දරුවන් නැති අයට දරුවන් ලබාදීමටය, නඩුහබ වලින් දිනීමටය, විභාග වලින් උසස් සාමාර්ථ ලබා ගැනීමටය, ලෙඩ රෝග සුව කරගැනීමටය වැනි අවශ්‍යතා සඳහා බුදු පිළිමයකට යාඥා, සත්කාර කිරීමෙන් වැඩක් නැත. ඒවා බුදු දහමෙන් නම් වන්නේ නැත. නමුත් යතාර්ථය අවබෝධ කර ගැන්මට සහ ඔය කියන සියළුම දෙයින් මිදීමේ වෙනත් ක්‍රමයක් අවබෝධ කර ගැන්මට එයින් වන පිටුවහල අපමණය.
බුදු දහම ගැන ඇත්තේ ඉතා කුඩා අවබෝධයකි. නමුත් දන්නා ටික හොඳින් අවබෝධ කර ගැනීමට අපහසු නැත. හතර අතේ මිනිසුන් මියයන යුගයක, “මේ ජීවිතයෙන් පසු” යන්න “භීතියෙන් තොරව” අවබෝධ කර ගැනීමට, බුදු දහම තරම් තවත් දෙයක් නැත.
පන්සලේ හාමුදුරුවෝ, “නාම රූප” යයි දෙයක් කියනවා ඔබ අසන්නට ඇත. මොනවාද මේ ?…? කුඩා තාක්ෂණික උදාහරණයකින් ඒ ගැන කිව හැක. සිනමා තාක්ෂණයේ එක් තත්පරයක් සාර්ථකව දැකීම දැකීම සඳහා පින්තුර හෙවත් රාමු 24 ක් තිරය මත වැටිය යුතුය. තත්පරයක් තුල කෙනෙක් පහතට දමා ඇති අතක් ඉහළට ඔසවන්නේ නම්, ඒ සඳහා අත පහළ සිට ඉහළ යන විට කෙමෙන් වෙනස්වන පින්තුර 24ක් අවශ්‍ය වේ.
එවිට ඒ එක පින්තුරයක් සඳහා ගතවන කාලය මිලි තත්පර [1000/24] හෙවත්, මිලි තත්පර 41.6 ක් පමණ වේ.
දැන් ඔය කියන සිනමා කතාව පැත්තකට දමා, තත්පරයක් තුල අප අත ඔසවනවා යයි සිතමු. සිනමා කැමරාවකින් නම් ඒ කාලයේ පින්තුර 24 ක් රූප ගත කරනවා ඇත. නමුත් ඒ පින්තුර 24 වෙනුවට පින්තුර 1000 ක්, හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් වූයේ නම් කුමක් වේද? වැඩි වැඩියෙන් පින්තුර ගෙන ඒවා නැවත පෙන්වන විට ලැබෙන පින්තුරයේ ස්ථාවර භාවය තවත් වැඩි වනු ඇත.
මෙසේ ගන්නට හැකි උපරිම පින්තුර ගණන කීයක් වේද ? මුළු ජීවිතයම සිනමාවක් නම්, ඒ ගැටලුවට බුදුන් වහන්සේ පිළිතුරු දී තිබේ. එය නම් “චිත්තක්‍ෂණය” යන සාමාන්‍ය මිනිස් මොළයට ගෝචර නොවන කුඩා කාලය වේ. එය උදාහරණයකින් කිව්වොත්, ඇසි පිය හෙළන කාලයක් ලක්ෂ කෝටි වාරයකින් බෙදා එක කොටසක් ගත් විට, “නාම රූප” යනු ඊටත් වඩා කුඩා එක කොටසකි.
සිනමා පින්තුරයක් නම් එය නැවත බැලිය හැක. එහෙත් ජීවිත සිනමාව නැවත බැලිය නොහැක. බුදුන් වහන්සේ විසින් දේශිත ඒ කුඩාම කාලය තුල අපේ ජීවිත තතු ගැබ් වී ඇත. ඒ සඳහාද අප උදාහරණයක් ගනිමු.
කුඩා දරුවෙක් සමනළයෙක් දැක අම්මාගෙන් මෙසේ අසයි. …”අම්මේ අර මොකාද? …අම්මා මෙසේ කියයි. … “පුතේ ඕකා තමා සමනළයා… ! …”ඕකා ලස්සනයි”…”අහිංසකයි ! … දැන් පොඩි එකා ඒ අදහස සිතට ගනී. එනම් දරුවා රූපයක් දුටුවේය, “රූපය” දකිනවා කියන්නේ සංවේදනාවක් හෙවත් “වේදනා” සේ කිව හැකි දෙයක් අත් වින්දේය. ඒ වේදනාවෙන් දරුවා “සඥාවක්” දුටුවේය. ඒ හරහා ඔහු, සමනළයා පිළිබඳව සටහනක් සිතේ සකස් කර ගත්තේය. ඒ සටහන “සංස්කාර” නම් වේ. දැන් ඒ සටහන ඔහු මතකයේ තබා ගත්තේය. එය “විඥාන” නම් වේ.
“රූප”, “වේදනා”, “සඥා”, “සංඛාර”, විඥාන” යන මේ සම්පූර්ණ කොටස් පහට “නාම-රූප” යයි කියන්නේය. දරුවා අම්මා සමනළයා කියන දේ අහගෙන සිටින වෙලාවේ, “නාම-රූප”, කෝටි ප්‍රකෝටි, බිලියන ගානක් ගෙවී යන්නට ඇත. අප සැමවිටම කරන්නේ මෙයයි. රූපය යන්න ඇසට දකින දෙය පමණක් විය යුතු නැත. නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය,… මේවාද, “රූප” යන වචනයෙන් ගම්‍ය වේ.
දැන් ඊළඟට ඉහත කී දරුවා මුල් වතාවට “දළඹුවෙක්” දැක අම්මා ගෙන් අහන දේට, අම්මා දෙන පිළිතුර කුමක් වේද?… “අපෝ පුතා ඕකාව නම් අල්ලන්න එපා”… “ඕකා විසයි ”… කැතායි !… ඇල්ලුවොත් කහනවා !… !!… යයි කියනු ඇත.
එතැනදීද දරුවා “නාම රූප” අත් විඳිනු ඇත. දැන් ඒ අවස්ථා දෙකේ අයුරෙන් දරුවා වෙනත් සමනළයෙක් හෝ දළඹුවෙක් දුටුවහොත් ඒ ගැන දනී. මක්නිසාදයත් “සමනළයා” යන්න ගැන සටහනක් සකස්ව එය දරුවාගේ විඥානයේ ඇති හෙයිණි. එහෙත් එවිට ඇති වන්නේ මුල් ආකාරයේ “නාම-රූප” නොවේ. දරුවා වැඩිහිටියෙක් වූ පසු නැවත එවැනි සතෙක් දුටු විට ඒ ඒ නාම රූප කොටස් තවත් වෙනස් වේ. හැම විටම අලුත් “සෙට්” එකක් පැමිණේ.
එනම් ඒවා දැන් වෙනස් වීම හෙවත් “අනිත්‍ය” තත්වයට ගොස් ඇත. මෙයට “අනිත්‍ය සඥාව” යයි කියනු ලැබේ.
ආදර හැඟුම් මෝරන යොවුන් වියේදී අපට යුවතියක් හෝ තරුණයෙක් දැක ආදර හැඟුම් ඇති වන්නට ඇත. එහෙත් ඒ යුවතියම හෝ තරුණයාව තවත් දශක දෙකකින් නැවත දුටු විට මුල් හැඟුම්ම නොවනවා මෙනි. එනම් “නාම-රූප” වෙනස් වී ඇත.
මෙය බුදු දහමේ මුල් පාඩම් වලින් එකකි.
නැවතත් සිනමා කතාවට ගියොත්,… විලියම් ශේක්ස්පියර් නම් අසහාය ගත් කතුවරයා මෙසේ කීවේය. … “ලෝකය රඟ මඬලකි”… “එහි රඟන නළුවෝ අප වෙමු”…! එහෙත් මෙය මුලින්ම හේතු ඇතිව විස්තර කර ඇත්තේ බුදු හාමුදුරුවන් විසිණි.
උපතේ සිට මියයන තෙක් අප විසින් ලෝකයේ පෙන්වන සිනමා වෘතාන්තයේ පෙන්වූ “රූප” අපමණ ප්‍රමාණයකි. එහෙත් ඒ එකක්වත් අපට අල්ලාගෙන තියාගන්නට නොහැක. “නිත්‍ය වන්නේ නැත” හෙවත්, “අනිත්‍ය වේ”.
නිත්‍ය නම් වන්නේ කුමක්ද ? අපට සදහටම ජීවත් විය හැකි නම් එය “නිත්‍ය” දෙයකි. සදහටම අපේ ආදරණීයයන් සහ වස්තුව තබා ගන්නට හැකි නම්, එය “නිත්‍ය” දෙයකි. “නිත්‍ය” වනේ නම් එය සතුටක් වේ. එය එසේ නම්, එහි විලෝමයද සත්‍ය විය යුතුය. එනම් “අනිත්‍ය” වන්නේ නම් එය දුකක් විය යුතුය. එය එසේ නම් අප මෙතෙක් අත්විඳ ඇත්තේ සැපක් නොව දුකකි.
නමුත් දුකක් කියා, හඬමින් ඉන්නට බුදු දහමේ කියැවෙන්නේ නැත. අවබෝධයෙන් යුතුව දුකෙන් මිදීමක් ගැන කියැවේ.
මේ සත්‍ය වූ සංකල්පය සර්වත්‍ර සහ සර්වකාලීන දෙයකි. එනම් එය කෙනෙක් උපන් ජාතිය ආගම හෝ රට අනුව තීරණය වන්නේ නැත. “අනිත්‍යතාවය” දෙවි කෙනෙක් විසින් ඇති කරන ලද්දක් විය නොහැක්කේ, එවිට ඒ දෙවියන්ද “අනිත්‍යතාවය”ට අයත් වන හෙයිණි. කලින් කලට නීති තව තවත් ඒ ඒ ආගම් පත පොතට පැමිණි හෙයිණි. “කාලය” යන පරාමිතිය පැමිණි විගස, “අනිත්‍යය” පැමිණේ.
මෙතනින් එහාට මේවා දැන ගැනීමට කැමති කෙනෙක්ට “ගිරිමානන්ද සූත්‍රය” වැනි අර්ථ දැක්වීමකින් ඉතිරිය සොයා ගත හැක. එහි “අනිත්‍ය සඥාව”, “අනාත්ම සඥාව”… සේ ඉදිරියට තවත් සඥා දහයක් ගැන පැහැදිළි කරයි. “අනිත්‍ය” , “අනාත්ම”, “අශුභ” , “ආදීනව”, සහ “පහාණ” සඥාවෙන් පසුව “විරාග සඥාව” ගැන විස්තර කල ආකාරය අපූරු දෙයකි. මෙය නම් බුදු කෙනෙක් විසින්ම වදාළ දෙයක් වන්නට ඇත්තේ, එහි අපූරු පණිවිඩයක් ගැබ්වෙන හෙයිණි.
දමා ඇති පින්තුරය ඉන්දියාවේ මේ කාලයේ සිදු වන දෙයකි. එනම් දේව පිළිම විනාශ කිරීමය. එසේ පිළිම විනාශ කිරීමේ සිරිතක් ඉන්දියාවේ සමහර පෙදෙස්වල ඇති වුවද, ඒ සිරිත වන්නේ පිළිමය ජලයට දැමීමය. පිළිමයක් මිළට ගෙන එයට දෙවියන් ආවේශ වී පූජාව කිරීමෙන් පසු, දෙවියන් ඉන් ඉවතට යන්නේය කියා පිළි ගැනීමකි. කෙසේ වුවද ඉන්පසු දේව පිළිම බුල්ඩෝසර වලින් කුඩු කිරීමක් නම් සිදු නොවේ.
කෙසේ හෝ දෙවියන් මිනිසාට අවශ්‍ය වන්නේ තමා කරන්නාවූ මෝඩ වැඩ වලින් වන හානිය නැති කිරීමටය. එසේ නැත්නම් සීමා සහිත හැකියාවක් ඇති තමාව ආරක්ෂා කර ගැනීමය. එය එසේ වන්නේ නම් දිනකට 4000 ට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ මේ කාලයේ මිය යන්නේ නැත. අන්න ඒ යතාර්ථය මිනිසුන් අවබෝධ කර ගනිමින් සිටිති.
බුදුන් වහන්සේ වෙනුවෙන් අතීතයේ පිළිමයක් තැනුනේ නැත. බුදුන් වහන්සේ ආදී කාලයේ “නෙළුම් මලක්” මගින් සංකේතවත් විය. මඩේ පිපුණු නෙළුමක් මෙන් මඩ ගොඩක ඇති වූ මලක්, එහි සුන්දරත්වය සහ සුගන්ධය පෙන්වීම එහි අර්ථය විය. පසු කලෙක ඇතිවු බුදු පිළිමයෙන්, බුදුන් වහන්සේගේ ගුණ අවබෝධ කරගැන්මට ඒ පිළිමයේ ශාන්ත භාවය ඉවහල් වුනා මිසෙක, එය දේව වන්දනාවක කෙරෙන ඉහත ආකාරයේ “පිළිම වන්දනාවක්” නොවේ.
පූජාවක් තියන විට, වඳින විට, පිළිමයකට ආවේශ වන්නට බුදුන් වහන්සේ කියා කෙනෙක් මේ තුන් ලෝකයේම නැත.
බුදු පිළිමයකට කොතරම් තෙල් මල් පිදුවද, ඉන් අපට දෙවියන්ගෙන් බලාපොරොත්තු වන දෙයක් ලැබෙන්නේ නැත. නමුත් ඒ පිළිමයෙන් නියෝජනය වන බුදුන් වහන්සේගේ අසීමිත ඥාණය යමෙකුට ඒ පිළිමය හරහා අවධාරණය කර ගැන්මට හැකි වේ නම් එම පිළිමයෙන් සේවයක් සිදු වේ. එහිදී ඇතිවන ධනාත්මක චින්තනයෙන් නම් ලේ ධාතුව පිරිසිදු වී අනියම් ආකාරයෙන් හොඳක් වෙන්නට හැක.
බුදු පිළිමයකට තෙල් මල් සුවඳ පිදීම පිළිම වන්දනාව නොවේ. මේ බව ඇෆ්ගනිස්ථානයේ ය්ජලේබාන්වරු දැන සිටියා නම් බාහියන් පිළිම විනාශ කරන්නට ඉඩ නොතිබිණි.
එයත් හරියට අප ආදරය කරන කෙනෙක්ගේ පින්තුරයක් සාක්කු පොකට් එකේ තබාගෙන සිටිනවා මෙනි. පින්තුරය නැතිව හෝ ඒ තැනැත්තා අපට මතක් වේ නම් ඒ ඇත. එහි තේරුම බුදු පිළිම කැඩීම නිවැරදිය යන්න නොවේ.
මේ කතාව තවත් ආකාරයකින් වක්‍රව කියන්නට හොඳ උදාහරණයක් තිබේ. ඇෆ්ගනිස්ථානයේ සිටින තලේබාන් වරු විසින් බාහියන් බුදු පිළිම විනාශ කරන විට එක්තරා මාධ්‍ය වේදියෙක්, සුප්‍රසිද්ධ අජාන් බ්‍රහම් තෙරුන් වහන්සේගෙන් මෙසේ ඇසුවේය. … “ගෞරවණීය බෞද්ධ ග්‍රන්ථයක්, කෙනෙක් විසින් වැසිකිළි වලකට දැමුවහොත් ඔබ ඔහුට කුමක් කරන්නේද ? එවිට තෙරුන් වහන්සේ මෙසේ වදාළහ.
… “වැසිකිළිය යථා තත්වයට ගැනීමට, ඉක්මනින් මා පයිප්ප බාස් කෙනෙක්ට කතා කරමි”… !… !!
කෙසේ හෝ කාර්මික විප්ලවයෙන් පසු අප අති පණ්ඩිත වී සිටිමු. අප විසින්ම තනා ගත් ඒ උපකරණ සහ ක්‍රම අපටම විරුද්ධව යන ආකාරය මේ කාලයේ දැකිය හැක. ලෝකය දෙස වෙනත් ආකාරයකින් බැලුවහොත් “උඩඟු මිනිසා” ගැන මවිතයට පත් වෙනවා හැර වෙන කරන්නට දෙයක් නැත. එහෙත් ඉන් ඇති වැඩක් නැත.
ලෝකය හදන්න නොගොස්, තමාට හැදෙන්න යයි බුදුන් වහන්සේ වදාළේ එහෙයිණි.
Leave a Reply