රටෙන් රට – මැඩගස්කරය – අපායේ ගිණි දැල්

කුඩා කලක් මැඩගස්කරයේ සේවය කලද, ලැබු අත්දැකීම් නම් කිසිසේත් කුඩා නොවීය. කොළ පැහැ සුන්දර රටක් වන මැඩගස්කරයේ ඇතුළාන්තයට වන්නට, ස්වභාව ධර්මයේ සුන්දරත්වය තවත් වැඩි වේ. රාස්සිගේ අව්ව මියැදෙමින් පවතින සවස් කාලයේ, මා ආයතනයේ වාහනයක් පදවමින් නගරයෙන් තරමක් ඈතට යමි. එවිට දකින්නට ඇත්තේ, අවරට යන හිරු කඳු මුදුන් සහ වලාකුළු වල පාට තවරන බවය.

තණ පඳුරු සහ ඈත වෙල් යායවල් වලින් එන නැවුම් පසේ සුවඳ සැන්දෑ සුළඟ සුවඳවත් කරයි. දොළ පාරක ජලය සිරි සිරි හඬක් නගමින් හෙමෙන් සීරුවේ ගලා බසී. ඈතට ඇදී යන තෘණ භුමිය ඔබ්බේ ඇති අඳුරු වෙමින් නොපෙනී යන වනය දෙස බලා සිටියෙමි. නොදන්නා නම් ඇති කුරුල්ලන්ගේ අවසාන කිචි බිචිය කෙමෙන් මැකී යන අතරේ නිශාචර සතුන්ගේ හඬ ඇසෙන්නට පටන් ගනී. සමහරවිට මා ආපසු එන්නේ තරු එකින් එක දිලෙන්නට ගන්නා රාත්‍රී කාලයේදී විය. 

පරිසරය ශෝභමාන වුවත් පිටිසර මිනිසුන් නගර වලට ඇදී යාම සිදු වූයේ දරිද්‍රතාවයෙන් ඔවුන් විඳි අනේක පීඩාවන් නිසාය. ස්වභාව ධර්මයේ සුන්දරත්වය යන කවරයේ ඇතුළතින් තිබී යථාර්තය, ඒ බාහිර සුන්දර බවට වඩා බොහෝ දුක්මුසු විය.

අගනුවර වූ අන්ටෙනානාරිවෝ හී වීථි වල ඔබ අමුතු දර්ශණයක් දකිනු ඇත. ඒ අතේ දමාගත් මොනවාදෝ වැල් වගයක් විකුණන ගැහැණුන් වේ. ඒ ඔවුන්ගේ දෛනික දිවි පෙවෙත සරිලන්නට විකුණන වැනිලා වැල් වේ. බොහෝ විට ඒ ගැහැණුන් ඒවාද විකුණමින් ඔහේ ඉබාගාතේ යන බවත් පෙනී යයි.

කලකට පෙර ලංකාවේ ‘දුවනගිරි’ සේ හඳුන්වන ලද, වීදුරු පෙට්ටියක් මෙන් වූ කුඩා තල්ලු කරන කරත්ත ඇති රසකැවිලි වෙළෙන්දන්ද, බේසම් වල පළතුරු දමාගෙන හිස තබා ගෙන විකුණන්නන්ද, සපත්තු සහ කුඩ නඩත්තු කරන්නන්, ගණිකාවන් මෙන්ම ගණිකාවන් සොයාදෙන ඒජන්තයන්ද වැනි නා නා ආකාරයේ අය මෙහි සිටී.

මේ ආකාරයේ පරිසරයක ඇවිදීමේ යම් අවදානමක් ඇත. විශේෂයෙන්ම කෙනෙක්ගේ අතේ ඩොලර් නෝට්ටු කීපයක් තිබේ නම් හෝ, වෙනත් වටිනා දෙයක් තිබේ නම් ප්‍රවේශම් විය යුතුය. නමුත් තොප්පියක් දමාගෙන මගේ සාමාන්‍ය හිසකේ සඟවා ගත් කල අප්‍රිකාණුවෙක් මෙන් මා පෙනීම වාසියක් විය. ඒ අයුරෙන් ඇවිදීම සාමාන්‍යයෙන් ප්‍රවේශම් සහිත දෙයකි. දිනයේ රාජකාරි සමාප්ත වූ විට හවස්  භාගයේ නගරයේ ඉබාගාතේ ඇවිදීම පුරුද්දක් සේ කලෙමි.

මා සමඟ එකට සේවය කල ඉන්දියානුවන් දෙදෙනා නම් නගරයේ ඉබාගාතේ යාම එතරම් හොඳ දෙයක් නොවේ යයි කියමින්, රාජකාරියෙන් පසු කෙලින්ම හෝටල් කාමරයට ගොස් නා පිරිසිදු වී සමාජ ශාළාවකට යෑම පුරුද්දක් කරගෙන සිටියෝය. ඔවුන් සහ හෝටලයේ බොහෝ දෙනා ගණිකාවන් තම හෝටල් කාමරවලටම ගෙන ඒම කරගෙන ගියහ.

ලෝකයේ ඇති වෙනත් සමාජ ශාළාවක මෙන්ම සංගීතයේ කණ පැළෙන ශබ්දයද, නිවෙන දැල්වෙන වර්ණවත් විදුළි බුබුළුද, මධ්‍යපාන සුවඳ සහ සිගරැට් දුමද, මකුණන් මෙන් පාරිභෝගිකයන් දැලේ දාගන්නට ඔවුන් වටා රොක් වන ගණිකාවන්ද, එහිද අඩු නොවීය. ඉඳ හිට එවැනි තැනකට මා ගියේ හුදෙක් කුතුහලය නිසා නොයෙක් ආකාරයේ ගායකයන් සහ වාදකයන් දැකීමට පමණි. ඕනෑම රටක එවැනි තැනකට යෑම, ඒ රටේ ස්වභාවික සේ පවතින සමාජ තත්වය ඔබෙන් සඟවන්නේය.

ස්වභාවික ගෙන්දගම් පොළවේ මිහිර සහ අමිහිර හෙවත්, යම් රටක නියම ස්වභාවය අවබෝධ කරන්නට ඒ ආකාරයේ ස්ථාන වලට යාමේ ප්‍රයෝජනයක් නැත. කෘතීම විදුළි බල්බයෙන් සැරසුණු, වත්සුණු තවරා ගත් නොයෙක් ආකාරයේ ගණිකාවන් සිටින මේ සමාජ ශාළාවල් වලට එක්වන අමුත්තන්ද විවිධය. සුද්දෙක් හෝ අරාබියෙක් සමාජ ශාලාවේ සිටින්නේ නම්, මලක් වටා කරකැවෙන බමරුන් මෙන් ගණිකාවන් බොහෝ දෙනෙක් ඔවුන් වටා සැරිසරන්නේ, ඔහුට මුදල් ඇතැයි යන අනුමානයෙනි. 

විශේෂයෙන් ඩොලරයක් දෙකක් සරි කරගන්නට වත විකුණන්නට කුඩා දැරියන් මේ සමාජ ශාලාවලට පැමිණීම පුදුමයක් මෙන්ම දුකක්ද ඇති කරවන්නක් වේ. ගණිකාවන් අතර වයස පනහේ පළපුරුදු ගණිකාවන් ගේ සිට වසර දහතුන තෙක් පමණ කුඩා දැරියන්ද දැකීම අපහසු නැත. මේ සියල්ලන් සමාජ ශාලාවට යම් මුදලක් ගෙවිය යුතුය. එසේ මුදල් ගෙවා ගන්නට නොහැකි ගණිකාවන් වීදි කොනේ, අගු පිලෙක හෝ පහන් කණුවක් යට, එතනින් යන එන අමුත්තන්ට ඉඟි බිඟි පාමින් සිටිති.  

නගරයේ තරමක් ඈත කුඩා උද්‍යානයක බංකුවක හිඳගෙන, ‘වලිහාව’ වයන ආබාධිත වාදකයෙක් ගේ වාදනය ඇසීම නගරයේ ඉබාගාතේ යන මා සන්ධ්‍යා පුරුද්දක් කරගෙන සිටියෙමි. සමාජ ශාලාවේ වැයෙන යුරෝපීය ගීතවල කෘතීම සංගීතයට වඩා එහි මිහිරක් තිබිණ. කීප වතාවක් ඔහුගේ මියුරු වාදනය ඇසීමට එතෙන්ට යාම නිසාත්, දිනපතා ඩොලරයක් දෙකක් ඔහුට දීම නිසාත් ඔහු මා සමඟ මිත්‍රවිය. ඔහුගේ නම තෝමස් ය.

මේ දිනවලම මගේ උපන් දිනය වැටී තිබීම සිදු විය. ඒ උපන් දිනය සමරන්නට ක්‍රමයක් සිතමින් සිටි මට සිතුනේ, හොඳම දේ නම් දුගී මිනිසුන් කීප දෙනෙකුට හෝ යමක් මිළදී ගෙන දීම යන්නය. ලංකාවෙන් බොහෝ ඈත සිටීම නිසාත් උපන් දිනයක සම්ප්‍රදායිකව කෙරෙන කේක් කැපිල්ලක් හෝ වෙනත් කුඩා උත්සවයක් එදින රාත්‍රියේ නොතිබීමත් සිතට අඩුවක් සහ තනිකමක් දැනවීය. උපන් දිනය සැමරීමට පවුලක් සොයා ගත යුතුය. තෝමස්ට ඒ බව කීවෙමි.

මේ අතර ළමයෙක් නාවන්න තරම් විශාල බේසමක ඇපල් සහ පෙයාර්ස් දමාගෙන විකුණන වෙළෙන්දෙක් සහ ඒ හා සමානම බේසමක කඩල විකුණන වෙළෙන්දෙක්ද මා දුටුවෙමි. ඒ ඇපල් සහ කඩල මිළට ගෙන වටේ සිටින දුගී අයට බෙදා දීම මගේ අදහස විය. මෙය තෝමස්ට කී විට ඔහු කියා සිටියේ එය එතරම් හොඳ දෙයක් නොවන බවත්, මින් පෙර එවැනි දෙයක් කරන්නට ගිය කෙනෙක් බෙදා දුන් කෑම ගන්නට රොක් වූ පිරිස ඔහුගේ ඉණ ඉහද අත ගාගෙන ගිය බවත්ය. 

එහි තර්කයක් තිබුණු හෙයින් මා ඔහුට ඒ ඇපල්, කඩල මෙන්ම අසල තිබි දුවනගිරියේ ඇති රසකැවිළිද ගන්නට මුදල් දුනිමි. මේ කෑම වලට ගිය මුදල ඩොලර් දහයට අඩු විය, ඒ තරම්ම ඔවුන්ගේ මුදල් ඒකකය පහත්ය. ඈතට වී බලා සිටීම ඇඟට ගුණ යයි පෙනී ගියේ, ඔහු ඒ වෙළෙන්දන්ට මේ අදහස කියා ඔවුන් ඔහු අසළට ගෙන්වා ගත් විටදී විය. සෙනඟ දස දෙසින් එදෙස දුව එනවිට, මා විගස එතැනින් ඉවත් වී ගියෙමි. පසු දින එහි ගොස් සිදු වූ දෙය ඇසුවෙමි.

ඒ ඇපල් ඇතුළු අනෙක් දේ කන්නට එහි පැමිණි පිරිස රැස්වීමකට පැමිණි මිනිසුන් සේ විය. අවසානයේ ඔවුන් පැමිණ කල කලබල නිසා ඇපල් වෙළෙන්දාගේ බේසම පොඩි වීමත්,  කව්දෝ වලිහාව සොරකම් කිරීමත්, කෑම උදුරා ගැනීමට එතැන සිදු වූ රණ්ඩු සරුවල් නිසා දුවනගිරි වෙළෙන්දාගේ වීදුරු පෙට්ටිය බිඳ දැමීමත් සිදුව ඇත. එය මගේ තවත් උපන් දින සාදයක් විය.

ඒ සියල්ලන් ගේ පාඩු මා පසුදින ගෙව්වෙමි. නමුත් මේ නිසා වූ එක හොඳක් වූයේ තෝමස් මා සමඟ තවත් මිත්‍ර වීමය.

ඔහුගේ බිරිඳ සහ වසර දාහතරක පමණ දියණිය ජීවත් වන්නේ මේ උද්‍යානයේ කෙළවර ඇති මුඩුක්කු පේළියේය. ඔහු නොකීවාට, ඔහුගේ බිරිඳ කරන රාජකාරිය ගණිකා වෘත්තීය බව අවබෝධ කර ගැනීම අපහසු නොවීය. වහළවල් නඩත්තු කරන්නෙක් වූ ඔහු දිනෙක වහළයකින් වැටී තුනටිය බිඳ ගැනීමෙන් පසු ජීවිතය ගෙන යෑම ඉතා අපහසු වූ බව කියා සිටියේය. වලිහාව වාදනය කර ඔහු සොයන කුඩා මුදලින් ඔවුන් අපහසුවෙන් ජීවත් වෙති.

මැදියම් වියේ සිටින ඔහුගේ බිරිඳටද දැන් දැන් එතරම් සරු බවක් නැත්තේ නගරයට වැඩි වැඩියෙන් තරුණ වියේ කෙල්ලන් එන නිසාය. කෙසේ හෝ තෝමස්ට මෙන්ම ඇයටද ඔවුන්ගේ දියණියට තරමක අධ්‍යාපනයක් ගෙන දීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුව විය. පුද්ගලික පාසැල් වලට යාමට මුදල් නොතිබුණු හෙයින් දැරිය ගියේ ආණ්ඩුවේ පාසැලකටය.


සැමවිටම සිනහ වෙමින් නොයෙක් දේ කියවමින් සිටි දැරිය ඉගෙනීමටද සමත් බව තෝමස් කීවේය. කරල් දෙකකට කොණ්ඩය ගොතා බෑගයක් පිටේ බැඳ ගෙන පාසැල් යන ඇය දෙස තෝමස් බලා සිටියේ ආශාවෙනි.  “ජේන්” සේ ඔවුන් කතා කල ඇය, සිනහ වෙනවිට වල ගැසෙන කම්මුල් ඇති සුන්දර දැරියක් විය. පාසැල් පැමිණ සවස් කාලයේ ඇය පියාගේ වලිහා වාදනයට අත්වැල් අල්ලන්නේ කුඩා බෙරයක් වයමිනි.

ඇය සහ පියා විසින් ප්‍රංශ සහ ස්වදේශීය භාෂාවෙන් කී ගීත වල කුමක්දෝ සෞන්ධර්යයක් මෙන්ම මැඩගස්කරය ගැන දුක්මුසු අදහසක් කියා පෑ බවක් පෙනින.

සන්ධ්‍යාවේ රතු වෙමින් බැස යන හිරුගෙන් ඔපවත් වන බටහිර වළාකුලේ දම් පැහැය ඒ ගීතවල කියවෙන්නට ඇත යයි සිතුවෙමි. සුළං නිසා අනවරත සේ පෙරළී යන වළාවන් ක්‍ෂිතිජය තෙක් විහිද ගිය තෙක් ඈත පෙනෙන කඳු වළල්ලේ හැපී නොපෙනී යයි. ඒ අයුරෙන්ම මේ නගරයේ සිටින්නවුන්ද, දෛවය නමැති සුළඟ නිසා ඇතිවන සමාජය නම් සැඩ පහරින් ඇතිවන අනේක විධ දුක්ඛ දෝමනස්සයන් විඳිමින්, මිය යන තුරු අපහසුවෙන් දිවි ගත කරති. 

තෝමස්ගේ එකම බලාපොරොත්තුව වූයේ අනාගතයක් නැති මේ ශාපලත් නගරයෙන් හැකි ඉක්මනින් ඔහුගේ දියණිය ඉවත් කිරීම විය. ඇයට අවශ්‍ය පොත් පත් මිලදී ගන්නට කුඩා මුදලක් ඔහුට දුන්නෙමි. ජේන්ට පාට පෙට්ටියක් සහ කවකටු පෙට්ටියක් මිළදී ගෙන දුන්නෙමි. ඒ දැක ඇයගේ මුහුණේ මතු වූ සතුටු සිනාව මට සිහි වේ. යුවතියක් සහ දැරියක් යන කඩ ඉමේ සිටි ඇය සුන්දර තාරුණ්‍යයේ එළිපත්තේ සිටියාය. දින කීපයකින් මා මැඩගස්කරයෙන් යන බව ඇසූ තෝමස් සහ ජේන් දුක් වූහ. 

මැඩගස්කරයෙන් තවත් ස්ථානයකට යන්නට යෙදී තිබුනු හෙයින් සේවා ස්ථානයේ අයගෙන් සමුගෙන මෙතෙක් අතපසු වී තිබුණු යම් යම් කටයුතු කීපයක් කිරීමට සහ බෑග් සකසා ගැනීමට හෝටල් කාමරය වෙත වේලාසනින්  පැමිණියෙමි.

හෝටලය ඉදිරියේ තෝමස්ගේ බිරිඳ සිටියේ යම් පාරිභෝගිකයෙක් එන තුරු යයි සිතුවෙමි. ඇය කිසි විටෙක මා දෙස කෙලින් නොබැලූ කෙනෙක් හෙයින්, එදිනද මා මඟ අරින්නට උත්සාහ කරන බවක් නම් පෙනිණ. ඇය අමතක කර මා හෝටල් කාමරයට ගියෙමි. එකට සේවය කල ඉන්දියානුවෙක් යාබද කාමරයේ සිටි බැවින් පුරුද්දට මෙන් දොර දෙස බැලීමි. සිරිත් පරිදි ඒ දොර අසල, ගණිකාවන් පළඳින ආකාරයේ දිළිසෙන පටි සහිත උස අඩි ඇති ගැහැණු සපත්තු  යුවලක් තිබිණ.

මාස කීපයක් සිටි හෙයින් හෝටල් කාමරය මගේ නිවස මෙන් විය. එහෙත් කිසිදිනෙක පිළිවෙලක් ඇති ආකාරයට පොත් පත් ඇඳුම් සහ වෙනත් දේ තබා ගැනීමට මගේ එතරම් පුරුද්දක් නොතිබුණු නිසා, ඒ සියල්ල බෑග් වලට පුරවා ගන්නට සෑහෙන වෙලාවක් ගත විය. ඉක්මනින් ගුවන් තොටුපොළ වෙත යා යුතුව තිබිණ.

හෝටල් සේවකයෙක්ගේද උදව් ඇතිව බෑග් ට්‍රොලියේ පටවා කාමරයෙන් එළියට පැමිණ විදුළි සෝපානය දෙසට ගීයෙමි. එවිට මා දුටු දසුන කිසිදිනෙක මගේ මතකයෙන් බැහැර නොයනු ඇත.

සෝපානය එනතුරු බලා සිටියේ ජේන් විය.    

සිනහවෙන විට වල ගැසෙන ඇයගේ සොඳුරු ඇස් වල කිසිම ප්‍රකාශයක් නොතිබිණ. ඒවා ගැඹුරු ළිඳක පත්ලේ පෙනෙන තාරකා දෙකක චායාවන් මෙන් විය. ඇය මා දෙස බැලුවද මා හඳුනාගත් බවක් නොපෙනිණ. මා ඇයට කතා කලෙමි. එහෙත් ඇයට එය ඇසුණු බවක් නොපෙනින. ලිෆ්ට් එකෙන් එළියට පැමිණි ඇය රූකඩයක් මෙන් හෝටල් ආලින්දයෙන් එළියට ගියාය. ඇය මාවත දිගේ වැනි වැනී යනවා මා බලා සිටියෙමි.

එතෙක් එළියේ සිටි ඇයගේ මව ඇය සොයාගත් බවද, ජේන් සිය මවගේ උරයට හේත්තු වීමද කවුළුව හරහා මා දුටුවෙමි. පහන් කණු වලින් නික්මෙන දුබල එළියෙන් ඈතට ඇවිද ගිය ඔවුන් කෙමෙන් අඳුරේ නොපෙනී ගියහ.      

එදින රාත්‍රියේ ගුවන් ගතවූ යානයේ කව්ලුවෙන් අන්ටෙනානාරිවෝ නගරය දෙස බැලූ විට, එහෙන් මෙහෙන් පෙනෙන විදුළි බල්බ මට පෙනුනේ අපායේ ගිණි දැල් ලෙසිණි.        

One thought on “රටෙන් රට – මැඩගස්කරය – අපායේ ගිණි දැල්

Add yours

  1. හරිම දුකයි. නමුත් ඕක තමා ඇත්ත. ඒ කාලේ අසූවේ දශකයේ අග අපිත් එක්ක මැඩගස්කර කෙල්ලෝ කොල්ලෝ ඉගෙන ගත්ත රුසියාවේ. ඒ කාලේ ආණ්ඩුව හොඳයි. හැබැයි ඒ ආණ්ඩුව මැණික් කාරයොයි ඩයමන්ඩ් කාරයොයි වාට්ටුව. එතනින් එහාට ඉවරයි.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: