වාහන විත්ති 453 – විදුළි වාහන වල වැයවී ගිය ගිය බැටරි වලට කුමක් සිදුවේද?

 

භාවිතා කල බැටරි පරිසරයට හොඳ නැත. එසේ නම් විදුළි වාහන රටක ප්‍රචලිත කරන්නේ ඇයි යන්න ගැන කෙනෙක් අසනු ඇත. එයට හේතුව සරළය. ආර්ථික හේතුව මුල් තැනක් ගනී.


ප්‍රවාහනය සඳහා ආනයනය කරන ලද පොසිල ඉන්ධන සඳහා විදේශ විනිමය බොහෝ වැය වේ. 2010 වසරේදී ශ්‍රී ලංකාව තෙල් ආනයනය සඳහා ඩොලර් බිලියන 7.5 ක් පමණ වියදම් කළේය. අනුමාන කළ නොහැකි බව පෙනෙන මේ මුදල් වැයවීම නිසා මානව වර්ගයා සහ ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම, උගුලකට හසු වී ඇත.


එබඳු සවිස්තරාත්මක මූල්‍යමය විශ්ලේෂණයකින් තොරව වුවද, සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට තවදුරටත් ප්‍රමාදයකින් තොරව මෙම විදුළි වාහන ජනප්‍රිය කරවීමේ කාලෝචිතභාවය සහ වටිනාකම පහසුවෙන් වටහා ගත හැකිය. නමුත් ඉන් ඇතිවන වෙනත් සංකීර්ණතා අමතක නොකළ යුතුය. එකක් වන්නේ බැටරි ප්‍රතිචක්‍රීයකරණය වේ.

බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ ආචාර්ය පෝල් ඇන්ඩර්සන් පවසන්නේ, …”කර්මාන්තය වර්ධනය වන වේගය ඇත්තෙන්ම බියජනක බවය”… ඔහු කතා කරන්නේ යුරෝපයේ විදුලි කාර් සඳහා වෙළඳපොළ ගැන ය. 2030 වන විට යුරෝපීය මාර්ගවල විදුලි මෝටර් රථ මිලියන 30 ක් ඇති වනු ඇතැයි යුරෝපා සංගමය බලාපොරොත්තු වේ. … “සම්පූර්ණයෙන්ම නව නිෂ්පාදනයක් සඳහා එම වර්ධන වේගය තුළ මීට පෙර කිසි දිනෙක සිදු නොවූ දෙයක්”… යැයි ඔහු කියයි.


ආචාර්ය ඇන්ඩර්සන් බර්මින්හැම්හි උපායමාර්ගික මූලද්‍රව්‍ය හා විවේචනාත්මක ද්‍රව්‍ය පිළිබඳ සම අධ්‍යක්ෂකද වේ.

විදුලි වාහන (EVs) වල සේවා කාලය තුළ කාබන් උදාසීන විය හැකි නමුත්, එය පාරෙන් ඉවතට ගත් විට කුමක් සිදුවේද යන්න ගැන සිතිය යුතුය. විශේෂයෙන් බැටරි වලට කුමක් සිදුවේද යන්න ගැන සැලකිලිමත් වීම අවශ්‍ය වේ. තවත් වසර 10 සිට 15 දක්වා කාලයකදී බැටරි ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තයක් තිබීම ඉතා වැදගත් වනු ඇත. බොහෝ විදුළි වාහන සංරචක සාම්ප්‍රදායික මෝටර් රථවලට සමාන වන අතර විශාලම වෙනස වන්නේ බැටරියයි.


සාම්ප්‍රදායික ඊයම්-අම්ල බැටරි බහුලව ප්‍රතිචක්‍රීකරණය කර ඇති නමුත් විද්‍යුත් මෝටර් රථවල භාවිතා වන ලිතියම්-අයන බැටරි සඳහා එය මෙතෙක් ඒ පරිමාණයෙන් ආරම්භ වී නැත. සාමාන්‍ය බැටරි වලට වඩා EV බැටරි විශාල හා බරින් යුක්ත වන අතර ඒවා තනි ලිතියම්-අයන සෛල සිය ගණනකින් සෑදී ඇත. ඒවා සියල්ලම ප්‍රතිචක්‍රීයකරණය කිරීම අවශ්‍ය වේ. මේ බැටරි වල අන්තරායකර ද්‍රව්‍ය අඩංගු වන අතර වැරදි ලෙස විසුරුවා හරිනු ලැබුවහොත් පුපුරා යාමේ ප්‍රවණතාවක් ඇත.


ජල පෝෂක උල්පත් වලට ලිතියම් මුසු වුවහොත් එය විෂ වේ.


වර්තමානයේ, ගෝලීය වශයෙන්, ලිතියම්-අයන බැටරි ප්‍රතිශතය ප්‍රතිචක්‍රීකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ සවිස්තරාත්මක සංඛ්‍යා ලබා ගැනීම ඉතා අසීරු ය.දියුණු රටවල් වන ජර්මනිය, ජපානය, ස්වීඩනය සහ නෝර්වේ වැනි රටවල් හැරුණු විට, ලෝකයේ සමහර රටවල එය වීම සැලකිය යුතු ලෙස අඩුය.

යුරෝපා සංගමයේ මෑත කාලීන යෝජනා මගින් විදුළි වාහන සැපයුම්කරුවන් ඔවුන්ගේ වාහන නිෂ්පාදන එහි ජීවිත කාලය අවසානයේදී ඉවත නොදමන බවට වග බලා ගැනීම වගකිව යුතු වේ. නිෂ්පාදකයින් දැනටමත් එය ක්‍රියාවට නැගීමට පටන් ගෙන තිබේ. නිදසුනක් ලෙස, නිසාන් දැන් සිය කර්මාන්තශාලා වල නිර්මාණය වන වාහනවල ලීෆ් කාර් වල පැරණි බැටරි නැවත භාවිතා කරයි.

වොක්ස්වැගන් සමාගමද එයම කරමින් සිටින අතර මෑතකදී ජර්මනියේ “සල්ස්ගිටර්” [Salzgitter] හි සිය පළමු ප්‍රතිචක්‍රීකරණ කම්හල විවෘත කර ඇති අතර නියමු අවධියේදී වසරකට බැටරි පද්ධති 3,600 ක් දක්වා ප්‍රතිචක්‍රීකරණය කිරීමට සැලසුම් කර ඇත. “ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස විවිධ ද්‍රව්‍ය නැවත ලබා ගැනේ. … “පළමු පියවර ලෙස අපි කොබෝල්ට්, නිකල්, ලිතියම් සහ මැන්ගනීස් වැනි කැතෝඩ් ලෝහ කෙරෙහි අවධානය යොමු කරමු”… යැයි වොක්ස්වැගන් සමාගම පවසයි.

මේ අතර, රෙනෝල්ට් දැන් සියළුම විදුලි කාර් බැටරි ප්‍රතිචක්‍රීකරණය කරමින් සිටී. ප්‍රංශ අපද්‍රව්‍ය කළමනාකරණ සමාගමක් වන වීඕලියා [Veolia] සහ බෙල්ජියම් රසායනික සමාගමක් වන සොල්වේ [Solvay] සමඟ ඇතිකරගත් ගිවිසුමක් හරහා එය සිදු කරයි.

වර්තමානයේ, උදාහරණයක් ලෙස, ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේදී බැටරියේ බොහෝ ද්‍රව්‍ය කළු ස්කන්ධය [black mass] ලෙස හැඳින්වේ – එනම් එය ලිතියම්, මැන්ගනීස්, කොබෝල්ට් සහ නිකල් මිශ්‍රණයකි – එමඟින් ද්‍රව්‍ය නැවත ලබා ගැනීම සඳහා බලශක්තිය බෙහෙවින් භාවිතා වන සැකසුම් අවශ්‍ය වේ. මේවා මිනිස් අතකින්ද කල හැක. නමුත් අනාගතය වන්නේ ස්වයංක්‍රීයකරණය වූ රොබෝ තාක්ෂණය වේ. එයේ කෙමෙන් යම් යම් අන්තරායන් ඉවත් කර එය වඩා ආර්ථික වශයෙන් කාර්යක්ෂම කළ හැකිය.

බැටරි ප්‍රතිචක්‍රීය කරණය ගැන ලංකාවේ පරිසර වේදීන්ගේ මෙන්ම ඒ ඒ අදාළ අංශ වල තීරණ ගන්නවුන් සිත යොමු කිරීම වටී. සම්ප්‍රදායික වාහන කර්මාන්තයේ දකින්නට නොමැති පැත්තක් එහි ඇති බව පැහැදිළිය. වාසනාවට ඒ ගැන ඉතා හොඳින් දන්නා කෘතහස්ථ ඇමතිවරු පාර්ලිමේන්තුවේ සිටීම අපගේ වාසනාවකි. මෑත කාලයේ ඒ එක ඇමතියෙක් කියා සිටියේ … “ඔක්සිජන් කන්නද ? කියාය. 😉


උදාහරණයක් සේ, ඔක්සිජන් සෙන්සර්ස්, NO2 විමෝචනය අඩු කරන EGR සිස්ටම්, එයාර් මාස් සෙන්සර් ,… කිසි දෙයක් විදුළි වාහනයට අනවශ්‍යය. ඔක්සිජන් කන්නද? යයි ඇසු හෙයින්, එතුමා මෝටර් කාර්මික විද්‍යාවේ හසළ දැනුමක් ලබා එහි කෙල පැමිණ, අවසානයේ විදුළි වාහන විශේෂඥයෙක් වූ කෙනෙක් බව ඉහත කතාවෙන් පෙනී යයි. 😉


මක්නිසාදයත් විදුළි වාහන වලට ඔක්සිජන් අනවශ්‍ය හෙයිණි.


කෙසේ හෝ අනාගතයේ ලංකාවේද අනිවාර්යයෙන් ජනප්‍රිය වන විදුළි වාහන වල ඉවත දමන බැටරි ප්‍රතිචක්‍රීයකරණය ගැන දැන් දැන්ම සිතීම වටී.


මූලාශ්‍ර :- බ්‍රිතාන්‍ය මාධ්‍ය සේවය ඇසුරෙනි.  [BBC] 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: