බුදු දහම – විපාක සහ සම්පත්ති ඇති වීම.

                                                      මේ ලිපියට පාදක වූයේ අති පූජනීය නාඋයනේ ගෞරවණීය අරියධම්ම ස්වාමින් වහන්සේ ගේ දේශනයකින් ගත් විස්තරයක් වුවද, මා ගුරුවරයෙක් සේ සේවය කල කාලයේ ලැබූ අත්දැකීමක් කියන්නට කැමැත්තෙමි.

ගුරුවරයෙක් හෝ ගුරුවරියක් සේවය සඳහා නොපැමිණි දින වල පහළ පන්ති වල දරුවන් බලා ගැනීමට අපව අනුයුක්ත කරන ලදී. උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රසායන සහ භෞතික විද්‍යාවන් උගන්වා, පහත පන්ති වල ඉගැන්වීමට යෑම සිතට සහනයක් වූයේ සටහන් සකස් කර ඉගැන්වීමක් අනවශ්‍ය වීමත්, කුඩා උන් සමඟ විසීම යම් වෙනස් සතුටක් ගෙන දුන් දෙයක් වීමත් යන හේතුන් නිසා විය. එකළ ඉතා තද පාසැල් පරීක්ෂක වරු සිටිය හෙයින් සටහන් පෙන්වීම අත්‍යවශ්‍ය විය.

මට යන්නට සිදු වූයේ පහේ පන්තියකට විය. එදින චිත්‍ර ගුරුතුමිය සේවයට නොපැමිණි නිසා චිත්‍ර අඳින්නේ කෙසේද යන්න කියා දීම මාතෘකාව විය. මිනිසෙක් සහ ගැහැණියක් ඇඳීමට ඔවුන්ට කියා දුන්නෙමි. ඔබ සිතන්නේ එය පහසු දෙයක් කියාද? අනෙක් දේ වන්නේ, එය කුඩා උන්ට කියා දීම ලෙහෙසි කියාද ?

මේ සඳහා එකට ඇති බෝල 6ක් මුලින් අඳින්න යයි කීවේ, එක් එක් බෝලය හිස, ශරීරය, පාද දෙක සහ අත් දෙක සේ ගැනීමෙනි. අත් සහ පා වෙනුවෙන් අඳින බෝල කෙමෙන් මකා, ඒ බෝල දිගු කරන්න හෙවත් ඉලිප්සීය අයුරෙන් දිගු කරන්න යයි කියා දුන්නෙමි. තවත් එහාට ගිය ඇතැමෙක් ඒ කෙළවර තව කුඩා බෝල ඇඳ ඒවා ඇඟිලිද සේ ඇඳ තිබීමෙන් මගේ ක්‍රමය එතරම් නරක නැති බවක් පෙනුණි.

සියල්ලන් අලුත් ගුරුතුමාගේ ක්‍රමය හොඳ බව කීවේ, ක්‍රමයේ හොඳ බවට වඩා මා එකළ බොහෝ තරුණ වූ හෙයින් ඔවුන්ට වඩා සමීප බවක් දැනෙන්නට ඇති නිසා යයි සිතමි. එමෙන්ම මීට පෙර එම පන්තියට මා පැමිණ සිටියේ බුදු දහම පීරියඩ් එකකදී වීමත්, එදින මා ඔවුන්ට ලෝ වැඩ සඟරාවේ … “සෙත් සිරි දෙන ….කවිය කියා දුන් නිසාත් විය.   

නමුත් එක දැරිවියක් පමණක් මා කියා දෙන දේ නොතකා වෙන මොනවාදෝ අඳිමින් සිටින බවක් පෙනිණ. මා ඇය සිටි කුඩා බංකුව අසලට ගොස් ඇය අඳින්නේ මොනවාදැයි බැලුවෙමි. ලස්සණට පාට කර අඳින ලද ගම්බද දර්ශනයකි. මෙය නම් ඇය ඇඳි එකක් වන්නට නොහැක. ඒ ගැන විමසුවෙමි. එවිට ඇය කීවේ … “සර්ව ඇඳලා දෙන්නද? කියාය… මා “හා” කීවෙමි. එවිට ඇය මට යාබද බංකුවෙන් හිඳ ගන්න කීවාය. අපහසුවෙන් පාද නවා ඒ කුඩා බංකුවේ හිඳ ගතිමි. 

විනාඩියක්වත් යන්නට පෙර ඇය මට කීවේ … “සර් දැන් නැගිටින්න, තව ටිකකින් චිත්‍රය ඇඳලා ගෙනත් දෙන්නම් …කියාය. මා ඇය මෙතෙක් ඇඳ සිටි මගේ චිත්‍ර දෙස එබිකම් කර බැලුවෙමි. ඉරි කෑලි කීපයක් මිසක වෙන දෙයක් නොදුටුවෙමි. මා නැවත වෙනත් දරුවන්ගේ චිත්‍ර පරීක්ෂා කිරීම ආරම්භ කලෙමි. තවත් විනාඩි දහයකින් පමණ ඇය මගේ චිත්‍රය සම්පූර්ණ කර ගෙන මවෙත පැමිණියාය.

එය දැක මා මහත් විස්මයට පත් වූයෙමි. එය එතරම්ම නිවැරදිය. හුදෙක් පැන්සල් පහරවල් කීපයකින් නිම කරන ලද චිත්‍රය දක්ෂ කළා ශිල්පියෙක්ගේ කෘතියක් වැන්න. බොහෝ කාලයක් ඒ චිත්‍රය මා තබා ගෙන සිටියෙමි. අදත් එය යම් යම් ලිපි ගොනු අස්සේ ලංකාවේ තිබෙන්නට පුළුවන. මා පසුව ඇයගේ වත ගොත විමසුවෙමි. ඉතා දුගී පවුලක උපන් ඇය පාසැලට ඇතුළත් කර ඇත්තේද ඒ පන්තිය භාර ගුරුතුමියගේ වියදමෙනි.

එදින චිත්‍ර පන්තියේ ගුරු පුටුවේ වාඩිවී සිටිය යුතු වූයේ මා නොව, ඒ කුඩා දැරිවිය විය යුතුය. 

දැන් අද පෝය දිනයේ මා කියන්න යන කතාවට ඉහත අනුපානය ප්‍රමාණවත් යයි සිතමි. කෙටියෙන් කිවහොත් නා උයනේ ස්වාමින් වහන්සේ පවසන පරිදි
 “ගති සම්පත්ති” කොටසේ , “පයෝග සම්පත්ති” අනු කොටසෙන් ඇයගේ ඉරණම පෙනී යයි. ඔබ බුදු දහම විශ්වාස නොකරන්නේ නම් මෙතනින් එහාට නොබලන්න. ඒවා ඔබට නීරස විය හැක. එහෙත් ඇයට ඒ දක්ෂතාවය කෙසේ ලැබුනේද යන්න ගැන ඔබගේ විශ්ලේෂණය දැන ගැනීමට කැමැත්තෙමි.

කර්මයන් විපාක දෙන කාල පරිච්චේද ඇත. අකුසල හෝ කුසල් කාමාවචර සිතක ජවන් සිත් හතක ඇත. ඒ මුල්ම සිත මේ ජීවිතයේ ප්‍රවෘත්ති විපාක දේ, පටිසන්ධිය දීමේ හැකියාව එහි නැහැ. හත් වන ජවන් සිතත් දුබල වෙමින් යන සිතක්. එය ප්‍රතිසන්ධි විපාකය සේ එක වරක් ක්‍රියා කරන්නේ ඊළඟ භවය ආරම්භයේ දීය. ඊළඟ භවයක් නොවුනේ නම්, ප්‍රතිසන්ධි දීමේ ශක්තිය අහෝසි වෙනවා. මැද ජවන් සිත් පහක් ඇත. ඒවා අකුසල හෝ කුසල බලගතු සිත් වේ. ඒවාට කියන්නේ, “අපරාපරිය වේදනීය කර්ම” සේය. 

ඒවා අහෝසි වන්නේ නැත. ඒවා අහෝසි වන්නේ විපාක දීමෙන් පමණි. එහෙත් ඒවා ප්‍රබල කුසල් මගින් යටපත් කල හැක.

ඒ එක එක සිත්, එක එක විපාක ගෙන දේ. අරහත් මාර්ග ඥාණයෙන් පමණක් ඒවා අහෝසි වේ. එතෙක් අහෝසි නොවේ. යටපත් වෙනවා පමණි. බුදුන් වහන්සේ විපත්ති හතරක් සහ, සම්පත් හතරක් වදාරා ඇත. ඒවා “ගති විපත්ති’, “උපධි විපත්ති”, “කාල විපත්ති”, “පයෝග විපත්ති” සේ වේ. 

  1. “ගති විපත්ති’ යනු නරකයක, අපායක හෙවත් දුගතියක ඉපිද තිබීමයි. එවිට හැම විටම අකුසල විපාක පමණක් ලැබේ. 
  2. “උපධි විපත්ති” යනු ශරීරය විකෘති වී සිටීමයි. අඟ පසඟ ගොළු බිහිරි…සේ වීමයි. අකුසල විපාක ම ලැබේ.
  3. “කාල විපත්ති” යනු දුර්භික්ෂ, අධාර්මික රජ වරු සිටින කාලයේ ඉපදීමයි. එවිට අකුසල විපාකම ලැබේ.
     
  4. “පයෝග විපත්ති” යනු පුද්ගලයාගේ පැවැත්ම නරක බවයි. එවිට ද අකුසල විපාක ලැබේ.

    ඉහත කියන විපත්ති පුද්ගලයා කුසල් කර තිබුනද ඉහත ආකාරයේ අකුසල් ලැබී යයි. 

“ගති සම්පත්ති” මෙසේ ලැබේ. 

  1. “ගති සම්පත්ති” යනු සුගතියක, මනු ලොව ඉපිද තිබීමයි. එවිට කුසල විපාක ලැබේ.
  2. “උපධි සම්පත්ති” යනු ශරීරය රූපත්ව තිබීමයි. කුසල විපාක ම ලැබේ.
  3. “කාල සම්පත්ති” යනු බුදු වරු, ධාර්මික රජ වරු පහළ වන කාලයේ ඉපදීමයි. එවිට කුසල විපාකම ලැබේ.
     
  4.  “පයෝග සම්පත්ති” යනු කොච්චර පින් මදි වුනත් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඇති නම්, කුසල් විපාකම ලැබේ. 

අකුසල ධර්මයන් අහෝසි කල නොහැක. ඊත් ඒවා යටපත් කල හැක. සම්පත්ති අවස්ථාවන් අනුව අකුසල් විපාක යටපත් වේ. උසස් කුසල් රැස් කිරීමෙන් එය කල හැක. 

සුභ පොහෝ දිනයක් වේවා…. ! 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: