බූරුවෙක් හිස උස් පහත් කරමින් තණකොළ කනවා සේ දර්ශනයක් මේ පොම්ප දෙස ඈතින් බලන විට දැකිය හැකිය. පොළව අභ්‍යන්තරයේ ඇති ෆොසිල ඉන්ධන, පොළව මතුපිටට ගෙන ඒමට අදත් භාවිතා කරන මේ බූරු පොම්ප පසුගිය සියවස තුල නිරතුරුව භාවිතා විය. බූරු පොම්ප හෙවත් Donkey pumps නිර්මාණය කරනු ලැබුවේ 1925 වසරේ ටෙක්සාස්හී සිටි, ‘වෝල්ටර් ට්‍රවුට්’ යන ඉංජිනේරුවා විසිනි.
ඔබ මේ දකින්නේ බහරේන් හී ක්‍රියාත්මක වන තෙල් පොම්පයකි. ස්වයංක්‍රීය සේ ක්‍රියාත්මක වන හෙයින් මේ පොම්ප අසළටම යාමෙන් අනතුරු ඇතිවිය හැක. එසේම ගිණි ආපදා ඇති විය හැකි හෙයින් සාමාන්‍යයෙන් ඒ පොම්ප ළඟට යාමට තියා, වීඩියෝ කිරීමත් තහනම් වේ. ඒ හා අදාළ රාජකාරියක යෙදී සිටින විටදී මේ පොම්පය වීඩියෝ කලෙමි.
මේ ආකාරයේ පොම්ප බොහොමයක් කතරේ තිබේ. ගහක් කොලක් නැති බහරේන් කතරේ තෙරක් නොපෙනෙන දුරක් ඈතට මෙම පොම්ප සවි කර තිබෙනවා දැකිය හැකිය. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ “Pump Jack Capital of Texas” යන ස්ථානයේ නම්, සැතපුම් දහයක අරය ඇති පෙදෙසේ මේ ආකාරයේ පොම්ප 5000ක් ඇත. පොම්පයේ ප්‍රමාණය අනුව එක පහරකින් හෙවත් පොම්පය එක් වතාවක් ක්‍රියාත්මක වීමේදී ලීටර් 5 සිට 40ක් පමණ ඉන්ධන පොම්ප කෙරේ.
එන්ජිම හෝ මෝටරයේ බලය තීරණය කෙරෙන්නේ කොතරම් ගැඹුරකින් තෙල් පොම්ප කරන්නේද යන්න මතය. දියර සහ වායු ඉන්ධන දෙකම මේ පොම්ප වලින් උකහා ගත හැකිය.
අඩි 48 ක් පමණ උපරිම උසක් ඇති, ‘බූරු පොම්ප’ වර්තමානයේ නම් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ. බහරේන් සහ සව්දි අරාබිය එකිනෙකට සමීපව ඇති හෙයින් එක් තෙල් ක්ෂේත්‍රයක ඇති තෙල් මට්ටම අනෙක් තෙල් ක්ෂේත්‍රයකට බලපායි. එසේ හෙයින් ඒ ඒ රටවල් අතර තෙල් හා සම්බන්දිත අන්‍යොන්‍ය සංනිවේදන වලට අනුකූලව පොළවෙන් ඒ ඒ තෙල් ප්‍රමාණයන් උකහා ගනී.
පොම්පය මෝටර මගින් හෝ විදුළි බලය නැති ස්ථාන වලදී අභ්‍යන්තර දහන එන්ජින් මගින් ක්‍රියාත්මක වේ. වාහනයක දඟර කඳක් හෙවත් ‘ක්‍රෑන්ක්’ එකක් ක්‍රියාත්මක වන ආකාරයෙන් මේවා ක්‍රියාත්මක වන බව වීඩියෝව දුටු විට අවබෝධ වේ. එහි සම්පූර්ණ ක්‍රියාකාරිත්වය විස්තර කිරීම අනවශ්‍ය වන්නේ විකිපීඩියා වැනි සයිට් එකක පින්තුර මගින් ඒවා ගැන පැහැදිළිව විස්තර කර ඇති හෙයිණි.
යාපනයේද මීට සමාන ළිං තිබෙනවා කුඩා කාලයේ දැක ඇත්තෙමි. ‘ආඬියා ළිං’ සේ නම්කළ එහෙත් ඒවායින් නම් කලේ වතුර ඇදීම විය. අද දින ඒවා යාපනේ තිබෙනවාදැයි නොදනිමි. යාපනයේ දක්ෂ ගොවීන් ඒවා ඉවත් කර, මේ කාලයේ ඔවුන්ට කෘෂි කර්මය සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට සූර්ය බලයෙන් වතුර පොම්ප ක්‍රියාත්මක කරනවා ඇත.
කලක් අතරක් නැතිව ක්‍රියාත්මක වූ බූරු පොම්ප අද දින නම් යම් විරාමයක් ඇතිව ක්‍රියාත්මක වන්නේ ලෝකයට අවශ්‍ය ෆොසිල ඉන්ධන අඩු වීමේ ප්‍රවනතාවයක් ඇති හෙයිණි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ කොවිඩ් -19 හෙවත් කොරෝනා වසංගතය නිසා මන්දගාමී වූ ලෝක ආර්ථිකය යි. නමුත් තෙල් ලබා ගැනීමේ ප්‍රවණතාවය අඩු වීම ඉන් පෙර ආරම්භ වූයේ පුනර්ජනනීය බලය මගින් බල ශක්තිය ලබා ගැනීමේ ක්‍රම ජනප්‍රිය වන විටදී විය.
කලකට පෙර, ‘තෙල් වලින් පසු? …යන ගැටලුව තිබිණ. අද දින ඇති වී තිබෙන තත්වය දෛවයේ සරදමකි. තෙල් ලොවෙන් තුරන් වන්නට පෙර තෙල් මිනිසාට අනවශ්‍ය දෙයක් වෙමින් පවතී. වාහන වලට පරිඝනක ක්ෂේත්‍රය සම්බන්ද වීම හේතුවෙන් සිදු වූ විපර්යාසය හෙවත්, වාහන වල කාර්යක්ෂමතාවය බොහෝ වැඩි වීමත් ඊට එක හේතුවක් විය. ෆොසිල ඉන්ධන වලට අනෙක් හෙනහුරු අපල වූයේ විදුළි වාහන සහ පුනර්ජනනීය බල ශක්තියයි.
වසර කීපයකට පෙර මේ ස්ථානයට යනවිට සෑහෙන විශාල පෙදෙසක පැතිර ඇති මේ බොහොමයක් පොම්ප දිවා රෑ ක්‍රියාත්මක වෙනවා දකින්නට තිබිණ. එහෙත් අද ඒ පොම්ප මළගිය යකුන් මෙන් දිරාපත් වීම ආරම්භ වෙමින්, දුහුවිළි ගැසී ජරපත් වී කතරේ අවසන් පණ නළ අදිනවාක් මෙන් පෙනේ. නමුත් කාබන් විමෝචනය ලොවට දුන් යකුන් මියයන විට ඒ අඩුව පුරවන්නට සහ විමෝචනය නොමැති ශක්ති ප්‍රභව වන සූර්ය පැනල ඒ කුඩා දිවයිනේ කෙමෙන් ස්ථාපිත කෙරේ. තෙල් ළිං ඇති පරිශ්‍රයේම මෙගා වොට් තුනක කුඩා සූර්ය පැනල ඇටවුමකින් වසරකට ගිගා වොට් පැය 5366 ක බල ශක්තියක් ඉන් ලැබෙනු ඇත.
පරිසරික සේ අනන්ත විනාශයක් ඇති කරමින්, කිසි දිනෙක නැවත ලබා ගැනීමට නොහැකි ආකාරයේ අවාසනාවන්ත ජෛවී හානි ඇති කරමින්, ලෝකයේ හතර කොනේ ඇති වූ ෆොසිල ඉන්ධන දහනය සඳහා වගකිව යුතු මෙහෙයක් කිරීමට මේ ඔළුව උස් පහත් කරන බූරුවාත් උපයෝගී විය. ඇමරිකානු සහ අරාබි සුපිරි ධනවතුන් විසින් දැක්කු බූරුවන් හෙවත් තෙල් ලබා ගැනීමට භාවිතා වූ මේ ‘බූරුවා පොම්ප’ නිසා ඔබත් මමත් ඇතුළු ලොවේ බොහෝ දෙනෙක්ටද බූරුවන් වන්නට සිදු විය.
බල ශක්තිය, විචල්‍ය වූ පුනර්ජනන බලය කළමනාකරණය කරමින් ලබා ගැනීම කෘතීම නුවණ ඇති පරිඝනක ඇති මේ යුගයේ අපහසු දෙයක් නොවේ. ෆොසිල ඉන්ධන සහ පෙට්‍රෝලියම් හී අතීතය ගැන කියවෙන බහරේන් හී පෙට්‍රෝලියම් කෞතුකාගාරයට තවත් බූරු පොම්ප කීපයක් එකතු වූ දින, ලෝකය කාබන් වලින් අපවිත්‍ර වීම ගැන ඒවාද නිහඬ කතාවක් කියනු ඇත.
නොදැන බූරුවන් වීමට නම් කරන්නට දෙයක් නැති වුවද, අදත් ෆොසිල ඉන්ධන බලාගාර අගය කරමින්, ෆොසිල ඉන්ධන වාහන අගය කරමින්, තවමත් බූරුවන් වීමට උත්සාහ කරන්නට හදන පුනර්ජනන බලය කළමනාකරණය ගැන මෙලෝ අල බෝලයක් නොදන්නාවුන් නම් සත්‍ය වශයෙන්ම බූරුවන් මය.
Leave a Reply