ආතාගේ භාෂාව

IMG_0010පැරණි පොත පත ඔප්පු තිරප්පු ඇති පරණ අල්මාරියක් අදින විට, පොතක් අස්සේ තිබී බාගෙට කාවන්ට ආහාර වූ පින්තුරයක් මගේ සිත ඈත අතීතයට ගෙන ගියේය. ඒ අතීතය ජීවිත රෝදය වට භාගයකට වඩා කැරකී අද දින වෙත පැමිණ ඇත. ඒ පින්තුරයේ මගේ ආතා ද සිටී.
 
ආතා ගැන මට ඇති ඈතම මතකය වන්නේ, ‘සෙක්කුව’ සේ එකළ හැඳින්වූ හරකෙක් විසින් රවුමට ඇද ගෙන යන විශාල ළී කඳ සම්බන්ද දෙයකිනි. ඔහු ඒ උඩට මා ඔසවා එහි වාඩි කෙරෙව්වේය. ඒ කාලයේ එය අපට තිබි ‘මෙරි -ගෝ- රවුන්ඩ්’ එක විය. නමුත් කරකැවිල්ල හැදෙන්නට පුළුවන් කී ඔහු, මා වට කීපයක් එය උඩ හිඳ ගෙන ගිය පසු, බිමට බස්සවනු ලැබීය. එවිට මා කරන්නේ නැවත එහි තියන්න කියමින් ඔහුට ඇවටිලි කිරීමය.
 
මට වසර දහයක් පමණ වනතුරු ආතා ජීවත් වී සිටීම සහ ඔහුගේ ඇසුරේ සිටීමට වාසනාවන්තයෙක් වීමි. පාසලකින් ඉගෙන ගැනීමට නොහැකි බොහෝ දේ මට ඔහු ඉගැන්වූයේය. කැටපෝලයක් තැනීමට කදුරු ගසක ඇති නිවැරදි කරුව සොයා ගන්නේ කෙසේද යන්න ඔහු මට කියා දුන්නේය. එහි අතු දෙක එක තරමට වැඩී තිබිය යුතු බවත්, අතින් අල්ලන කොටසේ සිට ඒ අතු දෙක තරමක් ඉදිරියට නැඹුරු වී තිබිය යුතු බවත්, ඔහු කියා දුන්නේය.
 
ඉලක්කය ගන්නා විට මොහොතකට හුස්ම ගැනීම නැවැත්වුවේ නැත්නම් ගල ඉලක්කයට යන්නේ නැත.
 
ආතා තරුණ කාලයේ ගැල් නායකයෙක් විය. ඔහුගේ නායකත්වයෙන් ගැල් හෙවත් කරත්ත සිය ගණන්, එකළ ‘සිංහලේ’ යනවා කියා ඔහු ගෙන ගියේය. මේ නිසා ගැලක් අදින ගොනෙක් දෙස බැලූ පමණින් ඒ ගොනා ශක්තිමත්ද, අසනීප තිබේද යන්න ගැන කීමට හැකි පරිචයක් ඔහුට තිබිණ. ඒ අවට ගම් වැසියන්ගේ ගොනුන් රෝගී වූ විට ඔවුන් සුවපත් කිරීමට ඔහුගේ සහාය පැතූ බොහෝ දෙනෙක් විය.
 
ඉහත කී සෙක්කුවේ, කරත්ත වල බඳින හරකෙක් කිසි හේතුවකට බඳිනවාට ඔහු කැමති වූයේ නැත. එසේ කළහොත් නැවත කරත්තේ බඳින ලද හරකා කරත්තය පාරේ ගෙනි යන්නේ නොමැතිව කාණුවේ දමන බව ඔහු දැන සිටියේය.
 
මා එකල තුනේ හෝ හතරේ පන්තියේ සිටියෙමි. අ , ආ කාලය හමාර වී, A, B, C පවා ඉගෙන ගනිමින් සිටියෙමි. සමහරවිට ආතා සිතන්නට ඇත්තේ, ඔහුගේ ලෝකයේ ඉගෙන ගත් දේ මා පාසැලේ ඉගෙන ගන්නවා කියා වන්නට ඇත. පන්සලේ වැලි පීල්ලේ පමණක් අකුරු කෙරවූ ආතා, මා උගතෙක් යයි සිතුවේය. මට ඔහු කතා කළේද , ‘ඉලන්දාරියා’ ලෙසය. දිනක් ඔහු මට ගම් වැසියෙක් වත්තට ගෙන ආ ගොන් නාම්බෙක් පෙන්වූයේය. ඒ සතාට ආතාගේ සාත්තුව අවශ්ය වී තිබිණ. ඔහු ඌ පෙන්වා, … “කොල්ලෝ මේ සතාගේ ලෙඩේ මොකක්ද කියල, බලල කියපන් …. යයි මගෙන් ඇසුවේය.
 
හරකා ගැලේ බඳින ශක්තිමත් එකෙක් විය.
 
හරකා කොර ගසන බව කීවෙමි. ඔහු සිනාසී මට කීවේ මමත් හරකා අයිතිකරුගේත් වෙනසක් නැති බවය. … “ලෙඩේ කොහෙද තියෙන්නේ -එතන බලපන්”… කියා ඔහු කීවේය.
 
… “කොර ගසන්නේ ඇයිද යන්න ඔහුගේ ඊළඟ ප්රශ්ණය විය. කකුල ඔසවා බලන්න යයි මට ඔහු කීවේය. ඊළඟට ඔහු කීවේ, … “උඹ දැන් අකුරුත් දන්නා උගතෙක් නේ…. කියවපන් ඕකේ කියලා ඇති අකුරු ගැන” … එහි මා දුටු අකුරක් නැත. නැවතත් හරකාගේ කකුල එසැවූ ඔහු කියා සිටියේ එහි අකුරු ඇති බවය. අකුරු නැතැයි ඔහුට මා නැවත කීවෙමි. ඒ අකුරු පාසැලේ ඉගෙන ගන්න ඒවා නොවේ යයි කී ඔහු කියා සිටියේ, හරකාගේ ලාඩම් ගෙවී ඇති බවය. ලාඩම් හරකාගේ පතුලට සවි කර ඇති ඇන දෙකක්ද ගැළවී ඇති බවය.
 
ඔලුව පමණක් නොව ඇස් කන් නාසා සියල්ල භාවිතා කරන්න යයි ඔහු කීවේය.
 
ඔලුව දකින අකුරු වලට වඩා දෙයක් ලෝකයේ ඇති බව, ඇස් කන් නාසා අයා බලන විට පෙනෙන්නේය යයි ඔහු කීවේය. අකුරු නැතිව දෙයක් ඉගෙන ගත හැකි බව මා ඔහුගෙන් එදා ඉගෙන ගතිමි. අදත් වාහනයක ටයර් එකක පැච් එකක් ගියා වැනි කරදරයකදී ඔහු මට කියා දුන් පාඩම නිතැතින් සිහියට නැගේ.
 
අහසේ පාවී යන වළාකුළු වලින් ඉබ්බන්ගේ මාළුන් ගේ හැඩය ඇත්නම් ඒ කාලයට වසින බව ඔහු කියා දුන් අතර, කුමක් හෝ හේතුවක් නිසා ඒ රූප අහසේ ඈඳෙන විට එකල වර්ෂාව නම් ඇති වූ බව නම් මට තවමත් සිහිපත්ව තිබේ. වැහි ලිහිණියන් අහසේ පියාසර කරන්නේ නම්, කුහුඹුවන් ගුල් වලින් නික්ම වෙනතක යන්නේ නම්, ‘වැසි වසී’ සේ ඔහු කියා දුන්නේය.
අවුරුදු කාලයට ගමේ කොල්ලෝ පත්තු කරන උන බම්බු වෙඩිල්ලේ ශබ්දය වැඩි කර ගන්නා ආකාරය ඔහු කියා දුන්නේ, ඒ සඳහා ගන්නා උන බටයේ අග කෙළවර හෙවත් වෙඩි ශබ්දය පිටවන තැන තෙල් දමන තැනට වඩා කුඩා විය යුතු යයි කියමිනි. දිගින් දිගට එනම් එක දිගට මේ උන බම්බු වෙඩිල්ල දල්වන විට, එය රශ්නය නිසා පිපිරෙන්නට ඉඩ ඇත. එයට පිළියමක්ද ඔහුගෙන් ලැබිණි. එනම් දල්වන කොටස වටා පිදුරු හෝ ලණු කැරැල්ලක් ඔතා, එය ජලයෙන් පෙඟවීම විය.
 
නාඹර තැඹිලි ගෙඩියක් කපන්නට පෙර ඇස්ස කපා එය හිල් කළහොත් එය පිපිරී යයි. ඇස්ස කපා දෙහි කටුවකින් එයට ඇන්න විට ඇතුලේ හිරවී ඇති තැඹිලි වතුර උල්පතකින් මෙන් එළියට එයි. ඒ දිය දහරාව නැවතුනු විට තැඹිලි ගෙඩිය කැපීමෙන් එය පිපිරෙන්නේ හෝ වතුර අහක යන්නේ නැත. කුඩා වුවත් මෙවැනි බොහෝ දේ ඔහු මට කියා දුන්නේය.
 
පින්තුරයේ දකුණු පස අත් නැති කමිසයක් ඇඳ ගෙන, ‘කට කනේ තියාගෙන’ හිනා වෙමින් ඉන්නේ මාය. අනෙක් පොඩි උන් අයියා සහ නංගිද, ලොකු දෙදෙනා ආච්චි සහ ආතා වේ.
 
නැවත ආතාගේ පාඩමට.
 
දිනක් ඔහු මගේ කොණ්ඩය කප්පවන්නට බාබර් සාප්පුව වෙත යන ගමනේ කොහේදෝ සිට දුව ගෙන ආ වරත්තු තඩි බල්ලෙක් අප වෙත කඩා පැන්නේය. මා බියෙන් ආතා පසුපසට වුනෙමි. ඔහු හිටි තැන ගල් ගැසී බල්ලා එනතෙක් බලා සිටියේය. බල්ලා බුරා විතරක් නිකම් ඉන්නේ නැති බව පෙනිණ. බල්ලා ඔහුගේ ඇඟට පනිනවාත් සමඟම ඔහු බල්ලා ගේ කම්මුලට අතින් ගැසුවේය. බල්ලා බිම පෙරලී ගියේ පන්දුවක් මෙනි. පසුව මා ඔහුගෙන් විස්තර ඇසුවෙමි.
 
ඔහු කීවේ බල්ලෙක් පාරේ වඩාත් ස්ථායි වන්නේ කකුල් හතරෙන් සිටින විටදීය යන්නය. කකුල් දෙකෙන් නැගිටින විටම බල්ලාගේ ඇලපතට ගසන්නේ නම්, බල්ලා බිම වැටීමට ඉඩකඩ වැඩිය යන්නය. තවත් දෙයක් වන්නේ බල්ලා බුරා ගෙන එන විට, නොසෙල්වී සිටීම මෙන්ම බුරන්න කට අරින විට, කටට වැලි අහුරක් කටට විසි කිරීමය. මේවා කියන්නට නම් පහසුය. මරුමුස් බල්ලෙක් ඇඟට පනින විට දුවන්න හිතෙනවා මිසෙක, වෙන දෙයක් කරන්න නම් හිතෙන්නේ නැත.
 
නමුත් බුරන බල්ලෙක්ට එරෙහිව දුවනවා යනු, බල්ලා විසින් අනිවාර්යයෙන්ම ඔබව සපා කෑම වේ. කරන්නම දෙයක් නැත්නම් සර්පයන් පහසුවෙන් මරණ ආකාරයද ඔහු කියා දුන්නද, එය ඔබට නොකියමි. අවසානයේ, මා ආතාම නොවේ.
 
ඕනෑම කෙනෙක්ගෙන් ඉගෙන ගත හැකි දේ ඇත. විශේෂයෙන්ම ජීවිතය යන සටනට නිවැරදිව මුහුණ දුන් කෙනෙක් වයෝවෘධ අවදිය තෙක් නොයෙක් දේ ඉගෙන ගනී. ඒ ප්රවණතාවය අදට වඩා ඒ වැඩිහිටියන් අතර තිබෙන්නට ඇතැයි සිතේ. එය රිලේ රේස් එකක් වැනිය. මුලින් දුවන්නා මහන්සි වූ විට, බැටන් එක පසුව රේස් එකට සහභාගී වන්නාට දිය යුතුය.
 
අවාසනාවට වර්තමානයේ ඒ බැටන් එක දෙන කෙනෙක් නැත. ලෝභ කමට එය තමන්ම තියාගෙන මැරී යයි. ලොකුම අවාසනාව වන්නේ, ඒ බැට්න් එක දුන්නත් මේ කාලයේ එය අගයක් නැති වීමය. එය ගන්න කෙනෙක් නැති වීමය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: