වෙනත් බොහෝ රටවල් වල දකින්නට නැති දෙයක් මේ රටේ පාරවල් වල ඇවිදින විට දකින්නට ලැබේ. එය නම් පැරණි වීරයන්ගේ දැවැන්ත චිත්‍ර වේ. තවද ඒවා ඇඳ ඇත්තේ කිරිගරුඬ කැට එකට එකතු කිරීමෙනි. එනම් ඒවා එවිට දේශගුණයෙන් ආරක්ෂා වේ. එසේම පාරේ දෙපස විශාල ගස් සිටවා ඒවාට එතරම් වැවෙන්න නොදී හොඳින් නඩත්තු කිරීමද දැකිය හැක.
එවිට ඒවා තරමක් “බොන්සායි” වෙනවා සේ පෙනී යයි. එය සුන්දරය.
පාරවල් අවට, දොඩම් නාරං වැනි ගස්වල ගෙඩි හැදී තිබුණද, මිනිසුන් ඒවා කඩන්නේ නැත්තේ ඒ සුන්දරත්වය පාරේ තිබිය යුතු යයි සිතන හෙයිණි. මෙවැනි දෙයක් ලංකාවේ සිදුවෙතැයිද යන්න නම් සැක සහිතය. ඇල්ජීරියාවේ වැඩි ප්‍රදේශයක් කාන්තාර වුවද, ඇල්ජියර්ස් නගරය ආශ්රිත පරිසරය බොහෝ කොළ පැහැ වෘක්ෂ ලතා යහමින් ඇති ස්ථානයක් වේ.
නමුත් පානය කරන ජලයට වඩා පෙට්‍රල් සහ ඩීසල් ලාභ නිසා, ලෝකයේ අද ඇති වී තිබෙන විදුළි වාහන ප්‍රගතිය නම් මෙහි එතරම් නැත.
රට ජනාකීර්ණ වන්නේ වෙරළබඩ මධ්‍යධරනී මුහුද සමීප නගර වලය. එසේ හෙයින් ගෘහස්ථ උද්‍යාන ඇති කෙනෙක් බොහෝ විට ධනවත් කෙනෙක් වේ. ඒ උද්‍යාන වල ඇල්ජීරියාවට අදාළ සහ ආවේණික සංස්කෘතියක් ඇති බවක් පෙනී යයි. එවැනි ස්ථානයක කැටයම් කරන ලද විශාල කිරිගරුඬ බරණි වැනි භාජන භාගයට පොලවේ ගිල්වා තියෙනවා දැක හැකිය. එය මේ රටේ එක්තරා සිරිතකි.
නිවාඩු දිනවල උයන ලද හට්ටි මුට්ටි පිටින් ගෙන එමින්, පවුලේ සාමාජිකයන් මේ උද්‍යාන වල කෑම අනුභවය කරත්.
මධ්‍යසාර පානය ඇල්ජීරියානුවන්ට තහනම් වුවද, එය සාමාන්‍ය භාවිතයේ එසේම වන්නේ නැත. එමෙන්ම ඇල්ජීරියාවේ වයින් නිෂ්පාදනය ඉතා ඉහළ තැනක තිබේ. ඇල්ජීරියන් වයින් නිෂ්පාදනය ඈත රෝමන් යුගයේ කාර්තේජියන් දේශයේ අරගලය කාලයට යන්නේය. ඔබ එය දන්නේ යයි සිතමි. නැතිනම් වැඩි විස්තර සඳහා මගේ බ්ලොග් එක බලන්න.
කෙටියෙන් කිවහොත්, “කාර්තේජ්” යනු වර්තමාන ටියුනීසියාවේ පිහිටි පුරාණ ෆිනීෂියානු නගර රාජ්‍යයක් සහ ශිෂ්ටාචාරයකි. එකළ ටියුනීසියාව සහ ඇල්ජීරියාව එක රටක් වශයෙන් තිබිණ. එහි නායකයෙක් වූ “හැනිබල්” එකළ බලවත් වූ රෝමය දණින් වට්ටන්න තරම් ශක්තිමත් වීරයෙක් විය.
ජර්මන් මහ සෙනෙවි රොමෙල් යනු හැනිබල් ගේ පුනරාවර්ථ වීමක්දෝ යයි සිතේ. දෙදෙනාටම ඇත්තේ එක ගති ගුණ වේ. කරුණාවන්තය, නිර්භීතය, යුද්ධයේ අති සමතුන් වේ. කාන්තාර ගෙදර මෙන් විය. අවසානයේ පැරදුනහ. ඇල්ජීරියා – ටියුනීසියා මිනිසුන්ගේ නොමඳ ගෞරවයට දෙදෙනාම පාත්‍ර විය.
වර්තමානයේ නම් ප්‍රංශ ආභාෂය නිසා දෝ, ඉතා හොඳ වර්ගයේ වයින් ඇල්ජීරියාවේ නිෂ්පාදනය වේ.
ඔවුන් ආගන්තුක සත්කාරයේ කැමති පිරිසකි. තරමක් අමුතු ආකාරයේ සිරිත් විරිත් නම් ඇත. කෑම කා ඉවර වූ පසු පිඟානේ තරමක් කෑම ඉතුරු කිරීම, එතනින් එහාට කන්න බැරි බවත් බඩ පිරෙන්න ඔවුන්ගේ කෑම කෑ බව පෙන්වීම දැකීමට ඔවුන් කැමතිය. එහෙත් ඔවුන් අමුත්තන් ගැන ඕනෑවටත් වඩා උනන්දු වෙති.
ඔවුන් ඔබගේ පිඟාන දෙස බලාගෙන සිටින්නේ, එය හිස් වන්නේ නම් එය පිරවීමටයි.
කිසිම හේතුවක් නිසා වමතින් දෙයක් පිළිගත යුතු නැත. ආචාරයේදී අනිවාර්යයෙන්ම දකුණු අත භාවිතා කල යුතු වේ. හිතවත් මිතුරෙක් නම් එකිනෙකා වැළඳ ගැනීම සිරිත වේ. මගේ එක ඇල්ජීරියන් හිතවතෙක් කාර්තේජියන් යෝධයෙක් මෙන් එකෙකි. ඔහු මා ගුවන් තොටුපලේ දැක වැළඳ ගත් විට, දඬු අඬුවකට අහු වුනා සේ විය. ටික වෙලාවකට හුස්ම හිරවිය. මලේ නැතිවා පුදුමය.
පවුලේ උත්සව ආකාරයේ අවස්ථා වලදී ඔවුන්ගේ පින්තුර ගන්නවාට එතරම් කැමත්තක්ද නැත. සමහරවිට එයට හේතුව වන්නේ රටේ යම් ආකාරයේ අන්තවාදී මුස්ලිම් කොටසක් සිටින හෙයින් වෙන්නට පුළුවන. බහුතරය සුන්නි ඉස්ලාම් ජනතාව වුවද, කාන්තා පක්ෂය හිස් ආවරණය කරනවා අඩු වේ.
ආවරණය කලද හිතවත් කෙනෙක් නිවසට පැමිණි විට ඔවුන් නිදහස්ව හැසිරෙති.
සෑම ජාතියක ගැහැණුන් සහ මිනිසුන්ට ඒ හා අදාළ සුන්දරත්වයක් තිබේ. ජෝර්ජ් බර්නාඩ් ෂෝ ලංකාවට පමණි අවස්ථාවේ, මිනිසුන් ගැන කියා ඇත්තේ, … “ලංකා වාසීන් කිසි කෙනෙක් එක හැඩ රුවක් ඇති අය නොවේ”… යන්නය. සමූහයක් ගත් විට, එයත් එක සුන්දරත්වයකි.
ඇල්ජීරියාවේ ගැහැණුන් සහ මිනිසුන් බොහෝ පැහැපත් ඉතා සුන්දර අය වුවද, කල්පනාවෙන් ඔවුන් දෙස බැලූ විට, කළු අප්‍රිකාණු වන්ගේ හැඩරුව තිබේ. වසර බොහෝ ගණනකට පෙර අප්‍රිකාවෙන් මේ අය පැමිණෙන්නට ඇත. මෙය තව දුරටත් පැහැදිළි කළහොත්, ඔවුන්ට ඉරාන ජාතිකයන්, සිරියානුවන් හෝ ලෙබනන් ජාතිකයන්ට මෙන් තියුණු නාස්, සහ තොල් නැත. එහෙත් ඔවුන් සුන්දරය. ප්‍රිය මනාප ය. මේ පින්තුර වලින් එය දැකිය හැක.
ඇල්ජීරියාවේ ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පයට බොහෝ සමාන වේ. ඇල්ජියර්ස් නගරයේ ඇවිදින කෙනෙක් තමා ප්‍රංශයේ පැරීසියේ ඇවිදිනවා එන අදහසක් ඇති වනු ඇත. එසේම ජර්මනියේ හෝ ජපානයේ සිදු වූවාක් මෙන් දෙවන මහා ලෝක සංග්‍රාමයේ සිදුවූවා මෙන් විශාල සේ බෝම්බ වැටීමක් සිදු වූයේ නොමැති හෙයින්, ප්‍රංශ ආකාරයේ පැරණි ගොඩනැගිළි ආරක්ෂිතව තිබේ.
රටේ මිනිසුන් චතුර සේ ප්‍රංශ භාෂාව කතා කිරීමට දනී.
එසේ හෙයින් මේ රටේ විස්තර මිනිසුන් හරහා දැන ගැනීමට නම් ප්‍රංශ භාෂාව ගැන යම් දැනුමක් නම් තිබිය යුතුමය. එසේ නැත්නම් අරාබි භාෂාව දැන සිටිය යුතුය. ඉංග්‍රීසි භාවිතය බොහෝ අඩුය.
ඇල්ජිරියාවේ නිදහස ලබා ගැනීමේදී ප්‍රංශ හමුදා සමඟ සටන් කිරීමේදී විශාල ලේ වැගිරීමක් සිදු විය. එකළ බලවත් වූ ප්‍රංශ බළධාරීන්, එකළ ප්‍රංශයේද භාවිතා කරන ලද ගිලටීන ඇල්ජීරියාවට ගෙන එන ලදී. එය මරණ දඬුවම දීමේ ක්ෂණික ක්‍රමයක් විය. ඉහළ සිට රූටා එන තලයකට බෙල්ල කැපී ඔලුව වෙන්වී යයි. එසේ භාවිතා කල ගිලටීනයක් ඇල්ජීරියන් යුධ කෞතුකාගාරයේ ඇත. ඉන් බෙලි කැපුණු ආකාරය දුටු අය තවමත් ජීවත් වෙති. [ගිලටීන තතු සඳහා බ්ලොග් එක බලන්න.]
බොහෝ විප්ලවකාරී ඇල්ජීරියානුවන් ඒ ආකාරයට දිවි දුන්හ.
මේ කෞතුකාගාරයේ ඇති දේවල් පින්තුර ගැනීම තහනම් නිසා බොහෝ දේවල් වල පින්තුර ගැනීමට නොහැකි විය. විශේෂයෙන් ලෝකයේ කොහෙවත් නොමැති ආකාරයේ ඉතා පැරණි රේඩියෝ ට්‍රාන්ස්මීටර හෙවත් යුධ කටයුතු සඳහා භාවිතා කරන සන්නිවේදන යන්ත්‍ර ඉතා හොඳ තත්වයෙන් මේ කෞතුකාගාරයේ ඇත. බිම සවි කරන එක යන්ත්‍රයක් හොන්ඩර කීපයක් බරය. ඒවායින් එදා කෙරුණු කාර්යය අද දින කුඩා ස්මාර්ට් ෆෝන් දුරකථනයකින් කල හැක.
එය කාලය මැවූ වෙනසක අරුමය වේ.
— [කාර්මිකයෙක්ට පමණක් වැදගත් විය හැකි සටහනක් :- යුධ පිටියේ සංනිවේදනය සඳහා වෙනම භටයෙක් සිටියේය. ඔහු ශක්තිමත් කෙනෙක් විය යුතුය. මක්නිසාදයත් ඔහු විසින් ඒ සංනිවේදන යන්ත්‍රය පිටේ එල්ලා ගෙන යා යුතු නිසාය. මේ යන්ත්‍රයක් කිලෝ ගණනක් බර වේ. එහි ඇතුලේ වෑල්ව්ස් යන උපාංග තිබේ. එනම් ඒවා ට්‍රාන්සිස්ටර් එන්නට ප්‍රථම භාවිතා කල ඉලෙක්ට්‍රොනික්ස් කොටස් වේ. එම වෑල්ව් 17- 20 අතර ප්‍රමාණයක් එහි ඇත. බල්බයක් මෙන් දැල්වෙන ඒවායේ සූත්‍රිකාවක් හෙවත් ෆිලමන්ට් එකක් ඇත.
එහෙයින් ඒවා කලින් කලට මාරු කල යුතුය. එමෙන්ම මේ නිසා ඒවා ගන්නා බලයද වැඩිය. කාලය විසින් ඒ වෑල්ව් භාවිතය, ට්‍රාන්සිස්ටර් පැමිණි පසු අවමයක් විය. අද දින සාමාන්‍ය කොම්පියුටරයක හෝ ස්මාර්ට් දුරකථනයක වෑල්ව් වලින් කරන කාර්යය කරන ට්‍රාන්සිස්ටර් මිලියන ගණනක් තිබේ. දශක කීපයක් තුල තාක්ෂණය දියුණු වූ සීඝ්‍ර බව අවබෝධ කරගැනීමට එය හොඳ උදාහරණයකි.] —
ගුවන් යානා නාශක තුවක්කු වන, “ඇක් ඇක් තුවක්කු” කීපයක් ඉතාම හොඳ තත්වයේ ඇත. මේවාට ඒ නම දමා ඇත්තේ ඉන් නැගෙන ශබ්දය නිසා වන්නට ඇත. ඒ එක තුවක්කුවක ඉටි වලින් තනන ලද සොල්දාදුවෙක් එය ක්‍රියා කරන ආකාරයක් පෙන්වා තිබේ. එම දරුණු පෙනුමක් ඇති පිළිරුව කොතරම් හොඳින් තනා ඇත්ද යනු, එය ජීවමාන සේ පෙනේ.
ඒ ප්‍රතිමාවේ මා ඔහුගේ දුටු වැදගත්ම දෙය නම් හැඟුම් විරහිත බවය. ජීවිතයට ආශාවක් නැති නම් එසේ වනු අත. යුද්ධයකදී සොල්දාදුවෙක්ගෙන් කරුණාවක් බලාපොරොත්තු විය නොහැක. ප්‍රතිමා ශිල්පියා එය මැනැවින් පෙන්වා ඇත.
කෞතුකාගාරය කොතරම් ස්වභාවිකව තනා ඇත්තේද යත්, එය ලන්ඩන් කෞතුකාගාරයකට වඩා සාර්ථකව ඒ පණිවිඩය ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි.
සටන් දරුණුවට ඇවිළී තිබෙන බව දිගටම ඇසෙන මැෂින් තුවක්කු හඬ ඇසෙනවාක් මෙනි. පොළවෙන් අහසටත්, අහසෙන් පොළවටත් පරීක්ෂා ආලෝක කදම්බ ගමන් කරන අතර, අහස් යානා වල සමීප හඬත්, බියුගල් නළා හඬත්, බෝම්බ වල කන් බිහිරි කරන හඬ ඇසෙන්නේ යුද්ධයේ බියකරු බව පසක් කරමිනි.
තවත් විශේෂ දෙයක් වන්නේ ප්‍රංශ ජාතිකයන් ඇල්ජීරියානුවන්ට වධ දෙන ආකාරය පෙන්වමින් තනා ඇති ප්ලාස්ටික් පින්තුර කොටස වේ. ප්ලාස්ටික් වුවද, සත්‍ය ආකාරයට තනා ඇති ඒ පිළිරූ නම් බැලීමට දුෂ්කර වේ. මේ කිසි දෙයක් අන්තර් ජාලයේවත් ඇත යයි නොසිතමි. කෞතුකාගාරයේ ඇති ඒ පින්තුර ගැනීම සපුරා තහනම් වේ.
ඉණ ඉහද අතගා ස්මාර්ට් ෆෝන් කැමරා යනාදී සියල්ල ආරක්ෂක කවුන්ටරයේ තබා ගනී.
කෞතුකාගාරයෙන් පැහැදිළිවම පෙන්වන්නේ ප්‍රංශ ජාතියට විරුද්ධව නැගී සිටි ස්වදේශික අනුරාගයයි.
කෙසේ වුවද අද දින ප්‍රංශය සහ ඇල්ජීරියාව අතර හොඳ ද්විපාර්ශවික සම්බන්දයක් ඇත. රටේ 99% ක් පමණ සිටින්නේ මුස්ලිම් සුන්නි ජාතිකයන්ය. මෙහිදී ඇල්ජීරියාව ප්‍රංශයට යටත් වී සිටි සමයේ ඒ ඇල්ජීරියා ජාතිකයන්ව කිතුණු ආගමට හැරවීමේ ඕනෑකමක් එපමණ තිබුනාක් මෙනි.
මේ යුධ කෞතුකාගාරයේ දෙවන මහා ලෝක සංග්‍රාමයේ දී වෙඩි තබා බිමට කඩා වැටුණු ගුවන් යානා වල නටබුන් ඇත. අද දින නිෂ්පාදනය නොවෙන ‘රේඩියල් එන්ජින්’ එකක් එහි ඇත. මේ නටබුන් දශක හතක පමණ පැරණි වේ. එහෙත් ඒ නටබුන් මෙන්ම පසු කලෙක ප්‍රංශයට විරුද්ධව කරන ලද සටන් වල භාවිතා කල යුධ උපකරණ යනාදිය අද වන තුරුත් තබා ගැනීම ප්‍රශංසනීය වේ.
පැරණි දේ විනාශ කරන්නට ලංකාවේ අප තරම් දක්ෂයන් නැත. ජපන්නු ලංකාවට බෝම්බ දැමීමේදී වැටුණු ඔවුන්ගේ යානා වල එකම එක කෑල්ලක් වත් අද අප සතුව නැත. එපමණක් නොව බ්‍රිතාන්‍යයෙන් 70 දශකයේ ගෙනෙන ලද ඩබල් ඩෙකර් බස් රිය ඇත්තේද කීපයක් පමණි.
ඒ අතින් අපට ඇල්ජීරියානුවන් ගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.
සුභ නව වසරක්!
//ජපන්නු ලංකාවට බෝම්බ දැමීමේදී වැටුණු ඔවුන්ගේ යානා වල එකම එක කෑල්ලක් වත් අද අප සතුව නැත.//
මේක කියෙව්වාම මට මතක් උනේ මම පොඩි කාලේ (හැටේ දශකයේ) “රෝද ගහපු” (රෝද බැලන්ස් කරගෙන එලවාගෙන යාම) රෝදයක්. පිටත විෂ්කම්භය අඩියක් පමණත්, ඇතුලත විෂ්කම්භය අඟල් 9 පමණත් වන ඇළුමිනියම් තහඩු වලින් සෑදු වළලු දෙකක් එකිනෙකට රිවට් හතරකින් සම්බන්ධ කර තිබුනා. එය යුද්ධ කාලේ බොල්ගොඩට ගඟට කඩා වැටුණු ජපන් ගුවන් යානයේ ඉන්ධන ටැංකියේ ‘කට’ බව මට කිව්වේ ඒක එතනින් ගලවාගෙන ආ බව කියන මාමා කෙනෙකුයි. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව යම් දැනුමක් තියන මට ඒ වළල්ල ගුවන් යානයක ඉන්ධන ටැංකියක කට විය හැකි බව දැන් නම් තේරෙනවා. ඒ තහඩු දෙක මැද රබර් හෝ වෙනයම් මෘදු දෙයකින් සෑදු සීල් එකක් තිබෙන්නට ඇති බවත්, ඒ කොටස විනාස වී ලෝහ කොටස පමණක් ඉතුරු වී ඇතැයි උපකල්පනය කරන්න පුළුවන්. දැන් නම් පරක්කු වැඩියි.
LikeLike
ඔහේ Aimée du Buc de Rivéry ගැන දන්නවද? එයත් ඇල්ජීරියාවට සම්බන්ධයි.
LikeLike