නැකත් ඇසුරෙන් කෙනෙක්ගේ ගති ගුණ සහ ශුභ මොහොත්. – දෙවන කොටස.

           

සියළුම ග්‍රහයන්ට නැකත් තුන බැගින් ඇති බව අප දන්නෙමු. ඒ එක නැකත් තුනක කණ්ඩායමක් ගත විට එක නැකතක් අනෙක් නැකතට “ත්‍රිජන්ම” නැකතක් යයි කියනු ලැබේ. මේ ත්‍රිජන්ම නැකත් භාවිතා කිරීම අප්‍රකට තරමට ජන සමාජයෙන් ඈත්ව ගොස් තිබේ. ඊට එක උදාහරණයක් වන්නේ සිදුහත් කුමරාගේ නාමය වේ. සිදුහත් කුමරු උපන්නේ විසා නැකතෙන් වුවද, කුමරුගේ නම තබන්නට විසා නැකතෙන් නොව, අනෙක් ත්‍රිජන්ම නැකතකින් “සි” අක්ෂරය ගෙන තිබේ.


“සි” යන්න සහ සිදුහත් වචනය විසා නැකතට හිමි අක්‍ෂර හරහා නොඑයි. පැහැදිළිවම එකල ජ්‍යෝතිෂය අදට වඩා ඉහළ තැනක් දරන්නට ඇත. නැත්නම් මේ කුමරා අනිවාර්යයෙන්ම බුදුවේ යයි කීමට කොන්ඩඥඥ බමුණාට නොහැකි වන්නට තිබුණි. අනෙක් 107ක් බමුණන්ද ඒ හා සමානව අනාවැකි කියුහ. ඒ සියල්ලන් එකඟ වූ එක දෙයක් නම්, සිදුහත් කුමරාට ත්‍රිජන්ම නැකත අනුව තැබූ නාමය විය.



මේ ත්‍රිජන්ම නැකත් අද දිනයේ භාවිතා කල හැකි එක ආකාරයක් වන්නේ දරුවෙක්ට නම් තැබීමේදීය. මක්නිසාදයත්, දරුවා උපන් නැකතට හිමි අක්‍ෂර වලින් ලැබෙන නම් වලට දෙමාපියන් අකමැති වන්නට ඉඩ ඇති හෙයිනි.  


නැකත් 27 කාණ්ඩ තුනකට බෙදා ඇත. අවාසනාවට ඒ කාණ්ඩ භාවිතා කිරීම හෙවත්, එකම ග්‍රහයාගේ නැකත් තුනේ වෙනස ගැන අද දින බොහෝ අය දන්නේ නැත. උදාහරණයක් සේ කුජට අයත් නැකත් “මුවසිරස”, “සිත” සහ “දෙනට” නැකත් වේ. කෙනෙක් “සිත” නැකතෙන් ඉපදුනා යයි සිතමු. මේ නැකත් තුන පුද්ගලයෙක්ගේ “බාල”, “වැඩිහිටි”, “වයස් ගත” යන කාල පරිච්චේද නිරුපණය කරයි.



ඒ අනුව නැකත් කාණ්ඩයේ පළමු නැකත කෙනෙක්ගේ ජීවිතයේ මුල් කාලය පෙන්වයි. දෙවන කොටස රැකියාවට සහ මැදියම් වියටද, තෙවන කොටස මහළු වියට සහ ගර්භාෂයේ ගත කරන කාල සීමාව පෙන්වයි. එනම් ඉහත උදාහරණයේ කෙනෙක්ගේ බාල වියේ තතු දැන ගැනීම සඳහා, මුවසිරස නැකත පරීක්ෂා කිරීම වඩා යෝග්‍යය වේ. ඒ ඒ කාලයේ ගෝචරයේ මුවසිරස නැකත පසුකළ ග්‍රහයන් පරීක්ෂා කිරීම මැනවි.



මේ අතර අප මුල් පිටුවේ සුභ නැකත් ගැන කතා කළෙමු. මේ ගැන කියන්නට මට හොඳ අත්දැකීමක් ඇත. තරුණ වියේදී මා තවත් කෙනෙක් සමඟ දෙළුම් පැළ දෙකක් සිටෙව්වෙමි. ඒ පැළ එකම ආකාරයේ බවද, එකම යාබද ස්ථානයක බවත්, එකම නැකත් කාලයේ බවටද වග බලා ගතිමි.  ගසක් සහ ඉහළ පළ දරන හෙයින්, “ඉහළට නැගෙන නැකතක්” භාවිතා කලෙමි. මා සමඟ අනෙක් දෙළුම් පැළය පැළ කලේ, වතුකරයේ සිටි ද්‍රවිඩ ජාතික තරුණියකි.  


කාලය ගෙවී ගියේය. මා සිටවූ පැලය හැදෙන්නන් වාලේ වැදුණු අතර, ඒ තරුණිය සිටවූ පැළය අතු පතර විදහා ලොකු ගසක් වී ගෙඩිද ඇති විය. කාලයක් තිස්සේ මා සිතාගෙන සිටියේ ඇයගේ අත්ගුණය මට වඩා හොඳ යන්නය. එහෙත් ජ්‍යෝතිෂය දන්නා හිතවත් බංගාලි මිත්‍රයෙක් මේ කතාව පසු කළෙක ඇසූ විට මගෙන් ප්‍රශ්ණ කලේ, … “උඹ ඒ කෙල්ලගේ නැකතට එදා ඒ මොහොතේ පායමින් තිබු නැකත සංගත කර බැලුවේද?..?.. යන්නය.


එතෙක් ඒ තර්කය මට සම්පූර්ණයෙන් අමතක වී තිබුණි.


වාසනාවට මා ඒ යුවතියගේ කේන්ද්‍රය දැන සිටියෙමි. බංගාලි මිත්‍රයා නිවැරදි විය. දෙළුම් පැළ සිටවූ ඒ මොහොතේ පායමින් තිබුණු නක්‍ෂත්‍රය ඇයට සම්පත්ද, මට ප්‍රත්‍යාරි ගුණද ලබා දී තිබිණි. කෙසේ වුවද මේ සඳහා එක පාලක පරීක්ෂණයක් පමණක් ප්‍රමාණවත් නැත. මේවා සාධනය කිරීම් සඳහා බොහෝ පරීක්‍ෂණ කල යුතු අතර ඒවා සාමූහිකව කිරීමෙන් සහ, තොරතුරු බෙදා ගැනීමෙන්ම ඒවායේ සත්‍යාසත්‍යභාවය සොයාගත හැක.


දැන් පත්තරවල පල වන … “කොස් හිටවීමට, දෙල් හිටවීමට සුදුසු නැකතකි”… සේ කියන පලාඵල වල සාවද්‍ය බව මින් පෙනී යා යුතුය. එයත් හරියට දිනයේ ලග්න පළාඵල මෙනි. ලෝකයේ සිටින බිලියන 7 න් දොළහෙන් කොටසකට එකම ප්‍රතිඵල නොලැබේ. එසේ නැකතක් පුවත් පතක දුටුවිට කල යුත්තේ, එය තමාගේ නැකතට සීහෙද යන්න, විවිධ ආකාරයෙන් පරීක්ෂා කිරීම වේ.


නැකතක් තවත් නැකතකට ගණන් කර ගෙන යාමේ සුප්‍රසිද්ධ ජන්ම, සම්පත්,. විපත් …. ක්‍රමය මෙහි සටහන් නොකෙරෙන්නේ, එය බොහෝ දෙනෙක් දන්නා හෙයිනි. නැකත් දෙවර්ගයකි. එනම් මහ නැකත් සහ ක්‍ෂුද්‍ර නැකත් ලෙසිනි. මහ නැකතක් යනු, බොහෝ පරාමිතික බලා නිවැරදිව තනන අප මේ කතා කරන ආකාරයේ නැකතකි. ක්ෂුද්‍ර නැකතක් යනු “පංච පක්ෂි ක්‍රමය” භාවිතා කර තනන නැකතකි. ඒ ගැන අප වෙන ලිපියක සාකච්චා කරමු.   


එසේ හෙයින් යම් කාර්යයක් කිරීමට තෝරා ගන්නා නැකත, තමාගේ නැකතට සීහෙන්නේද යන්න බැලීම අතිශයින් වැදගත් වේ.


…“සම්පූර්ණයෙන් නිරවද්‍ය නැකතක් තැනීමට සක්‍රයාට වත් නොහැකිය”… කියා කියමනක් ඇත. එක් උදාහරණයක් වන්නේ ඒ කියන නැකත රාත්‍රී බල ග්‍රහයෙක්ට අයත් නම්, එය රාත්‍රියේ වඩා පල දේ. දිවා බල ග්‍රහයෙක්ගේ නැකතක් නම් දිවා කාලයේ වැඩියෙන් පල දේ. මේ සියල්ල බලා අංග සම්පූර්ණ නැකතක් තැනීමට ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ හෝ බරණ ගණිතයා වැනි කෙනෙක් විය යුතුය. මෙන්න මේ නිසා නැකතක් හදා දෙන්න කියා හිතවතෙක් කියුවොත් කෙසේ හෝ එය මඟ හරිමි. නිවැරදි නැකතක් හදන්නට  දක්ෂයෙක් නොවෙමි. 


එසේම යම් කාර්යයක් කිරීම සඳහා කොතරම් හොඳ නැකතක් වුවද, තමාගේ නැකතට නොසීහෙන එක්තරා නැකතක් භාවිතා කල යුතු නැත. ඊට කියන්නේ, “ඝටක නැකත” යන්නය. එනම් ඒ නැකත පායන වෙලාව ගත යුතු නැත.       


එය විනාශය, පීඩා කරන, රිදවීම් ඇති කරන, වේදනා සහ මහන්සිය ගෙන දෙන, බලය අඩු කරන, මරණය ගෙන දෙන නැකත වේ. ඝටක නැකත උදාව ඇති වූ වෙලාව ඕනෑම ජන්මියෙකුට අශුභ ඇති කරවයි. ඝටක නැකතට කාරක වන්නේ කුජ ග්‍රහයා හෙයින් කුජ ග්‍රහයාගේ අරිටු පල වන ලේ හැලීම්, තුවාල සහ මරණ යනාදිය ලැබෙනු ඇත. ඒවා එක් එක් ජන්මීන්ගේ රාශි සඳහා මෙසේ වේ.  
 

මේෂයට මා නැකත, … වෘෂභයට හත නැකත,… මිථුනයට සිත නැකත,… කටකයට අනුර නැකත,… සිංහයට මුල නැකත,… කන්‍යාවට සුවන නැකත,… තුලාවට සියාවස නැකත, … වෘශ්චිකයට රේවතී නැකත,… ධනුවට බෙරණ නැකත, …  මකරයට රෙහෙණ නැකත,… කුම්භයට අද නැකත,… මීනයට අස්ලිස නැකත, … සේ වේ.


කෙනෙක් සමඟ ඇසුරු කිරීමේදී ඔහු හෝ ඇයට ඝටක නැකතක් තිබේ නම්, ඉතා කල්පනාකාරීව ඒ පුද්ගලයාව ඇසුරු කල යුතු වේ.  සංසාරගත හේතුන් නිසා කෙනෙක්ට තම දරුවන් ඝටක නැකත් වලින් උපදින අවස්ථාවන් ඇත.  එවැනි අවස්ථාවක ඒ කර්මය ගෙවා දමමි යයි සිතා කල්පනාවෙන් සහ මෛත්රියෙන් යුතුව කටයුතු කල යුතුය. සමහරවිට, බිම්බිසාර රජුගේ පුත් අජාසත්ත රජතුමාට තිබෙන්නට ඇත්තේ ඝටක නැකතක් වන්නට ඇත. 


දැන් මෙහිදී කෙනෙක්ට “ත්‍රිජන්ම නැකත්” වල ඇති වටිනාකම අවබෝධ විය යුතුය. එනම් කිසියම් ජන්මියෙක් ඒ ජන්මියාට ඝටක නැකත වන නැකතෙන් ජන්ම ලාභය ලබා ඇත්නම්, කිසියම් සුභ කටයුත්තක් ඒ නැකතට සීහෙන ආකාරයෙන් කිරීම වටින්නේද යන්නය. උදාහරණයක් සේ වෘශ්චික ලග්න ඇති කෙනෙක් “රේවතී” නැකතෙන් සුභ දේවල් යයි කාර්යයන් කල යුතු නැත. ඒ සඳහා ඇයට හෝ ඔහුට, රේවතී නැකතේ ත්‍රිජන්ම නැකත් වන, “අස්ලිස හෝ දෙට නැකත් වලට සීහෙන වෙලාවල් භාවිතා කල හැක.   


චන්ද්‍රයා මේ නැකතේ ගමන් කරන කාලය තුල කිසිම සුභ දෙයක් ආරම්භ කල යුතු නැත. එසේ සුභ යයි සිතන කාර්යය විනාශ වී ගිය හැක. නැකතක් සුභ කාර්යයකට භාවිතා කිරීමේදී තවත් වැදගත් පරාමිතියක් අපේ පැරැන්නෝ භාවිතා කළහ. එය නම් “ශූල චක්‍රය” සේ හඳුන්වන ලද රවී සිටින නැකත පදනම්ව ගත්, ත්‍රිශූලයක ආකාරයේ රූපයකින් යුතු චක්‍රය වේ. විශේෂයෙන් ත්‍රිශූලය මගින් හානි කෙරෙන රතු නැකත් ඉවත් කල යුතු වේ. 


සටහන:- මෙය ජගන්නාත මෘධුකාංගයේ Chakras → Shoola කොටස භාවිතයෙන් සොයා ගත හැක. රතු පැහැයෙන් පෙන්වන නැකත් භාවිතා කල යුතු නැත. 


කෙනෙක්ට එක්තරා නැකත් බලන්නෙක් විසින් කෙනෙක්ට තනා දී තිබුණු නැකත ඔහුට, “ඝටක නැකතක්” විය. මෙය ජ්‍යෝතිෂයට විරෝධී දෙයකි. ශූල චක්‍රය මගින් නිරුපණය කරන අශුභ නැකතක්ද දී තිබුණ තැනක් දැක ඇත්තෙමි. තවත් කෙනෙක් පවසන්නේ, “තමන් උපන් නැකත හොඳම වෙලාව බවය”… ඝටක නැකත ගැන ඔවුන් දන්නේද ?…? … මේවා ඕනාකමෙන් කරනවාද, නැතිනම් නොදැනුවත්කම නිසා කරනවාද යන්න නොතේරේ. 


නැකත් බලන, සුභ නැකත් තනා දෙන ජ්‍යෝතිෂවේදී මහත්මමහත්මාදීන් මේ කරුණු ගැන සිත් යොමු කරන්නේ නම් මැනවි. 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: