රටින් රට – බහරේනය – තවත් උත්සවයක්.

                                         
සේද මාවත ජනාකීර්ණව තිබි පුරාණයේ ඈත දුර තිබෙන චීනයේ මෙන්ම ඉන්දියානු උප මහාද්වීපයේ වෙළෙන්දන්ද, සේද මාවතේ සැරිසරමින් ග්‍රීසියටත් එහා ගියහ. ඊජිප්තුව, ඉරානය සහ තුර්කියද චීන භාණ්ඩ සඳහා වූ වෙළඳපොළවල් විය. චීන වෙළඳ භාණ්ඩ සමඟ ආසියානු සංස්කෘතියත්, ඒ ඒ රටවල වලට යම් ආකාරයකට මිශ්‍ර වුනේ යයි ඉතිහාසඥයෝ පවසති.

එයට එක්තරා හේතුවක් වූයේ ඒ වෙළඳ කණ්ඩායම් සමඟ ගිය පූජකයන්ය.

මේ ආගමික කොටස් අතර හින්දු පූජකයන් මෙන්ම බෞද්ධ භික්ෂූන්ද සිටි බවට ලකුණු ඇත. මේ සඳහා කිව හැකි එක උදාහරණයක් වන්නේ, ඊජිප්තුවේ පසු කල නිර්මාණය වූ පිරමීඩයක් ඇතුලත බෞද්ධ භික්‍ෂුවකගේ හෝ බුද්ධ රූපයක හැඩය ඇති පිළිරුවක් සොයා ගැනීමට හැකි වීමය. 

මිනිස් ඉතිහාසයේ එක්තරා කලෙක තිබුණු මේ දීර්ඝ ගමනේ යම් යම් ප්‍රසිද්ධ මඟ නැවතුම් පොළවල් තිබිණ. ඉන් එක් ප්‍රසිද්ධ ස්ථානයක් වූයේ සව්දි අරාබියේ මක්කම නගරයයි. නබි තුමාගේ පළමු බිරිඳ වූ කදීජා විවාහයට පෙර තවලම් කණ්ඩායමක් හිමි ධනවත් වැන්දඹුවක් වූවාය. ඒ තවලම් සේද මාවතටද සම්බන්ද වන්නට ඇත. ඒ අතර සව්දි අරාබියෙන් නොදුරු තවත් රටක් වන බහරේනය තවත් මඟ නැවතුමක් විය.

සව්දි අරාබිය මෙන්ම බහරේනයද කාන්තාර රටක් බව ඔබ දනී. සව්දි අරාබියේ සේවය කල කාලයේ යම් යම් රාජකාරි හේතුන්ට බහරේනයට අනුයුක්ත කල කාණ්ඩයට මාද අයත් විය.

එහෙයින් එසේ ලැබූ අත්දැකීම් අනුව නම්, බහරේන් කතරේ තෙල් පොම්ප සවි කර ඇති තැන් සහ, ගෝත්‍රික බෙඩුයින් වරුන් සිටින ස්ථාන හැර වෙන විශේෂයෙන්ම විස්තර කල යුතු දෙයක් එහි නැත යයි සිතමි. බලන්නට විශේෂ දෙයක් සේ ස්වභාව සුන්දරත්වයක් ඇති කැලෑ, ජලාශ හෝ ගංගා වැනි දේ එහි නැත. එහෙත් රටතොට විස්තර මෙන්ම, ඕනෑම රටක සිටින මිනිසුන්ගේ ජීවිත කතාවේද විවිධත්වයක් සහ අරුතක් ඇත.

ලෝකයේ සිටින මිනිසුන් කොටස් කීපයකට බෙදේ. සමහර මිනිසුන්ගේ ජීවිත, ඉන්දියානු ගායිකා “ගීතා දත්” ගේ පැරණි විරහ ගීතයක් මෙන් ශෝකාලාපයක් සේ දැක්වේ. තවත් සමහරෙක්ගේ ජීවිත, ක්ලැරන්ස්ගේ ගීතයක් මෙන් සැණකෙළියක විචිත්‍ර වර්ණ දක්වයි. වැඩි දෙනෙක්ගේ ජීවිත, ස්වර තුනකින් පමණක් යුතු අප්‍රිකාණු අයිවරි කෝස්ට් රටේ “සව්ලි නැටුමේ” සරළ ගීතයක් මෙනි. ඔහේ රැල්ල සමඟ ඇදී යනවා පමණි.

කුමක්දෝ අබග්ගයකට මැද පෙරදිග වසන්නන් බොහෝ දෙනා, ‘ස්වර තුනේ අප්‍රිකාණු සව්ලී’ ගීත ගයති. මා කියන්නට උත්සාහ කරන්නේ රැල්ල සමඟ ඇදී යන්නෙක් ගැනය. එහි වර්ණ හැඩතල එතරම් නැත.

එවැන්නන් කුඩා දරුවෙක්ට මැටි පිඩක් ලැබුණු විට තනන මැටි බෝලයක්, මැටි කූරක් වැනි හැඩයක් මෙනි. නමුත් මේ ලෝකයේ වැඩියෙන් ඔබට දකින්නට ඇත්තේ එතරම් හැඩතල නැති ද්‍රව්‍ය වේ. ඒ හැඩතල ඔබේ හැඩය සමඟ සංසන්දනය කිරීම මැනවි. නමුත් කුමක් කරන්නද ? අපට ඒ බොහෝ අය සමඟ ජීවත් වන්නට සිදුව තිබේ. කතරක වැලි සහ කටු ගස් අපමණය. මැණික් සහ මල් ගස් දුර්ලභය. මල් ගස් දුර්ලභ වූයේ කටූ ගස් වැඩි හෙයිණි.

වැලි තරමට මැණික් තිබුනේ නම්, මැණික් මෙතරම් මිළ අධික වේද ?

බහරේනයේ සිටින ජනතාව මුස්ලිම් නිකායයන් දෙකක් වන සුන්නි සහ ෂියා කාණ්ඩ වලට අයත් වේ. මෙහි ෂියා කාණ්ඩ ඉරානයෙන් සංක්‍රමණය වූ අය බව සමහරු කියති. තවත් කෙනෙක් කියන්නේ ඔවුන් විශේෂයෙන් සංක්‍රමණය වුනා නොව බහරේනය යනු කලකට පෙර ඉරානයේ කොටසක් වූ නිසා ඈත අතීතයේ සිටම ඔවුන් මෙහි සිටින්නට ඇත කියාය.   

මේ ෂියා වරුන් අනෙකුත් සුන්නි වරුන්ට සාපේක්ෂව ආගම කෙරේ එතරම් තද බැඳීමක් නැත. ඔවුන්ගෙන් සමහරෙක් කියන්නේ බහරේනය පමණක් නොව, ඉරානයද කලකට පෙර බෞද්ධ රටවල් වූ බවය. ඊට දිය හැකි එක හොඳ සාක්ෂියක් වන්නේ, ඉරානයේ ඇති තවත් පැරණි ආගමක් වන ‘සොරෝස්ත්රියන් ආගම’ සහ බුදු දහම අතර ඇති සමාන කම් විය.

පැරණි ගොඩනැගීම් හෙවත් පුරා වස්තු, බහරේනයේ ඇතැම්විට පොළවට යටවී තිබී හමු වේ. ඒවා ඒ රටේ ආගමට සංස්කෘතියට අදාළ නැත් නම්, නැවතත් එසේම ඒවා වළලා දැමීම කෙරේ යයි කියති.

බහරේනයේ ස්වදේශික මිනිසුන්, සව්දි අරාබියේ ස්වදේශිකයන්ට වඩා මිත්‍රශීලී වෙති. මිත්‍රශීලී බහරේන් ස්වදේශිකයන් සමහර විටෙක ඔවුන්ගේ නිවසට අපටද ආරාධනය කරති. ඒ අනුව සේවයටද සම්බන්ද වූ ඊබ්‍රාහිම් සමඟ අප කීප දෙනෙක් මිත්‍ර වුනෙමු. ඔහුගේ පියා ධනවතෙක් වූ හෙයින් නිවසේ කීප දෙනෙක් සේවය කළහ. ඔහුව කුඩා කාලයේ හදා වඩා ගෙන තිබුනේද, “සුමනා” යන නම තිබි, ලංකාවෙන් ගිය කාන්තාවක් විසිණි.

අප ඊබ්‍රාහිම් හඳුනන කාලයේ ඇය මහළු වූ නිසාම නැවත ලංකාවට ගොස් සිටියාය.

බහරේනයේ මනාමා නගරයෙන් තරමක් ඈත ඇති ඊබ්‍රාහිම් ගේ නිවසට නොදුරින් කූඩාරමක් වැනි ගොඩනැගිල්ලකි. ඉන් එහා ඇත්තේ දිගේලි කර ඇති හරකුන් ඇති ගොවිපොළකි. මේ ස්ථානයේ යම් යම් භෝග වර්ගද පැළ කර තිබිණි. සරුවට වැවෙන ඒ එක භෝගයක් වන්නේ කොමඩු වේ. අප ඒ කොමඩු කපා එතනම හිඳ කෑවෙමු. කතරේ ජලය අඩු නිසාදෝ එහි මිහිර නම් වඩාත් වැඩි විය.

තවද එහි දෙහි ගස් සාරවත්ව වැවී තිබිණ. ක්‍ෂේම භූමියක් යයි කිව හැකි ඒ ස්ථානයෙන් ඔබ්බේ ඇත්තේ උසට වැවුණු රට ඉඳි ගස් වේ. ඉඳි ගස් වලින් ඔබ්බේ  පෙනෙන්නේ පරක් තෙරක් නොපෙනෙනවා මෙන් දකින්නට හැකි නිරුදක කතරයි. සවස් වරුවක නම් එහි රතු බෝලයක් සේ හිරු, මඩ වළකට බැස යනවා සේ දැකිය හැක. සුළං නිසා වැල්ලේ අනන්ත රැළි ඇති වී තිබෙන්නේ මුහුදේ රැළි නැගෙනවාක් මෙනි. ග්‍රීස්ම සෘතුවේ නම් ඒ සුළං රත්ව ඇදී එන්නේ උදුනක් අසල සිටිනවා එන අදහසක් ඇති කරමිනි. 

ඊබ්‍රාහිම් අපව ඒ ස්ථානයට කැඳවා ගෙන යන අවස්ථාවේ ඔහුගේ මව එහි සිටි හරකුන් දෙදෙනෙක්ට දිය පිරි බඳුනක් ලං කරනවා දුටිමි. ඒ හරක් දිය බොනවාටද වඩා, ඊබ්‍රාහිම් ගේ අම්මාගේ ඇසුර ඇලුම් කල බවක් පෙනින. එය එතරම් විශේෂ දෙයක් නොවුනද, ඇති තරම් සේවකයන් සිටි ඊබ්‍රාහිම් ගේ මව හරකුන්ට සළකන්නට මේ තරම් උනන්දු වන්නේ ඇයිදැයි මගේ හිතවතෙක් එහිදී ඔහුගෙන් ඇසීය.

එවිට ඊබ්‍රාහිම් සිනාසී කීවේ, තව දින කීපයකින් අම්මා හඬන බවය.හේතුව ඇසූ විට ඔහු කීවේ ළඟ එන ආගමික උළෙලේ ඒ හරකුන්ගේ බෙල්ල කපා මරණ බවය.

අම්මා හැර අන් සියල්ලන් ඒ හරකාගේ මස් කන බවත් ඔහු කියා සිටියේය. අම්මා ඒ හරක් මස් නොකන්නේ සුමනා එය හොඳ දෙයක් නොවන බව අම්මාට කියූ නිසා බවත් ඔහු සිනා වෙමින් කියා සිටියේය. ලංකාවෙන් බහරේනයට එන ලාංකිකයන් නිසා බහරේන ජනතාව වෙනස් වේ සේ ඔහු සිනහ වෙමින් කියූවේය. බහරේනයේ හමුවෙන පුරා වස්තු විනාශ කල යුතු බව ඔහු කියන්නේය.

හරක්  සාමාන්‍යයෙන් මරන්නේ ඊබ්‍රාහිම් හෝ ඔහුගේ පියා විසිනි. ධනවත් පවුලක ගෘහ මූළිකයා එය කරන්නේ ඇයිද යන්න කෙනෙක්ට නොතේරෙනු ඇත. එයට දිය හැකි පිළිතුරක් වන්නේ, ලංකාවේ බෞද්ධ නිවසක ‘ධාතු කරඬුව’ හිසේ තබා භික්‍ෂුන්ට පෙරටුව යන්නේ ගෘහ මූලිකයා හෝ වැඩිමහල්ම පුද්ගලයා වුනාක් මෙනි. ඒ කාර්යය පූජණීය වේ.

එසේම හරක් මැරීමත් පූජණීය වේ. පූජණීය වන්නේ මෙසේය. ඊබ්‍රාහිම් [මෙහි කියවෙන ඊබ්‍රාහිම් නොව, ඔහු පුරාණ අනාගත වක්තෘ කෙනෙකි.] ට දෙවියන් ගෙන් අණ ලැබුනේ, ඔහුගේ පුත්‍රයා බිලී පූජාවක් සඳහා බිලි දිය යුතු බවය. දෙවියන්ට ඊබ්‍රාහිම් කොතෙක් පක්‍ෂද, විශ්වාස කරන්නේද සහ කීකරුද යන්න සෙවීමට අවශ්‍ය විය. ඔහු බිලී පූජාව කරන්න මොහොතකට පෙර, දෙවියන් පෙනී සිට ඔහු විසින් සිය පුත්‍රයා මරා දැමීම වැළක්වූවේය.  

මෙන්න මේ සිද්ධිය සමරන්නට ලොව පුරා සතෙක් මැරීම ඔවුන් විසින් කෙරේ. සමහරවිට එය ඔබ වෙන විදියකින් දකින්නට ඉඩ ඇත. මට නම් එය පෙනෙන්නේ මෙසේය. එය දෙවියන් පෙන්වූ ලකුණක් විය. සතා පුතා වී නම්, පුතාගේ තාත්තලාද සත්තු වෙති. දෙවියන් සර්ව බළධාරී වේ. පළි ගන්නා සුළු අතර, මහා කරුණාවන්තද වේ. සියල්ල දැනේ. අතීත, වර්තමාන, අනාගත කාලාත්‍රයම පෙනේ. 

තවද මේ ඊබ්‍රාහිම් කතාවට සිතීමට දෙයක් කියන්න කැමැත්තෙමි. මේ සිද්ධිය වන විට ඔහුට වසර 80ක් විය. වසර 80 ක ධනවත් කෙනෙක්ට සිටි කෙනෙක්ට බොහෝ සේවකයන් සිටින්නට ඇත. ඒ අතර ඔහුගේ බිරින්දෑවරුන් ගෙන් එකියකට දරුවෙක් ලැබීම ගැන, ඔබ සිතන ආකාරය වෙනස් වන්නේ ඔබේ විශ්වාසයන් අනුවය. එය ඔබට  තීරණය කරන්නට ඉඩ හරිමි. ඒ ගමන්ම මට සිහි වන්නේ එක් ඉංග්‍රීසි කියමනකි. You believe what you want. 

හරකුන් මරන්නේ කෙසේදැයි, “වර්තමාන ඊබ්‍රාහිම්” ගෙන් ඇසූ විට ඔහු, බිත්තියක එලා තිබුණු දිග තියුණු පිහියක් පෙන්වූයේය. ඔවුන්ගේ සිරිත් අනුව, හරකෙක් ඝාතනය කරන විට බෙල්ල තරමක් කපා ලේ වැගිරෙන්නට ඉඩ හරී. ඉන් පසු බෙල්ල කපා දැමීම කරති.

විශේෂයෙන් ඔවුන්ගේ ආගමික දින වල මේ ආකාරයේ සත්ව ඝාතන වන ස්ථාන අසලින් යන්නට කෙනෙක්ට යම් වාසනාවක් තිබිය යුතුය. යාඥා කියන විට ස්වර්ගයට යාමට තනන සතාගේ සතුට, ඉන් පසුව තවමත් පණ ගැහෙන හදවත සහ, ලේ වලින් නැහැවුණු පරිසරය සහ බ්ලැන්කේට්ටුවක් මෙන් බිම අතුරා ඇති හරක් සම දැකීම ඉතා ප්‍රසන්න දෙයකි. පූජනීය වේ. ඒවා දකින්නෙක් බැතිබරව දෙවියන් සිහිපත් කරනු ඇත. 

… “බෙල්ල කපන විට පව් කියා හිතෙන්නේ නැද්ද ?… මා ඇසුවෙමි. ඔහු එවිට මගෙන් ඇසුවේ, … “ දැන් ටිකකට පෙර, උඹලා කොමඩු කපා ගෙනා කෑවා නේද ?… “ඒ කොමඩු කපන විට දුකක් දැනුනේ නැත්තේ ඇයි ? යන්නය. සතුන් මැරීම පාපයක් යයි බෞද්ධ පරිසරයක හැදී වැඩී තිබුණු මා දැන සිටි නමුත්, එකළ තරුණයෙක් වූ මා ඊබ්‍රාහිම් ඇසූ ප්‍රශ්ණ වලට පිළිතුරු දීමට දැන සිටියේ නැත. එහෙත් කොමඩු ගෙඩියක් කැපීම සහ හරකෙක් මැරීම සමාන කල නොහැකි බවද, සතෙක් මැරීමේ යම් වරදක් ඇතැයිද සිතුවෙමි.

… “හරකා කැමැත්තෙන් නුඹට මස් දෙන්නට පිහියට බෙල්ල තබන්නේද”,… යයි ඇසුවෙමි.

… “කොමඩු ගෙඩියත්, මේ හරක් වගේම පණ ඇති දෙයක්”… “ඒකත් වැවෙනවා ලොකු වෙනවා”…“ හරක් මැරුවාම වරදක් පවක් වෙනවා නම් කොමඩුත් කපන විට පවක් වෙන්න ඕනා”… … “ අනෙක දැන් උඹලා මස් කනවානේ?… “මස් කන්නේ කොහොමද සතෙක් නොමරා ? …  දැන් ඊබ්‍රාහිම් කියාගෙන යයි. බෞද්ධයෙක් නොවන ඔහුට මෙහි ඇති වරද කියා දෙන්නේ කෙසේදැයි සිතුවෙමි. … “මරන්න පෙර අපි උන්ට තණකොළ පුන්නක්කුත් දෙනවා”… “සතාට ආදරයෙන් සලකනවා”… ඔහු කීවේය.

… “ අනෙක් දේ වන්නේ, ඒ මස් අපි දුප්පත් අය අතර බෙදා දෙනවා”… “එය පිනක් නොවන්නේද? ඔහු ඇසීය. … “හරකාගේ මස් තියා, වෙන මොනවා දුප්පතුන්ට දුන්නත් ඒවා හොඳ වැඩ තමා”… “නමුත් ඔය කියන දුප්පත් අයට කන්නට, මස්ම දිය යුතුද? .. යයි මා ඇසුවෙමි. … “හරකා ඝාතනය කිරීම හොඳ දෙයක් නොවේ”… “මේ දෙක එකිනෙකට සම්බන්ද කල නොහැක”… සේ මා තර්ක කලෙමි.

…“ආදරයෙන් සළකා, හරකාගේ බෙල්ල කපන්නේ කෙසේද”… යන කුණුහරුපය මට නොතේරෙන බව පමණක් මා ඔහුට අවසානයේ කීවෙමි. එය ඔබට අවබෝධ වන්නේ නම් මටත් කියන්න. නමුත්, “ආලෝකමත් අඳුරක්” හෝ, “අඳුරු ආලෝකයක්” මා මෙතෙක් දැක නැත්තෙමි. 

තවත් මාස කීපයකින් ලංකාවට පැමිණි වේලාවේ, මට ඈතින් නෑදෑ කෙනෙක් වන භික්ෂුන් වහන්සේ කෙනෙක්ට මේ විස්තරය කීවෙමි. … “ඔය මිනිස්සු නොයෙක් මිත්‍යා මත විශ්වාස කරමින්ම, ඒවා වැරදි බව නොදැනම කරන නිසා එහි අකුසලය වැඩියි මල්ලි ! … එසේ උන් වහන්සේ කියූ විට ප්‍රශ්ණ කීපයක් ඇසුවෙමි.

… “නොදැන කරන නිසා වරද වැඩි වන්නේ කෙසේද”, යයි ඇසූ විට පිළිතුර වූයේ, … “රත් වූ දෙයක් දැන සහ, නොදැන අල්ලන දෙදෙනෙක් ගෙන් වැඩිය පිච්චෙන්නේ, ඒ රත් වූ බවක් නොදැන එය අල්ලන තැනැත්තා ය”… එසේම, වරදක් බව නොදැන කරන තැනැත්තාට එහි අකුසල් විපාකය ප්‍රබල බවය. ඒ අකුසලය තවත් තීව්ර වන්නේ, යම් දෘෂ්ටියක් ඇතිව එය කිරීමෙනි.

ඊබ්‍රාහිම්, ඔහුගේම ඕනාකමෙන් හෙවත්, තම කැමැත්තෙන් හෙවත්, “අසංස්කාරික” සේ හරකා මරණ හෙයින් අකුසලය තවත් වැඩිවේ.

මේ බණ ඊබ්‍රාහිම්ට කියා දුන්නාට වැඩක් වන්නේ නැති බව අවබෝධ කරගෙන සිටියෙමි. ඔහු කුඩා කාලයේ ඔහුව රැක බලාගත් සේවකාව වූ සුමනා එකළ සතුන් මැරීම අකුසලයක් බව ඔහු කුඩා කාලයේ කියා තිබුනද, ඔහු ඒවා පිළිගෙන තිබුනේ නැත.    

නැවතත් මා බහරේනයට යන විට ඊබ්‍රාහිම් සහ ඔහුගේ පියා විසින් තරට වැඩී තිබුණු හරකුන් දෙදෙනා මරා ඔවුන්ගේ ආගමික උළෙල සමරා තිබුණහ. … “හරක්ගෙ බෙලි කපන කොට මොකද හිතුනේ? …මා ඇසුවෙමි. … “මොකක්ද,… සිරිස් ගාල ඇදල දැම්මා”…. ඔහු කීවේය. ඊබ්‍රාහිම් ගේ සුවපහසු ෆෝ වීල් වාහනයේ අතුරා තිබුණු සීට් කවර ඒ හරකුන් ගෙන් ගත් සමෙන් නිම කර තිබුණහ. හරක් සම් පදම් කරන්නෙක්ට කියා ඒවා සකස් කලේ කෙසේදැයි යන්න ඔහු ක්‍රමාණුකූලව පැහැදිළි කළේය.

මැරූ හරකාගේ සම් අතුරා ඇති නිසා අම්මා ඔහුගේ වාහනයේ යන්නේ නැති බව ඔහු කීවේ සිනහ වෙමිනි.

     

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: