කළක් මා සමඟ සේවය කල ඉන්දියානුවෙක් ගණිකා වෘත්තීය යන්න මේ ලෝකයේ ඇති නීචම රැකියාව කියා තර්ක කළේය. අපි ඔහුට ක්‍රිෂ්ණන් කියා කියමු. ඕනෑම වෙළඳාමක විකුනන්නෙක් මෙන්ම, මිළදී ගන්නෙක්ද සිටී යයි මා ප්‍රතිතර්ක කලෙමි. ඒ අනුව පුරාණ ඉන්දියාවේ ‘දේවදාසීන්’ සේ හැඳින් වූ දේවාල වල මෙහෙය සඳහා ඒවායේ ගයමින් වයමින් සිටි කාන්තාවන්, ගණිකාවන් කලේ උඹලා නොවේදැයි මා ඇසුවෙමි.
ඔහු හින්දු භක්තිකයෙක් පමණක් නොව, ඉන්දියාවේ ඉහළම කුලයකට අයත් වූ නිසා ඒ ඒ කුළයන් අනුව එය සිදු වන බවත් එය සංස්කෘතික තත්වයක් බව කීවේය. එපමණක් නොව දෙවියන් ශ්‍රේෂ්ට නිසා, දේවදාසීන්ට වුවද, ඒ කරන සේවයට දෙවියන්ගෙන් සැලකුම් ලැබේ යයි ඔහු කීවේය. උදාහරණයක් සේ, එක දේවදාසියකට ලෝ ප්‍රකට ගායිකාවන් තිදෙනෙක් දරුවන් සේ ලැබුණු බව ඔහු කියා සිටියේය.
ඒ ලතා, ආශා, ඌශා මංගේෂ්කාර් යන ඉන්දියානු ගායිකාවන් තිදෙනා විය. මේවා කොතෙක් සත්‍යද කියා නොදනිමි. එහෙත් ඔවුන් දෙව් ලොවෙන් ආවා යන්න නම් සත්‍ය විය යුතුය. නමුත් අනෙක් දහස් ගණන් දේවදාසීන්ට දෙව් දරුවන් ලැබී නැත.
ඔහු කියන ආකාරයට හින්දුන්ගෙන් බ්‍රාහ්මණ උසස් කුලයේ අය බ්‍රහ්මයාගේ හිසෙන්, පපුවෙන් ක්‍ෂත්‍රීය, බඩ සහ උකුල දෙසින් වෛශ්‍ය ජාතීන් සහ, අවසානයේ පාද වලින් ශුද්‍ර කුළයේ අය බිහිවී ඇත. මා ඔහු සමඟ අප්‍රිකාවේ සේවය කල බැවින්, මා ඊළඟට ඇසුවේ අප්‍රිකානුවන් සහ විශේෂයෙන් ඔහු පිළිකුල් කරන ගණිකාවන් බ්‍රහ්මයාගේ කොහෙන් උපන්නේද යන්නය. … “සොයා බලපන් ! … සේ මා කීවෙමි.
ඔහු සමඟ මේ ආකාරයේ වාද විවාද වලට යෙදෙන්නට එක හේතුවක් වූයේ ටැන්සානියාවේ සහ සැන්සිබාරයේ එක්ව කල චාරිකාවක් හේතුවෙනි. ඉතා තද හින්දු චාරිත්‍ර වලට අනුකූලව ඔහුගේ ජීවිතය හැඩ ගැසී ඇති බව පෙනිණ. මා කියන්න යන්නේ ඒවා තරමක් වෙනස් වූ ආකාරයයි. සෙමෙන් වුවද මේ කුල මල භේද කෙමෙන් ඉවත් වීම සතුටකි. එහෙත් තවමත් ඉන්දියාවේ සමහර කෝවිල් වලට පහත් කුලයේ යයි සම්මත, එනම් ඩලිට් වැනි කුළ වල ජනතාවට ඇතුල් විය නොහැක.
ඉහළ කුල යයි සම්මත බ්‍රාහ්මණ කුළ වල උපන්නන්, පහත කුළ වල සිටින්නන් දෙස බලන්නේ වත් නැත. ඉහළ කුළ වල සිටින්නන් පාරේ යනවිට, පහත කුළ ජනතාව කාණුවට බැසිය යුතුය. ඉන්දියාව දැවැන්ත රටක් හෙයින් මේ සිරිත් විරිත් යම් ප්‍රමාණයකට තැනින් තැන වෙනස් වනු ඇත. කියන්නට යන සැන්සිබාරය සහ ඉන්දියාවේ සම්බන්දය වන්නේ, සැන්සිබාරය සෑහෙන දුරකට ඉන්දියාවේ ආභාෂය ලැබී ඇති හෙයිණි.
සැන්සිබාරයේ ක්ලබ් එකකට හෙවත් සමාජ ශාලාවකට ඔබ යන්නේ නම්, ඒ කියන සංගීතයක් අසා ඕනෑ නම් බියර් හෝ විස්කි වැනි දෙයක් බී, පාඩුවේ හෝටල් කාමරයට යෑම මැනවි. තනියම එවැනි තැනකට ගොස් යම් විදියකින් කෙනෙක් ගණිකාවක් දෙස බැලුවත්, ඔවුන් ඔහු වෙත ඇදී එයි. එතනින් එහාට ඇත්තේ ඔහු කොතෙක් මත්පැන් පානය කර ඇත්ද සහ, ගණිකාවගේ අඟර දඟර, සරාගී බව, සහ කියවන දෑ අනුව ඊළඟට ඇතිවන ආකර්ෂණය හෝ විකර්ෂණය මත වන දේ වේ.
එසේ ගණිකාවක් දෙස බලා ඇය සමඟ කතා කරන කෙනෙක්ට ඇයට බියර් එකක් අරන් දීමට විය හැක. එතැනින් නැවතීම නම් ඇඟට ගුණ දෙයකි. මට නම් ඕනා කලේ මේ ගණිකාවන්ගේ ඇතුලාන්තය අවබෝධ කර ගැනීමය. මේ කරුම ජීවිතයට ඇද දමන ලද ඔවුන්ගේ පුද්ගලික ජීවිතය තොරතුරු වලට අමතරව තවත් විශේෂ දෙයක් ගැන මා සෙව්වෙමි. එය නම් අප්‍රිකාවේ කෙරෙන්නාවූ අමානුෂික චාරිත්‍රයක් වන ‘ගැහැණු සුන්නත් කිරීම’ විය.
සමහරවිට පාරිභෝගිකයන් අඩු නම් ඔවුන් කීප දෙනෙක් ඔබව වට කරගන්නේ, හයිනාවන් රැළක් මෙනි. ඔවුන් අමතක කර දමා ඇහෙන සංගීතයකට ඇහුම්කන් දීම වඩාත් පහසු කාරියකි. කෙසේ හෝ ඔබට ගණිකාවක් සමඟ කතා කිරීමට කුතුහලයක් ඇති වන්නේ නම්, තනියම සමාජ ශාලාවට යනවාට වඩා කීප දෙනෙක් සමඟ යාම පහසු වේ.
ඒ අනුව අප කීප දෙනෙක් එකතු වී විස්තර සෙවීම ආරම්භ කළෙමු. අවශ්‍ය වන්නේ මේ ගණිකාවක් සමඟ රාත්‍රිය ගත කිරීම නොවන වග පැහැදිළි කළෙමු. බියර් වලින් ආරම්භ කර, විස්කි ෂොට් කීපයකට සප්පායම් වීමෙන් පසු පසු එක් ගණිකාවක් ක්‍රිෂ්ණන්ට ඇතුළු අප සමඟ සිටි තවත් මිතුරන් කීප දෙනෙක්ට කියා සිටියේ ප්‍රායෝගික සේ එය දැකිය යුතුය යන්නය. මේ වන විට ක්‍රිෂ්නන්ද සෑහෙන තරමකට වෙරි වී සිටියේය.
එසේ හෙයින් එය ප්‍රායෝගිකව අවබෝධ කර ගන්නට ඔහුට ඉඩ දී, තුන් වන සිල් පදය ඔහුට කැමති ආකාරයකට සකස් කර ගන්නට දී, එහි සිටි සැන්සිබාර් හිතවතෙක්ගේ ඇවටිල්ල නිසා ඔහු සමඟ ඔහුගේම බෝට්ටුවේ චාරිකා කරන්නට ගියෙමු.
ඈත මුහුදට යමු කියා ඔහු කියා සිටියද, කෝකටත් කියා වෙරළට ආසන්න මුහුදේ එය පදින්නට ගියෙමු.
සැන්සිබාර් මිත්‍රයා බෝට්ටු පැදීමේ දක්ෂයෙක් විය. ඒ මොහොතේ වඩ දිය තිබි හෙයින් ඇති වූ රැළි හේතුවෙන් බෝට්ටුව තදින් ගැස්සින. එහෙයින් කොයි වෙලාවේ බෝට්ටුව පෙරලී යාවිද කියා, ‘කුඩා කාලයේ අම්මා බදා ගත්තා’ වගේ බෝට්ටුව බදා ගෙන සිටියෙමි. මේ මිනිසුන් උපතින්ම හොඳ නාවිකයන් වෙති. අති දක්ෂ පිහිණුම් කරුවන් වෙති. ඔහු කොතරම් දක්ෂද යත්, බෝට්ටුව මුහුද මැද නවත්වා මීටර් කිහිපයක් කිමිද පත්ලට ගොස් බෙල්ලන් රැගෙන ඒම කළේය.
ඒ රාත්‍රියේ මුහුද මතුපිටවත් ආලෝකය නොතිබුණු විටෙක එය කෙසේ කළාදැයි නොදනිමි. මේ ආකාරයේ අශ්ව බල සීයේ තනි එන්ජිමේ ‘අවුට් බෝර්ඩ් මෝටර්’ එකක් සවිකර යාබද ටැන්සානියාවට යන්න තරම් ඔහු නිර්භීත විය.
සැන්සිබාරය සහ ටැන්සානියාව අතර මුහුද ප්‍රචණ්ඩ වන අවස්ථාවන් ඇත. නැවත සැන්සිබාරයෙන් යන දින, ටැන්සානියාවට අපව බෝට්ටුවකින් ගෙන යන්නම් සේ ඔහු කීවද එයට අප අකමැති වූයේ, වෙරළ යාබද මේ තරම් මේ කුඩා බෝට්ටුව සෙලවෙන්නේ නම්, මුහුද මැද කුමක් වේදැයි සිතන්නට නොහැකි හෙයිණි. ලොකු බෝට්ටුවකින් ඒ ගමන යන්නට මේ වන විටත් ටිකට් ලබා ගෙන සිටියෙමි. එහි වාසිය දැනුනේ සැන්සිබාරයෙන් ගමන් ආරම්භ කල බෝට්ටුව මුහුදට ඇදෙන විටය.
වෙරළේ දකින මුහුද ලා නිල පැහැ රළ සාමකාමී ස්වරූපයක් පෙන්වයි. එහෙත් රළ පෙරළේ. බෝට්ටුව කෙමෙන් දියඹට ඇදෙන විට රැළි පෙරළීම නැති වේ. එහෙත් විශාල සේ උඩ පහළ යන රැළි ඇති වේ. මුහුදේ වර්ණය කෙමෙන් තද නිල් පැහැය වී ගැඹුරු බව පෙන්වයි. වෙරළට ආසන්නව විශාල යාත්‍රාවක් සේ පෙනෙන බෝට්ටුව මේ මහ මුහුද මැද සෙලවෙන බේසමක ඇති කුඩා කොලයක් මෙන් සෙලවේ. මොහොතක ඔබ ඉන්නේ ජලයෙන් නිර්මාණය වූ කඳු ගැටයක් උඩය. අනෙක් අවස්ථාවේ විශාල වළක සිටී.
සැන්සිබාර් මිත්‍රයාගේ කුඩා බෝට්ටුවේ මේ ගමන ආවා නම්, භීතිය නිසාම පණ යන්නට තිබුණි. පළමු වතාවට බෝට්ටුවේ චාරිකා කල කීප දෙනෙක් ඔක්කාරය කරනවා දුටුවෙමි.
සැන්සිබාරය, ටැන්සානියාවට අයත් ඉතාමත් සුන්දර දූපතකි. ගොඩනැගිළි නිර්මාණය සඳහා ඉන්දියානු ආභාෂය ඉතා තදින් ලැබී තිබෙන බව පැහැදිළි දෙයකි. සැන්සිබාර්ය ප්‍රසිද්ධ වන්නට එක හේතුවක් වන්නේ එහි ප්‍රසිද්ධ සුල්තාන් වරයෙක් සහ ඔහුගේ විශාල මන්දිරය එහි තිබීමෙනි. සුල්තාන් වරයා අතීතයේ සැන්සිබාරයේ පැවතුනු වහල් වෙළඳාමේ ප්‍රමුඛයෙක් විය. දැන් ඒ මන්දිරය සංස්කෘතික මධ්‍යස්ථානයක් වේ. තවද සැන්සිබාරයේ පවතින උණු දිය උල්පත්ද ඒ දූපත ප්‍රසිද්ධ වන්නට හේතුවකි. කොරල් පර බැලීමටද විදේශික කිමිදෙන්නන් එහි පැමිණෙති. එහෙත් අවාසනාවට ඒ කොරල් පර විනාශ වී ඇත්තේ ‘එල් නිනෝ’ නම් තාප ආචරණය හෙයිණි.
කෑම බීම?… ඔව්, එය නම් තවත් සුන්දර මාතෘකාවකි. එහෙත් එය මගේ ජීවිතයේ දුර්වල තැනකි. ලියන්න ගියොත් පිටු ගණන් ලියන්න වේ. පසු දිනෙක රෙසිපියක් ගැන ලියන්නෙමි. සැන්සිබාරයට සම්බන්ද වූ නොයෙක් පිට ජාතීන් නිසා එහි ඇති කෑම බීම වල විශාල පරාසයක් ඇත. ඉන්දියානු චපාති, අප්‍රිකාන් ෆුඩ්, ස්වාහිලී හොද්ද, සැන්සිබාර් අල හොද්ද, අරාබි රොටි, චීන කෑම … වැනි, එකී මෙකී සියලුම දේ ඔබට එහි දැකිය හැක.
පසුදින උදයේ හදපු එකා හෙවත්, චෙෆාගේ මෑණියන් සිහි ගන්වන, පට්ට සැර අප්රිකාන් ෆුඩ් ගිල දමා මුහුදේ සුළං රැළි වලින් මුහුණ සීතල වෙන වෙලාවේ, හෝටලයේ සිටින ඉන්දියන් බට නළා වාදකයාගේ ගායනයක් අසමින්, ශීෂා හෙවත් ගඩුගුඩාවක් අදිමින්, බටහිර අහසේ පාවී යන වළාකුළු දෙස බලා සිටීම සතුටකි.
යුනෙස්කෝ සංවිධානයෙන් හඳුනා ගත්, ‘ගල් නගරය’ හෙවත්, ‘ස්ටෝන් ටවුන්’ යන්න සෑහෙන කලකට පෙර සිටි ස්වදේශිකයන් ජීවත් වූ ආකාරය පෙන්වයි.
සැන්සිබාරයේ මදුරුවන් සිටීම හැර වෙන අන් වෙන වරදක් නම් මා නොදුටුවෙමි. කෝකටත් කියා මේ රටට යන්නන් මැලේරියා සහ කහ උණ සඳහා වන එන්නත් ශරීරගත කර ගෙන යාම ඇඟට ගුණ දෙයකි. මුහුදෙන් වටව ඇති සැන්සිබාරයට එක්කෝ ගුවනෙන් යා යුතුය. ටැන්සානියාවෙන් ආරම්භ වන ඒ ගුවන් යානා සාමාන්‍යයෙන් කුඩා සෙස්නා වර්ගයේ ඒවා වේ. ඒවායේ සෙලවීම සමහරවිට සැන්සිබාර් මිතුරාගේ බෝට්ටුවට එහා යයි.
නැතහොත් ටැන්සානියාවේ අගනුවර වන, ‘දරයි සලාම්’ තෙක් මුහුදෙන් යන බෝට්ටු සේවා ඇත. ඒවාට බෝට්ටු කියන්නේද, නැව් කියන්නේද යන්න මට පැහැදිළි නැත. තරමක් විශාල මේ බෝට්ටු සාමාන්‍ය සේ පංකාවකින් ක්‍රියාත්මක නොවේ. එහි ඇත්තේ වතුර විදින ක්‍රමයකි. [Water jet] නමුත් ඒ ජල විදිනයන් හොඳින් දකින්නට නම් බෝට්ටුවෙන් එබී බැලිය යුතුය. ඉදිරි නැව් නෙත්තියෙන් දිය දෙබෑ වීම බැලීමද අපූරු දෙයකි. නමුත් එය බැලීමට උත්සාහ කිරීම භයානක දෙයකි.
ඒ ප්‍රබල ජල පහර බලන්නට බෝට්ටුවේ ඇණියෙන් එබී බැලූ නොසැළකිලිමත් වුන්ගෙන් එකෙක් වුනෙමි. අවසානයේ මේ ගැන විරෝධයක් දැක වූ බෝට්ටු සේවකයෙක් සමඟ ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස්, ඊට බෝට්ටුවේ කැප්ටන්ට මැදි වන්නට වීම මට නම් වාසනාවක් විය. මේ ආකාරයේ මුග්ධ වැඩ කළා කියා කුමක්දෝ වාසනාවකට විශාල ආපදාවන් නම් සිදු නොවීය. කැප්ටන් ඒ කළබලයට අත දැමූ නිසා වූ වාසනාව වූයේ මා ඔහු සමඟ ආගිය තොරතුරු කතා කල හෙයිනි. ඕනෑම වලියක, කලබලයක හොඳ පැත්තක් තිබේ.
එන්ජින් පිස්සුව මට මෙන්ම ඔහුටද තදින්ම තිබීම නිසා ඔහු ගේ පාලක මැදිරියේ ගමන් කිරීමට අවස්ථාව ලැබිණි. කැප්ටන් කෙනෙක් වන්නට පෙර ඔහු කාර්මිකයෙක් වීම මටද වාසියට සිටියේය. විශාල බෝට්ටුවක පාලක ක්‍රියාවළිය මෙන්ම, එන්ජින් කාමරයට ගොස් එන්ජිම දැකීමටද ඉන් මට වාසනාව අයත් විය. ටැන්සානියාවේ යම් යම් කළයුතු රාජකාරි කීපයක් සමාප්ත කර තවත් දින දෙකකින් ඒ බෝට්ටුවේම නැවත සැන්සිබාරයට ගියෙමි.
මේ වනවිට ක්‍රිෂ්ණන් ගණිකා වෘතිය තව දුරටත් නීචම රැකියාව යන මතයේ සිටින බවක් නොපෙනිණ. ඉන්දියානු ආභාෂය සැන්සිබාරයේ තිබෙනවා යනු, ඉන්දියානු වෙළෙන්දන්ද ඒ අවාසනාවන්ත වෙළඳාමේ කොටස් කරුවන් වෙන්නට ඉඩ ඇත යන්නය. කෙසේ හෝ සැන්සිබාරයේ අතීත කතා අසා, අඩුම තරමේ එකම එක බ්‍රාහ්මණයෙක් හෝ ඔවුන්ගේ තද නීති රීති සහ සිරිත් විරිත් වලින් ඉවත් වූයේ යයි පෙනුණි.
ක්‍රිෂ්ණන් කියූ ආකාරයට ඇය පැවත එන්නේ අතීතයට සැන්සිබාරයට ගෙන ආ වහලුන්ගෙනි. ඔහු මේ අතර සැන්සිබාරයේ වහල් කෞතුකාගාරයට ඇයත් සමඟම ගොස් එය නරඹා ඇත.
ඒ අතීතයේ වහළියක් සදා කාලයටම මිලදී ගන්නා ඩොලර් දහයේ මුදළට, අද දින ඔහුට එවැන්නියක් දිනකට කුළියට ගැනීමට හැකි වීම ආර්ථික වශයෙන් විශාල පාඩුවක් වූ අතර ලෝකයේ උද්ධමනය වැඩි වෙමින් පවතී … ! 😉
සැන්සිබාර් ලෙපර්ඩ් සහ කට්ටඩියො සම්බන්ධව මිත්‍යා විස්වාස ගැන මට රිසර්ච් එකක් කරන්න වුනා ටික කාලයකට ඉස්සර
LikeLike