හැකිතාක් නිර්මාංශ වී සිටිය යුත්තේ කුමක් නිසාද ?

                 1. මස් ඉරා කෑම සඳහා අපට ඇති දන්ත වින්‍යාසය ගැන සලකන විට  , කෘන්තක, රදනක, චාර්වක සහ පුරඃ චාර්වක යන දත් වලින්, තියුණු සේ නිර්මාණය වන්නේ “රදනක” දත් වේ. මිනිසාගේ  රදනක දත් කුඩා කාලයේ තරමක් උල්ව තිබී, පසුව ඒවා මොට්ට වේ. කුඩා දරුවෙක් ගේ සහ වැඩිහිටියෙක්ගේ දත් සංසන්දනය කිරීමෙන් මෙය වටහා ගත හැක.

2. ඉහත කියන ලද රදනක දත් හාස්‍යජනක සේ මොට්ට වීම නිසා, ඉන් මස් කැබැල්ලක් ඉරන්න හැදුවොත් දත් බුරුල් කරගන්නට හෝ දත් කඩා ගන්නට එය හේතුවක් වනවා ඇත.

3. සතුන් කිහිප දෙනෙක්ගේ හක්කේ ස්වභාවය විමසා බලමු. මේ සඳහා ඇතා, හරකා, එළුවා හාවා, බැටළුවා කාණ්ඩ 1 සේද , බල්ලා, පූසා, කොටියා, සිංහයා කාණ්ඩ 2 සේ උදාහරණ සඳහා ගනිමු. කාණ්ඩ 1 සතුන් ගේ හක්ක ඕනා අතකට හැරවිය හැකි ආකාරයේ වේ. [Universal joint] ඔවුන්ට උල් දත් ඇත්තේ අඩුවෙනි. ඒ ආකාරයේ හක්කක් ස්වභාවික වරණය හරහා පසුගිය වසර මිලියන ගණනාවක් තිස්සේ ඇතිව තිබෙන්නේ, ආහාර අඹරා අනුභවය සඳහා වේ.

4. කාණ්ඩ 2 සතුන් ට ඒ ආකාරයේ යටි හක්කක් නැත. එය දොරක සරනේරුවක් මෙනි. ඔවුන්ට ඔවුන්ගේ හක්ක හුදෙක් එක දිශාවකට, උදාහරණයක් සේ උඩ – පහළ සේ පමණක් චලනය කල හැක. එනම් ඒ තවත් සතෙක් ගේ මස් කඩා කෑම පහසු කරවීමටය. මෙවිට හක්කේ බලය ඉතා වැඩිය. මේ කියන දේවල් විශ්වාස නැති නම්, හීලෑ බළලෙක් අල්ලා පරීක්ෂා කරන්න. තියුණු දත්, ඉහත ස්වභාවය පමණක් නොව දිවේද රළු කෙස් වැනි මස් පහසුවෙන් විඝටනය වීමට ක්‍රම ඇත.

5. තවද කාණ්ඩ 1 සතුන්ගේ මුවේ සිට ගුධ මාර්ගයට දිග ඒ සතාගේ මුළු දිග මෙන් පස් ගුණයකි. එසේ වී ඇත්තේ ඔවුන් සෙලියුලෝස් වැනි දිරවීමට කාලයක් යන ආහාර සංඝටක අනුභවය කරන හෙයිණි. නමුත් කාණ්ඩ 2 ට අයත් සතුන් ගේ එය තුන් ගුණයකි. එවිට එළවළු පමණක් අනුභවය කරන සතෙක් මස් මාංශ අනුභව කල විට වන්නේ, ජීර්ණ පද්ධතියේ වැඩි කාලයක් ඒ ආහාර තිබීම නිසා බඩේ අමාරු ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වීමය. එළවළු කා බඩේ අමාරු හැදුණු කෙනෙක් ගැන ඔබ අසා තිබේද ?

6. මේ ඉහත කතාවේ දත්ත වලින් අපට ලැබෙන්නේ කුමක්ද ? මිනිස් හක්ක සහ දත් කාණ්ඩ 1ට අයත් බවය. එපමණක්ද ? … මිනිසාගේ ජීර්ණ පද්ධතියත් කාණ්ඩ 1 ට අයත් බවය.

7. මෙහි තේරුම මිනිසාට මස් මාංශ අනුභවය කල නොහැකි බව නොවේ. එහෙත් මිනිසාට වඩාත් ගැලපී යන නම වන්නේ, “නිර්මාංශ සත්වයෙක්” යන්නය. මිනිසාට පමණක් නොව, හරකුන් වැනි සතුන්ට පවා “සත්ව ප්‍රෝටීන” අවශ්‍ය වේ. හරකුන්ට ඒ සත්ව ප්‍රෝටීන ලැබෙන්නේ, ඔවුන් තණකොළ බුදින විට ඒ තණකොළ අතර ඇති කුඩා සතුන් සහ බැක්ටීරියා වර්ග ඇති තරම් ගිලෙන හෙයිණි.

8. ජීවන චක්‍රයේ අපට වඩා පහළින්, එනම් වඳුරන් ගෙනුත් විශේෂ වඳුරන් වැනි සතුන් කලාතුරකින් මස් අනුභවය කරති. එනම් ඔවුන්ටද මස් වලින් ලැබෙන සත්ව ප්‍රෝටීන අවශ්‍ය වේ. නමුත් එසේ අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය ඉතාම අල්පයක් වේ. [9 බලන්න]

9. මිනිසාට සහ වෙනත් නිර්මාංශ සතුන්ට අවශ්‍ය සත්ව ප්‍රෝටීන එක්තරා විශේෂ ප්‍රභවයක යහමින් ඇත. එළවලුවක්ද නොවූ , මසක් මාංශයක්ද නොවූ මේ ප්‍රභවය කුමක්වත් නොව, “හතු” වේ. මීට අමතරව කිරි වලින් තනන යෝගර්ට් වැනි දෙයක B12 ඇත. [කිරි අයෝග්‍යය. එය වෙනම කතාවකි. කිරි බොන එකම වැඩිහිටි සතා මෙන්ම අන් සතෙක්ගේ කිරි බොන එකම සතාද මිනිසා පමණකි.]

10. කෙනෙක්ට දිනකට අවශ්‍ය B12 ප්‍රමාණය ඔබ දන්නවාද ? එය ඉතාම සුළු ප්‍රමාණයකි. සංසන්දනයකින් කිවහොත් එය ‘මැස්සෙක් ගේ පියාපතක්’ පමණ ප්‍රමාණයකි. අවශ්‍ය කෙනෙක් ඒ ගැන වෙදැදුරෙක් ගෙන් අසන්න. නැතහොත් ගූගල් කර බලන්න. කම්මැලි කෙනෙක් මාව විශ්වාස කරන්න. දිනකට අවශ්‍ය වන උපරිම ප්‍රමාණය 25 mcg වේ. mcg එකක් යනු ග්‍රෑම් එකකින් මිලියනයකින් එකකි. ස්වභාවික සේ ආහාර ගන්නා ඕනෑම කෙනෙක්ට ශරීරයට හිතකර බැක්ටීරියා මගින් පමණක් ඒ ප්‍රමාණය සිරුරට ලැබෙනු ඇත.

11. සෛධාන්තික සේ කෙනෙක් සම්පූර්ණයෙන්ම [යෝගර්ට්, හතු වැනි දේ පවා වර්ජනය කර] ජීවත් වුවද, වසර ගණනාවක් සිරුරේ ගබඩා වී ඇති B12 ප්‍රමාණය කෙමෙන් කෙමෙන් වියැකී යන්නට ප්‍රමාණවත් වේ.

මේ ආකාරයේ ස්වභාවික පරාමිතික ගැන විමර්ශනය කල විට දිනපතා මස් මාළු අනුභවය සහ සතුන් මැරීම, “හරියට බනිස් ගෙඩියක් කන්නට බේකරියක් මිළදී ගන්නවා” වැනි දෙයකි.

මිනිසුන් මස් මාළු කන්නට හුරු වන්නේ එහි ඇති රසය ගැන සිතා වුවද, සත්‍ය වශයෙන්ම ඒ රසය ඇති වන්නේ මස් මාළු උයන ආකාරය නිසා වේ. කෙටියෙන් කිවහොත් ඒ සඳහා භාවිතා කරන කුළු බඩු වලිනි. හොඳ ගෘහිණියක් හෝ සූපවේදියෙක්ට හතු මාළුව, පොළොස් මාළුව වැනි දෙයක්, නොදන්නා කෙනෙක්ට මස් යයි හැඟෙන ආකාරයට පිසිය හැක.


විශේෂයෙන් ආසියාතික රටවල් වල කුළු බඩු වැඩි වැඩියෙන් දැමීම නිසා මස් මාළු ඇති ආහාර වේලක් ගැනීමෙන් පසු ඒ ආහාර අවශෝෂණය කර ගැනීම සඳහා සිරුරට වැඩි ප්‍රයත්නයක් දැරිය යුතුය. මෙන්න මේ නිසා අපට එවිට වැඩි නිදිමතක් ඇති වේ. කියන නිසා මේවා පිළිගත යුතු නැත. සම්පූර්ණ නිර්මාංශ ආහාර ගන්නා කෙනෙක් ඉතා පහසුවෙන් මෙන්ම ප්‍රබෝධයෙන් යුතුව අවදි වේ. රාත්‍රියේ මස් සහිත ආහාරයක් අනුභව කල කෙනෙක් පසුවදා මුව සේදීමට පෙර ඇතිවන මුඛ දුර්ගන්ධය විමසා බැලුවහොත් කලන්තය දමනු ඇත.


ඕනෑම කෙනෙක්ට මේවා පරීක්ෂා කිරීමේ හැකියාව ඇත.


සියළුම සතුන්ට ඇති ජීවත් වීමේ අයිතිය ගැන, හදවතට හොරෙන් කෑම ගැන නොසිතන ඕනෑම කෙනෙක්ට ඒ සතුට ලැබෙනු ඇත. නොබෝදා ඉස්ලාම් ආගමික උළෙලක එක් තරුණ කොටසක් “මස් නැති ඊඩ් උළෙලක්” සංවිධානය කර තිබිණ. මිනිසුන් වෙනස් වෙමින් පවතී. ආගමික සංකල්ප වලින් මිනිසා ගේ ඔලුව සැමදා කුරුවල් වී තිබෙන්නේ නැත. ලෝකයට වැඩිම අයහපත මෙන්ම යහපතද කරන්නේ මිනිසා විසින් බව අවබෝධ කරගැනීම වටී.


මස් කිලෝ එකකට අවශ්‍ය ජලය ප්‍රමාණයද, ඒ මස් සතෙක් හරහා ලැබිය යුතු ශාඛ ප්‍රමාණයද ඉමහත් වේ. අද දින අන් කවරදාට වත් නොමැති තරම් පරිසරය විනාශ වී ඇත. ඒ විනාශ වීමට එක ප්‍රධාන හේතුවක් වන්නේ අධි පරිභෝජනය වේ. ජීවත් වීම සඳහා වඩාත් රසට මෙන් ගුණයෙන් යුතුව එළවළු වලින් පමණක් යැපෙන්නේ නම්, ඒ තත්වය ලොවේ පැවැත්මට වඩා වටින්නේය.

මස් මාළු කෑම නිසා අපට මුහුණ දෙන්නට වන තවත් විශාල අඩුපාඩුවක් නම් දිවේ රසය හඳුනා ගැනීමේ ස්වභාවය අවමයක් වීමය. මේ ලියන කියන එකක්වත් විශ්වාස කළ යුතු දේ නොව, “පරීක්ෂා කර විශ්වාස කල යුතු දේ” පමණි. වැඩි කාලයක් නොව, මාසයක් පමණ කිසිම මසක් මාළුවක් නොකා, එළවළු පමණක් ආහාරයට ගෙන බලන්න. වෙනස වැටහෙනු ඇත.


අමු කැරට් අලයක්, ගෝවා කොලයක් කොතරම් රසද යයි ඔබ වටහා ගනු ඇත. එළවළු පමණක් අනුභවය කරන කෙනෙක්ට කිසිදා මළ බද්ධය හැදෙන්නේ නැත.   
    

අදින් බොහෝ කලකට පෙර මානවයා විසින් ගින්දර සොයා ගැනීමෙන් පසු ආහාර මෘදු කරගැනීමට හැකිවීමෙන් පසු ආහාර සඳහා මස් මාළු භාවිතය වඩාත් වැඩි වුනා මිසෙක එය අනෙක් සතුන්ගේ පරිභෝජනයට ගැනීමේ ස්වභාවික රටාවක් මිනිසාට ලැබුනේ නැත. එය මිනිස් මනසේ ඇති ඉහළ චින්තන ශක්තිය නිසාම සිදු වූ දෙයකි. ක්‍රීඩා සඳහා සතුන් මැරීමද මිනිසා හැර වෙන කිසිම සතෙක් නොකරන දෙයකි. මේවා සාධාරණීයකරණය කිරීමට මස් භාවිතය ප්‍රයෝජනයට ගනී. 

මස් භාවිතය මිනිස් සමාජයේ ප්‍රචලිත වීමට හේතුව වූයේ “හෝමෝ හැබිලස්’ හෙවත් “ආයුධ තනන්නා” [Tool man] විසින් ගල් පතුරු ලී කැබලි වැනි දෙයින් සතුන් මරා ගැනීමට හැකි වීමෙනි. ඉන් පෙර පාෂාණ ගත මිනිස් ෆොසිල සාධක වල සත්ව මාංශ භාවිතය අවම වූ බව මානව විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති දෙයකි. ඉන් බොහෝ පසු කලෙක මිනිසුන් මස් සඳහා සමූහ වශයෙන් සතුන් ඇති කළහ. 
 සත්ව කරුණාව ඇති මිනිසෙක්ට, සතෙක්ට ජීවිත දානය දීම සඳහා ඉහත කියන ලද හෑලි එකක්වත් අනවශ්‍යය. අවශ්‍ය වන්නේ, ඕනෑම මස් මාළු ආහාරයක් පිටුපස සතෙක්ගේ මරණීය වේදනාව සහ එම සතා මිය යා යුතු බව දැන ගැනීම පමණි.

කබරගොයා, තලගොයා කර කෑමට අවශ්‍ය කෙනෙක් මෙන්ම, තවමත් යල් පැන ගිය ආගමික මතිමතාන්තර වල එල්ලී සිටින මානසික වහලෙක්ට හෝ වහළියකට මේ කරුණු අදාළ නැත.      

     

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: