චර දශා – 5

                                                                   චර දශා – 5  


මොන තරම් සිද්ධාන්ත ඉගෙන ගත්තද, ඒවා ප්‍රායෝගික සේ යෙදීමට අප නොදන්නේ නම් ඇති පලක් නැත. මේ ලිපියේ අප ඒ ගැන විමසීමේ උත්සාහයක් දරමු.



බොහෝ සිද්ධාන්ත හෙවත් ශ්‍රාස්ත්‍ර දැන ගැනීම “මංගල කරුණකි”. නමුත් ඒවා ජ්‍යෝතිෂ සිද්ධාන්ත වන විට, ඒවා ව්‍යාකූල භාවයකින් තොරව භාවිතා කල යුතු වේ. නිවැරදිව ඕනෑම ජ්‍යෝතිෂ දැනුමක් ගොනු කරගත් විට, කෙමෙන් කෙමෙන් ජ්‍යෝතිෂ අනාවැකි කීමේ “ඉව” කෙනෙක්ට ඇති වේ. පළපුරුදු ජ්‍යෝතිෂවේදීන් කේන්ද්‍රයක් දුටු විගස විස්මිත අනාවැකි කියන්නේ එලෙසිනි.



එසේම ඒ සිද්ධාන්ත සහ පළාඵල කීමේ ඉව අපගේ ජීවිතයටත් වඩා, ව්‍යසනයකට පත් වූ කෙනෙක්ට, එසේ නැත්නම් රැකියාවක් හෝ ජීවන මාර්ගයක් නැති කෙනෙක් වෙනුවෙන් භාවිතා කෙරෙන්නේ නම් තවත් වටී. ඒ අතර ගුරු මුෂ්ටි කියා, පටු කුහක සංකල්පයක් ලංකාවේ ඇත. හුදෙක් ආත්මාර්ථකාමීත්වය හැර වෙන දෙයක් එහි නැත. සියල්ල එක්ව අඩියක් උඩ යන්නේ නොමැතිව, තනියම අඟලක් උඩ යාම එහි ඉලක්කය වේ. ඉන් අප මිදිය යුතු වේ.



මෙයට විරුද්ධ හොඳම උදාහරණ ඈත්තේ ඉන්දියානුවන් අතරේ වේ. පිටරට රැකියා කරන කෙනෙක් එය දන්නවා ඇත. කලාතුරකින් පමණක් ඔවුන් ඔවුන්ගේ කෙනෙක්ට කරදර කරති. තොරතුරු සඟවති. එහෙත් බොහෝ විටෙක බැරි එකාට අත දී කෙසේ හෝ ඉහලට ගැනීම ඔවුන්ගේ සිරිතයි. මේ උදව් කිරීමේ ගතිය අඩුවෙන්ම ඇත්තේ ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටයේ සිටින්නන්ගේ බව කීමට සිදුව ඇත. එහි ප්‍රතිඵල දැන් ලැබී අප විඳවන්නෙමු. ජ්‍යෝතිෂය ගැන වුවද එය එසේමය.



ලංකාවේ ජ්‍යෝතිෂ වේදීන් දෙදෙනෙක් එකිනෙකා හා සමඟ එකඟ වන්නේ කලාතුරකිනි. අල්ලා පෙට්ටියකට දැම්මා නම්, පසුවදා වල්ගා දෙක පමණක් දැකීමට හැකි වනු ඇත. එවැනි ජ්‍යෝතිෂ වේදියෙක් සොයා ගැනීමේ හොඳම ක්‍රමය වන්නේ, යම් ගැටළුවකට, ජ්‍යෝතිෂ සාධක නොදක්වා ඵලය පමණක් කියන්නෙක් වීමය. එහෙම කීවේ කොහොමද කියා ඇසු විට ඔබට ඔවුන් කියන්නේ, …” මගේ ක්‍රම තියෙනවා” … කියාය. නොකියා කියන්නේ, “ඒ ක්‍රම අහන්නට එපා” යන්නය.  එක්කෝ දන්නා දෙයක් නැත. නැතිනම් දැනුම සැඟවීමටය.  කතාවට නැවතත්;  
 


මේ කාලයේ රැකියා නොමැතිව අපහසුවෙන් සිටින අය ගැන අලුතෙන් කීම අනවශ්‍ය වේ. ඒ ආකාරයේ කෙනෙක් ගේ කේන්ද්‍රයක් විශ්ලේෂණය කරමු.


අවසානයේ අවශ්‍ය වන්නේ ජ්‍යෝතිෂ නියාමයන් ඉගෙන ගැනීමත්, එමගින් තවත් කෙනෙක්ට යන්නට ඇති හොඳම මාර්ගය පෙන්වා දීමත් වේ. මේ සමඟ දමා ඇති කේන්ද්‍රය විමසමු. අපි ඒ ගැන මුලින් සාකච්චා කල නියමයන් හරහා අර්ථ දැක්වූ නීති කීපයක් මෙසේ සටහන් කර ගනිමු.


*1 – සඳු PK , කුජ PIK, ගුරු BK සිටින කන්‍යා රාශිය , මිථුන , ධනු, මීන යන රාශි දකී.
*2 – ශනි DK සිටින කුම්භ රාශිය, මේෂ, කටක, සහ තුලා යන රාශි දකී.
*3 – සිකුරු AK සිටින මිථුන රාශිය කන්‍යා, ධනු, මීන යන රාශි දකී.
*4 – බුද AMK සිටින රාශිය වෘශ්චිකය, කුම්භය, වෘෂභය යන රාශි දකී.  


දැන් ඉහත නියමයන් වෙනත් ආකාරයකට හෙවත් ජෛමිණී කාරක සම්බන්ද කර ලියා ගනිමු. එනම් මෙහිදී පරාශර ක්‍රමයට සම්බන්ද වූ කෙනෙක්ට ග්‍රහයන්ගේ චරිත ස්වභාවය හරහා දකින දෑ දැන් පෙනෙන්නේ නැත.


**1 – පුත්‍ර කාරක, පීතෘ කාරක, භාරතු කාරක සිටින කන්‍යා රාශිය මිථුන , ධනු, මීන යන රාශි දකී.
**2 – දාර කාරක සිටින කුම්භ රාශිය, මේෂ, කටක, සහ තුලා යන රාශි දකී.
**3 – ආත්ම කාරක සිටින මිථුන රාශිය කන්‍යා, ධනු, මීන යන රාශි දකී.
**4 – අමාත්‍ය කාරක සිටින රාශිය වෘශ්චිකය, කුම්භය, වෘෂභය යන රාශි දකී.  


මේ කේන්ද්‍රය අයිති පුද්ගලයාට රැකියාව අහිමි වී ඇති අතර කාලයක් තිස්සේ රැකියාවක් සොයමින් සිටී. ආර්ථික ගැටළු සහ අසනීප වලටද ඔහුට මුහුණ දෙන්නට සිදුව ඇත. ඒ සඳහා විසඳුමක් තිබේද යන්න ඔහුගේ ගැටලුව වේ. ඇත්තෙන්ම පිටුවේ  ජ්‍යෝතිෂ සිද්ධාන්ත වලට පමණක් මුල් තැනක් දුන්නද, යම් විශේෂ අවස්ථාවන් හිදී කෙනෙක්ට උදව්වක් දුන්නාට ඇති වරදක් නැත.


කේන්ද්‍රය බැලීම නම් වටී. විස්තර කීම තවත් වටී. නමුත් ඒ අරිටු පළ වළකා ඔහුගේ අවශ්‍යතාවය කෙසේ ඉටු කර ගන්නේද යන්න කීම අවසාන ඉලක්කය වේ.  ඒ අතරේ අප දන්නා හෝ අපගේම කේන්ද්‍රය මේ ආකාරයෙන් විශ්ලේෂණය කර එය මේ තර්ක වලට කොතෙක් අනුගත වන්නේද යයි බැලීමද වටී.


ඔහුගේ චර මහ දශා කාලය ධනු නිසා එසේ කේන්ද්‍රයේ ග්‍රහයන් පිහිටවා ඇත. බලන්න බුද හෙවත් AMK එහි 8 වැන්නේ පතිත වී ඇත. බුද ජන්ම ලග්නය වන කන්යාවේ ද ලග්නාධිපතියා වේ. පසුගිය ලිපි වලින් අමාත්‍ය කාරකයා AMK යනු ආත්ම කාරකයාට වැඩිම සහායක් දෙන ග්‍රහයා බව සාකච්චා කළෙමු. නමුත් මේ කියන චර දශා රාශි කාලය වන 2013 අගෝස්තු 20 සිට 2022 අගෝස්තු 20 තෙක් කාලය අමාත්‍ය කාරකයාගේ බලය අවම වී ඇති බව පැහැදිළිය.


එනම් බුද හෙවත් අමාත්‍ය කාරකයා, ධනු රාශියේ චර මහ දශා රාශි කාලය සැලකු විට 8 වන රාශියේ සිටින හෙයිනි. අවශ්‍ය නම් එහි උප දශාව වන සිංහය ද [2021 පෙබරවාරි 15 සිට 2021 නොවැම්බර් 19 තෙක්] නිරීක්ෂණය කල හැක. එවිටද වවන්නේ අමාත්‍ය කාරකයා 12 වන රාශියේ සිටීමය. එනම් මේ කාලයේ අමාත්‍ය කාරකයා ගෙන් අවම සහායයක් ඇති බව පෙනී යයි. එහෙත් ධනු මහ දශාවේ වෘශ්චික අතුරු දශාවේ යන කාලයේ [2021 නොවැම්බර් 19 සිට 2022 අගෝස්තු 20]  අමාත්‍ය කාරකයා 9 වන්නට යෑම යම් සහනයක් ඇති කාලයක් වන්නට හැකියාව ඇත. 


මෙන්න මේ කාලයේ රැකියාව සඳහා නියෝජනය සිංහය ලග්නය සේ ගෙන තනන කේන්ද්‍රයෙන් නිරීක්ෂණය කල හැක. එනම් සිංහ යේ 10 වන රාශිය යනු වෘෂභය වේ. ඉහත **4 යන සටහනේ මෙසේ කියා ඇත. //අමාත්‍ය කාරක සිටින රාශිය වෘශ්චිකය, කුම්භය, වෘෂභය යන රාශි දකී. // මෙය රැකියාව අරභයා සුභ ලකුණක් බවට හෝඩුවාවකි. එනම් වෘෂභයේ සිටින සුභ ග්‍රහයන් ගෙන් අමාත්‍ය කාරකයාට සහායයක් ලැබීම හෙයිණි. වෘෂභයේ සිටින කේතු ගුරු විසින් දැකුම් ලබයි. එය සුභ ලකුණකි.


දැන් අපි මේ කේන්ද්‍රය පරාශර ක්‍රමය අනුව සැකෙවින් විශ්ලේෂණය කර, එය ජෛමිණී ක්‍රමය හා ගැටෙන්නේ ද යයි බලමු.  


ඔහුගේ රැකියාව නැති වූයේ 2020 ජුනි මාසයේ දී විය. රැකියාව ගැන පුරෝකථනයේදී 10 “සිටි”, “දුටු” සහ “අධිපති” ග්‍රහයන්ට මුල් තැන දීම කෙමෙන් අඩුවිය යුතු වේ. එවිට සිටි ග්‍රහයා වූයේ සිකුරුයි. දහයේ සිටින සිකුරු රාශි අන්තයක ඇති නිසා, “බාල අවස්ථාව” ගෙන දේ. එසේම සිකුරු ඉන්නේ ගුරු ගේ පුනාවස නැකතේ වීමත්, ඒ කාලයේ ගුරු ලග්නයේ නීචව ගෝචරයෙන් ගමන් කිරීමත් රැකියාව නැති වීමට හේතුවක් වන්නට ඇත. ශනි ඒරාෂ්ටකයක් යන මේ කාලය, එම අපහසු බව තව දුරට වැඩි කරන්නටද ඇත.


කන්‍යා රාශි හිමියා ගේ රැකියාව නියෝජනය කරන දහ වැන්නාධිපති බුද වන අතර මේ කාලයේ රාහු මහ දහාවේ බුද අතුර යමින් පැවතිණි. බුද රාහු සමඟ “අද” නැකතේ ගමන් කරමින්, සම්පූර්ණයෙන්ම රාහු ගේ බලයට නතු වී තිබිණ. ගෝචරයෙන් රාහු , කේතු සිටින තැනට පැමිනීම නිසා රාහුගේ ස්වභාවික ගතිගුණ වලට බාධාවකි. රාහුගේ විනාශකාරී බව එල්ල වූයේ බුද ගේ නියෝජනයන්ට බව පෙනේ. බුද සහ සඳු අතර ඇති පරිවර්ථනයට වඩා රාහුගේ පාපී බව වැඩි වූවාක් මෙන් පෙනේ.


කෙසේ හෝ ඒ පරිවර්ථනයේ බලය හීන වීමක් වී ඇති බව 22 වන දෙර්කානාධිපති, ලග්නයට සතුරු කුජ , සහ කුජ 8 අධිපති වී පරිවර්ථිත එක් ස්ථානයක් වූ ලග්නයේ සිටීම මගින් පෙනී යයි.   


[සටහන :- ඒරාෂ්ටක ගැන විස්තර ඉතා කෙටියෙන් කිවහොත්;   ශනි ගෙන් වන ඒරාෂ්ටක වර්ග කීපයකි. ශනි, ශනි සිටින තැනට ඒම, ශනි ලග්නයට ඒම, ශනි සඳු සිටිය ස්ථානයට ඒම සහ ඒ ඒ ස්ථාන වලින් 2 සහ 12 යෑමද ශනි ඒරාෂ්ටක සේ හැඳින්වේ. ඉහත කී ඒරාෂ්ටක පිළිවෙලින් ශනි, ලග්න සහ සඳු ඒරාෂ්ටක සේ කියති.]


මේ ඒරාෂ්ටක අපලය ඔහුට මිශ්‍ර ඵල දෙනවා ඇත. එනම් ශනි කන්‍යා රාශිය හිමි බුද ගේ මිත්‍රයෙක් නිසාත්, ශනි කුම්භයේ ස්වක්ෂේත්‍ර ව සිටින නිසාත්, පාප ග්‍රහයෙක් වක්‍ර වූ නිසාත්, නවාංශයේ උච්ච වීම නිසාත් සුභ ඵල ලබා දේ. එහෙත් ශනි කුම්භයේ මුල “බාල” අවස්ථාවේ සිටීමත්, රැකියා කාරකයා සේ ගත් කල, ශනි නවාංශයේ 8 රාශියේ සිටීමත් අශුභ ඵල ගෙන දේ.


අවසානයේ මේ සියල්ල කිරා මැන කියන්නට ඇත්තේ 2022 මැද කාලය වන තුරු ජීවිතය එතරම් පහසු නැති බවත්, සියළු උත්සාහයන් පසුපසට ඇද දමන ශනි ගේ අශුභ මඟ හැරවීම සඳහා, ශනිගේ නෛසර්ගික තත්වයන් වන රැකියා සෙවීමට වඩාත් මහන්සි විය යුතු බවත්ය.  එනම් පොළව සමඟ කරන කටයුතු වන ගොවිතැන් සහ ගොඩනැගිළි තැනීම වැනි දේට යොමු වීම වඩා වැදගත් බවත්ය.  ශනි නවාංශයේ 8 වැන්නේ උච්ච වීම අන්සතු ධනයක් හෝ නොසිතු ආකාරයක ධනයක් ලැබීමට හේතුවකි. 


මෙය චර රාශි දශා ඇසුරෙන් විශ්ලේෂණය කිරීමට මුල් තැනක් දුන්නද, ක්‍රිෂ්ණමුර්ති ක්‍රමය හෝ සම්ප්‍රදායික ජ්‍යෝතිෂය මගින් ඔබද දන්නා මේ කේන්ද්‍රයේ පෙනෙන දේ කීම මෙන්ම, අවශ්‍ය පූජා විධි පැවසීම ඒ පුද්ගලයා වෙනුවෙන් ඉතාම අගය කරමි.


https://www.facebook.com/groups/nationalastrologers/?multi_permalinks=901493370725986&notif_id=1631428330514010&notif_t=feedback_reaction_generic&ref=notif





  

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: