අල්පෙනිත්තක් වත් තරම් දෙයක් අප නිෂ්පාදනය කරන්නේද යන්න ඔබට ඇසිය හැකිය. අවම වශයෙන් යමක් නිපදවා පිට රට යැවීම වෙනුවට, රටෙන් එළියට ඇදෙන ධනයක් ඉතිරි කරන ආකාරයවත් පෙනෙන්නට නොහැක. දිනෙන් දින පරිහානියට යන තේ කර්මාන්තය, රෙදි පිළි කර්මාන්තය වැනි අතේ ඇඟිලි පහෙන් පමණ කිවහැකි දේ හරහා පමණක් මුදල් ස්වල්පයක් අපට ලැබේ. ඊට අමතරව සැළකියයුතු යයි ගැනිය හැකි එකම විදේශ විනිමය ප්‍රවාහය වන්නේ, හුදෙක් පිටරට සිට ඉඳ ශ්‍රමය විකුණන ශ්‍රී ලාංකික ප්‍රජාව ගෙන් පමණි.
ඔබ මේ ගැටලුව ගැන සිතිය යුත්තේ තමාගේ පව්ලේ අනාගතය සඳහා මුදලක් සොයන වැඩිහිටියෙක් සේ වේ. රැකියාවක් කලද එය ඕනෑම මොහොතක නැති විය හැකි නිසා, සාමාන්‍ය මිනිසෙක් නම් තව මාස කීපයක් හෝ ඉදිරියට ජීවත් විය හැකි මුදලක් ඉතිරි කර ගෙන සිටී. නමුත් එක්තරා දිනයක භාණ්ඩාගාරය හිස් වූ විට,…”එය මගේ ගැටලුවක් නොවේ යයි කියන්නට”…. හෝ “මගේ වචනය ගැසට් එකක් මෙන් සැලකිය යුතුය”….යයි ඔබට කිව හැකිද ?
රටක්, එක් ආකාරයකට ගත් කල පවුලක් මෙනි. ඒ රටේ අනාගතය ගැන වගකීම උසුලන කෙනෙක් හෝ හෝ ආණ්ඩුවක් එසේ කියන්නේ නම් එවන්නේක්ගෙන් හෝ ආණ්ඩුවකින් ඇති ඵලය කුමක්ද ? අවම තරමේ රටේ ඇතිවී තිබෙන අවිනිශ්චිත තත්වය හමුවේ ණය කළමනාකරණයට හෝ අසමත් ආණ්ඩුවකින් ඇති ඵලය කුමක්ද ? ගැටලුව හඳුනාගත් පසුවද ලැබුණු ඉන්දීය ණයෙන් ඉතාමත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන ඒම පසෙකදා යකඩ ගෙන්වා ඇති බව ආරංචි විය. මේ කාටද කුමටද?
මේ ගැටලුවට ඔවුන් ට අමතරව අපද සෑහෙන තරමකට වග කිවයුතුව ඇත. දැවැන්ත ණය කන්දක ප්‍රතිවිපාක ගැන අල්ප මාත්‍ර අවබෝධයක් නැති, උද්දච්ච මෝඩ මිනිසුන් වූ අපද මේ ඇතිවී තිබෙන තත්වයේ වගඋත්තර කාරයන් වෙමු. තවමත් සාද පවත්වන, අවුරුදු උළෙලට හෝ වෙනයම් උත්සව සඳහා සල්ලි විසි කරන, රට කපටින්ගේ උගුල් වලට අසුවන මිනිසුන් අදත් ඕනා තරම් දැකිය හැකිය. අපේ මෝඩකමේ සීමාවක් නම් නැත.
ලංකාවේ අප හැමෝම මුහුණ දෙන මේ ප්‍රශ්නයට ඉතා හොඳ උදාහරණයක්, කලකට පෙර ගිලී ගිය ටයිටැනික් නැවෙන් අපට ලබා ගත හැක. දැවැන්ත අයිස් කුට්ටියක් නැවේ ඇණියේ වැදුණු විට එහි කම්පනය අඩුවෙන්ම දැනුනේ, පළවන පන්තියේ මගීන්ට විය. ඔවුන් අස්වැසූ නාවිකයන් කියා සිටියේ එය මූදේ පාවී ගිය කුඩා අයිස් කුට්ටියක් හැපීමෙන් සිදු වූ අල්ප මාත්‍ර සෙලවීමක් වන්නට ඇති බවය. දෙවන පන්තියේ මගීන්ට මේ කම්පනය දැනුනද ඔවුන්වැඩ අස්වැසීමට හැකි විය. තෙවන පන්තියේ මගීන්ට එම කම්පනය හොඳින්ම දැනුනද හේතු දක්වන්නට අවශ්‍යතාවයක් නොවුනේ ඔවුන් එතරම් වැදගත් නොවූ හෙයිනි.
නැවේ යටම තට්ටුවේ යන්ත්‍ර ඇති කාමරවල සිටින කාර්මිකයන් දුටුවේ විශාල පැල්මක් ඇතිව මුහුදු ජලය නැවට වේගයෙන් කාන්දු වන බවය. මෙවන් දේවල් නැව් වල බලාපොරොත්තු විය හැකි නිසා, තට්ටුවෙන් තට්ටුවට ජලය නොපැමිණීම සඳහා ස්වයංක්‍රීය දොරවල් සවි කර ඇත. ඒ දොරවල් ක්‍රියාත්මක වීම හේතුවෙන් යට තට්ටු වල සිටි සෑහෙන ජනකායක්, නැව මුහුද පත්ලට යන්නටම පෙර යටම තට්ටු වල සිරැවී ජීවිතක්ෂයට පත් විය.
ඉතිරිය ඔබ දනී. කෙටියෙන් කිවහොත් මරණයෙන් බේරීමට පන්ති භේදයක් ඒ කිසි කෙනෙකුට තිබුනේ නැත. අද ඒ තත්වයට අප මුහුණ දෙන්නෙමු. හුදෙක් ගෑස් ටැංකියක් ගැනීමට හැකි වීම, වාහනය ඉන්ධන වලින් පුරවා ගැනීම වැනි තාවකාලික ක්‍රියාවලියකින් අපට සැනහෙන්නට නොහැක. අරගලයක් තිබේ නම් එයට කෙලින්ම හෝ හැකි අයුරෙන් සහභාගී වීම අත්‍යවශ්‍ය වේ. හුදෙක් වාහනයේ හෝන් එක “කපුටු කාක්” යන රාගයෙන් වාදනය කරමින් යාම පමණක් අප්රමාණවත් වේ.
අපට සිදුව ඇත්තේද ඉහත කී ටයිටැනික් නැවට වූ දෙයම වේ. පලවන දෙවන තුන්වන පන්ති පමණක් නොව, ඊටත් පහල අන්ත දරිද්‍රතාවය මත ජීවත්වන සියලු දෙනාම එක සේ පීඩාවට පත්වන මේ තත්වයෙන් තරමකට හෝ මිදීමට ඇත්තේ ක්‍රම කීපයකින් පමණි. හොඳම එහෙත් සෑහෙන්න අපහසු එක ක්‍රමයක් වන්නේ ගිලෙන නැවෙන් ඉවත්ව හෙවත්, බංකොලොත් වූ රටෙන් ඉවත්ව පිට රටකට පැන ගැනීමය. අනෙක් ක්‍රමය වන්නේ අනවශ්‍ය විය හියදම් කපා හැරීමය. උදාහරණයක් සේ එක නිවසක වාහන දෙකක් ඇත්නම් එම එක වාහනයක් විකුණා දැමීම ගැන සිටීම නුවණට හුරුය.
නමුත් කෙන් කී දෙනෙක්ට අවම වශයෙන් පදින බයිසිකලයක් වත් තිබේද ? එය හුදෙක් එක උදාහරණයක් පමණි.
වාහන වලට යන වියදම්, එනම් නඩත්තු මිළ මෙන්ම ඒවායේ උපාංග මිළ සඳහා යන මුදල තෙගුණයකින් පමණ වැඩිවී ඇත. එනිසාම ප්‍රවාහන ගාස්තු බොහෝ ඉහල ගොස් ඇත. පොදුවේ බොහෝ දෙනෙකුට කල හැකි දෙයක් නම් ගමනක් යන්නට බයිසිකලය වෙනුවට ඇවිදීමය. මේ සියලුම අදහස් වල සීමාවන් ඇත. තමාගේ ගැටලුව තමාම කළමනාකරණය කරගත යුතුව ඇත.
එසේම ණය අර්බුදය පුරෝකථනය කල නොහැකි වූ පාලකයන් නිසා කබලෙන් ලිපට වැටුණු රාජ්‍ය මෙන්ම පුද්ගලික සේවකයන්ට තම වැටුප් අහිමි විය. දීමනා, අතිකාල අහිමි විය. ඒ සියල්ලටම වඩා උද්ධමනය වැඩිවීමෙන් තමාට ලැබෙන වේතනයෙන් ගත හැකි භාණ්ඩ ප්‍රමාණය විශාල සේ සීමාවිය. ඉතිරි කර ගෙන ඇති රුපියලේ අගය බාල්දු වී ඇත. අවසානයේ සේවකයෙක්ට ඉතිරි වන EPF ETF ගෙවීම්ද නැති කිරීමට හෝ සීමා කිරීමට සිදුවනු ඇත. ආහාර මිල වැඩිවී ඇත්තේ පෙර කිසි දින නොඇසූ ආකාරයෙනි. ඉන්ධන සීමාවී ඇති නිසා ලොරි රියැදුරන් විසින් දුර පලාත් වලින් එළවලු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම බොහෝ සේ සීමාකර ඇත.
මේ අතර යම්කිසි ආකාරයකින් රටට ඩොලර් කීපයක් ඉතිරි කර ගැනීමට සත්භාවයෙන් ක්‍රියා කල සූර්ය කෝෂ අඩංගු බල පද්ධති නිම කල අයට මුදල් ගෙවීම මේ වන විට අත්හිටවා ඇත. ඒ මුදල් පසු කාලයේ දෙන්නේය යයි වාචිකව කීවද, එය කවදා කෙසේ ලැබෙන්නේද යන්න ගැන ඒ ඒ නිළධාරීන්වත් නොදනී.
මේ කිසිම ගැටලුවකට පිළිතුරු දීමට අද සිටින කිසිම සම්ප්රදානුකූල දේශපාලනඥයෙක්ට හැකියාවක් නැත. තව ආකාරයකින් කිවහොත් ඔවුන් විසින් ජනතාව රැවටූ ආකාරය ගැන කියන්නට හෝ ලියන්නට වචන නැත. මෙතක් පැවති රාජ්‍යයන් සහ දේශපාලුවන් අපව සහ අපේ දරුවන්ව නීච අයුරෙන් රවටා ඇත. සිටිනා දේශපාලනඥයන් සම්පූර්ණයෙන් ඉවත් වීම වනතුරු කිසිම ප්රගතිශීලී පියචාරක් ගැනීමට හැකියාවක් නැත. එහෙත් ඉන් හුදෙක් අපට සියළුම ගැටළු මකා දැමිය නොහැකි වුවද කිසියම් බලාපොරොත්තුවක් ඇතිව, යම් කිසි අන්තර්වාර ආණ්ඩුවක් හරහා රට නිවැරදි ගමන් මාවතකට ගෙන ඒමට පියවරවල් ගත යුතු වේ.
එහෙත් එසේ ලැබෙන ක්ෂණික මානසික සහනය මගින් අප අපවම රවට ගැනීමේ ප්‍රයෝජනයක් නැත. වහා ජන ජීවිතය කඩා වැටීමට අවශ්‍ය පියවර සම්පාදනය කල යුතු වේ.
මේ ආකාරයේ තත්වයක් ඇති විට, බොහෝ දෙනා කෙසේ හෝ රටෙන් ඉවත්ව යන බව රහසක් නොවේ. නමුත් බංකොලොත් රටක සිටින වැසියන් තවත් රටකට භාර ගැනීමේ ගැටළු පවතී. මේ වනවිටත් නොයෙක් රටවල් ශ්‍රී ලාංකිකයන්ට තම රටවල් වලට පැමිණීමවීම වැළැක්වීම සඳහා අවශ්‍ය වන වීසා නීති රීති තද කර ඇත. රටෙන් පිටවීම බහුතරයකට කල නොහැකි හෙයින් එය සාධාරණ විසඳුමක් නොවේ.
එම විසඳුම හෝ විසඳුම් එකිනෙකාට වෙනස් වේ. කෙනෙක්ට ගෑස් වෙනුවට දර හෝ ජීව වායු භාවිතා කල හැක. මෝටර් සයිකලයේ සේවය සඳහා යන්නෙක්ට පදින සයිකලයක හෝ පොදු ප්‍රවාහනය පිහිට ලබා ගත හැක. ඉඩකඩ තිබේ නම් එළවළුවක් වවා ගත හැක. අවාසනාවට මේ සඳහා අපට ඇති එකම සහනය නම් පැන්ඩෝරාගේ මී මැසි පෙට්ටියේ සිරවු අවසාන මී මැස්සා ගේ නියෝජනය පමණි.
එක් ග්‍රීක කතාවක මෙසේ සඳහන් වේ. මහ දෙවියා විසින් පැන්ඩෝරා නම් යුවතියට මී මැසි පෙට්ටියක් දී එය කිසි විටෙක විවෘත නොකරන සේ අවවාද කරන ලදී. නමුත් මහත් කුතුහලය නිසා ඇය එය දිනෙක විවෘත කළාය. ඒ විගස එකෙක් හැර එහි සිටි අනෙක් සියලුම මී මැස්සන් පියාසර කර ඉගිල ගියහ. ඔවුන් ව්‍යසනය, අවාසනාව, දුප්පත්කම, ඉරිසියාව, ක්‍රෝධය, මෝහය, මරණය, සාගින්න, මහලු වියට පත්වීම, ලෙඩරෝග සෑදීම වැනි, අතිශය දුක්ඛදායි තත්වයන් නියෝජනය කළහ. සුරලොවක් මෙන් ව තිබී ලෝකය එතැන් සිට වෙනස් විය.
ඇය වහා පෙට්ටියේ පියන වැසීමෙන් නවතා ගත හැකි වූයේ එකම එක මී මැස්සෙක් පමණි. ඒ මී මැස්සා ආයාචනය කලේ අවසාන හොඳම සහ එකම දෙය ඔහු පමණක් යන්න විය. ඔහු එසේ කීම නිසා අවසානයේ පෙට්ටියේ පියන අරින ලද පැන්ඩෝරා ඒ නියෝජනය අවබෝධ කරගත්තාය. මී මැස්සා ගේ නම “බලාපොරොත්තුව” නම් විය. අපට ඇත්තේද එය පමණි.
ලංකාවේ වී ඇත්තේ ඊට තරමක් වෙනස් දෙයකි. ඒ මී මැසි පෙට්ටිය ඇර දමා ඇත්තේ දේශපාලුවන් විසිණි. පෙට්ටිය ඇර දමා සියලු අවාසනාවන්ත තත්ත්ව ලංකාවට ඔවුන් ලබා දුන්නද පැන්ඩෝරාට “බලාපොරොත්තුව” යන මී මැස්සාට ඉගිල යාමට ඔවුන් මෙතෙක් ඉඩ දී නැත.
ඒ වෙනුවට මේ වෙලාවේ ඔවුන් කරන්නේ පැන්ඩෝරාව දූෂණය කිරීමය.
පැන්ඩෝරාගේ මී මැසි පෙට්ටිය

Leave a Reply