රටින් රට – ජෝර්දානය – පෙට්‍රා

                                                    මිය ගියද මිනිසුන් නැවත උපදින්නට ඇති අසීමිත ආශාව හෙවත් භව තණ්හාව ගැන දැනගන්නට නම්, ඊජිප්තුවේ අද්විතීය නිර්මාණ වල පසු කලෙක තැන්පත් කල මමී ගැන දැන ගත යුතුය. නැතහොත් ජෝර්දානයේ පෙට්‍රාහී ඇති නටබුන් නගරය ගැන දැන ගත යුතුය. ජෝර්දානයේ පෙට්‍රා යන ප්‍රදේශය, මළ මිණී තබා ගැනීමට ගලේ කෙටු ගොඩනැගිළි ඇති ස්ථානයක් බව ගවේෂණ වලින් සොයාගෙන ඇත. 

මළ මිණී තියන්නට ඒ ගොඩනැගිළි තැනුවද, හෝ නගරයක් සේ ඒ ස්ථානය පැවතුනද, එම ගලේ කොටා ඇති ගොඩනැගිළි නම් විස්මය ජනකය. ලෝකයේ පුදුම හතෙන් එකක් යයි මේ ගොඩනැගිළි නිර්මාණය සලකනු ලැබේ. ක්‍රිස්තු පූර්ව 312 දී පෙට්‍රා පෙදෙස ස්ථාවරව ජනාවාස වී තිබුණු බව සොයා ගෙන ඇත. 

මෙහි මුලින්ම යන කෙනෙක්ට හැඟෙන්නේ අඩි සිය ගානක් ගැඹුර ඇති, එහෙත් වියළී ගිය මහා ගංගාවක පතුලේ යනවා වැනි අදහසකි. සමහරවිට එය එසේම යයි සිතිය හැක්කේ, ජල ධාරා ගිය විටෙක පමණ සිදු විය හැකි, අපූරු ලතාවකට ගෙවී ඇති ගල් කඳු දුටු විටය. පෙට්‍රා හී පසු කලෙක මහා භුමි චලනයක් එහි ඇති වුනේයැයි සොයා ගෙන ඇත. ක්‍රිස්තු පූර්ව 1 සහ 8 අතර පෙට්රා දරුණු භූමිකම්පා වලට ගොදුරු වූ අතර ක්‍රි.ව. 363 දී නගරයෙන් අඩක් පමණ විනාශ වූ බව විශ්වාස කෙරේ.

නැබටියානුවන් ඔවුන්ගේ මළවුන්ව ඉතා ගෞරවයෙන් සලකන අතර ඔවුන් මෙලොව සිට ඊළඟ ලෝකයට යන විට ඔවුන්ට ගෞරව කිරීමට විශේෂ සැලකිල්ලක් දැක්වූහ. ඔවුන් නගරය තුළ සහ අවට කඳුකරයේ ආරක්ෂිත සේ සොහොන් දහසකට වැඩි ප්‍රමාණයක් ඉදි කළහ. නැබටියානුවන් යනු එකළ ග්‍රීක සහ ඉරාන මෙන්ම චීන යනාදී නොයෙක් ජාතිකයන් එකට එකතු කල සේද මාවතේ වෙළඳාමට සම්බන්ද වූ බලවත් අරාබි ජාතියක් විය.

ඔවුන් ග්‍රීක පේගන් ආගම ගුරු කරගත් බවක් පෙනී යයි.  

මෙම සොහොන් ඔවුන්ගේ දෙවිවරුන්ගේ නිරූපණයන් සමඟ මුසු වී පූජනීතාවයක් ලබා දෙයි. එකල බොහෝ ජනයා මෙන්, නැබටියානුවන් ආලෝකයේ සහ ජීවයේ ප්‍රභවයක් ලෙස සූර්යයාට නමස්කාර කළ අතර, පෙට්‍රා නගරයේ සැලසුම එම ගෞරවය පිළිබිඹු කරයි. නගරයේ බොහෝ පූජනීය අවකාශයන් ඉදිකර ඇත්තේ සූර්යාලෝක ඇතුළු සූර්ය රටා සමඟ පෙළ ගැස්වීම සඳහා ය.


පෙට්රා යන නම ආරම්භ වූයේ පාෂාණ යන අර්ථය ඇති ‘පෙට්‍රොස්’ යන ග්‍රීක වචනයෙනි. එය අරාබි බසින්, “අල්-බත්‍රා” ලෙසද හැඳින්වේ. කාන්තාරයක් වුවද, නැබටියන්වරු (පෙට්රාහි වැසියන්) කාර්යක්ෂම ජලය එකතු කරන්නන් වූ අතර ප්‍රදේශයේ උද්‍යාන වගා කිරීමට පවා ඔවුන් සමත් වූහ. පෙට්රා 1985 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් මෙන්ම, 2007 දී ලෝකයේ පුදුම හතෙන් එකක් බවට පත්විය.

පෙට්රා පාෂාණ වල වර්ණය නිසා හිරු බැස යෑමේ හා හිරු උදාවේදී රතු රෝස පැහැයක් ගනී. පෙට්රා නගරයට පිවිසෙන දොරටුව වසර ගණනාවක වර්ෂාව සහ සුළඟේ ප්‍රතිඵල ලෙස වැලි ගල හරහා කැපී ගිය පටු මාර්ගයකි. 

පසු කලෙක බලවත් වූ කිතුණු සමාජය විසින් ඒ ගොඩනැගිළි සැම එකක් ඉදිරිපසම පාහේ තිබුණු දේවරූප විනාශ කර ඇත. ඒ දේවරූප බොහෝ විට පෙර පැවතුණු ආගමක් වන පේගන් ආගමේ පිළිරූ වන්නට ඇත. ඒවාත් අද දකින්නට ලැබුනා නම් මේ ස්ථානයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වන්නට ඉඩ තිබිණ.

ග්‍රීක පිළිරූවල නිමාව වචනයෙන් කියන්නට නොහැකි තරම් සුන්දරය. ආදරයේ දෙවඟන වන වීනස් ගේ යයි සිතිය හැකි, කොටස් කැඩී ගිය පිළිරුව දෙස බොහෝ වෙලා බලාගෙන සිටියෙමි. එවන් පිළිරුවක් කඩා දමන්නට හදවතක් ඇත්තෝ සිටී යයි විශ්වාස කල නොහැකි තරම් වේ. කැඩුණු පිළිරුවක් මේ තරම් සුන්දර නම්, වීනස් දෙවඟන කොතරම් ලස්සණට දෙව්ලොව  ජීවත් වෙනවා ඇත්තේද යයි සිතින. 
ධනය, ඥාණය සහ රූමත් කමට අධිපති දෙවඟනන් අතරින් වැඩිම කැමැත්තේ කාටද යයි ඇසූ විට, පැරිස් විසින් මල් කලඹ දුන්නේ රූමත් කමට සහ ආදරයට අධිපති වීනස් දෙවඟනට යයි ග්‍රීක ඉලියඩ් ජනප්‍රවාදයේ කියැවේ. ඒ පිළිරුව දැක මා මොහොතකට, ‘පැරිස්’ වුනෙමි. 

අද සාමය යයි කියමින් නිවී ගිය පහනක් මෙන් ඇති ක්‍රිස්තියානි සමාජය, අතීතයේ ගිණි ජාලාවක් වෙමින් වෙනත් සංකල්ප වලට සම්බන්ද අනෙකුත් කළා ශිල්ප විනාශ කරන ලදී. එය ඉස්ලාමිකයන් විසින් බාහියන් බුද්ධ ප්‍රතිමා විනාශ කලා වැනි අපරාධයකි.   

පෙට්‍රා හී ඇති මායාකාරී ස්වභාවය සහ පෞරාණික ස්වභාවය නිසා එහි චිත්‍රපට නිර්මාණය කරන ලදහ. ඒ චිත්‍රපට කීපයක් වන්නේ,  Indiana Jones සහ The Mummy Returns වේ.

පෙට්රා පුදුම හතෙන් එකක් සේ හැඳින්වීම දළ අඩු තක්සේරුවකි. රෝස පැහැයෙන් යුත් මෙම නගරය කඳු බෑවුමක කැටයම් කර ඇති අතර එය පුරාණ දක්ෂතාවයේ විශිෂ්ටතම කෘතියකි. එය 1812 දී ස්විස් ජාතිකයෙක් වූ, “ජෝන් ලුවිස් බර්ක්හාර්ඩ්” විසින් නැවත සොයා ගන්නා ලද අතර එතැන් සිට මෙම සංරක්‍ෂිත පුරාණ නගරය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇත. 

ඇත්තටම කිවහොත් එය කියා යුත්තේ බටහිර  ලොවට එය හෙළි කළා සේ මිසෙක, සොයාගත්තා යන්න නොවේ. මක්නිසාදයත්, එම පළාතේ දේශීය මිනිසුන් ඒ බව දැන ගෙන සිටි හෙයිණි. සුදු මිනිසා මේ ලේබලය සැම විටම තමාට ගසා ගන්නට සමත් වෙති. උදාහරණයක් සේ සැම්බියාවේ දැවැන්ත ‘ගොරවන දුම’ සේ හැඳින්වුණු දිය ඇල්ල වෙත ගිය, “ලිවින්ස්ටෝන්” යන තැනැත්තා, ඊට ‘වික්ටෝරියා ඇල්ල’ යන නම දුන්නේය.

යන යන තැන ආගමේ හෝ රැජිනගේ නම ඇලවීම සුදු මිනිසාගේ ක්‍රමය විය. ලංකාවේද අගේට තිබි, ‘බතලේගල කන්දට’ ‘බයිබල් රොක්’ යයි නම දැම්මේය. නුවර දෙසට යන විට කඩුගන්නාව දුර්ගය නගින විට, ඔබේ දකුණු පසෙන් පෙට්ටියක් මෙන් පෙනෙන්නේ බතලේගල කන්දයි.  නැවත පෙට්‍රා වෙතට;  

පෙට්රා යනු යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන අතර එහි ක්‍රියාකාරිත්වය, සංරක්ෂණය සහ ගෘහ නිර්මාණ ශිල්පය හේතුවෙන් “විශිෂ්ට විශ්ව වටිනාකමක්” ඇති උරුමයකි. කාන්තාරයේ එහි පිහිටීම යන්නෙන් අදහස් වන්නේ මුල් වැසියන්ට නගරයට ජලය සහ අනෙකුත් සම්පත් ලබා ගැනීම සඳහා නිර්මාණාත්මකව සැලසුම් කිරීමට අවශ්‍ය වන්නට ඇති බවය.

ජලය නොමැතිව කිසිසේත් මෙවැනි ස්ථානයක් පවතින්නේ නැති බව පැහැදිළිය.

පෙට්රාගේ විශාලත්වය, ඉතා ස්ථාවර නිර්මාණය හා අලංකාරය සමඟ එක්ව, එය වඩා අගය කරන තැනක් වී තිබේ. මැද පෙරදිග සහ යුරෝපය යා කරන මේ පෙදෙසේ ඔබට බොහෝවිට දැනෙන්නේ, ඉතා සුවදායක මධ්‍යධරණී දේශගුණයකි.

නූතන විද්‍යාඥයින්ට සහ පුරාවිද්‍යාඥයින් මෙම නිර්මාණය මගින් නැබටියානුවන් ආදරණීයයන් ලෙස සැලකූ දේ සහ පෙට්රා කෙතරම් ඔවුන්ට සුවිශේෂී වෙන්නට ඇත්ද යන්න පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි. ගිම්හාන මාසවලදී පෙට්රාහී උණුසුම වැඩි හෙයින් එය බැලීම සඳහා වසන්තයේ අග හෝ සරත් සෘතුව යෝග්‍ය වේ.

මෙම පුරාණ නගරයේ නටබුන් අසලට යෑමට කාර් වලට ඉඩ නොදේ. බූරුවා, අශ්වයා හෝ ඔටුවා යන ගමන සඳහා ඔබට විකල්ප වේ. බෙඩුයින් අස්වාරෝහකයන් අසුන් පිට නැග ගිය වේගය අපූරුය. සමහරවිට ඔවුන් උපන්නේ අසුන් පිට වෙන්නට ඇත. සැම්බියාවේ සිටින කාලයේ අශ්වයන් ගේ පිටේ යාමේ අත්දැකීම ලැබුණු හෙයින් අශ්වයන් ගේ පිටේ ගියෙමු. එය වඩා පහසුය. සාමාන්‍ය මෝටර් සයිකලයක් පැද ගෙන යනවා වැනිය.

නමුත් බෙඩුයින්වරු මෙන් අසු හැසිරුවහොත්, වීනස් දෙවඟනව ඉක්මනින් හමුවීමට දෙව්ලොව යෑමට හැකි වනු අත. කෙසේ හෝ අසු කලබල වුනොත් තෝන් ලනුව ඇදීම පමණක් අවශ්‍ය වේ. අශ්වයා ගේ මුහුණ උඩට හැරවෙන විට ඒකා නවතී. එහෙත් ඔබ එකක් මතක තබා ගත යුතු වේ. අශ්වයන් කුලියට දෙන්නන් සමහරවිට ගැබ්බර අශ්ව ගැහැණු සතුන්ද කුලියට දෙති. ඒ සතුන් නොසංසුන් වේ.

එහෙයින් අශ්වයන් ගැන දන්නා අය සමඟ ගොස් අශ්වයන් කුලියට ගැනීම වටී.

මේ අතීත පූජනීය ප්‍රදේශයට පිවිසීමේදී නගරය පුරාම සංචාරය කරන්නේ නම් අව් කණ්ණාඩි, ජලය සහ සුව පහසු සපත්තු , සැහැල්ලු ස්කාෆ් වැනි දෑ ප්‍රයෝජනවත් වනු ඇත. පෙට්රා යනු ඉතිහාසය හා සංස්කෘතිය තුළ ගිලී ඇති ඉන්ද්‍රජාලික මායාකාරී ස්ථානයක් වන අතර, එය නිසැකවම ඔබේ බාල්දි ලැයිස්තුවේ හෙවත්, “බකට් ලිස්ට්” එකේ තිබිය යුතු දෙයකි. 


අශ්වයන් පහත බැඳ කඳු උඩට නැග්ගෙමු. එය අපගේ මාර්ග ගවේෂකයාට හොරෙන් කල යුතු දෙයක් විය. ලිස්සා වැටුනහොත් කෑළි ඉතිරි නොවනු ඇත. ගලේ ඇති කැපුම් තියුණුය. ලිස්සන සුළුය. මේ වන විට සන්ධ්‍යාව එළඹෙමින් පැවතිණි. ඒ උඩට නැග්ගේ අප පමණක් නොවන බව අවබෝධ වූයේ යුරෝපීයයන් විය හැකි පෙම්වතුන් යුවල් කීපයක් ඒ ඉහළ සිටි හෙයිණි.

ඇත්තටම මේ ස්ථානය මායාකාරී තැනක් වේ. 

තේජාන්විත හිරු මඳ සීතල සුළං රැළි වලට ඉඩ දෙමින්, දැවැන්ත තැටියක් මෙන් බටහිර අහසේ පහතට බසී. හිරුගේ අවසාන කිරණ කහ පැහැ පෙට්‍රා කඳු මත පතිත කරයි. කෙනෙක්ට සිතෙන්නේ, කහ පැහැයට හැරෙන රන්වන් හිරු පෙට්‍රාට ඒ පැහැය දුන්නාද, නැතිනම් සුන්දර පෙට්‍රා කඳු පන්ති හිරුට ඒ පැහැය දුන්නේද යන්නය.  කුමක්දෝ නොදන්නා කහ පැහැ මල් ගසක් කන්දේ විවරයක පැලවී මලක සිරිය පෙන්වයි.

කහ පැහැය මෙහි තේමා වර්ණය වේ. 

සේරුන් යුවලක් පෙට්‍රා කඳු වළලු උඩින් ඈත අහසේ පියාසර කරයි. බටහිර අහසේ පෙරළී යන වළාකුළු වල දේදුන්නේ වර්ණ මිශ්‍ර වුනා සේ වර්ණ ඇති වේ. ඒ ආකාශයේ වර්ණවත් වන වළා පෙළේ අසිරිය දෙස, මේ කන්ද උඩට පසුගිය වසර දහස් ගණනක් තුල සේද මාවත හරහා පැමිණි බොහෝ පෙම්වතුන් බලා සිටින්නට ඇත. අපමණ පෙම් සිතුවම් මෙහි මැවෙන්නට ඇත.  

කුමක්දෝ අතීත ආවර්ජනයක් ඔළුවට පැමිණේ. එවැනි අවස්ථා විරළය. එවිට ඒ ඉමිහිරි සුවය නිසලව විඳිය යුතුය. පෙට්‍රා කේන්ද්‍රගත වී ලෝකය කෙමෙන් කුඩා වී යන බවත්, ඔබගේ ආදරණීයයන් එහි සිට දැකිය හැකි බවත් හැගී යයි. සෙනෙහස සොම්නස මුසු වූ කුමක්දෝ දයාබර සහ ගෘන්ගාරාත්මක අදහසක් සමඟ සැහැල්ලු වී අහසේ පාවී යනවා මෙන් අදහසක් ඔබගේ  සිතට පැමිණෙනු ඇත. 
ඒ කුමක්දැයි යන්න ගැන මට අවබෝධයක් නැත.

සමහරවිට මේ සුන්දර ප්‍රදේශයේ මිහිදන් කර ඇති අය ඔවුන්ව බැලීමට පැමිණීම ගැන සතුටු වුනා විය හැක. එසේ නැත්නම් වීනස් පිළිරුවට ආදරය කල මා දෙස, ඇය දෙව්ලොව සිට බලා සිටිනවා ඇත. 

පින්තුර සඳහා;

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: