අපේ දරුවන් හදා ගන්නේ කෙසේද ?

media-wcKNbDXfpY0mAgWMටැබ් එක, පරිඝනකය සහ මොබයිලය දවසේ පැය 24 තුලම අතේ තියාගෙන සිටි මගේ හිතවතෙක්ගේ දරුවෙක්, ඒ ආකාරයේ දරුවන් දහ දෙනෙක් පමණ එක්වූ නිවසක සාදයකට ගියේය. මාද ඒ සාදයේ වැඩිහිටි අංශයේ සාදයේ  කොටස් කරුවෙක් වීමි. පොඩි උන් මොනවා කරන්නේද යයි බැලීමට, උන් සිටි කාමරයට එබිකම් කිරීමේදී,… “බළලුන් සමූහයක් එකිනෙකා දෙස බලා ඉන්නාක් මෙන් දර්ශනයක් දුටුවෙමි.

ඔවුන් නොසෙල්වී කතාවක් වත් නැතිව වීඩියෝ ගේම් ගසමින් සිටියහ. පසුව ඒ හිතවතාගේ දරුවාගෙන්, පාටිය කොහොමද කියා ඇසූ විට ඔහු කීවේ; …”ඔහු ඉන් බොහෝ විනෝද වූ බවය. එය ඔවුන්ගේ ලෝකය වේ. සමහරවිට ඔවුන්, එකිනෙකා සමඟ වචන දෙකක් වත් කතා නොකරන්නට ඉඩ ඇත.     

ස්වභාවික සේ ඇලේ දොළේ පැන නා, බඩවැටියේ ඇවිද කැලෑ පළතුරු සොයා ගිය කාලය අද දින දරුවන්ට අරුමයකි. තවද ඔවුන්ට අද දින ස්වභාවික සේ දකින්නට ඇති ලෝකයට වඩා වැඩි දෙයක් මාධ්‍ය වලින්ද දකින්නට ලැබේ. මේවා කුඩා මනසට කොතෙක් ගෝචර වේදැයි යන්න ප්‍රශ්ණයකි. ඉහත කී දරුවන් අවට ලෝකය ගැන දන්නේ අවම ප්‍රමාණයකි. කිසියම් දිනෙක ලෝකය සමඟ ගැටෙන විටෙක, එහි විපාක වලට ඔහුට ලෙහෙසියෙන් මුහුණ දිය නොහැක. මේ කියන දරුවාට, බසයක් හෙමෙන් අද්දවන විට එහි පා පූවරුවෙන් බිමට බැසිය නොහැක.

අද දිනයේ දරුවන්ගේ මානසික ව්‍යාධීන් මෙයට දශක කීපයකට පෙර සිටි දරුවන්ට වඩා වැඩි බවක් පෙනී යයි. බුද්ධිය ඕනෑවටත් වඩා ඇත. එහෙත් ඥාණය බින්දුව වේ. ඊට එක් හේතුවක් නොව විවිධ හේතු ඇති බවක් පෙනී යයි. මේ දරුවන් නොමඟ යනවිට කෙසේ නම් ඔවුන්ට කතා කල යුතුද යන්න ප්‍රශ්ණයකි. මෙහිදී අප කල යුත්තේ ඔවුන්ට ආදරය දැක්වීම මිසෙක ඔවුන් ප්‍රතික්ෂේප කිරීම නොවේ. මෙය තීරණාත්මක වන්නේ, ඒ මත ඔවුන්ගේ ආත්ම අභිමානය, ආත්ම ශක්තිය සහ ඔවුන් ගැන ඔවුන්ටම ඇති ප්‍රතිරූපය ඉන් සෙලවෙන හෙයිණි. අපේ සාමාන්‍ය අවවාද ඔවුන් නුරුස්සයි.

එහි ඇත්තේ අපවාදය, ලැජ්ජාවට පත් කිරීම, අවවාද දීම සහ කල නොහැකි සේ ඔවුන් උත්සාහවන්තයන් කිරීමට උත්සාහ කිරීම වැනි දේය.

… “කවදද උඹ ඉගෙන ගන්නේ? …මොකද උඹට වෙලා තියෙන්නේ?…කී සැරයක් උඹට මම කිව්වද ?…මම කියන දේ ඇහෙන්නේ නැද්ද ? …මෙවැනි ප්‍රශ්ණ ඇසීමෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය. මේවා එදා අපගේ දෙමාපියන් මෙලෙසින්ම අපෙන් ඇසුවද, ඒවාට නොසැළී සිටින්නට එදා අපට හැකි වූයේ වඩාත් ස්වභාවික සමාජයක අප ජීවත් වූ හෙයිණි. කෘතීම සමාජයක ජීවත්වන දරුවන් වෙනස් ජීවින් වේ. එසේ හෙයින් ඔවුන්ට  මන්ද බුද්ධික හෝ විශේෂිත දරුවන් සේ සැළකිය යුතුය.

ඒ නැතත්, සාමාන්‍ය දරුවන් සමඟ හැසිරීමේදී පවා පහත ආකාරයෙන් හැසිරීම වටී යයි සිතේ. සමහරවිට මා වැරදිය යයි ඔබ කියනු ඇත. එහෙත් මේ ඇත්තේ මට සිතෙන හැටියි. 

අවුරුදු දහයක දරුවෙක් වටිනා වීදුරු බඳුනක් බිම දමා බිඳු කලෙක දෙමාපියන් අසන ප්‍රශ්ණ මොනවා වේද ? …”මොකක්ද උඹට වෙලා තියෙන්නේ ? අම්මා අසන අතරේ තාත්තා මෙසේ කියනු ඇත… “මේකා මෝඩයෙක් විදියට ඉපදිලා තියෙන්නේ? … “උඹ මහ මෝඩයෙක් !… මෙසේ කීම ඉඳුරා වැරදි දේවල් වේ. මෙහිදී ඇසිය හැකි එක දෙයක් නම්, …”හරි දැන් ඒක බිඳුනා”… “අපි වීදුරු කෑලි අහුලමු”… “මීට පස්සේ පරෙස්සමෙන් වීදුරු භාජන අල්ලන්න. … යන්නය. ඒ හැර දරුවාගේ ආත්ම අභිමානයට හානි නොවන සේ කතා කල යුතු නැත. දරුවන්ට ආදරය කලාට පමණක් වැඩක් නැත. එය ඔවුන්ට දැනිය යුතුය. 

ලසිත් අවුරුදු දහයක දරුවෙකි. කෑම අනුභවයේ මහත් හඬින් සද්ද කරමින් තළු මරමින් සිටින විට ඔහුගේ පියා කීවේ, …”  “ පලයන් යන්න – උඹ කන්නේ හරියට ඌරෙක් වගේ ! කියාය. එසේ කියනවාට වඩා, … “ලසිත් පුතා, ඔහොම කෑම කන කොට, ඒක හරි කැතයි …! නැතිනම්, …”පුතා මා ආසා නැහැ ඔහොම සද්දෙට කන කොට… කියා කීම වඩාත් හොඳ දෙයකි. 

සමහරවිට අපේ හිතවතෙක් මෙසේ කියයි. … “මට හොඳටම තරහා ගියා අපේ පොඩි එකා එක්ක !…දුන්න කණ හරහා ! …ඒත් මම පස්සේ කිව්වා, …”පුතා මමත් මනුස්සයෙක්,… මටත් සීමාවල් තියෙනවා ! … ඒ නිසා මාව අවුස්සාගන්න එපා “…කියා. සත්‍ය වශයෙන්ම මේ ආකාරයේ දෙමාපියෙක් අසාර්ථක කෙනෙකි. මෙසේ කියන විට විය හැකි එක දෙයක් නම්, දරුවා එම දෙමාපියන්ගේ කරදරයෙන් මිදීමට බොරු කීම ආරම්භ කිරීමය. අවසානයේ දරුවා සහ දෙමාපියන් එකිනෙකාගෙන් ඈත් වේ. දරුවන්ගෙන් පළි ගත යුතු නැත. 

පාසැලෙන් තම දරුවාගේ විභාගය අසමත් වූ බව දැන ගත්තද, බොහෝ දෙමාපියන් එය දඬුවමක් සඳහා යොදා ගැනීමට දරුවන්ගෙන් මෙසේ අසති. … “විභාගේ පාස්ද ?… දෙමාපියන් සත්‍ය කාරණය දන්නා බව දරුවා දනී. එසේ හෙයින් ඒ දරුවා නිරුත්තර වේ. නැතිනම් බොරු කියන්නට උත්සාහ කරයි. ඇත්තටම කිව යුත්තේ; …”මට පාසැලෙන් කිව්වා විභාගය අසමත් කියා – අපි බලමු ඊළඟ සැරේ විභාගේ පාස් කරගන්නට …!    …මෙවැනි අවස්ථාවක දරුවාගේ ආත්ම අභිමානය වැඩි වේ. ඔහු තනි වී නැති බව දැන ගනී. එහි ප්‍රතිඵල සුභදායක වේ.

දරුවන් විචක්ෂණ ශීලී වේ. දෙයක් කරන්න එපා කීවොත්, එය කරන්නම හදන දරුවන්ද සිටී. ඒ ආකාරයේ දරුවන්ට එකවරම දෙයක් කරන්න එපා කියනවාට වඩා, හේතු දැක්වීම වඩා වටී. නුවර එළියේ ගිය දිනෙක මා දුටු සිදුවීමක් මෙසේ විය. මුරණ්ඩු දරුවෙක් නාන තටාකයේ පැන නාන්නට උත්සාහ කළේය. නෑම තියා, එළියට යන්නවත් නොහැකි සීතලක් එදින තිබිණ. කල්පනාකාරී පියා ඔහුට කීවේ … “අද සීතලයි. නුවරඑළියේ උෂ්ණත්වය බලන්න”… කියාය. දරුවා අන්තර් ජාලයෙන් උෂ්ණත්වය බලා සීතල බව දැන, නෑමේ අදහස අත් හැරියේය.

නිවැරදි දේ කළා නම් දරුවන්ට ඒ සඳහා කිසි විටෙක තෑගී ලබා දිය යුතු නැත. ඒ ආකාරයේ දරුවෙක් එවිට නිවැරදි දේ කරන්නේ තෑගී ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් විය හැක. ඊට වඩා කල යුතු දේ වන්නේ ‘දරුවාට අවශ්‍ය දේ ලබා දීමය’. දරුවන් වෙලාවට නින්දට යැවීමත් සෑහෙන ගැටළුවකි. කුඩා දරුවන්ව නින්දට යවන්නට ඇති අපහසුව ඔබ දනී. මීට කල යුතු හොඳම දේ කුමක්ද ? කිසියම් නියත වෙලාවක ඔවුන්ව නින්දට යන්න යයි බල කරනවාට වඩා එක හොඳ ක්‍රමයක් වන්නේ එක් කාල පරාසයක් තුල ඔවුන් නිදා ගත යුතු යයි කීමයි.

එවිට ඔවුන්ට, ඔවුන්ගේ නිදහස පිළිබඳ අදහසක් ඇති වේ.

දරුවන්ට නොයෙක් හේතු නිසා භීතීන් ඇති වේ. එවැනි අදහසක් ළදරු මනසට ඇතුල් වුවහොත් ඒ සඳහා, ‘කල යුතු නැතිම දේ’ …. “එහි බියවීමට යමක් නැති බව කීම” බව සමහර මානසික විද්‍යාඥයන් කියති. මක්නිසාදයත් ‘භීතිය’ සාමාන්‍ය මනුෂ්‍ය ගතියකි. එය කෙනෙක්ගේ ආරක්‍ෂාව සඳහා ස්වභාවිකවම ලැබෙන දෙයකි. බිය විය යුතු නැති බව කියනවාට වඩා හොඳම දේ වන්නේ භීතිය ඇති වූ හේතුව දරුවාගෙන් අසා එයට ප්‍රතිකර්ම යෙදීමයි. භීතිය ඇති වූ හේතුව විභාගයක් නම්, විභාගයක සමීපයට එනතුරු නොසිට පොත පත බැලීමෙන්, පාඩම් කිරීමෙන් ඒ භීතිය අඩු කරගත හැකි බව කිව හැක.

දරුවෙක්ට වැඩිහිටියෙක් සේ සැළකීම ආරම්භ කල දිනම, ඒ දරුවා තවදුරටත් දරුවෙක් නොවේ යයි කියා කියමනක් ඇත. 

අවසානයට අපට සිතන්න ඇත්තේ දරුවාගේ ආදරය දිනා ගත හැකි ක්‍රම මොනවාද යන්නය. ඔහු අපව විශ්වාස කරන්නේ නම් එය ඒ ආදරය ලබා ගත හැකි ප්‍රථම සහ හොඳම ක්‍රමයයි. වරක් මා මිතුරෙක් සහ ඔහුගේ දස හැවිරිදි දුව සමඟ මැක්ඩොනල්ඩ් එකකට ගියෙමි. ඔහුගේ දුවණිය ඇයට ලැබුණු ආහාරය වැරදීමකින් බිම වැට්ටුවාය. ඇයට මෙසේ කියැවිණි. … “අයියෝ මම හැමතිස්සෙම මෝඩ වැඩ කරනවා”… “මම මහා මෝඩියෙක් !…!! ඊළඟට ඇය හඬන්නට පටන් ගත්තාය. පියෙක් විසින් දරුවෙක්ට දුන් හොඳම අවවාදය එදා මා දුටිමි.

මේ පහත විස්තරය බලන්න පෙර ලිපිය කියැවීම මොහොතකට නවත්වා, එය ඔබගේ දුවණියට හෝ පුතුට සිදු වූයේ නම් ඔබ කුමක් කියාවිද යයි සිතන්න.

ඇයගේ පියා එවිට ඇයට කීවේ මෙසේය.  …”මා කිසිම කෙනෙක්ට මගේ දුවට බනින්න දෙන්නේ නැහැ”… “හැබැයි මගේ දුවට, එයාටම බැන ගන්න ඉඩ දෙන්නෙත් නැහැ.. ! … අපි වැරදීමක් වුනාම ඊට කුමක් කරනවාද කියා සොයමු”…. “ඊළඟ වතාවේ කෑම එක නිවැරදිව අල්ලා ගන්න.. ! … මේවට දියණිය වහා ඇයගේ කඳුළු සැලීම නැවත්වූවාය. එනම් පියා ඇයට ආදරේ බවත්, සැමවිට ආරක්ෂාවක් වන බව ඇය වටහා ගත්තාය.

කිසියම් ප්‍රශ්ණයකදී, වදනකින් කෙනෙක්ට පෙන්වන අවබෝධය සහ දිරිය තරම් ආදරයක් තවත් නැත.    

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: