මේ තරම් අර්ථාන්විත වෙසක් දිනයක් අපට කිසිදිනෙක නොලැබෙනු ඇත.
මුලින්ම අපි, බුකියේ මේ කාලයේ ලියවෙන දේවල් කීපයක් බලමු.
## තනියම යන්න නම් දුකක් නෑ .. ඉතිරිවෙන අය ගැන ලොකු ලෝබකමක් තියෙනවා… පොඩ්ඩො, වයිෆ් නැතිව යන්න උනොත් යමු අයියේ මොනව කරන්න ද?
## හරිම දුකයි. ඉතාම තරුණ සොඳුරු මිනිස්සු එක පාරම යන්න ගිහින්… !
## වැඩියෙන්ම තියෙන්නේ කවුරු හරි කෙනෙක්ගේ අම්මෙක් තාත්තෙක් , අයියෙක් අක්කෙක් , මිතුරෙක් මිතුරියක් ජීවිතයෙන් සමු අරන් ඔහුට / ඇයට නිවන් සුව පතපු පෝස්ට් එකක් නැත්නම් අවමංගල ඡායාරූපයක්
## ඊයේ දවසට විතරක් ඒ වගේ පෝස්ට් හැට හැත්තැවක් දකින්න ඇති මම.. ගොඩාක් සුන්දර මුහුණු අකාළයේ ජීවිතයෙන් සමු අරන්. අපි හැමෝම එක එක්කෙනා අපිව දාලා යනවා..
## මේ ඉන්නව…මේ නෑ කියනවා. ඊයෙ ලංකාවෙ සෑහෙන්න මැරිලලු. …!
## සසරේ කිසි දිනක මෙවන් අකල් මරණයක් නොවේවා!
හිතවත් කෙනෙක්ට, තමාට සමීප ආදරණීය කෙනෙක් මිය ගියවිට විශාල දුකක් දැනෙන බව සත්‍යකි. එහෙත් අපට එවැනි දෙයක් සිදුවුවහොත් වෙන කරන්න දෙයක් ඉතිරිව තිබේද ?
දැන් අපි, අපෙන්ම ප්‍රශ්නයක් ඇසුවොත් ?…. අපට මැරෙන්න ක්‍රමයක් තීරණය කල හැකි නම්,…. අපි කුමක් නම් තෝරා ගනිමුද ? ලයිට් මියුසික් එකක් ඇසෙන අතරේ,… සාමයෙන් ඇඳට ගොස් නිදා ගන්නවා නම් හොඳය” … සේ බොහෝ අය කියනු ඇත. එහෙත් එසේ මියගිය කෙනෙක් ගැන අප අසා ඇත්තේද ?
කිසිසේත් නැත. මේ ලිපිය බලන ඔබත්, එය ලියන්නාත් මිය යන්නේ, එක්කෝ වාහනයකට යටවී කුඩු සංසාර වීමෙනි. එසේ නැත්නම් ලේ පිළිකාවක් හැදී මහරගම රෝහලේදීය. මුහුදේ රැළි අතර හුස්ම හිරැවීම විය හැක. කෝවිඩ් නියුමෝනියාවද අප එනතුරු බලා සිටී. නැත්නම් මාකට් එකක බඩු ගන්න ගිය විටෙක හෘදාබාධයක් ඇතිවී එතනම මළ මුත්‍රා පහ කරමින්,…, එහි රැට්ල් වන – එනම් කච කච ගාන ට්‍රොලි අතර වේ.
ඉහත කෙනෙක් අන්තිමට කියා ඇති දෙය, …”සසරේ කිසි දිනක මෙවන් අකල් මරණයක් නොවේවා!… යන්න ගැන මොහොතක් සිතමු. මාරයා පැමිණ ,… “දැන් මැරෙන්න ලැහැස්ති වෙයන් ! … !! කීවොත් ඔබ කුමක් කියන්නේද ? මියයන අවසාන මොහොතේද අපට කරන්න දෙයක් ඉතිරිව තිබෙනු ඇත. සෑම මරණයක්ම අකල් මරණයකි. … “එහෙනම් මචං , අපි ගියා “.. “බයි බායි”….! … කියා මිය ගිය කෙනෙක් ගැන ඔබ අසා තිබේද ?
මෙන්න මේ හේතුව නිසා ලොව කිසිම ආගමක නැති දෙයක් ගැන බුදු දහමෙන් අපට ඉගෙන ගත හැක.
එනම් එය “මරණානුස්මෘතිය” වේ. මරණය යන්න යතාර්ථයක් බවත්, ඕනෑම වෙලාවක, ඕනෑම ආකාරයකට එය විය හැකි බවත් ඉන් අවධාරණය වේ. එය යම් තරමකට හෝ දන්නා තැනැත්තා, “අනේක සබ්බ සකළ ලෝක විප්‍රකාරයන්” දැක සසළ වන්නේ නැත. අඩුම තරමේ ඒ සසළ වීම අවමයක් කරගනී. දැන් කෙනෙක්, බුදු දහම සෘණාත්මක දේ කියන ආගමක් කියන්නට පුළුවන්. එසේ නම් බුදු දහම පැත්තකින් තිබ්බොත්, ජීවිතයේ දුක වෙනස් වේද ?
මේ ව්‍යසන සමයේ බුදු දහම දීප්තිමත් ගිණි සිලක් මෙන් දැල්වෙමින්, අන් ආගම් භක්තිකයන්ගේ පවා ජීවිත ආලෝකයෙන් පුරවන්නේ එහෙයිණි. එහි හුරතල් බොරු නැත. මේ කාලයේ සිරුරෙන් “ජෝන් සිනා” වී, මනසෙන් “දයාවතී” වූ අය බොහෝය. එහි අනෙක් පැත්ත විය යුතුය. යතාර්ථය යන සාහසික සත්‍යයට මුහුණ දිය හැකි වීරයන්ට පමණක් එය අදාළ වේ.
ලෝකෙට අපි ආවේ කොහෙන්ද ? …- නොදනිමු. යන්නේ කොහාටද ? …-නොදනිමු. මෙය අම්බලමකි. නොයෙක් දෙනා මෙහිදී අපට හමු වේ. අපේ වරද වන්නේ, හෙට මෙතනින් යන විට ඒ අම්බලම අපේ කරගන්නා නිසා ඉන් ඉවත්වීමේදී ඇතිවන වේදනාවෙන් තැවීමයි. … දැන් මේ ලෝකෙට ආවේ අපේ ඕනා කමටද? තමාගේ වසඟයේ ඇත්තේ මොනවාද ? “මොකුත් නැහැ…!! …. එකම විදියට, එනම් වෙනස් නොවී ඇත්තේ මොනවාද ? “මොකුත් නැහැ… !! …
… “අනේ ඒ කාලේ කොච්චර ලස්සනද?….අපි කොතරම් සතුටෙන් සිටියාද … යයි අතීත කාමයේ සිට එය සමඟ සංසර්ගය කරති. නමුත් එය නැවත නොඑන, හුදෙක් මතකයක් පමණක් බව නොසිතති. අතීතයේ කන ලද සම්බෝලය, කරවල බැදුම හෝ මාළු ඉස්ටුව නැවත කන්නට හැකි, මිය ගිය අම්මාගේ බත් කටක් නැවත කන්නට හැකි සක්විති රජෙක් වත් සිටීද ?
“අනාත්ම” යන්න ගැන හෙවත් සත්ව පුද්ගල ස්වභාවයක් නැති බවත්, හුදෙක් නාම රූප පරම්පරාවක් ඇතිවන නැතිවන බව නොදැනීමත්, තමාගේ වසඟයේ කිසිත් නැති බවත් බොහෝ අය නොදනී. ඒ අවබෝධය නැතිව මෝඩයෝ, එහෙම නැත්නම් අහිංසකයෝ සහ බියගුල්ලෝ ලෝකේ වෙන දේ දෙස බලා සසළ වෙති. සම්පූර්ණ අවබෝධය ලැබූ උතුමන් නොවුනද, යම් ප්‍රමාණයකට හෝ මේ සත්‍යය අප අවබෝධ කරගත යුතුය.
නැතිනම් වන්නේ සැම විට මැරී මැරී ඉපදීම පමණකි.
හැමදාම ජීවත් වෙන්නට නොහැකි බව හිතා ගෙන ඉන්නේ නම් …. ආත්මීය සංකල්පය හිතෙන් ඉවත් කරන්න බැරි නම්,… අඩුම ගානේ එය අවමයක් කරන්න බැරිනම් විඳවන්නට සිදු වීම යතාර්ථයක් වනු ඇත. …. බුදු දහම ජීවිතෙන් ඉවත් කල විට ලැබෙන පාඩම් එයය.
ඉහළම තලයේ කුසලයක් වන්නේ කෙනෙක්ට අභයදානය දීමයි. මේ කාලයේ එය කල හැකි හොඳම ක්‍රමය වන්නේ වර්තමාන වසංගතය වැළැක්වීමට අප ගන්නා සෞඛ්‍යමය පියවරවල් වේ. එක්තරා කෙනෙක්ට කෝවිඩ් වැළඳිණි ඔහු මියගියේ නැත. ඔහුගේ මවට එය බෝවී ඇය මිය ගියාය සේ අනුවේදනීය පුවතක් ඇසුවෙමි. දින කීපයකට පෙර බාර් ඉදිරියේ අඩුම ගානේ මීටරයේ දුරවත් නොමැතිව සිටිනා මිනිසුන් දුටුවෙමු. ඒ නොමිනිසුන් නිසා රෝගය කී දෙනෙක්ට බෝවන්නට ඇත්ද ?
…. …කරන්නට ඇති යුතුකම් ගැන සිතමු. ඒ අවබෝධයෙන් සතුටෙන් ඉඳිමු !…කවදා හෝ මැරෙනවා යයිද සිතමු. …”සබ්බං පහාය ගමනීයං”,… සේ බුදුන් වහන්සේ වදාළා ඇති සේ, – “සියල්ල හැරදා යා යුතුය”… ඒ අතරේ ව්‍යසනයක් සිදුවී, කර්මානුරූපව ඉතා ඉක්මනින් මේ ලෝ අම්බලමෙන් යන්න වෙන්නේ ඇයිද කියාත් සිතීම වටී. මේ ස්වාමින් වහන්සේ කියන දේත් බලමු.
… “මේ ලෝකේ සත්තු මරනවා වගේ දවසක මිනිස්සුන් මැරෙන දවසක් ඒවී. සොබා දහමෙන් එය නුදුරු දිනයක ලැබේවී. සත්තුන්ගෙ මස් කන්න එපා. උන් ආසයි ජීවත් වෙන්න. සත්තුන්ට ජීවය දෙන්න.”… මෙහෙම කිව්වේ, – අවුරුදු 21ක් පමණ ස්වර්ණමාලි මහා සෑරඳුන් පාමුල අව්වෙත්, වැස්සෙත් භාවනායෝගිව වැඩසිටි, 2019 ජුලි මස අපවත් වී වදාළ අනුරාධපුර සංඝමිත්තා මාවත සීල කුටියේ අතිපූජනීය ඉංගිරියේ විජිත ස්වාමීන් වහන්සේ –
ඊළඟට ඒ හාමුදුරුවන්ගේ, ගුරු හාමුදුරුවෝ උන් වහන්සේට කුමක් කීවාද කියා බලමු.
“අටලෝ දහම එන විට – නො සැලේ ද යමෙකුගෙ සිත සෝක නැති, කෙලෙසුන් නැති – බියක් නැති තැන සිටි විටමේවා උතුම් මඟුල් කරුණු ය”” – ඛුද්දක නිකාය,සුත්ත නිපාතය , මංගල සූත්‍රය
පණ යන්නට පෙර, .. “අනේ මම මැරෙනවා… දරුවෝ, මගේ වස්තුව දාලා යන්න බැහැ “… කියමින් හඬමින් මිය යා යුතු නැත. විය යුත්තේ, හදවතින් මේ ව්‍යසනය කිරා නොමැන, බුද්ධියෙන් එය විමසා බලා ඉන් වැළකීමේ ක්‍රම වල යෙදීමය. මිය යෑම හෙට දින සිදු වුවද, තව වසර කීපයකින් සිදු වුවද ඒ ගැන කලබල වීමෙන් වැඩක් නැත්තේ, කවදා හෝ අපව මාරයාගේ ග්‍රහණයට අසු වන හෙයිණි.
අවසානයේ සිදු විය යුත්තේ, කල හොඳ දේ ගැන සිතමින් අභිමානවත් දුම් රැල්ලක් වී චිමිනියෙන් පිටවී යෑමය.
සුභ වෙසක් පොහෝ දිනක් වේවා… !!!
Leave a Reply