මිය යෑමට හොඳම ක්‍රමය කුමක්ද ?

                                           

බොහෝ අය මේ ප්‍රශ්නය අහනවාටවත් කැමති නැත. එහෙත් මේ ප්‍රශ්නය අප අපෙන්ම ඇසුවහොත්, උත්තරය කුමක් වේද ?

මැරෙන්න කැමති ආකාරය කුමක් වුවද, මැරෙන ආකාරය නම් එයම වෙන්නේ නැත. පිළිකාවක්, මොලේ ගෙඩියක් හැදී මිය යෑම මේ කාලයේ සාමාන්‍යයෙන් වන දේවල්ය. කොරෝනාද අමතක කල නොහැක.  ගෙදර ඇඳේ සාමකාමීව මිය යන්නට කැමති කෙනෙක් සමහරවිට සුපර් මාර්කට් එකේ ට්‍රොලියක් තල්ලු කරන අතරේ මිය යන්නට පුළුවන. නැතිනම් හදිසියේ කකුල පැටලී බිම වැටී, ඔළුව හැපී මිය යා හැක. නැතිනම් ඔළුවට පොල් ගෙඩියක් වැටී මිය යා හැක.

කෙසේ හෝ හිතා ගන්නවත් නොහැකි ආකාරයට මරණය වේ.

ලංකාවේ හිතවතෙක්, ඔහුගේ යහළුවෙක්ට ජීවිතය එපාවී මරණයක් කරගන්නට සිය දිවි නසා ගන්නට උත්සාහ කල අයුරු විස්තර කලේ මෙසේ විය. කෝච්චියට බෙල්ල තැබීම ඔහුගේ සැලැස්ම විය. රේල් පාරට ගොස් බෙල්ල තියන්නට ඔන්න මෙන්න අවස්ථාවේ ඔහුට සිතුනේ, බොහෝ මිනිසුන් රාජකාරියට යන කෝච්චිය ඔහු නිසා ප්‍රමාද වන බවය. තවද ඒ කාලයේ මිනියේ සියළු කටයුතු සමාප්ත වන තුරු දුම්රිය නවතා තැබේ. මේ කාලයේ නම් මිනිය ගාඩ් රූම් එකට දමා දුම්රිය නැවත ගමන අරඹයි. ඒ අනුව ඔහු ඒ ක්‍රමය අමතක කර වෙන ක්‍රමයක් භාවිතා කළේය. 

එය කළු ගඟේ පාළමෙන් ගඟට පැනීම විය. එසේ සිතා ඔහු පාළමෙන් ගඟට පැන්නේය. අවාසනාවක හෝ වාසනාවේ මහත කොතරම්ද යත්, ඔහු පැන්න තැන ගැඹුරු තැනක් නොවිය. හොඳ පිහිනුම් කරුවෙක් නිසා ඔහු ඊළඟට කලේ, මෝයකට වෙතට පිහිනීම විය. එතැනදී නම් ඔහුට වතුර පෙවී සිහි නැති වී ගිලෙන්නට ඔන්න මෙන්න කියා ඇති විට, ඒ අසලින් ගිය බෝට්ටුවක සිටි මසුන් මරන්නන් පිරිසක් ඔහුව ගොඩ ගෙන ආරෝග්‍ය ශාළාවට ගෙන ගියහ.

ඔහු මියයන අදහස අත හැරියේය.   

එක් පකිස්ථාන් හිතවතෙක් කෙනෙක් කී අයුරු ඒ රටේ කෙනෙක්ගේ මරණය මෙසේ විය. දෙදෙනෙක් මෝටර් බයිසිකලයක ගමන් ගත්හ. ඉදිරියේ දුම්රිය හරස් පාරකි. දුම්රිය පැමිණෙන නිසා, එම පාර හරහා තිබුණු දුම්රිය ගේට්ටුව වැසීම සඳහා සීණුව නාද වෙමින් තිබිණ. මේ දෙදෙනා දැන් ඈත එන දුම්රිය පැමිණීමට පෙර හරස් පාර පසු කිරීමට වේගයෙන් පැමිණේ. එම අවස්ථාවේ අහසේ නයෙක් රැගෙන යන උකුස්සෙකි. හදිසියේ උකුස්සාගේ නිය මතින් ගිළිහී, නයාව අත හැරිණි. නයා වැටුනේ පහත පාරේ ගමන් කරන බයිසිකලයේ සිටි දෙදෙනාගේ පසු පස පුද්ගලයාගේ කමිසය හරහා පිටට විය.

උකුස්සාගේ නිය පහරෙන් තුවාල ලබා වේදනාවෙන් සිටි නයා ක්ෂණිකව ඔහුව සපා කෑවේය. විනාඩි ගණනකින් ඔහු මිය ගියේය.

උකුස්සා අහසේ පියාසර කිරීමත්, බයිසිකලය පාරේ ගමන් කිරීමත්, හදිසියේ බයිසිකලයේ වේගය වැඩි කිරීමත් මේ සියල්ල එම මරණයට හේතු විය. … “එය නොවන්නට නම්”… යන ප්‍රශ්ණය දැන් අසන්න වී තිබේ. ඔවුන් ගේ බයිසිකලය ඒ පාරේ නොගියේ නම්,… ඒ වෙලාවේ උකුස්සා නයා රැගෙන අහසේ පියාසර නොකළේ නම්,… දුම්රිය එන බව ඔවුන් නොදුටුවා නම්,… මේ ආකාරයට බොහෝ හේතු කිව හැක. එහෙත් සිදුවීම සිදුවී හමාරය. මාරයා ව්‍යවහාරික ගණිතයේ, සාපේක්ෂ ප්‍රවේගය කොටස ප්‍රගුණ කර ඇත. කරුණු දැක්වීමෙන් ඇති වැඩක් නැත.

මහගම සේකර නම් කිව්වේ, …”මා මළ පසු සොහොන් කොතේ – දුක් ගීයක් ලියනු මැනවි”… කියාය. ඔය විදියට මැරෙන මැරෙන හැම එකාම වෙනුවෙන් සොහොන් කොත් හදන්න ගියොත්, අලුතෙන් උපදින උන්ට අඩිය තියන්නවත් පොළවේ ඉඩක් ඇති වන්නේ නැත. අනෙක් දේ පරෙයියන්ට අකුරු බැරි නිසා සොහොන් කොත් උඩ උන් වර්චස් කරති.

කලකට පෙර කොම්පඤඥ වීදියේ රේල් ගේට්ටුවේ කෙනෙක් මිය ගියේ බයිසිකලය දුම්රිය එන තුරු නවතා ගෙන සිටීමේදී විය. හදිසිය නිසා, ඔහු බයිසිකලය පණ ගන්වා රේස් කරමින්, ගියර් එකක දමා ක්ලච් එක අල්ලාගෙන සිටියේය. දුම්රිය එන විටම ක්ලච් කේබල් එක කැඩී ගියේය. දුම්රිය යටට විසි වූ ඔහු එතනම මිය ගියේය.  

මේ ආකාරයේ මරණයක් ඔබට සිදුවෙනවාට ඔබ කැමතිද ? ඔබ ක්ෂණිකව ‘නැත’ කියනු ඇත. එසේ නම් කුමන ආකාරයේ මරණයක් ඔබට අවශ්‍යද ? අප්‍රිකානු ක්‍රමය නම්, මිනී පෙට්ටිය ඔසවාගෙන අය නටමින් යාමය. තෝරා ගත හැකිනම්, මා නම් තෝරා ගන්නේ ගුවන් යානයක් කඩා වැටෙන විට එහි සිට මිය යෑමය. ප්‍රධාන හේතු හතරක් ඇත.

එක:- මරණය ක්ෂණිකය. දුක් විඳින කාලය අවමයකි. දෙක:- මියගිය විට ලැබෙන රක්‍ෂණ මුදල විශාලය. ගෙදර උන්දෑට සහ දරුවන්ට එය විශාල සහනයකි. තුන:- මේ කාලයේ මරණයක් සඳහා විශාල මුදලක් වියදම් වේ. ඒ වියදම අඩු කර ගත හැක. ෆියුනරල් එක තත්පරයකට අඩු කාලයකදී කෙරේ. හතර:- ලෝක ප්‍රසිද්ධියක් ලැබේ. මියගිය උන් අතර, “අර සෝලාර් සෙල්, වාහන ගැන හැමදාම කියපු එකාත් හිටියා නේද”… ? මෙවැනි කතා කියවෙනු ඇත.  

විශේෂයෙන්ම මරණයක් වූ විට, එතෙනට එන අයට සංග්‍රහ කරන්නට සිදු වේ. පැණි බීම සහ මරණයෙන් පසු බත්, වට්ටක්කා සහ කරෝල දිය යුතුය. මේ කාලයේ කරෝල බොහෝ වියදම් සහිත ආහාරයකි. අනෙක් දේ වන්නේ, බොහෝ දෙනෙක් වට්ටක්කා මාළුව හරියට හදන්න දන්නේ නැති වීමය. ඒ සඳහා තුන පහ බැද භාවිතා කල යුතුය. කළු පොල් මාළුව ඊට එකතු කල යුතුය. හරියට ඒවා කලේ නැත්නම් බල්ලෙක්ට වත් වට්ටක්කා මාළුව කන්නට නොහැකි වේ. අන්තිමට මිනිස්සු, සාලේ බාවා සිටි මටම බැන බැන යනු ඇත.

අම්මාට පිං සිදු වන්නට මට නම් වට්ටක්කා මාළුව ඉවිය හැක. එහෙත් මගේ මරණයට වට්ටක්කා මාළුව, මා විසින්ම හැදීමේ ක්‍රමයක් නොදනිමි. බැරි වෙලාවත් මා වලෙන් නැගිට වට්ටක්කා මාළුව හැදීමට මළ ගෙදර කුස්සියට අවතාරයක් වී පැමිණියහොත්, තව මරණ කීපයක් වනු ඇත. බ්ලොග් එකේ, “හැඳි මිටේ දිග”, කැටගරි එකේ වට්ටක්කා මාළුව හදන ආකාරය ඇත. එහෙත් එය කියවා හෝ වට්ටක්කා මාළුවක් හදන්නට අද ඉන්න උන් දන්නේ නැත. අද ඉන්න කෙල්ලෝ කේක්, වටලප්පම්, පුඩින් වැනි දේ හදන්නට දනී. මළ ගෙවල්වලට ඒවා හරියන්නේද නැත.

අනෙක් දේ වන්නේ මිනිය පිච්චිය යුතුය. අධික කාබන් විමෝචනයක් සිදු වේ. …”මේ තරම් කාබන් විමෝචනය ගැන ලිපි ලියු මූ,… මැරෙන කොට ඒ ගැන සිතුවේ නැත්තේ ඇයි ? කියා කෙනෙක් ඇසුවොත්, පොළව පළා ගෙන යන වස ලැජ්ජාවකි. අනෙක් දේ වන්නේ, පුච්චන්නේ නැතිව මිනිය තියාගන්නටත් නොහැක.

දඬු ලේනෙක්, මුවෙක් හෝ කොටියෙක් මෙන් පුළුන් පුරවා එසේ තියාගන්නා සිරිතක්ද නැත. එහෙම වුනා නම්, සාලයේ පුටු සෙටිය උඩ නැතිනම් ටීවී එක අසල අපේ නෑදෑයෝ ඉන්නට තිබිණ. … “අර එහා කෙරෝලේ ඉන්නේ අපේ ආච්චී…”මේ අල්මාරිය උඩ තියලා තියෙන්නේ ගිය මාසේ මැරුණු අපේ මල්ලි”… “මෙන්න අපේ බාප්පා”… “නැන්දම්මා ටිකක් වාත නිසා, කෙරෝලෙන්ම තිබ්බා”… මේ විදියට කියන්නට තිබිණ. මිනියක් තියා සොහොන් අළු ටිකක් හෝ ගෙදරට ගෙන ආවොත් තොවිල් හතක් වත් කල යුතුය. එසේ නම් පුළුන් පිරවීම අමතක කල යුතුය.

භූමදානය ? මළත්, මම නම් ඒකට මාර බයය. බැරි වෙලාවත් පණ ආවොත් අඩි ගානක් යට ඉන්න විට බයටම ආයෙත් මැරෙන්නට වෙනවා ඇත. අනෙක් දේ වන්නේ මරණයට අඳින ඇඳුම වේ. සිංහළ ජාතික ඇඳුම අඳිනවාට අපේ මහගේ අකමැතිය. ඇය කියන්නේ මලත් සෝබනේට ඉන්න ඕනා කියාය. කොහොමත් එවිට මාව පෙනෙන්නේ දේශපාලනඥයෙක් මෙන් නිසා ඒ ඇඳුම දැන් චාරටර් වී ඇත. ඒ කියන්නේ වෙන චොයිස් එකක් නැත. කළු සුද්දෙක් මෙන් පෙට්ටියේ සිටිය යුතුය.      

ඒ ආකාරයේ ටිපිකල් මරණයකට මුහුණ දීමට අකමැතිම හේතුව වන්නේ, ඉහත කී එක දෙයක්වත් නොව, මියගිය පසු යුරෝපීය ඇඳුම් කට්ටලයක් ඇඳ ගෙන උඩු පෙළි අතට ඉන්නට සිදු වීමේදී, කව්රුන් හෝ මගේ ටයි එක හරියට දමා නැති බව කීමය. මේ කාලයේ ඉන්න උන් ටයි ගැටේ දාන්න දන්නේ නැත. විශේෂයෙන්ම ඩබල් නොට් ටයි ගැටය දමන්න බොහෝ අය දන්නේ නැත.

ගොඩක් උන් දන්නේ පාසැල් කෙල්ලෝ දාගෙන යන, සරළ චූටි සිංගල්නොට් ටයි ගැටය දමන්න පමණි. ඒ ටයි ගැටය වස කැතය. මා නම් ඩබල් නොට් ටයි ගැටය දැමීමේ විශේෂඥයෙක්මි. නමුත් මලායින් පසු එය මටම දාගන්නට නොහැක. දැනට නම් මා කරන්නේ, ගුවන් ගමනක් යන්නේ නැති අවස්ථාවල් වල සෑම විටම ටයි එකක් දාගෙන සෑම තැනම යාම පමණි. එයද ලොකු ප්‍රශ්ණයකි. ඒ ආකාරයට පන්සල් යා නොහැක.

මරණය ඕනෑම වෙලාවක විය හැකි බැවින් ඒ ගැන මා සිතිය යුතුය. සමහරවිට ඔබ වෙන ක්‍රමයක් අනුගමනය කරනවා ඇත.    

මේ ඉතින් මට හිතෙන හැටිය.            

One thought on “මිය යෑමට හොඳම ක්‍රමය කුමක්ද ?

Add yours

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: