සම්මත නීති රීති, මනුෂ්‍යත්වය, සාමය, ජාතීන් අතර සමගිය පවත්වා ගැනීම වැනි සමාජයීය සුභ සාධන තත්ත්ව අමතක කර දෙවන මහා ලෝක යුද්ධය ගැන ඔබ කුමක් සිතන්නේද? මට නම් හිතෙන්නේ, ජර්මනිය තනි සටනක් දෙමින් යුද්ධයට අවතීර්ණ වී අන් රටවල් දණින් වැට්ටවීමේ කාර්යය මනාව ඉටු කළ බවය. යුද්ධයේදී ඒකමතික තීරණ නොගෙන, තම ජෙනරාල් වරුන්ගේ අදහසටද කන් දුන්නා නම්, හිට්ලර් දෙවන මහා ලෝක සංග්‍රාමයේ ජයග්‍රාහකයා වන්නටද ඉඩ තිබිණි.
හිට්ලර්ට එතෙක් හෝ මේ යුද්ධය සාර්ථකව මෙහෙයවන්නට හැකියාවක් තිබුණු ඉතා වැදගත් සාධකයක් තිබිණ.
එය නම්, තම සේවය නොයෙකුත් යුධ යන්ත්‍ර නිර්මාණය සඳහා වූ ඔහුගේ ඉංජිනේරුවන්ගේ කැප වීම නිසා ඇති කල අගනා නිර්මාණ විය. මෙහිදී ඩේම්ලර් කණ්ඩායමේ මර්සිඩීස් බෙන්ස්, මාන්, [Maschinenfabrik Augsburg-Nürnberg AG (Machine Factory Augsburg-Nuremberg AG)] බී. එම්. ඩබ්ලිව්. [Bavaria Motor Works], අව්ඩි [Audi], ඕපල්[Opel] වැනි කර්මාන්ත ශාලා විශාල බර යන්ත්‍ර නිර්මාණය කරන අතරේ, “සුන්ඩප්” යන සමාගම අපූරු මෝටර් සයිකල නිර්මාණය කළේය.
ඇත්ත වශයෙන්ම මේ බයිසිකල ලංකාවටද පැමිණි බව ලංකාවේ පැරැන්නෝ දනිති. මගේ පියා කී ආකාරයට එකළ ගම්වලට [ඔහු කුඩා කල ජීවත් වුනේ කැස්බෑව පාරේ හොරණ දෙසට යන විට පොල්ගස්ඕවිට ග්‍රාමයේ විය.] අඩි හතක් පමණ උස, එක්තරා සුදු ජාතික දොස්තර කෙනෙක් පැමිණියේ ඔහුටම සරිලන ආකාරයේම දැවැන්ත සුන්ඩප් බයිසිකලයකිනි. පැරණි නවකතා රචකයෙක් සහ රාජ්‍ය නිලධාරියෙක් වූ “ලීල් ගුණසේකර” මහතාගේ පොතක, මේ ආකාරයේ දොස්තරවරු ගැන ලියා තිබිණ.ඔහුට නම දමා ඇත්තේ “කුණු දොස්තර” කියාය.
සමහරවිට එසේ කියන්නට ඇත්තේ, එකල ගම්වැසියන්ගේ කුස්සියටම ගොස් ඔවුන් පිරිසිදුද ඒවා තියා ගන්නේද යයි බැලූ හෙයිනි.
කුණු දොස්තරගේ සයිකලය ඔහුගේ ඒ ගම් වල වැඩ සමාප්ත වන තුරු දැවැන්ත දුඹුරු පැහැ කකුළුවෙක් පණ අදිනවා මෙන් සෙලවෙමින් තිබිණ. කකුලෙන් තද කර සයිකලය පණ ගැන්වීම කිරීමට පණ තිබුනේ දැවැන්ත දොස්තරට පමණි. සමහරවිට එය නැවතුණහොත්, ඔහුටත් එය පණ ගන්වන්නට නොහැකි වුවහොත්, ගමේම කොල්ලෝ කුරුට්ටෝ එය තල්ලු කිරීමට පොර කති.
කාර්මික සටහනක්:- මේ සයිකලයේ ඇති විශේෂයක් වන්නේ එහි වෑල්ව් අරින්නට වසන්නට එකල “ටයිමින් චේන්” නොමැති වීමද, පරණ ලිස්ටර් ලයිට් එන්ජින් වල තිබුනාක් මෙන් “පුෂ් රොඩ්” තිබීමය. ඒවා ඇත්තේද එළියෙන් නිසා, බයිසිකලය පණ ගැන්වූ විට ශබ්ද නගමින් ඉහළ පහල යනවා පෙනිණ. එහි බල පද්ධතිය වෝල්ට්ස් හයකි. සිසිලණය වායුවෙන් කෙරින. තිරිංග “ඩ්‍රම්” ආකාරයේ විය. රළු තත්ත්ව වලට ඔරොත්තු දීමට දිග සහ ශක්තිමත්, “ටෙලස්කොපික් සොක් ඇබ්සෝබර්” තිබිණ.
කාර්මික සටහනක් :- රෝද කරකැවීමට, “කච” “කච” ශබ්ද ඇති, දැත්තෙන් අහකට පනින්නට හැකි, මඩ සහ හිමේ ක්‍රියා විරහිත විය හැකි චේන් නොතිබිණි. මෝටර් රථයක මෙන් නිශ්ශබ්ද සහ ජලය නොයන පරිදි නිමවන ලද, “ඩිෆරෙන්ෂල් ක්‍රමයක්” තිබිණි. නූතනයේ නම් මේ ආකාරයේ ක්‍රම ලාභ සයිකලවල ඇත්තේ “යමහා ටවුන් මේට් සිව් පහර 80 CC” ස්කූටරයේ පමණි. මෙහිදී මේ සයිකලය සීතල රුසියාවේ සාර්ථක වීමට හේතුවක් තිබිණ. මක්නිසාදයත්, එහි “සොලෙක්ස් කාර්බියුරේටරයට” ඇතුළු වන වායුව රත් කිරීමේ ක්‍රමයක් සීතල රුසියානු යුධ පෙරමුණ වෙනුවෙන් තනන ලද සයිකල වලට සම්බන්ද කර තිබූ හෙයිණි. “සොලෙක්ස්” යනු එකළ බොහෝ ජර්මන් මෝටර් රථ වලට භාවිතා කල කාර්බියුරේටරය විය.
බොහෝ විට ලංකාවට පැමිණි ඒ ආකාරයේ සයිකල වලටත් වඩා පැරණි, යුද්ධයට භාවිතා කල “1944 Zündapp KS 750 යන යතුරුපැදිය, 1930 ගණන්වල අගභාගයේදී නියුරම්බර්ග් [[Nuremberg]] නගරයේ Zündapp Werke GmbH යන කම්හල විසින් KS-600 සයිකළය වැඩි දියුණු කර මේ සයිකලය තනන ලද අතර, එය ඉක්මනින්ම ජර්මන් යුධ යාන්ත්‍රණය [Wehrmacht] විසින් සම්මත කරන ලදී. එය ඉතා රළු භූමි සඳහා නිර්මාණය කරන ලදී.
එම නිසා ඉහළ “ඕෆ්රෝඩ් ධාරිතාවක්” සහ පහසුවෙන් පාලනය කිරීමට හැකියාවක් තිබුණි. එය ඔත්තු බැලීම, හමුදා නිලධාරීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සහ තුවාල ලැබූවන් යුධ භූමියෙන් ඉවත් කිරීම සඳහා ද භාවිතා කරන ලදී. ඊට “සයිඩ් කාර්” එකක් සවි කිරීමේ හැකියාවද තිබිණ. එහි [flat twin වර්ගය], තිරසට පිෂ්ටන වැඩ කරන 4-stroke එන්ජිමකින් සහ “මැග්නටෝ ජ්වලනයකින්” සමන්විත විය. [Pl. google Magneto] මෝටර් සයිකල සැලකු විට සෑහෙන විශාල බලයක් (4000 rpm හිදී 26 hp) ඊට තිබිණ.
සයිකලයේ තවත් විශේෂත්වයක් වූයේ එය හොඳින් ජලයෙන් ආරක්ෂා වීමට සකස් කර තිබීමය. එනම් ඒ සඳහා එන්ජිමේ මුදුනටත් ඉහලින් පිහිටා ඇති වායු පෙරහනක් තිබුණු හෙයින්, සයිකලයේ හැන්ඩලය සමීප වන තෙක් ජලයේ එයට ගමන් කල හැකි විය. එමගින් ඉන් ජලයෙන් යටවී ඇති නොගැඹුරු ජල බාධක ජය ගත හැකි වීම විශේෂ කරුණකි. ඉදිරියට ගියර් හතරක් සහ පසුපසට ගියරයක් තිබි ඊට තවත් ට්‍රේලරයක්ද ඇදගෙන අංශක 45 ක බෑවුමක් නැගීමට හැකි විය. ඉහත ගියර් වලට අමතරව, “හයි” සහ “ලෝ” ගියර් දෙකක්ද තිබීමෙන් සම්පූර්ණ ගියර් ප්‍රමාණය දහයක් විය.
කාර්මික සටහනක්:- ලංකාවේද දැකිය හැකි, “කුබෝටා K75” ජපන් අත් ට්‍රැක්ටරයේ ගියර් හතරකි. එහෙත් “හයි” , “ලෝ” ක්‍රමය අනුව එය ගියර් අටක් කර ඇත.
එහි උපරිම වේගය පැයට සැතපුම් 60ක් වූ අතර, සේනාංක සමඟ එක්ව යාමට එයට පැයට සැතපුම් 3 ක වේගයක් තිබිණ. 420 kg බරක් තිබියදීත්, තවත් කිලෝ ග්‍රෑම් 500 ක් ගෙන යා හැකි මේ යතුරුපැදිය හොඳින් හැසිරවීමට හැකි වූ අතර පළල් රෝද මාර්ගය බදා ගමන් ගත්තේය. සයිඩ් කාර් එකේ රෝදයටද බලය සපයා තිබුනේය. පින්තුරය බලන්න. ඊට “හයිඩ්‍රොලික් බ්රේක් ද, අමතර රෝදයක්ද තිබිණි. තවද සයිඩ් කාර් එකේ රෝදය සහ සයිකලයේ පසුපස රෝදය අවශ්‍ය නම් එකට “ලොක්” කිරීමට තනා තිබිණි.
එනම් මින් පෙනී යන්නේ, දක්ෂ ජර්මන් ඉංජිනේරුවා එය “ඕෆ් රෝඩ්” වාහනයක් කර ඇති බවය.
“සුන්ඩප්” මෝටර් සයිකලය, සුප්‍රසිද්ධ බී.එම්. ඩබ්ලිව්. සමාගමෙන් තනන ලද R75 සයිකලයටද අභියෝගයක් විය. ඊට එක හේතුවක් වූයේ “සුන්ඩප්” සයිකලයේ සිලින්ඩර පොලවට සමාන්තරව එනම් තිරසටම නිර්මාණය නොකර, යම් “ඉංග්‍රීසි වී අකුරේ” හැඩයක් තිබීමය. ඒ කෝණමය අගය අංශක 7 කි. එනිසා සයිකලය “සයිඩ් කාරය” නැතිව වංගු ගන්නා විට පොලවේ වැදීම අඩු කළේය. ජර්මන් යුධ අධිකාරිය BMW R75 ට වඩා මේ සුන්ඩප් සයිකලය යුද්ධයට යෝග්‍ය යයි තීරණය කළේය.
යුධ බිමේ රළු පරළු තත්වයන් උඩ එය පැදගෙන යන ජර්මන් සොල්දාදුවා සිය විශ්වාසය තැබුවේය.
ඔහුගේ වම් සහ දකුණු පසින් පතොරම් මල්ල සවි කර තිබූ අතර ඉදිරිපස මැෂින් තුවක්කුවක් සවිකර තිබුණි. මැෂින් තුවක්කුව, තුවක්කු කරුවා ඇතුළු තිදෙනෙක් හෝ සමහරවිට හතරදෙනෙක්ද යා හැකි එය මගින්, බල සම්පන්න ආරක්ෂාවක් පාබල සෙබලාට ලබා දෙන ලදී. මැෂින් තුවක්කුව වටේටම කරකැවීමට සකස් කර තිබූ හෙයින්, යුද්ධයේදී පසු බසින අවස්ථාවක පසුපසට වෙඩි තැබීමටද හැකි විය.
1940 සිට 1944 දක්වා, “Zündapp Werke, GmbH” කම්හල KS 750 යතුරුපැදි 18,635 ක් නිෂ්පාදනය කරන ලදී. මේවා රුසියාවේ, අප්‍රිකාවේ, ඉතාලියේ, ප්‍රංශයේ ඉතා හොඳ සේවාවක් ජර්මන් යුධ සෙබලාට ලබා දුන්නේය.
|
පැරණි සයිකල එකතු කරන්නන් අතර මේ සයිකලයක මිළ, අද දින නම් යුරෝ 35,000 ක් 50,000 ක් පමණ වේ.
https://www.facebook.com/lalith.karunaratna/posts/10161304961121729?notif_id=1646864402616776¬if_t=feedback_reaction_generic&ref=notif
වටිනා සටහනක්!
LikeLike