීවර ධාරී දූෂිතයන් පෝෂණය කරන ස්ථානයක් නොවේ.

සංඝයා යනු, සත්‍යය සත්‍ය ආකාරයට පවසන විමුක්ති මාර්ගයට ගිහියාව දිශානත කරන්නෙක් වේ.  

– [රේරුකානේ චන්දවිමල තෙරුන් වහන්සේගේ සහ සෝම තෙරුන් වහන්සේගේ දේශනා සහ පාරාජිකා පාලි ඇසුරෙනි.]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: