නවාංශය ලග්නය සේ ගෙන පලාඵල කීම.

                                                 

මෙය වැරදි නැත්නම් ඒ බව මූලාශ්‍ර ඇසුරෙන් කෙනෙක්ට පෙන්වා දිය හැකිද ?  නවාංශය හෙවත් D1 යන්න සේ පළාඵල කිව යුතු එකම වර්ග කේන්ද්‍රය D60 පමණක් යන්න ප්‍රසිද්ධ මතය වේ. නමුත් ඉන්දියාවේ බී. වී. රාමන් මහතාගේ පොත් වලද මේ සංකල්පය, එනම් නවංශයේ ග්‍රහයන් ගේ දෘෂ්ටි ගැන ලියා තිබේ. ඔහු බොහෝ අත්දැකීම් ඇති, ලොව පුරා පිළිගත් ජ්‍යෝතිෂවේදියෙකි. ඔහු දක්ෂයෙකි.



ඔහුට අභියෝග කරන්නට අපි කව්ද ?….?  එහෙත් “ගුරුන්ටත් අකුරු වරදී” යයි කතාවක් ඇත. 


මේ සඳහා උදාහරණයක් පෙන්වා දීමට කැමැත්තෙමි.  මකර ලග්නයෙන් යුතු පුද්ගලයා ගේ නවාංශය මිථුන වී, කුජ 8 වැන්නේ සිටියේය. කුජ සහ ගුරු ලග්නයේ සිටිමින් කුජ උච්ච වීම නිසා එතන සිටින ගුරුගේ නීච බව මිදී බලවත් වී ඇත. ඔහුගේ පියාගේ අභාවය සහ ඔහුගේ රැකියා ස්වභාවය නිරීක්ෂණය කරමු.


ශනි ග්‍රහයා මකර රාශියේ සංක්‍රමණය වන කාලයේ ඔහුගේ පියා මියගියේය. මකර රාශියේ 9 වැන්න වන කන්‍යා රාශිය පියා නියෝජනය කරයි. D1 ගත් විට, කන්‍යා රාශියේ සිට 8 වැන්න හෙවත් 9 වැන්නෙන් 8 වැන්න පියාගේ අභාවය පෙන්වයි. මෙය වන්නට හේතුව වන්නේ මිථුන නවාංශ කේන්ද්‍රයේ සිටින කුජ 8 වන නවාංශයේ සිටීම වේ.


යම් හෙයකින් නවාංශයේ 8 වැන්නේ සිටින කුජට නවාංශ ලග්නය පෙනේ නම්, පියා නොව ඔහුට කරදරයක් වන්නට වඩාත් ඉඩකඩ තිබේ. මක්නිසාදයත් කුජ D1 හෝ D9 කිසිම ආකාරයකින් පියාව නියෝජනය කරන්නේ නැති හෙයිණි. 


ඔහුගේ රැකියා ස්වභාවයෙන්ද, මෙය පහදා දිය හැක. ඔහු වෘත්තීය ජ්‍යෝතිෂවේදියෙකි. රාශියක් සේ ගත්විට මකරය ජ්‍යෝතිෂවේදියෙක් වීම සඳහා සුදුසු නැතිම වන රාශියයි. රාශීන් අතර ලෞකික ස්වභාවය සහ පටවි ස්වභාවය වැඩිම රාශිය වන මකරය හිමි ඔහු ජ්‍යෝතිෂවේදියෙක් වූයේ කෙසේද?


ලග්නයේ කුජ සහ ගුරු සිටින බවත් උච්ච කුජ නිසා නීච ගුරු භංග වීම හෙයින්, කුජ සහ ගුරු ගත්විට, එහි බලය වැඩිම ග්‍රහයා ගුරු බව දනිමු. එය එසේ නම් ලග්නයෙන් පෙන්වන මනස ගුරුගේ ස්වභාවය දැරිය යුතුය. ඒ ස්වභාවය ප්‍රකට වන්නේ නවාංශයෙන් වේ. නමුත් ගුරුගේ නීච බවට හේතු පාදක බව ඇති වී තිබෙන කුජගෙන් එම ගුරු ක්‍රියා කරන ආකාරය තීරණය වේ.
… “ඔන්න උඹේ නීච බව මම නැති කළා- හැබැයි මම කියන විදියට වැඩ කරපන් …! කීවාක් මෙනි.


ගුරු එතන බලවත් ග්‍රහයා බව සැබෑය. එහෙත් ගුරු කුජට අවනත වේ.


එය එසේ නම් කුජ නවාංශයේ සිටින ආකාරය නිරීක්ෂණය කල යුතුය. කුජ ඇත්තේ නවාංශයේ 8 වැන්නේ වේ. 8 වැන්නෙන් ගුප්ත බව, සැඟවුණු ශ්‍රාස්ත්‍ර එනවයි. මෙන්න මේ නිසා ඔහු ජ්‍යෝතිෂවේදියෙක් විය.


දැන් නවාංශය D1 සේ ගනිමු. නවාංශයේ 6 වැන්න හෙවත් මිථුනයේ 8 වැන්නට 2 වැන්න, 3 වැන්න සහ 11 වැන්න පෙනේ.  එය එසේ නම් මුලින් කියා ඇති ශනි මකරයේ සංක්‍රමණය වීම වන විට ඔහුගේ සහෝදරයන්ට හානි විය යුතුය. එය එසේ වුනේ නැත. 


ඊළඟට අපි වෘෂභ රාශි හිමි පකිස්ථානු ජාතිකයෙක් ගනිමු. වෘෂභ නවාංශයද ඇතිව වර්ගෝත්තම කේන්ද්‍රයක් ඔහුට තිබිණ.  වෘෂභ රාශි කරුවාට හොඳම රාජ යෝග පවා ගෙනෙන ග්‍රහයා ශනි වේ. අන් සැමට කරදර කලද ශනි ග්‍රහයා වෘෂභ රාශි අධිපතියාට යම් අනුකම්පාවක් පෙන්වයි. මේ පුද්ගලයාගේ ශනි ලග්නයේ 8 වැන්නේ වක්‍රව සිටි අතර, නවංශයේ 12 වැන්න වන මේෂයේ නීච විය. ඔහුට, ඔහු උපන් රටෙන් නම් රැකියාව සම්බන්ද විශේෂ ලාභයක් ලැබුනේ නැත.


නමුත් ඔහු මැදපෙරදිග රටකට ගොස් සෑහෙන මුදලක් සොයා ගත්තේය. මෙහි වී ඇත්තේ රැකියාව අධිපති ශනි ග්‍රහයා නවාංශයේ නීච වී 12 වැන්නේ හෙවත් වියළි ස්ථාන පෙන්වන, ගිණි කාරක ගුණය ඇති මේෂයේ සිටීම නිසා, ජීවත්වීම සඳහා කතරකට තල්ලු කර දැමීම විය. එහෙත් ශනි ඔහුට සුභ ගෙන දෙන නිසා අවසාන ප්‍රතිඵලය යහපත් විය. විඳින්නට ඇති සියළු දුක් විඳ ඔහු නැවත වෙනත් රටකට පදිංචියට ගියේ ධනවතෙක් ලෙසිණි.



දැන් ඔහුගේ නවාංශයේ 12 වන මේෂයේ සිටින ශනිට  2, 6, සහ 9 පෙනේ. ඒවායේ කියන්න තරම් ශනි ගේ නියෝජන නැත. ශනි නීචව මේෂයේ සිටින්නේ බුද සමඟිනි. එහිද කිසිම ශනි බුද යෝගයක හෝඩුවාවක් නැත.   



දැන් අපි වඩාත් විස්තර කර කිව හැකි කේන්ද්‍රයක් ගනිමු.  උපන්නේ මේෂ රාශියේ අංශක 22 කළා 15ක් යන තැන ඉන්දියාවේ දිල්ලියේ විය. උපත 1956 මැයි 7 උදේ 05:36 විය.


ලග්න කේන්ද්‍රය සැලකු විට,

1. ලග්නාධිපති සහ 8 අධිපති කුජ වන හෙයින් මෙන්ම චර රාශියක සිටින හෙයින් බොහෝ ආයුෂ හිමිය. 

2. දෙවන රාශියේ සහ  තෙවන රාශිවල ඒ ඒ අධිපති ග්‍රහයන් වන සිකුරු සහ බුද පරිවර්ථනය වේ.
3. අටවන රාශියේ සහ 10 වන රාශියේ ඒ ඒ අධිපති ග්‍රහයන් වන ශනි සහ කුජද පරිවර්ථනය වේ. 

4. රවී උච්ච වේ.

5. ගුරු උච්ච වේ. 

6. කුජ උච්ච වේ. 

7. ආයුෂ කාරක ශනි 8 වැන්නේ සිටීම දීර්ඝායු පෙන්වන්නකි.

ඉන් පෙන්වන පළාඵල සමහරවිට කෙනෙක් මෙසේ කියනු ඇත. ග්‍රහයන් තිදෙනෙක් උච්ච වීම සහ පරිවර්ථන දෙකක් තිබීම නිසාම මේ දරුවා රජ වනු ඇත.

 

ඔය ඉහත ඇත්තේ, නවාංශය නොමැතිව දළ කේන්ද්‍රය පමණක් දෙස බලා කියන පළාඵල වේ.    

නවාංශකය බලමු. 

1. ලග්නයේ රවී නීච වේ. 

2. දස වැන්නේ කුජ නීච වේ. 

3. ඉපදුනේ ශනිගේ මහ දශාව , ඉන් අනතුරුව බුද සහ ඉන් අනතුරුව කේතු මහ දශාව යන්නේය. 

පැරැන්නන් කියා ඇති ආකාරයට මේ දරුවා “බෝනික්කෙක්” මෙන් ලස්සණ දරුවෙක් විය. එහෙත් එකතැන් වූ කෙනෙක් විය. බෙල්ල කෙලින් තබා ගැනීමට නොහැකිව ඔලුව පහතට වැටේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොබ් අවාසනාවන්ත රෝගියෙක් විය. 

දැන් මෙහිදී නවාංශයේ දෘෂ්ටි තිබේ යයි සැළකුවහොත් අනාවැකි කුමක් වේද ? 

1. ගුරුට 22 වන දෙර්කානාධිපති සඳු පෙනීම නිසා අශුභයන් අඩු වේ. 

2. ගුරුට 2 අධිපතියා වන කුජව පෙනීම නිසා මරණ ස්ථානයේ අශුභ අඩුවේ. 

3. 7 හි නීච රවී 10 නීච කුජ මෙන්ම අන්‍යොන්‍ය දෘෂ්ටිය නිසා, රවී සහ කුජ අන්‍යොන්‍ය සේ නීච භංග වේ.

ඉහත නවාංශයේ කී එක දෙයක් වත් වී නැත. එසේ හෙයින් මේ දරුවා වයස වසර 13 ක් වනවිට මිය ගියාය.  නවාංශය ආකාරයට දෘෂ්ටි ගත නොහැකි බවත්, එය ඵල රහිත බවත්, ලග්නයේ උච්ච ග්‍රහයන් නවාංශයේ උච්ච වන විට ඒ ග්‍රහයන්ගේ බල සම්පූර්ණයෙන් කඩා වැටෙන බවත් පෙන්වීමට මෙය ඉතා හොඳ කේන්ද්‍රයක් වේ.   



කෙසේ හෝ අප දකින බොහෝ කේන්ද්‍ර වල නවාංශය වැරදි බව දැක ගැනීමට හැකිය. රාහි අග්‍රයක ඉපදුණු කෙනෙක් වෙනස් අයම්නාම්ශ වලින් ගණනය කල විට, නවාංශ වෙනස් වන අවස්ථා ඕනා තරම් ඇත. එහෙයින් නවාංශය මගින් අනාවැකි කීම ගැන ප්‍රවේසම් වෙමි.


නවාංශය වූ කලී ලග්නය පාදක කර තැනූ ගණිතමය ආකෘතියක් විනා අන් දෙයක් නොවේ. එය එකා අතකින් 9 වැන්නේ විශාලිත පිළිරුව යයි කීම වරදක් නොවේ. එසේ නැත්නම් කර්මය ලග්නයෙන් පෙන්වන්නේද, නවාංශයෙන් කර්ම ඵලය පෙන්වන්නේද කිව හැක.  එක් එක් ග්‍රහයන්ට පෙනෙන හෙවත් දෘෂ්ටි ලැබෙන ස්ථාන ඇත.


නවාංශ වලද එසේ දෘෂ්ටි ලැබෙන්නේ නම්, කේන්ද්‍රය සහ එමගින් කියන අනාවැකි අවුල් ජාලාවක් වනු ඇත.  




Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: