රහත් යයි කියා ගන්නා එක්තරා ප්‍රසිද්ධ භික්ෂුවක් ඉතාලියේ සංචාරයකදී මෙසේ පවසා තිබුනා.
… “කව්රුත් නිවන් දකින්න ඕනා නැහැ…!. ලස්සනට ජීවත් වෙන්න….!!… ඒකයි නිවන….!!!
කෙසේ වුනත් ඔහුට ප්‍රසිද්ධිය ලැබී තියෙන ආකාරය ප්‍රශ්ණාර්ථ ලකුණක් වෙනවා. ඔහු කියන විදියට ලස්සණට ඉන්න – ඒකයි නිවන…!… !!… නමුත් බොහෝ විට බුදු දහම විකෘති කරන මේ භික්ෂුව, “ලස්සණට ඉන්න” කියන එක කෙලින්ම නිර්වචනය කරන්නේ නැහැ. ඔහු ඒ අනුව විශාල වරදක් කරනවා. විශේෂයෙන්ම ඒ ආකාරයේ අපැහැදිළි අර්ථ කථන තුල, බුදු දහම ගැන හොඳ අවබෝධයක් නැති අය අතරමං වෙනවා.
මා දන්නා ආකාරයට නම් නිවන් මාර්ගය සොයා ගන්නට “ආර්ය අෂ්ටාංගික මාර්ගය” කෙනෙක් පිළිපදින්න ඕනා වගේම, විපස්සනා භාවනාව වඩන්නේ නොමැතිව නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න බැහැ.
යමක් කියවා එය තර්කානුකූල නම් පිළිගන්නා අය යයි සිතන කිහිප දෙනෙක් පවා මේ දේශනාව පිළිගෙන තිබුනා. ඒ දේශනයට වැඩි වශයෙන් ඇහුම්කන් දුන්නේ ඉතාලියේ සිටින බොදු නොවන අන්‍යාගමිකයන්.
එසේම නිවන සහ ඒ සඳහා යා යුතු ඒකායන මාර්ගය පිළිබඳව නූතනයේ සිටින බොහෝ තරුණ අය නොදන්නා බව පේනවා. අනෙක් දේ මොහු තමා රහත් යයි කියන්නට නොයෙක් උප්පරවැට්ටි දානවා. ඒ අනුව සිහියට එන්නේ පැරණි කාලයේ තමා රහත් යයි කියා කියන්නට උත්සාහ කල තවත් භික්ෂුවකට. ඔහු දායකයන් පන්සලට එනවිට පන්සලේ නැති බව පෙන්වන්න විශාල හැළියකට බසිනවා. දායකයෝ පන්සලෙන් එළියට ගියා, ඔහු හැළියෙන් එළියට ඇවිත් දායකයන්ට කතා කරනවා. 🙂
බුදුන් වහන්සේ ගේ කාලයේ ශෘස්තෘන් සය දෙනෙකු ගේ ඉගැන්වීම් පිළිබඳ ව සාකච්ඡා කර තිබෙනවා. ඒ අතරින් බුදුන්වහන්සේ ගේ වැඩි ම විචාරයට බඳුන් වූයේ, ඒ අතර සිටි “මක්ඛලී ගෝසාල” යි. බුදුන් වහන්සේ ඔහුව උපමා කළේ මසුන් බිලි ගන්නා කෙමනකට බවත්, “මෝඝ පුරුෂයා” හෙවත් “හිස් පුරුෂයා” හෙවත් “මෝඩයා” යනුවෙන්ද මොහුව හඳුන්වනවා.
මක්ඛලී ගෝසාල ගේ ඉගැන්වීම් වලින් කියන්නේ, ලෝකයේ හැම දෙනෙක් ම නියත වශයෙන්ම යම් දිනෙක නිවන් දකින බවයි. එසේම මේ, “නූතන රහත් මක්ඛලී” කියන්නේ, “ලස්සණට හිටියොත් නිවන් දකින බවයි”. මෙතනදී එසේ ලස්සණට නොහිටි, එහෙත් රහතන් වහන්සේලාගේ ක්‍රියා කළාපය ගැන ඔහු මුණිවත රකිනවා.
උදාහරණයක් සේ, කොණ්ඩඤඤ තෙරුන් වහන්සේගේ බෑණා වන, උග්‍ර පිළිවෙතක් වන “මොනෙයිය වත” පුරපු “නාලක තෙරුන් වහන්සේ” ගන්න පුළුවන්. ඒ “මොනෙයිය වත”යන්නෙන් කියවෙන්නේ, එක ස්ථානයක වරකට වඩා නොසිටීමත්, එක උපාසක හෝ උපාසිකාවකගෙන් එක වතාවකට වඩා දානය පිළි නොගත යුතු බවත් යන්නයි.
මේ විශේෂ වත සම්පූර්ණයෙන්ම පිළිපදින භික්ෂුවක් සත් වසරකට වඩා ජීවත් වන්නේ නැහැ යන්න පිටකයේ සඳහන් වෙනවා. වෙන එකක් තබා ඒ තෙරුන් වහන්සේට බුදුන් වහන්සේව දෙවන වතාවට මුණ ගැසෙන්නට ආශාවක් තිබුනේ නැහැ. නාලක ස්වාමින් වහන්සේ එක ගසක් යට වත් දෙවතාවක් සිටියේ නැති බව කියවෙනවා. මෙතනින් පෙන්වන්නේ කිසිම දේකට නොඇලී සිටීමයි.
ඒ අනුව නාලක රහතන් වහන්සේ පැහැදිළිවම “ලස්සණට නොසිටින්න” ඇති. එක්තරා සෙනසුනක පහසුවෙන් හිඳ තම ශරීරය පිරිසිදු කරගැනීම වැනි දේ, ඒ ආකාරයේ වතක් රකින තෙරුන් වහන්සේ කෙනෙක්ට කල නොහැකි බව පැහැදිළි දෙයක්.
ලස්සණට ජීවත් වෙලා නිවන් දකින්නට හැකි නම්, පැවිදි ජීවිතයක් ගෙවමින් දුක් විඳින්නේ කුමක් නිසා දැයි යන ගැටලුව පැන නැගෙනවා.
ඒ ආකාරයේ සාහසික කියමන් කියන්නට බලපාන හේතු ගණනාවක් අතරෙන් එකක් වන්නේ, “රහත් භාවය” හොඳට මාර්කට් කිරීමට හැකි නිසා. නැති නම් “දෙවියන් පය තියන්න බිය ස්ථාන වල මෝඩයෝ පිළුම් ගසනවා” වැනි වූ, ව්‍යාජ ධර්මකථිකයන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ව විධිමත් වැටහීමක් නොමැති ව ධර්ම දේශනා කරන නිසා. ලෞකික සේ දියුණු වීමට, තමන්ගේ අම්මා වුනත් උගස් තියන ආකාරයේ භික්ෂු ප්‍රතිරූපකයෝ බිහිවී ඇති නිසාත් එක හේතුවක් වෙනවා.
තවත් කරුණක් වන්නේ, මිනිසුන් ඒ ඒ භික්ෂුවගේ භෞතික ස්වරූපයට, මුඛරි කටට හෝ ඔහුගේ භෞතික ඉගෙනීම අනුව, ඒ ඒ භික්ෂුව කියන දේ සත්‍ය යයි වැරදි නිගමනයට එන නිසා. මේ කියන භික්ෂුවට විද්‍යාවේදී උපාධියක් තියෙනවා.
අනන්ත අප්‍රමාණ මේ දුක් මුසු සසරේ අප භවය පුරා යමින් අදටත් සසර සැරිසරනවා. ඝෝරතරවූ, අඳුරු වූ සසරේ අපමණ දුක ගැන නොදන්නා කෙනෙක් සිටී නම්, ඒ පරිණත නොවුණු කෙනෙක් පමණයි. සසරෙන් ඉවත් වීම සඳහා විශාල උත්සාහයක් දැරිය යුතු වෙනවා. ඒ සඳහා ලස්සණට ඇඳ පැළඳ ගෙන සිටියා කියා හෝ පොතක් දෙකක් කියවා සුතවත් භාවය දියුණු කරගත්තා කියා වන්නේ නැහැ.
ඉහත කතාවට අමතරව ඔහු මෙසේද ඒ දේශනාවේ කියා තියෙනවා.
+++ ගෞතම බුදුන් වහන්සේ රන් සිවුරක් ඇන්දා … [මෙය පට්ට බින්නයකි. බුදුන් වහන්සේ පාංශුකූල සිවුරුද ඇඳි බව කියා ඇත. පාංශුකූල සිවුරක් යනු සොහොනේ මිනී ඔතන ලද රෙදි වල කාලි එකතු කොට මූට්ටු කරන ලද සිවුරකි. ] … [තවද, “පච්චවෙක්ඛනා” යන කොටසේ, සිවුරු දරන්නේ, සීත නැසීමට, උෂ්ණ නැසීමට, මැසි මදුරු වන්ගෙන් බේරීමට, හිරි ඔත්තප්ප ඇති නොවීමට,….මේ කිසි තැනක ලස්සණට සිවුරු හැඳිය යුතු යයි අනුදැන වදාරා නැත .]
+++ගෞතම බුදුන් වහන්සේ මාළිගාවල හිටියා.[තවත් පට්ට බින්නයකි. මාළිගාවල මෙන්ම අම්බලම් වල, එනම ගස් යටද සිටි සේක. පාරිලෙයිය වනයේ මාලිගා තිබුනේද?]
+++ බුදුන්ගේ මට්ටමට ඕනා කෙනෙක්ට යන්න පුළුවන්… [තවත් අපාගත වන පට්ට බින්නයකි. බුදුන් වහන්සේ මෙන්ම රහතන් වහන්සේලාද අවසානයේ නිවන සාක්ෂාත් කරගනිති. නමුත් බුදුන් වහන්සේගේ මට්ටමට යයි කී විට, එය ගැටළු සහගත ප්‍රකාශයකි. බුද්ධ ඥාණය අසමසම වේ. මේ කරන්න යන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ට බව පහත දැමීමට කරන වෑයමකි. ]
+++ සෝවාන් නැතිව නිවන් යන්න උගන්වන්නේ කොහොමද ? [මුග්ධ ප්‍රශ්නයකි. තැනකට යන්න පාරේ බෝර්ඩ් එකක් දකින කෙනෙක්, එය තවත් කෙනෙක්ට පෙන්වීමේ වරදක් තිබේද? එවිට දෙවැන්නාට ඒ ස්ථානය සොයා ගැනීමට නොහැකිද?
මේ ආකාරයේ භික්ෂුන් කියන කරන දේට, උගත් ගුණවත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා මුණිවත රැකීම එතරම් හොඳ දෙයක් නොවේ. නමුත් එහි දෙපැත්තක් තිබේ. ඌරන් සමඟ සිංහයන් සටන් කරන්නේ නැහැ තමා. හේතුව, ඌරා ගේ සිරුරේ අශුචි සිංහයාගේ සිරුරේ ගෑවෙනවාට සිංහයා අකමැති නිසා. එවිට ඌරා සිතන්නේ සිංහයා, ඌට බිය යයි කියා.
මේ ආකාරයේ භික්ෂුන් කියන කරන දේ ගැන සාමාන්‍ය ගිහියන් විරුද්ධ විය යුත්තේ අන්න ඒ නිසයි. බුදුන් වහන්සේ සාරාසංක්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා සොයාගත් දෙයක් ආරක්ෂා කලේ නැතිනම්, අද ලංකාවේ පවතින බුදු දහම තව සියවසකින් පමණ අතුරුදහන් වේවි.
+++ මේ ලෝකයේ ඇති නරකම දෙයක් වන්නේ සත්පුරුෂයන්ගේ නිහඬ භාවයයි. +++
Leave a Reply