අප්‍රිකාවේ කොහේ ගියත් එකක් නම් පොදු බව පෙනී යයි. එනම් කෙනෙක් මිය ගිය පසු ඒ තැනැත්තා තවමත් ඔබ අසළ සැරි සරන්නේය යන ඇදහීමයි. මේ ඇදහීම ඇති වී තියෙන්නේ, කෙනෙක් මිය ගිය පසු එකවරම අමතක කිරීමට නොහැකි වීම නිසා වෙන්නට ඇත. කෙනෙක් මිය ගිය පසු ඔහු හෝ ඇය අප අසළ සිටින්නේය යන්නට සාක්කි තිබේද නැත්ද යන්න සොයා ගැනීම ඔබට භාරය.
කොංගෝවේ සම්ප්‍රදායික උත්සවයකට ඔබ යන්නේ නම්, ඔබට ලැබෙන බියර් බඳුනෙන් ටිකක් පොළවට වත් කල යුතු වන්නේය. මක්නිසාදයත් එය මළ ගියවුන්ට කරන ලද පූජාවක් හෙයිණි. එවිට ඔවුන් සතුටු වී ඔබව ආරක්ෂා කරගනු ඇත. කැමති නම් ලංකාවේ මෙය ඔබ කරන්නේ නම් සමහරවිට අරක්කු වලින් කල හැක.
කොහොමත් වෙරිවී වැඩි වූ විට අපේ අය අරක්කු බිම හලා මළවුන් සිහි කරති.
කුඩා කල දතක් වැටුණු විට අපට වැඩිහිටියන් කීවේ, …”ලේනෝ, ලේනෝ මේ දත අරගෙන අළුත් දතක් දියෝ”…කියා එය වහළ උඩට විසි කරන්න කියාය. පුදුමයකට මෙන්, කුඩා එකෙක්ගේ දතක් වැටුණු විට මීට සමාන ආකාරයටම කොංගෝවේ එසේම කෙරේ. හුදෙක් ලේනාව මතක් කරන්නේ නැත. ඒ වෙනුවට මියගිය නෑයන් සිහිපත් කෙරේ.
කිසියම් හේතුවක් නිසා ස්වාමි පුරුෂයා මියගියහොත්, භාර්යාවගේ හිසේ කෙස් ඉවත් කල යුතුය.
බොහෝ අප්‍රිකානු රටවල් වල මෙන්ම කොංගෝවේද විවාහයක් වන විට දෑවැද්දක් දිය යුතුය. ඉන්දියාවෙන් පැමිණි සිරිත් අනුව නම් එය දිය යත්තේ මනමාළිය ගේ පාර්ශවයෙන් මනමාලයා ට වුවද, අප්‍රිකාවේ එය වන්නේ අනෙක් පැත්තටය. එය මුලින්ම දිය යුතු නැත. ඉඩම් හෝ හරකුන් සේ එය දිය හැකි අතර, මනමාලියගේ වටිනාකම වැඩිවන තරමට දෑවැද්ද ද විශාල වේ.
පිටේ දැවැන්ත පච්චයක් ගසා ගෙන ඇති මනමාලියක් සඳහා වැඩි මිළක් හෝ හරකුන් වැඩි ගණනක් ඇයගේ පියාට දෙන්නට සිදු වේ. මනමාලියක් ගැනීම එතරම් අපහසුවක් නැත. මට නම් ඇති අපහසුව වන්නේ, මුලින් මනමාලිය වූ කෙනාගේ කැමැත්ත ගැනීමය.
පච්ච කෙටීම් මිනිස් ඉතිහාසයේ ඈත අතීතයට යන්නේය. අප කුඩා කාලයේ නම් පච්චයක් කෙටූ කෙනෙක් දෙස බැලුවේ යම් ආකාරයේ අවඥා සහගත අදහසකිනි. නමුත් එය වෙනස් වූ බවක් පෙනී යයි. ශරීරයේ කොටා ගන්නා පච්ච දෙස බලා ඒ ඒ තැනැත්තාගේ චරිත ලක්ෂණ ගැන කීමට හැක යයි සිතේ.
ඔබ කැමතිම පච්චය කුමක්ද ?මා කැමතිම පච්චය වන්නේ … “පපුව ඉස්සරහ !… !!.. යයි, පිටේ ගහගෙන ඇති පච්චයට වේ. එය පරම සත්‍යයකි.
මා වැනි ඉතා සාමාන්‍ය කෙනෙක් යන්න අමතක කරන්න. නමුත් අප්‍රිකාණු යකැදුරෙක්ට කිසියම් කෙනෙක්ගේ සිරුරේ ගසා ගෙන ඇති පච්ච සටහනක් බලා ඔහු ගැන බොහෝ විස්තර කිව හැක.
එපමණක් නොව කිසියම් කෙනෙක්ට යම් ලෙඩ රෝග ඇත්නම් ඒ සඳහා ඔහු නියම පච්චය අනුදැන කියනු ඇත.
කොංගෝ වේ අගනුවර වූ ‘කින්ශාෂා’ හී මට හමු වූ කෙනෙක්ගේ අතේ කොටා තිබුණු පච්චය වැනි පච්චයක් මා කිසි දිනෙක දැක නැත. එය මෙහි දමා ඇත. අවාසනාවට ඔහු සමඟ පච්ච සටහන් බලා අනාවැකි කියන යකැදුරෙක් ගාවට යන්නට නොලැබිණි. එසේ වුනා නම් යකැදුරා නෙට්වර්ක් සහ පරිඝනක ගැන කියවන්නට ඉඩ තිබිණි.
මගේ ප්‍රංශ මිතුරා පරිඝනක හා සබැඳුණු කිසියම් ක්ෂේත්රයක විශේෂඥයෙක් විය. තවද ඔහු අප්‍රිකාවේ සේවය කරන යුරෝපීයයයෙක් විය. පරිඝනක සඳහා භාවිතා කරන කේබල් අන්ත සඳහා භාවිතා වන සම්බන්ද කරන කොටසක නමක්, එනම් RJ- 45 සේ ඔහු පච්චයක් සේ සිරුරේ ගසා ගෙන ඇත.
එය ඊතර්නෙට් නෙට්වර්ක් සඳහා භාවිතා වන, ටෙලිෆෝන් ජැක් එකකට සමාන ජැක් එකකි. ඒ ඉංග්‍රීසි අකුරු දෙක එන්නේ Registered Jack යන වචන දෙකෙනි.
ලිපියේ අරමුණ පරිඝනක ගැන කීම නොවන නිසා නැවත පච්ච කතාවට යමු. ඇත්තෙන්ම පුරාණ අප්‍රිකාවේ නම් පච්ච ගැසීමේ වැදගත් හේතුවක් වූයේ, ඒ ඒ පුද්ගලයා කිනම් ජන සමාජයක සාමාජිකයෙක් යයි දැනගැනීමට විය. ඒ සමහරක් පච්ච ගසා ගැනීම ඉතා වේදනාකාරී වන්නට ඇත. කෙනෙක් ඒ ආකාරයේ පච්ච කොටා ගන්නේ, තමා ගේ නිර්භීත බව පෙන්වීමට වේ.
ගැඹුරු තුවාල ඇති වන්නට ඇති පිට පුරා ඇඳ ඇති පච්ච කොටා ගත් අය කොංගෝවේ සිටී. මේ කැළැල් ඇති වීම සඳහා අළුද ඒ පච්ච කෙටීම කරන තැන කොංගෝ වාසීන් කරති.
මෙහි තේරුම කුමක්ද යයි ඒ අයගෙන් ඇසුවෙමි. එහි කෙටි තේරුම මෙය වේ.
කොංගෝ පච්ච කෙටීමේ දර්ශනයක් ඇත. අපේ අය නම් පච්චයක් කොටා ගන්නේ ලස්සණට වුවද කොංගෝවේ එසේම නොවේ. එය ආගමට සම්බන්ද වේ. එහි පොදු සංකේතයක් වන්නේ කොංගෝ කොස්මෝග්රෑම් ලකුණයි. විශ්වයේ සෑම කෙළවරකම රවුමක් සහිත සමාන්තර ලෝකයක් නිරූපණය කරයි.
විශ්වයේ තිරස් අක්ෂය නියෝජනය කරන්නේ ජීවමාන ලෝකය හා මළවුන්ගේ ලෝකය වෙන් කරන සාගරය වේ.
සාගර රේඛාවට ඉහළින් ඇති හස්තය ජීවමාන ලෝකය නියෝජනය කරන අතර එම ලෝකය විරුද්ධ වන්නේ මළවුන්ගේ ලෝකයයි. සෑම අතකම අවසානයේ සූර්යයා පාන්දරින්ම පාන්දරින් නැඟිට, දහවල් වන විට අපේ ලෝකයේ මුදුනට ළඟා වෙමින්, රාත්රියේදී පාතාලයට ගිලී මධ්‍යම රාත්රියේදී මරණින් මතු ජීවිතයේ උච්චතම ස්ථානයට ළඟා වේ.
සෑම දිනකම ආරම්භයේ දී සූර්යයා නැවත ඉපදෙනවා සේම ආත්මය ජීවයේ සිට මරණින් මතු ජීවිතය දක්වා සූර්යයා පසුපස යයි.
ලංකාවේ සාමාන්‍යයෙන් දකින්නට නැති පච්ච සටහන් බොහෝ ප්‍රමාණයක් මා අප්‍රිකාවේ දැක ඇත්තෙමි. ඒවා සමහරක් ඉතා විචිත්‍ර ලක්ෂණ වලින් යුතු විය. ඒවායේ ඉතා උසස් ආගමික ගති ලක්ෂණ ඇත. ඇතිවීම පැවතීම සහ නැති වීම යන්නද ඒ පච්ච සටහන් වල පවතී.
එහෙත් මා නම් ඒවා සිරුරේ ගසා ගන්නේ නැත. එහ තේරුම ඔබටද එය නොකරන්න යන්න නොවේ. මගේ අම්මා නම් මට කුඩා කල කීවේ, මා මේ ලෝකයේ ලස්සණ ම දරුවා බවය. “උනහපුලුවාට උගේ පුතා මැණිකක් වේ” යන්න තව කතාවකි.
ඔබගේ මවද, ඔබට එසේම කියන්නට ඇත. ස්වභාවයෙන් ලැබුණු ඒ සිරුර විරූපී කරගන්නට මට නම් ඕනා කමක් නැත.
ඉපදෙන සියල්ලන්, ලෙඩ වන්නේය, මිය යන්නේය යන පච්චය ගසා ගත යුත්තේ අපේ මනසේ යයි සිතමි.
https://lankacitizens.com/social/කොංගෝ-ඇදහිළි-සහ-පච්ච-කෙට/
LikeLike