එකතරා තැනක, වෙස්සන්තර ජාතකයේ කියවෙන දරුවන් දන් දීම යන්න කිසිසේත් සාධාරණීයකරණය කල නොහැක යයි කියා තිබිණ. ඒ ජාතක කත්යාව දරුවන්ට කියා දෙන්නේ කෙසේද යයි අසා තිබිණ. සිදුහත් සහ යශෝධරා යුවළ සාමාන්‍ය මිනිසුන් වූවා නම් එහි සත්‍යයක් ඇත. එහෙත් එහි අතීත කතාව දන්නා කෙනෙක් ඒ ගැන වෙනත් ආකාරයකට දකිනු ඇත. අතීත කතාව මෙසේ වේ.
කල්ප ගණනාවකට ප්‍රථමයෙන් දීපංකර බුදුන් වහන්සේගේ සමයේ, බෝධිසත්වයන් වහන්සේ සුමේධ නම් තවුසෙක්ව උපන්නේය. සුමේධ තවුසා දීපංකර බුදුන් වහන්සේ පාගමනින් වදින අවස්ථාවේ, තම සිරුර පාපිස්සක් මෙන් බුදුන් වහන්සේට ගොහොරු මඩ වලක් උඩින් පා තබා ඇවිද යෑමට පූජා කල කතාව බොහෝ අය දනී. බුදු බව පතමින් කල ඒ පූජාව දෙස බලා අගය කල බොහෝ අය අතර එක්තරා සුන්දර යුවතියක්ද වූවාය.
ඇයද හැකි ඉක්මනින් සසර කෙටි කර ගැන්මේ අරමුණෙන් තපස් රැකි තැනැත්තියක් විය.
කෙටි කලකින් ගෙවා ගන්නට තිබුණු දුක්ඛිත සංසාර ජීවිතය හැර දමා ඇය, එදා මේ වීර පුරුෂයාට උදව් කිරීමට තීරණය කළාය. ඒ දීර්ඝ කාලය සිදුහත් කුමරු සේ අවසාන භවයේ උපත ලබණ තෙක් බිරිඳක් සේ, යෙහෙළියක් සේ බොහෝ කලක් සෙවනැල්ලක් මෙන් ඔහු පසුපස ආවාය. අයගේ අභිප්‍රාය වෙනස් දෙයක් විය. එය සුමේධ තාපසයා ගේ උදාර අරමුණට සහාය වීම විය.
වෙස්සන්තර ජාතකයේ ඇය හඬමින් වුවද, තම දරුවන් දන් දීමේ ක්‍රියාව අනුමත කලේ එබැවිණි.
වෙස්සන්තර ජාතකය පසු කලෙක ලියන ලද්දේය,… එය වෙන්නට නොහැකි දෙයක් ය … මේ ආකාරයේ බොහෝ විතර්ක ගොඩ නැගිය හැක. ඒවා එකක්වත් මෙයට අදාළ නැත. හැකිනම් අවබෝධ කරගත යුත්තේ, සිදුහත්- යශෝධරා යනු වෙනත් අති විශේෂ ඉලක්කයක් ඇති දෙදෙනෙක් වූ බවය.
සිදුහත් කුමරා උපන් දිනයේ තවත් විශේෂ දේ සහ විශේෂ පුද්ගලයන් බිහි විය. චන්න, කාලුදායි, කන්ථක අශ්වයා, මහා බෝ වෘක්ෂය මෙන්ම යශෝධරාගේද උපත එදින සිදු විය. යශෝධරාගේ උපත එදින වුවද ඇයගේ කේන්ද්‍රය පිළිබඳ තොරතුරු ග්‍රන්ථාරූඩව නැත. නමුත් එකම දිනයේ උපන් හෙයින් සිදුහත් කුමරු සහ යශෝධරා දේවියගේ චන්ද්‍ර කේන්ද්‍රයන් එකම වේ.
බුදුන් වහන්සේගේ හඳහන නාඩි වාක්‍ය වල ඇත්තේ තරමක් වෙනස්වය. මේ සම්බන්දව, එනම් නාඩි වාක්‍ය ගැන මා බොහෝ දෙනෙක් සමඟ කතා කර ඇත්තෙමි.
එක් හිතවතෙක් මෙසේ කීවේය. “දැක්කහම හිතා ගන්න පුළුවන් මොකද මෙතන වෙන්නේ කියලා… මොකක් හරි පොයින්ට් එකක් අල්ලාගෙන විස්තරයක් කියවා ගෙන යනවා. ලෝකේ ඉන්න මිනිස්සුන්ට කෝච්චර නම් පොදු දේවල් තියෙනවාද? කරුණු 10ක් කිව්වොත් දෙකක් වත් පොදු දේවල්. ඉතින් බලපු අහපු අය , වැරදුනු කරුණු 8 ගැන නොවේ කියන්නේ. හරිගිය කරුණු දෙක ගැන”…
… “ වියදම් කරපු නිසා කැමති නැහැ, තමුන්ට වැරදුනා කියා පිළි ගන්න. ඒ අය පටන් ගන්නේ කෙනෙක් ගේ නම, අම්මා තාත්තාගේ නම් වලින්. ඒ නම් හරියට කියවෙන කම් ප්‍රශ්න අහනවා. ඊට පස්සේ එතනින් ෆිල්ටර් කරලා තමා දිගටම කියවා ගෙන යන්නේ. වෙන වැඩක් නැත්නම්, සල්ලි විසි කරන්න කැමති නම් හොඳ වැඩක්…” …” උදේ හත හමාර විතර වෙලාවකට යන්න. ඇඟිලි සලකුණ පමණක් දෙන්න” …
වෘත්තීමය කටයුතු වලට ඉන්දියාවට යෑමට සිදු වූ නිසා, ඉන්දියාවේ හිතවතුන් ගෙන් ලැබුණු තොරතුරු මෙසේ විය.
ඉර්ශීවරුන්ගේ ගුරුවරයා වූ මහා ඉර්ශී වන, නාරද ඉර්ශීන් භාවනා කරන්නට හිමාලයට ගිය අවස්ථාවේ, ඔහුගේ ගෝලයන් එක්ව, “මුළු ලෝකයේම සිටින අයගේ ජීවිත තතු කියන්න ක්‍රමයක් හදමු” … කියා යෝජනාවක් ඇති විය. එහෙත් එතන සිටි “අගස්ති මුනි” වෙනත් මතයක් ගනිමින්, …”නාරද ගුරු තුමා එන තුරු මෙය නොකළ යුතු බවද, ගුරු උපදේශ මත පමණක් එය කළ යුතු බව පැවසුවා.
ඒ නොතකා, අනෙක් ගෝලයන් ඔවුන් තීරණය කල දේ කරන්න පටන් ගත්තේ, දේව නාගර යන පුරාණ අක්ෂර වලින් එම අනාවැකි තල් කොල වල සටහන් කරමින්. ඒ කාලයේ තිබු ඉන්දියාවේ තිබු අක්ෂර වර්ගය වුනේ ‘දේව නාගරයි’ මෙය අද මළගිය භාෂාවක්.
මේ සඳහා ඔවුන් ගත් උපකල්පන මෙසේ විය.
හැම තත්පර විසි හතරකටම සැරයක්, එක්තරා ස්ථානයකට ඇති ග්‍රහයන්ගේ බලය වෙනස් වේ. ඔවුන් බැලුවේ මේ වන විට උපන් කෙනෙක් ගේ හඳහනක් නොවේ. නාගතයේ කවුරුන් කෙසේ, කොහොම උපදීද යන්නයි.
ඒ ආශ්‍රයෙන්, ඔවුන් තව දෙයක් සොයා ගත්තා කියනවා. එනම්, මේ කොල බලන එන අයගේ විතරක් අනාවැකි ලිවිය යුතුය කියන එක. නැතිනම්, ඔවුන්ට කොල අනන්ත ගාණක් ලියන්න වෙනවා. මේ තල් කොලවල අයිතිය, ඒ ඒ ඉර්ශීන්ගේ පවුල් සහ අතවැසියන්ට පමණක් පවරා දීම සිදු විය.
ඉතින් පසුව නාරද මුණි භාවනාවෙන් නැගිට පැමිණුනු පසු තමන්ගේ ගෝලයන් කල ක්‍රියාවත්, ඒ සම්බන්දව අගස්ති මුනිගේ මතයත් දැන ගෙන ඒ ගෝලයන් ලෝකයට හොඳ දෙයක් කල නිසා, මුලින් ආශීර්වාදය කළේය. එහෙත් ඒ ක්‍රමයේ ඇති වරදවල් පෙන්වා දුන් නාරද මුණි, ඔවුන්ගේ අනාවැකි වල අතීතය නිවැරදි වුවද, අනාගතය නිවැරදි නොවේ යන්න පෙන්වා දුන්නේය. සමහර අය කියන්නේ, නාරද මුණි ගේ ශාපයෙන් එය වුනා කියලයි.
මේ අතරේ ‘බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හිමි’ ඉන්දියාවේ මේ පත් ඉරූ වර්ග ගැන සොයපු කෙනෙක්. ඒ විස්තර උන් වහන්සේගේ පොත් වල තිබේ. උන් වහන්සේ අධ්‍යනය කලා කියන්නේ, ‘කාක භුජන්දර’ කියන වර්ගයේ නාඩි වාක්‍ය පත් ඉරු විය. උන් වහන්සේ ගැනද විස්තර එම පත් ඉරූ වල තිබුණි.
… “මම මෙතෙන්ට ආවේ කුමක් සඳහාද ? … මෙසේ උන් වහන්සේ ඇසූ ප්‍රශ්නයට පිළිතුර වුයේ, “ඔබ වහන්සේ මෙතනට පැමිණියේ, සර්වඥයන් වහන්සේ ගේ හඳහනේ ඇති ග්‍රහ පිහිටීම් දැන ගන්නටයි”…
බුදුන් වහන්සේගේ කේන්ද්‍රය, ජීවිතය සහ ධර්මය ගැන බොහෝ නාඩි වාක්‍ය ග්‍රන්ථ වල ලියා තියෙනවා. ඒ අතරින්, ‘මය’ කියන අසුර ජාතික ඉර්ශිවරයෙක් බුදුන් වහන්සේ ගැන මෙසේ කියා තියෙනවා. “ ලෝකය නම් වූ, මෝහයෙන් පිරි මඩ ගොහොරුවේ එරී ඇති අඥාණ සත්වයන් මුදා සදාකාලික විමුක්තිය වෙත ඔවුන් යොමු කරන්නට, සිද්ධාර්ථ ගෞතම’ නම් සර්ව සම්පුර්ණ වූ, ඉර්ශීන්ගේත් ඉර්ශීන් වූ විමුක්ති දායකයාණන් කළියුගයේ පහළ වෙනු ඇත”…
එම පත් ඉරුවේ, සිද්ධාර්ථ කුමරු උපත ලබන කාලය සහ ස්ථානය ලියා තිබේ. ඒ අනුව උපත සිදුව ඇත්තේ, කළියුග වර්ෂ 2478ක් වූ වෙසක් මස ‘පෞරාණමීය’ ලත් ඉරිදා දින උදයාදී 11කුත් විනාඩි 4ක් යන තැන චන්ද්‍රයා විසා නැකතේ සිටියදී ය.
ඒ හඳහනේ පෙන්වන කාල සීමාවන් අනුව සහ ග්‍රහ පිහිටීම් වලින් උන් වහන්සේගේ ජීවිත සිදුවීම් මෙසේ ජ්‍යෝතිෂය අනුසාරයෙන් විග්‍රහ කල හැක. එය පිළිගැනීම හෝ නොගැනීම ඔබට බාරය. ජ්‍යෝතිෂය බොරුවක් යයි සිතන කියන අය මෙතනින් එහාට මේ ළිපිය නොබලන්නේ නම් මැනවි.
සිදුහත් කුමරු, මහ මායා දේවියගේ කුසේ පිළිසිඳ ගත් ආකාරය ‘ප්‍රේත වස්තු වර්ණනාවේ’ සඳහන් වන්නේ “දෙව් ලොවෙන් චුතව ඇසළ මස පොහෝ දින උදයේ අලුයම උතුරුසළ නැකතෙන්” බවය…
උපතේදී ශනි කුම්භයේ සිටි හෙයින් සිදුහත් කුමරාට අවුරුදු 16 -23 කාලයේ ශනි එරාෂ්ටකයක් පැවතිණි. එනම් , ශනි සඳු සිටි ස්ථානයට පැමිණීම සිදු විය. මෙය අපල කාලයක් විය. එය සිදු වුනේ, 4 වන රාශියේ නිසා, 4 න් පෙන්වන නෑදෑයින්ගේ සමච්චලයට පාත්‍ර විය. එනම් ක්‍ෂත්‍රීය රජ කුමරෙක් අසල තිබිය නැති යුතු වන සුකුමාර බව සහ කරුණාවන්ත බව ඇතැයි කියමිනි. ඒ අනුව සිදුහත් කුමරාට, ඔහුගේ හැකියාව පෙන්වීම සඳහා ධනු ශිල්පය වැනි ශිල්ප පෙන්වීමට සිදු විය.
එහෙත් මේ අවස්ථාවේ ගුරු ග්‍රහයා සඳු සිටි රාශිය පසු කරගෙන යාම නිසා, විවාහය අවුරුදු 16 දී සිදු විය. රජ කමට සමීප විය.
වයස 29 දී දෙවන ශනි ඒරාෂ්ටකය ලැබීමෙන්, අහිනිශ්ක්‍රමණය විය. රජ වාසලෙන් එළියට යන අවස්ථාවේ දුකට අධිපති ‘ශනි’ ග්‍රහයාට අයත් ‘පුෂ’ නැකත ඇතිවිට බැv, මහායාන ග්‍රන්ථයක් වන ‘ලලිත විස්තරයේ’ සඳහන් වේ. මේ කාලයේ, කැලෑවල් වලට වැදී දුෂ්කර ක්‍රියා කරන්නට සිදු විය. අත්තකිලමතානු යෝගය පුරන්න වුනේද මේ කාලයේය.
වයස අවුරුදු 35 වන විට, බුද්ධත්වය ලැබිණි. මෙහිදී උපතේ 8 සිටි ශනි 11 ද, ගුරු ලග්නයේද විය. ගුරු උපතේ ලග්නය වන කටකයේ උච්ච විය. එය ජ්‍යෝතිෂය අනුව විග්‍රහ වන්නේ, ‘ කටකයෙන් පෙන්වන මුහුදේ මහා රැළි ඇතිවනවා මෙන්, උසස් සංකල්පනා ඇති මහා සෘෂි වරයෙක් පහළවන බවය. ශානි ග්‍රහයා උපතේ ආයු ස්ථානය වන 8 වැන්නේ සිටිමින් දුක යන්න කුමක්දැයි අවබෝධ කිරීම පෙන්වන්නේය.
ඒ ග්‍රහයා 11 හෙවත් අය ස්ථානයට එන විට බුද්ධත්වය අවබෝධ කර ගැන්ම සිදු විය. බුද්ධත්වය යනු, ඇත්ත හෙවත් චතුරාර්ය සත්‍යයේ පළවන කොටස වන ‘දුක’ යානු යතාර්තවාදීව ග්‍රහණය කර ගැන්ම වේ.
වයස අවුරුදු 40 පමණ වන විට ශනි ග්‍රහයා ලග්නයෙන් 12 වන්නට පැමිණෙන විට ලග්න ඒරාෂ්ටකය ලැබීම නිසා පිය රජුගේ අභාවය සිදු විය.
බුදුන් වහන්සේගේ ජන්ම පත්‍රයේ ශනි ග්‍රහයා තෙවන වරටද ලග්නයේ උපතේ චන්ද්‍රයා සිටි රාශියේ ගමන් කරන විට පිරිනිවීම සිදු විය. ඒ අවස්ථාව වෙසක් මස පුර පසළොස්වක, චන්ද්‍රයා ‘විසා’ නැකතේ ගමන් කළේය. විසා නැකත බුදුන් වහන්සේ උපන් නැකතද විය.
සිදුහත් කුමරු උපතින් පස් වන දිනයේ, වේදයේ පරතෙරට පැමිණි කොණ්ඩඥ්ඥ ඇතුළු බමුණන් කුමරුන් දකින්නට පැමිණි බව බුද්ධ චරිතයේ සඳහන් වේ. දෛවඥ බ්‍රාහ්මණයන් විසින් ඒ ලකුණු බලා කරන ලද ප්‍රකාශය මෙසේ වේ. සමාවෙන්න, මුහුණු පොතේ ඒ ශ්ලෝකවල මහප්ප්‍රාන අකුරු ඒ ආකාරයෙන්ම ගලපා ලියන්නට නොහැක.
… “තෙ බ්‍රාහ්මණ පංචමියන් සුභුත්තා – නාමං ගහෙතුං වර ලක්ඛණානි දිස්වාන එකන්ගුළි මුඛ්ක්හි පිංසූ – බුද්ධො අයන් හෙස්සති වීතරාගෝ”…
(…පස් වන දිනයේ දිය නුමුසු පායාස වැළඳවූවා වූ ඒ බ්‍රාහ්මණයෝ, සුදුසු නමක් තබන්නට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බලා, මේ කුමරු පහ වූ රාග ඇත්තෙක්ව බුදු වන්නේයැයි එක් ඇඟිල්ලක් ඔසවා එසවූහ…)
… “ජින්නංච දිස්වා ඛයධිතන් මතංච – මහායතන් පබ්බජිතන් ච දිස්වා ඔහාය පබ්බජ්ජ මුපෙති කාමේ – බුද්ධො අයන් හෙස්සති වීතරාගෝ’…
(… ජරාවට පැමිණියෙකුද, රෝගයෙන් පීඩිතයෙකුද, මළ එකකුද, මහත් වූ කාය සංයමය ඇති පැවිද්දකුද දැක, පංච කාමයන් හැරපියා ප්‍රවුජ්ජාවට පැමිණෙන්නේය. මේ තෙම වීතරාගීව බුදු වන්නේය යයි එක් ඇඟිල්ලක් එසවීමෙන් ප්‍රකාශ කළහ…) – ජිනාලංකාරය
සිදුහත් කුමරු බුද්ධත්වය ලබන්නට පෙර ත්‍රිවේදයේ පරප්‍රාප්ත බමුණන්ගෙන් ඉගෙන ඒ සියළු විද්‍යාවෙන් පරතෙරට ගිය බව බුද්ධ චරිතයේ දැක්වේ. එහෙත් මහා දැනුමක් මෙන්ම මහා පෞරුෂත්වයක් තිබුන හෙයින්, ජ්‍යෝතිෂය මත නොරැඳ බොහෝ විට තමාගේම ශක්තියම ගුරු කර ගන්නට ඇත යයි සිතිය හැක.
සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කලේ, හෙවත් ගිහි ගෙයින් නික්මුනේ දුකට අධිපති යයි ජ්‍යෝතිෂයේ කියැවෙන ශනි ග්‍රහයාගේ නැකතක් වන ‘පුෂ’ නැකතෙන් බව, මහායාන ග්‍රන්ථයක් වන ‘ලලිත විස්තරයේ’ ඇත. මෙහි තේරුම, සිදුහත් කුමරු වෙලාවක් බලා මාළිගයෙන් පිටවුවා නොව, ඒ වෙලාවේ එම නැකත පැවතුනු බැව්ය.
එදින පැවති ග්‍රහ තාරකා වල හැසිරීම පරීක්ෂා කල බෝධිසත්වයන් වහන්සේ ‘අද දින මව මිය යන්නේය’ ලෙස නිගමනය කල බව ‘අසාත මන්ත්‍ර ජාතකයේ ඇත. එසේම බුදුන් වහන්සේ විසින් දේශිත ‘මහා මංගල සූත්‍රයේ’ , එක් මංගල කාරණයක් වන්නේ, ‘බහු සච්චංච සිප්පංච’ ලෙස කියූ, ‘බොහෝ විද්‍යා දැන ගැනීම’ මංගල කාරණයක් යන්නය. පැරණි ඉන්දියාවේ එදා තිබු එක් විද්‍යාවක් නම්, ජ්‍යෝතිෂය වේ. එය නිවැරදිව භාවිතා කරන්නේ නම්, එය තිරශ්චීන විද්‍යාවක් නොවේ.
කෙනෙක් තවත් කෙනෙක් මරණයට පත් කරන ආකාර ගැන මෙන්ම එවැනි පාපයන්ගෙන් ගැලවෙන ආකාරයද බුදු දහමේ කියවේ.
එයින් එකක් වන්නේ, ‘විද්‍යාවෙන් මිනිසුන් මැරීම නොකළ යුතු බවය’. මේ විද්‍යාව නම් විශේෂයෙන්ම ජ්‍යෝතිෂයේ එන මන්ත්‍ර කොටසමය. එනම් එදා එම ජ්‍යෝතිෂයේ එවැනි දේ කල හැකි බව බුදුන් වහන්සේ අවබෝධ කරගත් නිසා විය යුතුය.
යම් යම් අය බුදුන් වහන්සේ, ජ්‍යෝතිෂය පිළිකෙව් කලා යයි, එක්තරා දහම් කොටසක් වන ‘කිං කරිස්සන්ති තාරකා’ හෙවත් ‘තාරකාවන්ට කුමක් කල හැකිද ‘ යන්න තර්කයකට ගනී. මෙය බුදුන් වහන්සේ වදාළ දෙයක් නොවේ. එනම් බුදු වදනක් නොවේ. එය ඇත්තේ, ‘නඛ්කත්ත’ නම් ජාතක කතාවකය. වීර්යය ඇති පුද්ගලයාට අවශ්‍ය නම්, ජ්‍යෝතිෂය නොමැතිව ජීවත් විය හැක. එහෙත් එවැනි වීර්යවන්තයන් ඇතිවන්නේ දහසකට එකෙක් පමණි.
ඒ දහසෙන් එකක පුද්ගලයා සියලු සසර බැමි අතහැර මහණ දම් පිරිය යුතුය. මෙය ඔබට කල හැකිද ?…?
බුදුන් වහන්සේ ජ්‍යෝතිෂය යනු ‘තිරස්චීන’ විද්‍යාවක් කියා වදාළේ නම්, එසේම මිනිසාගේ ජීවිතයට අවශ්‍ය රසායනික විද්‍යාව, ජීව විද්‍යාව, ඉංජිනේරු වෘතිය, වෙද හෙදකම යනාදියද ‘තිරස්චීන විද්‍යා’ ගණයට වැටේ. පිහියකින් පාන් කපන්න මෙන්ම , කෙනෙක්ගේ බෙල්ලද කැපිය හැක. පිහිය භාවිතා කරන ආකාරය වඩා වැදගත් වේ. විශේෂයෙන්ම එම පිහිය භාවිතා කරන ආකාරය බුදුන් වහන්සේ ඉගැන්වූහ. කිසි දිනක බුදුන් වහන්සේ පිහියට ගැරහූවේ යයි’ ග්‍රන්තාරූඩව නැත.
බුදුන් වහන්සේගේ කටකය ලග්නයවී, අඟහරු බුද්ධිය සහ කර්ම ස්ථානයට අයිති වී, ලග්නයෙන් 7 සහ චන්ද්‍ර රාශියෙන් සිව් වන්නේ උච්ච ව, එනම් මකරයේ කුජ තැන්පත් විය.
පර්යේෂණයන් නියෝජනය කරන්නේ 4 වැන්නෙනි. එහෙයින් බොහෝ දේ පරීක්ෂණාත්මකව සහ තර්කානුකූලව සොයා බැලෙමින් පැවතෙන වර්තමාන විද්‍යාත්මක යුගයේදී පවා, නොබිඳිය හැකි නැවුම් දර්ශනයක් උන් වහන්සේ ලොවට තිලිණ කල සේක.
බටහිර බොහෝ විද්‍යාත්මක සොයා ගැනීම් වලට කිතුණු පූජකයන් මුල් වුනා මෙන්ම පුරාණ ලංකාවේ පන්සල්වල සිටි උගත් බෞද්ධ භික්ෂූන් සොයාගත් දේවල් වන්නේ, ජ්‍යෝතිෂයේ සමහර කොටස් කුමන ආකාරයට බුදු දහමට සම්බන්ද වන්නේ යයිද යන්නය.
ඒ කිතුණු පූජක වරුන්ට මෙන්ම මේ බෞද්ධ භික්ෂූන්ටද මේ දේවල් සොයාගැනීමට පොදු වූ හේතුවක් විය. එනම් ඇති තරම් කාලය තිබීමත්, සමාජය විසින් ඔවුන්ව පෝෂණය කිරීමත්, මූලික දැනුම ග්‍රහණය කර තිබීමත් වේ.ජ්‍යෝතිෂය ගැන හොඳින් අධ්‍යනය කල උගතුන් නිශ්ශබ්ද වන්නට හේතුවක් ඇත.
ජ්‍යෝතිෂය බොරුවක් කියා විවේචනය කරන අයට, ඒ ගැන දන්නා අය මුනිවත රකින්නේ නොදන්නා නිසා නොවේ. එය තේරුම් ගන්නට විවේචනය කරන අය ජ්‍යෝතිෂය ඉගෙනීමට උත්සාහ නොකරන හෙයිනි. අඩුම තරමේ ‘වරහ මිහිරය’, ‘බෘහත් ජාතකය’ වැනි පොත් කියවා, ජ්‍යෝතිෂය වැරදි හෝ නිවැරදි බව අමතක කර විශ්ලේෂනාත්මක ලෙස පරීක්ෂණ, නිරීක්ෂණ සහ නිගමන යන විද්‍යානුකූල ආකාරයෙන් ඒවා බලා ඔබට තීරණයක් ගත හැක.
මේ සඳහා හොඳ උදාහරණයක් කියන්නට තිබේ. ග්‍රහයන් රාශියක ඇති අවස්ථාව වැදගත් නොවේ යයි කෙනෙක් කියා තිබිණ. එය එසේ නම් ඔහු ‘වරහා මිහිර’ පොත ලියූ පඬි තුමාට වැඩි උගතෙක් වෙන්නට ඇත.
ග්‍රහයෙක් ගෙන් මිනිසාට ඇති බලපෑමක් නැති බව අවධාරණය කරමි. ග්‍රහයන්ට කල හැකි ඉටි ගෙඩියක් නැත. එහෙත් එයින් ඔබ කරන කියන දේ පෙනේ. මක්නිසාද යත්, ග්‍රහයන් පෙන්වන්නේ, මිනිසාට කර්මානුරූප ලෙස වෙන්නට ඇති දේ මය. හරියට කෙනෙක් කැඩපතක් ඉදිරියට ගොස් ඒ ඉදිරියේ හිනා වෙනවා හෝ අඬනවා මෙනි.
ඒ ආකාරයට හිනා වීම සහ අඬන ආකාරය කැඩපතෙන් පෙනෙනවා නම්, එය බලා කෙරෙන දේ, එනම් හඬනවා හෝ සිනහ වෙනවා කියන එකේ වරද කුමක්ද ?
බුදු දහමේ විස්තර කෙරෙන කර්ම, ජ්‍යෝතිෂයට අනුගත කිරීමේදී එම කර්ම ගැන වැටහීමක් ලබා ගැනීම වඩා වැදගත් වනු ඇත. ලිපිය දික් නොවන්නට ඒවා මෙහි නොලියමි.
ජ්‍යෝතිෂය අමතක කර ජීවත් වෙන්නට හැක. එහි වරදක්ද නැත. එහෙත් බුදුන් වහන්සේ වදාළ පරිදි කර්මය වෙනස් කරන්න උත්සාහ කල යුතුය. එහෙත් එය කල හැක්කේ තිසරණ සරණ යන, දහසකින් එකෙක්ට පමණකි. බුදුන් වහන්සේගේ ශාෂනයේ පළමු රහත් බව ලැබූ කොන්ඩඤඤ බමුණා වේදයේ පාරප්‍රාප්ත වුවද, සිද්ධාර්ථ තවුසා හැර ගියේ, හඳහනේ දුටු දේ සාමාන්‍ය ජීවිතයේ නොදුටු හෙයිණි. මක්නිසාද යත් හින්දු ධර්මයේ ඉගැන්වීම අනුව කර්මයෙ ඇති දෘඩ බව නිසාය.
බුදුන් වහන්සේ එය වෙනස් කල හැකි බව කියන තුරු, කොන්ඩඤඤ බමුණාට එය අවබෝධ නොවීය. එසේ හෙයින් ඔහු සිද්ධාර්ථ තවුසා හැර ගියේය.
එහෙත් එය පසුව අවබෝධ වීමෙන් අනතුරුව, ඔහු ගිහි ජීවිතයේ රැඳුනේද නැත.
ජ්‍යෝතිෂයේ ඇති එක්තරා න්‍යායක් වන්නේ, ජ්‍යෝතිෂය ඉගෙන ගත හැකි කෙනෙක්ට කරන්නට නොහැකි ශ්‍රාස්ත්‍රයක් නැති බවය. ඒ අනුව කොණ්ඩඥ බමුණා 108 ක් බමුණන්ගෙන් ප්‍රථමයා වී, … “මේ කුමරු නිසැකයෙන්ම බුදු වන්නේය “ යයි කීවේය. එසේ කියා ඔහු නැවතුනේ නැත. ඔහුගේ නැගණියගේ පුතා හෙවත් ඔහුගේ බෑණා වූ නාලකටද මහණ වෙන්නට උපදෙස් දුන්නේය. පසුදිනෙක මෞන වෘතය රකින තෙරුන්ගෙන් අග්‍ර වූ නාලක තෙරුන් රහත් වීය යයි කියැවේ.
නමුත් කොණ්ඩඥ බමුණාටද වැරදීමක් සිදු විය. සිදුහත් තවුසා දුෂ්කර ක්‍රියාව අතහැර දැමූ විට ඔහු ඇතුළු අනෙක් තවුසෝ සිදුහත් තවුසාව අතහැර ඉවතට ගියහ. එදින කොණ්ඩඥ බමුණා, වසර 35 කට පෙර කල අනාවැකිය ගැන සිතන්නට ඇත. කොතැනක තමාට වැරදුනේදැයි ඔහු සිතන්නට ඇත.
කර්ම ඵලය පෙන්වන ජ්‍යෝතිෂයේ ඇති වරදක් නැත. එයට වහල් වීම පමණක් වරදකි.
රාත්‍රී අහස දෙස බලන්න. ඔබට සඳ පෙනෙනු ඇත. නැත්නම් තරුවක් දෙකක් පෙනෙනු ඇත. රාත්‍රී අඳුරට ඔබේ ඇස් පුරුදු වූ විට තව තව තරු පෙනෙනු ඇත. දැන් ඇස් පිසදා බැලුවහොත් ඊටත් වඩා තරු පෙනෙනු ඇත. දුරේක්ෂයකින් බැලුවහොත් බොහෝ තරු පෙනෙනු ඇත.
ජ්‍යෝතිෂයත් එසේමය. කෙනෙක්ට තරු පෙනෙන්නේ නැත් නම් ඇස් පෙනීමේ අඩුවකි. නැත්නම් ඔහු අහස දිසා බලන ආකාරයේ අවුල පමණි. එහෙත් අහසේ තරු පවතී. සියල්ලෝ යම් තරමකට තරු දකිති. අඩු වශයෙන් සඳ දකිති.
පසුවදන: කරුණාකර උපන් වෙලාවල් සහ හඳහන් එවීමෙන් වළකින ලෙස ඉලා සිටිමි. ජ්‍යෝතිෂය හා සම්බන්ද ලිපියක් දැමූ විට මැසේජ් බොක්ස් එක පිරී යයි. මා කරන රැකියාව අනුව, ඒ සඳහා වෙලාවක් නැත. කෙනෙක්ට අහන්න දෙයක් ඇත්තේ නම්, එය මෙතනම ඇසිය හැක. තවද, මා වෘත්තීමය ජ්‍යෝතිෂ වේදියෙක් නොවෙමි. ස්තූතියි …!
ශුභ බක් පුර පොහෝ දිනයක් වේවා…. !!!
https://www.facebook.com/lalith.karunaratna/posts/10160666245261729?notif_id=1619437042857688¬if_t=feedback_reaction_generic&ref=notif
Leave a Reply