ගුරු ජීවිතය – විශාරද නීලා වික්‍රමසිංහ සහ මුද්‍රා නාට්‍යය

                                                


නව ඉතාලි කොන්සල් ජෙනරල් වරිය ලෙස පත්වූ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියට සුබ පැතුම් එකතු කරන්නට මේ අවස්ථාව භාවිතා කරමි. යම් විෂයක දක්ෂයන් සිටිති. ඒ අතර පරිපාලනයේ දක්ෂයන්ද සිටිති. එහෙත් මේ දෙක එක්ව ඇති අය අඩුය. නීලා වික්‍රමසිංහ මහත්මියට ඒ දෙකම තිබේ.  ඇය මේ ලිපිය දකී යයි සිතමි.  ඇය සාර්ථක සේ ඒ කාර්යයේ යෙදෙන බවට කිසිම සැකයක් මට නම් නැත. හේතුව ඇයගේ පරිපාලන දක්ෂතාවයම වේ. එහි යම් පැතිකඩක් පෙන්වන්නට කැමැත්තෙමි. 



“නීලක්කා: යයි ඇයට කියන්නට මා වාසනාවන්තයෙක් වුනෙමි. කළා ලොවේ අද්විතීය නමක් ඇති අසහාය ගායිකා, “විශාරද නීලා වික්‍රමසිංහ මැතිණිය” සහ පාසල් කාලයේ මගේ ප්‍රියතම ගායිකාව වූයේ ඇයයි. එහෙත් කවදාවත් එකම ගුරු මණ්ඩලයක ඇය සමඟ සේවය කරන්නට මට හැකිවෙතැයි සිහිනයකින් වත් නොසිතුවෙමි. එය බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයයි. මේ අතර විද්‍යාගාරය සහ සංගීත කාමරය එක අසළ තිබිණ. 

එකළ විද්‍යාගාරය මා භාරයේ තිබිණ. නමුත් මා හැකි සැම විටම සංගීත කාමරයට ඇදී ගියෙමි. ඇය සිසු සිසුවියන්ට සංගීතය පුහුණු කරන ආකාරය බලා සිටියෙමි. එහිදී මා සිත්ගත් වැදගත්ම දෙයක් වූයේ ඇය පන්ති කාමරයේ තබාගෙන තිබු විනය විය. මගේ පියා සංගීත ගුරුවරයෙක් වුවද, අප සංගීතය කරනවාට ඔහුගේ එතරම් කැමැත්තක් තිබුනේ නැත. ඊට හේතුව වූයේ එකළ, එනම් මා කුඩා කල සංගීතය ඉගෙනගත් අයට එතරම් තැනක් නොතිබීම වෙන්නට ඇත. තාත්තා අප සංගීතය කරනවාට අකමැති හේතුවක් විය.


එනම් ඉතා හොඳින් සංගීතය දත් ඔහුගේ මිතුරෙක් ගංජා වලට ඇබ්බැහි වී අකාලයේ මිය යෑම විය.  

ඒ මිතුරා වයලීනයක් අතින් ඇල්ලුවේ ගංජා සුරුට්ටුවක් උගුරට දෙකට ඇදීමෙන් පසුවය. ඉන් පසුව ඔබට ඇසෙන්නේ දිව්‍යමය සංගීතයකි. ඉන් පසු අමරදේව, සහ පැරණි ගායක ගායිකාවන් පමණක් නොව, මොහොමඩ් රාෆි, ලතා මංගේෂ්කාර්, ආශා බෝෂ්ලේද ඔහු අපේ මැද සාලයට ගෙන්වයි. සංගීතයට අදාළ අත්දැකීම් ලැබූ ඒ කාලය මගේ කුඩාම අවදිය විය. කුඩා බටනළාවක් ඔහුගෙන් මට තෑගී ලැබිණි. 

එතනින් එහාට මට ඔහු ගැන මතකයක් නැත. කැලෑවට පෑයූ සඳක් මෙන් ඔහු අකාලයේ මිය ගිය බව නම් මතකය. කෙසේ හෝ සාපේක්ෂව වයන්නට පහසු බටනළාව වයන්නට ඉගෙන ගතිමි.


ගමේ වෙසක් නාට්‍යය පුරුදු කරන්නේ තාත්තා විසිණි. “එස්රාජ්” යන තවත් සාපේක්ෂව වයන්නට පහසු උත්තර භාරතීය වාදක භාණ්ඩයක් මා ඉගෙන ගෙන තිබිණි. එය ඒ නාට්‍ය වල එස්රාජය වැයීම කලෙමි. එහෙත් තනි වාදක භාණ්ඩයක් සේ නොවේ. තවත් උගත් සංගීතවේදීන් සමඟය. එසේ හෙයින් මා වරදක් කලද එය සැඟවී ගියේය. මක්නිසාදයත්, එස්රාජය ඉතා මධුර හඬක් නිකුත් කළද, එහි තාරතාවය අඩු හෙයිණි.  


ජීවිතය නැවත ආරම්භ කරන්නේ නම් මෙතෙක් කරන ලද සියලු මෝඩකම් ඒ අයුරෙන්ම කරමි. එහෙත් විද්‍යා විෂයයන් අතහැර කලාත්මක විෂයයන්, සංගීතය නම් හදාරමි.  සිත් පිත් නැති යකඩ කැබලි සහ විදුළිය අතහැර, සිත් පිත් ඇති දරුවන්ට ඉගැන්වීම වඩා වටී. සමහරවිට පිටිසර පාසැලක සංගීත ගුරුවරයෙක් වී විශ්‍රාම යන්නට ඉඩ තිබිණ. එහෙත් අනිවාර්යයෙන්ම ඉන් ජීවිතයේ සතුට සහ තෘප්තභාවය මීට වඩා බොහෝ වැඩි වනු ඇත. 

පාසැල් ගුරුවරයෙක් සේ පත්වීම ලැබෙන කාලයේ සංගීතයට සහ සංගීතය විෂයක් මෙන් හදාරා ඉගෙන ගත් අයට, මා කුඩා කාලයේ ඒ සංගීතය කල අයට වඩා පිළිගැනීමක් තිබුනේය යයි සිතේ. ඒ අතර සංගීත අහසේ දිදුළන දීප්තිමත් තාරකාවක් මෙන් හෝ, කලාවට අධිපති ලක්ෂ්මී දෙවඟනගේ පූර්ණ අනුග්‍රහය සහ ආශිර්වාදය ලැබූ නීලා වික්‍රමසිංහ අසහාය ගායිකාවගේ ගීත ගුවන් විදුලියේ එකල ප්‍රචාරය වූ ගී අතර එකල කැපී පෙනින.  පරිගණකයක් හරහා ඇය, ඇයගේ කටහඬ විකෘති කර ගායනා කලේ නැත. උපතින් ලැබී තිබුණු කටහඬ විකෘති කර ගීත ගායනා කලේද නැත.

ගීතයක් ගායනා කිරීමේදී ඒ ගීතයේ භාගයක් ගයා එහි වරදක් ඇති වූ විට පසුව අනෙක් භාගය ගයා මුල් කොටසට පරිඝනකයක් භාවිතා කල එකට එකතු කලේ නැත. එතරම් නිවැරදි බවක් සහ ස්වභාවික මධුර කට හඬක් ඇයට තිබිණ. එය වෙනම කතාවකි.

මේ කාලයේ පාසැල් සඳහා දීප ව්‍යාප්ත මුද්‍රා නාට්‍ය තරඟයක් තිබෙන බවට ලිපියක් කාර්යාලයට පැමිණ තිබිණ. ඒ සඳහා කුඩාම බාලාංශ පන්ති දරුවන් හැර ඕනෑම පංතියකින් දරුවන් ඉදිරිපත් කල හැකි බව සඳහන් විය. රංගනයේ දක්ෂ හය සහ හත වසරේ දක්ෂ දරුවන් කීප දෙනෙක් මේ සඳහා තෝරා ගැනිණි. එහි සංගීතය සඳහා තනු, සහ ස්වර ප්‍රස්තාර, විශාරද නීලා වික්‍රමසිංහ විසින් සකස් කරන ලදී.

ඒ කාලය විශාරද නීලා වික්‍රමසිංහ,  විශාරද සනත් නන්දසිරි, වැනි අය බහුලව සංගීත සංදර්ශන වලට යන කාලය විය. ඒ නිසා හෝ මුද්‍රා නාට්‍ය තරඟයේ සංගීතය සැපයීමට ඇයට ඉඩ නැති වන්නට ඇත. නැතිනම් ඇය එම මුද්‍රා නාට්‍ය උළෙලේ සංගීතය කිරීමට නොයන්නට තීරණය කරන්නට ඇත. මක්නිසාදයත් එවිට විනිසුරු මණ්ඩලය අපහසුතාවයට පත් වන හෙයිනි.

කුඩා දරුවන් විසින් ඉදිරිපත් කරන්නට තිබුන නාට්‍යයක් හෙයින්දෝ නාට්‍යය මුළුල්ලේ පසුබිම් සංගීතය පමණක් වාදනය කිරීම කල යුතු විය. එකල මගේ පෙනුමත් පාසැලේ ඉහළ පන්තිවල කොල්ලෙක් මෙන් වුනු හෙයින්දෝ, ඒ සංගීතය සරළ සේ වයන්නට නීලක්කා මට කතා කළාය මට බට නලාව වැයීමට තිබුණු හැකියාව, හුදෙක් ඔහේ එය අතපත ගා ලැබුණු හැකියාව පමණක් වූ නිසා, ඒ ගමන යන්නට නම් අදිමදි කලෙමි. …. “ලලිත් මල්ලි, මේක උඹට කරන්න පුළුවන්!, කියමින් ඇය, දුර්මුඛව සිටි මා දිරිමත් කලාය. 

එකළ ස්වර ප්‍රස්ථාරයක් හෝ හරියට කියවා ගන්නට නොහැකි, සීමා සහිත දැනුමක් මෙන්ම අත්දැකීම්ද නැති මා ඊට අකමැති වුනෙමි. එහෙත් ඇයගේ දිරි ගැන්වීම් අනුව එය භාර ගතිමි. දැන් මුද්‍රා නාට්‍යයේ සංගීතය සපයන්නේ නැටුම් ගුරුවරිය ගේ ඩොල්කියත්, මා වයන ලද බටනලාවත් මගින් පමණි.  නාට්‍යයේ තේමාව වූයේ හාවන් රැලක් සහ නරියෙක් අතර කතාවකි. අවසානයේ හාවන්ගේ නායක හාවා, නරින්ගෙන් අනෙක් හාවන් බේරාගනී. 

තේමාව සරළ විය. එහෙත් සුන්දරය. නර්තනය සහ වාදනය එක්ව යාමේ කාර්යය නීලක්කා ඉටු කාලය.

එකල ප්‍රසිද්ධ සහ නාට්‍ය, සංගීතයේ ඉහළ තැනක තිබී විද්‍යාලවලින්ද නාට්‍ය ඉදිරිපත් වෙන්නේය යන විස්තර ලැබී තිබුණි. දරුවන් පාලනය කරන්නට තවත් ගුරුවරයෙක්, මා සහ නැටුම් ගුරුවරිය, කෝච්චියේ බදුලු ගියෙමු.  

පැමිණි මෝඩකම යයි සිතුනේ, අන් පාසැල් වලින් පැමිණි නාට්‍ය කණ්ඩායම් දෙස බැලූ විටය. ඔවුන්ට සහයට බොහෝ ගුරුවරු පමණක් නොව, වාදක කණ්ඩායම් පමණක් නොව, කෑම උයන්නට කෝකියන් සහ හැඩ වැඩ කරන්නට ශිල්පීන් පවා සිටියහ. රංගන ශිල්පයේ ඉහළම ත්‍යාග ගත් මිශ්‍ර පාසැලක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද එහි සිටියහ.  හරියට සුරයන් සහ දෙව්ලියන් පංච තුර්ය නාදය සමඟ මිහිපිටට පැමිණියාක් මෙන් විය. අපේ දරුවන්ද ඔවුන් දැක වික්‍ෂිප්ත වුනා සේ පෙනේ.

එහෙත් අප සමඟ සිටි අත්දැකීම් වැඩියෙන්ම තිබුණු “නන්දසිරි සර්” කියා සිටියේ, ඒවා අමතක කර නීලා මිස් කී ආකාරයට නාට්‍යය ගැන සිත යොමු කරන්න කියා විය. ඔහු ළමයින් ගේ සිත් හදන්නට දක්ෂයෙක් විය. ඔහුගේ වචන දරුවන් ගේ පමණක් නොව මටද දිරියක් විණි. සුළඟට මල් පෙති පාවෙන්නාක් මෙන් කුඩා දරුවෝ රංගනය ඉදිරිපත් කළහ.

අපේ වාරය එළැඹිණි. මට නම් සිතුනේ එය ,…  “දෙවියන් පය ගහන්නට බිය තැනක මෝඩයෝ පිලුම් ගහන්න හදනවා”… මෙන් දෙයක් බවය. කෙසේ හෝ සිතට දිරි අරගෙන රංගනය සඳහා සංගීතයෙන් දායක වුනෙමු. සමහරවිට ඒ කුඩා දරුවන්ගේ දක්‍ෂ බව,… ඔවුන්ගේ වයසට සරිලන රංගනය,… නීලා වික්‍රමසිංහ නම් අද්විතීය ගායිකාවගේ සංගීතය නිසා අප හිස් අතින් නාවෙමු. එයට මූලික හේතුව වන්නට ඇත්තේ ඇය විනයානුකූලව ඒ සංගීත ස්වර නැටුමට ගැලපී යන සේ කල නිර්මාණයම විය. 

අපට තුන් වන ස්ථානය ලැබුණි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: