ගැහැණියකගේ උකුළක්, බකල වූ කකුල් සහ ඉදිරියට නෙරා ආ දත් ඇති එහෙත් පිරිමි ගති ඇති රූපයක් දුටුවොත් ඔබට කුමක් සිතෙන්නේද ?
ඊජිප්තියානු පාරාවෝ රජ කෙනෙක් වන තුතන්කාමන් ගේ, ඩී. එන්. ඒ. [DNA] පරීක්ෂණයෙන් පසු, ඒ අනුව පරිඝනක මාර්ගයෙන් තැනුණු රජු ගේ රුව එසේ විය. බොහෝ ‘අමර්නා කාල පරිච්චේද’ වල ඇති මමී හෙවත්, කල් පවතින ආකාරයට තියාගන්නට තැනූ මෘත දේහ වල මේ විකෘත වූ පාද ඇත. [equino-varus-supinated foot]. එයට හේතුව ශුද්ධ වූ රාජකීය ලේ, වෙනත් ලේ සමඟ සම්බන්ද නොවීමට කල, පවුල් ඇතුළත ඇතිවන විවාහයන් වේ.
ඊට අමතරව හදවතේ සිට වෙනත් ඉන්ද්‍රියයන්ට ලේ ගමන් කිරීමේ අපහසුතා ඔහුගේ ශරීරයේ තිබිණ. [Köhler’s disease]. මේ හේතු නිසා ඔහු මිය එන්නට ඇතැයි කියා ජාන විද්‍යාඥයෝ අනුමාන කරති. එහෙත් ඉතා නිවැරදි පිරමීඩ තාක්ෂනය මෙන්ම වෙදැදුරු කර්මයද දන සිටි පැරණි ඊජිප්තු ජාතිකයන් මේ වැරදි විවාහ පිළිවෙත දැන සිටියේද යන්න ප්‍රශ්නයකි. සමහරවිට පැවතුනු රජයේ නීති වලට ඒ දැනුම අදාළ නොවෙන්නට ඇත.බොහෝ විට ඔවුන් මෙයත් දෙවියන්ගේ ශාපයක් යයි කියන්නට ඇත.
මේ අකාරය ඇති ඇටකටු පද්ධතියක් හෙවත් සැකිල්ලක් ඇති කෙනෙක්, ශරීරයේ බර සමතුලිත නැති හෙයින් ඇවිදින විට පමණක් නොව නැගිට සිටින විටදී පවා අති විශාල වේදනාවක් දරන්නට ඇති යන්න කායව්‍යවච්චේද විද්‍යාඥයෝ කියති. මේ හේතුවෙන් ඔහු සැමවිටම වැටෙන්නට ඇත. සමහර අය අනුමාන කරන විදියට තුතන්කාමන් රජු මියගියේ වැටීමකිනි.
අවාසනාවට අදද මේ සිරිත බොහෝ මැද පෙරදිග ජාතීන් අතර පවතී. එකම පව්ලේ අය විවාහ නොවුනද, ළඟ ඥාතීන් ගේ විවාහ සිදු වේ. ඒ හේතුව නිසාම මෙවැනි විකෘති දරු උපත් මෙන්ම තැලීසීමියාව යන රෝගයද බහුලව ඇති වේ. පැරණි ඊජිප්තුවේ නම් මෙය සිදු වූ මුල් හේතුව, රජු මහ දෙවියන් නිරුපනය කරන්නේය, එවිට රජුට නෑදෑයන් වන අනෙක් අය රජුට සම්බන්ද විය යුතු නැත. දෙවන හේතුව සහ මැද පෙරදිග අද පවතින ගෝත්‍රික විවාහ වලට හේතුව වූයේ ධනය නොබෙදී ආර්ථික සහ සමාජ ස්ථාවරය පවත්වා ගෙන යාම වේ.
දහ අටවන ඊජිප්තියානු රාජධානියේ (Dynasty) රජ වරුන්ගේ පුතුන් සහ දූ වරුන් අතර විවාහ සිදුව ඇත. පියා සහ දුව අතර විවාහ සිදුව ඇත.
(Thutmosis II, Thutmosis III, Thutmosis IV, Amenhotep III). දුව යනු මවගේ නැවත පැමිණීම සහ නව රැජින විය. ඉහත රුපයෙන් පෙන්වන තුතන්කාමන් රජු එකම පව්ලේ සහෝදරයෙක් [Akhenaton] සහ සහෝදරියක් අතර සිදු වූ විවාහයක ප්‍රතිපල විය. එය නිගමනය කරන ලද්දේ, ඉතා පරීක්ෂාවෙන් කල ජාන විශ්ලේෂණයක ප්‍රතිපලයක් ලෙසිනි.
තුතන් කාමන් භූමදානය කල අති විශාල සොහොනේ සැරයටි විශාල ගණනක් තිබුණි. එය සැරයටි 130 ක් බව එක සටහනක දැක්වේ. එනම් එම සැරයටි වෙලින් පෙන්වූයේ ඔහුට යම්තමින් හෝ ඇවිදින්නට හැකි වූ කල සිට මැරෙන තුරුම පාවිච්චි කල සැරයටි වේ. ඔහුගේ මේ බකල් කකුල් නිසා, එදා තිබුණු චැරියට් රථයේ හිඳ ගන්නට ඔහුට නොහැකි වුනා යයි විද්‍යාඥයෝ අනුමාන කරති.
ලංකාවේද ඇවස්ස නෑනා-මස්සිනා අදද අනුමත කෙරෙන අවස්ථාවන් පවතී. එය පරම්පරාවක් ඈතට ගෙන යන්නට සෞඛ්‍ය සම්පන්න ජනතාවක් හැදෙන හොඳ ක්‍රමයක් නම් නොවේ. ඒ විවාහ අනුමත කිරීම කල යුතු නැත.
ඇඩම් (හෙවත් ආදම්) සහ ඊව් (හෙවත් ඒව) ගෙන් මනුෂ්‍යයා බිහි වුනා යයි විශ්වාසයන්ට මේ ආකාරයේ විද්‍යාත්මක සොයාගැනීම් මරු පහරකි. ඒ මුල් යුවලක් සිටියා නම්, ඔවුන්ගේ දරුවන් අතර විවාහ සිදු විය යුතුය. වාසනාවට එසේ වී නැති හෙයින් අපට ඇවිදින්නට සහ සාමාන්‍ය ජීවිත ගත කරන්නට හැකිවී තිබේ.
Leave a Reply