පිරමීඩයක් ඇතුලත වසර දහස් ගණනක් තිබි මමියකට පණ තිබුනේ නම්, …“මා කාළය ඝනවී මිදී ගිය ස්ථානයක සිටියෙමි”… යයි ප්‍රකාශ කරන්නට තිබිණි. එනම් මේ මමිවල නිසළ මුහුණෙන්, ඈත අතීතය ගැන නිහඬ කතාවක් කියා පාන්නේය.
මරණය ප්‍රතික්ෂේප කල සමාජයකට අයත් මේ මමී වල මුහුණු, නොයෙක් ආකාරයේ අදහස් පෙන්වයි. සමහර මමිවල මුහුණු සතුටෙන් සිටිනවා මෙන් පෙනෙන අතර, සමහර මුහුණු වල දුකක් ඇත. තවත් සමහරක් මුහුණු වල තේජස පිරී පවතින්නේ, වසර දහස් ගණනකට පෙර ලෝකය ඔවුන් විසින් පාළනය කලේ මෙසේ යයි කියනවාක් මෙනිය. මෝසෙස්ව ඊජිප්තුවෙන් පන්නා දැමූ රැම්සේස් රජුද, අකාලයේ මිය ගිය අංග විකළ තුතන්කාමන් රජුද මේ මමී අතර ඇත.
මමිකරණය කල රාජකීයයන්ගේ දෑත් පපුව ඉදිරිපස කතිරයක් මෙන් තබා තිබූ අතර, ස්ත්‍රීන්ගේ දෙඅත් බඳ ට සමාන්තරව තබන ලදී.
මමිකරණය යන්න ලොවට අලුත් දෙයක් නොවිණි. ක්‍රිස්තුස් වහන්සේගේ දේහයද මමිකරණය කලේ යයි සඳහන් වේ. ඒ සඳහා රාත්තල් සීයක රසායනික ද්‍රව්‍ය අවශ්‍ය වූ බව, ‘ජෝන්ගේ ගොස්පෙල්’ වල සටහන්ව ඇත. කෙනෙක් මිය ගිය විට, සිරුර කාලයක් තබා ගන්නා නොයෙක් ක්‍රම තිබිණ. මහා ඇලෙක්සැන්ඩර් රජු මිය ගිය විට, සිරුර මී පැණි වල බහා තිබුණි. ලෝර්ඩ් නෙල්සන් ගේ දේහය බ්‍රැන්ඩි වල බහා තිබුණි. මෑත ඉතිහාසයේ ජීවත් වූ ‘ලෙනින්’ ගේ සහ ‘මාඕ සේතුන්ගේ’ සිරුරු ද සංරක්ෂණය කර ඇති නමුදු, ඒ සඳහා ගන්නා ලද රසායනික සංයෝග අප්‍රකටය.
අද දින ගෝවේ කිතුණු පල්ලියක ඇතැයි කියන ශාන්ත ක්ෂේවියර් නමැති පූජකයා, ලංකාවේ සිටි, ‘ශ්‍රී රාහුල හිමි’ නම් විද්වත් බෞද්ධ භික්‍ෂුන් වහන්සේගේ යයි කියනු ලැබේ. මිය යෑමෙන් පසු උන් වහන්සේගේ දේහය ජරා ජීර්ණ නොවූ හෙයින්, ඒ පුවත එකල ලංකාවේ මුහුදු බඩ පළාත් පාලනය කල පෘතුගීසීන්ගේ කණ වැකුනි. ශාන්ත ක්ෂේවියර් නම් පූජකයාගේ යයි කියන්නට, පෘතුගීසින් විසින් උන් වහන්සේගේ දේහය ඉන්දියාවේ ගෝවට රැගෙන යන ලද්දේය යන්න, ශ්‍රී රාහුළ හිමි ජීවත් වූ වීදාගම ප්‍රදේශයේ ජන ප්‍රවාදයකි.
සිරුර නරක් වීමක් නොවූයේ, උන් වහන්සේ ශ්‍රී සිද්ධාර්ථ නම් තෛලය ශරීරගත වූ නිසාය යයි කියති.
ඊජිප්තුවේද සිරුරු නරක් නොවන ආකාරයේ ක්‍රම භාවිතා කලද, ඊට හේතුව වන්නේ නැවත උත්ථානය වීමේ බලාපොරොත්තුව වේ. මේ සිරිත ඒබ්‍රහමික ආගම් වලට පැමිණි බව පෙනේ. මිය ගියද, ශරීරය ආදාහනය කිරීම ඊළඟ ජීවිතයට බාධාවක් යයි සමහරු අදහති. මේ ඇදහීම ඒ පැරණි ඊජිප්තුවේ මුළින්ම මුල් බැස තිබූ හෙයින් මමිකරණය කිරීමේ ක්‍රියාවළිය, එකළ විශාළ කර්මාන්තයක් වන්නට ඇත. අද දින සොයාගෙන ඇති අයුරෙන් සුරක්‍ෂිතව ඇති පැරණිම මමී වල වයස අවුරුදු පන්දාහකට සමීප වේ.
ක්‍රිස්තු පූර්ව 2500 පමණ කාලයක සිට තවත් අවුරුදු 3000 ක් පමණ ඉදිරියට මේ කර්මාන්තය නොකැඩී පැවතින.
ලෝකයේ ඇති වටිනාකම මනින්නට බැරි කෞතුකාගාරයක් සේ ඊජිප්තියානු කෞතුකාගාරය ප්‍රසිද්ධ වේ. එයට හේතුව, එය එහි ඇති අප්‍රමාණ රත්‍රන් ප්‍රමාණය නිසාම නොව, ඉතා ඈත අතීතයට යන බොහෝ තොරතුරු එහි ඇති කෞතුක භාණ්ඩ වලින් නිහඬව පෙන්වන හෙයිණි.
පුරාණ ශිෂ්ටාචාරයක ඇතිවීම සහ නැතිවීම මෙන්ම, ඈත අතීතයේ මිනිස් ක්‍රියාකාරකම් දැන ගැනීමටද, මමිකරණය වැනි දේ හරහා එදා පැවතුනු ඇදහීම් දැන ගැනීමටද, මේ කෞතුක භාණ්ඩ සහ මමිකරණය කල වියැළී ගිය, රැළි වැටුණු, අවුරුදු දහස් ගණන් පැරණි දේහයන් ප්‍රයෝජනවත් වේ.
ඊජිප්තු කෞතුකාගාරයේ තිබි, ‘රාජකීයයෙක් වන රැම්සෙස් II රජුගේ දේහය’ බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් නරක් වන්නට වූ කල එය සංරක්‍ෂණ කටයුතු සඳහා 1976 වසරේ ප්‍රංශයට යවන ලදී. ප්‍රංශය එය භාරගත්තේ රජෙක්ට දක්වන සැළකිලි දක්වමිනි. ‘කොබෝල්ට් 60’ යන විකිරණශීළී රසායනික ද්‍රව්‍ය ආලේපනයෙන් පසු රජුගේ දේහය නැවත ඊජිප්තුවට යවන ලද්දේය. එය නැවත ඊජිප්තුව පිළි ගත්තේ ආචාර වෙඩි මුර සහිතව රතු පලසක් මතිනි. මියගියද ඔහු රජෙක් විය.
පස් වන ශතවර්ෂයේ සිටි ග්‍රීක ඉතිහාසඥයෙක් වන හෙරඩෝටස් විසින් මමිකරණය කල ආකාරය ඇසින් දුටු සාක්‍ෂි අනුව ලියා ඇත.
ඒ අනුව, රාජකීයයකගේ දේහය මමිකරණය කිරීමේ ප්‍රථම පියවර වන්නේ නයිල් නදියේ මේ සඳහා සකසා ඇති විශේෂ යාත්‍රාවක දේහය තබා, මරණය මුර්තිමත් කරන බටහිර දිශාවේ ඉවුරට රැගෙන යෑමය. ඉන් පසු එහිදී ප්‍රධාන පූජකයාගේ අනුදැන්මෙන් සහ යාඥා පූජා විධි සිදු කෙරෙන අතර කෙරෙන මමිකරන ක්‍රියාවළිය ඒ සඳහා සකස් වූ විශේෂ කූඩාරමක ආරම්භ වේ. ප්‍රධාන මමිකරන ශිල්පියා නරියෙක්ගේ වෙස් මුහුණක් පැළඳ සිටින්නේ මරණයට අධිපති ‘අනුබිස්’ දෙවියන් මුර්තිමත් කිරීමටය.
අනුබිස් දෙවියන්ට නරියෙක්ගේ මුහුණක් ඇති වන්නට හේතුව කුමක් වන්නට ඇත්ද යන ප්‍රශ්ණයට, ඊජිප්තියානු ඉතිහාසය ප්‍රගුණ කල ප්‍රංශ විද්වතෙක් දුන් පිළිතුරද වටී. එනම් රාජකීය නොවන සාමාන්‍ය පුද්ගලයෙක්ගේ දේහය කතරට ඇද දැමූ විට, ඒ දේහය කා දමන්නේ කතරේ ඉබාගාතේ යන නරින් විසිණි. නරින් සහ මිනිසාගේ මරණය අතර සම්බන්දයක් ඇත යන්නේ ගත යුත්තක් ඇති බවක් පෙනේ.
සෝදන ලද රාජකීය දේහයේ දකුණු පස දෙසින්, බඩ පෙදෙස කැපීම ආරම්භ කෙරේ. එහෙත් චාරිත්‍රානුකූලව මේ කැපීම කරන පුද්ගලයා හැකිතාක් ඉක්මනින් එතැනින් පැන දිව යන්නේ, මිනිස් සිරුරක් කපා දැමීම පාපයක් යන ඇදහීම ඇති හෙයිණි. ඔහුට ගල් මුල් වලින් දමා ගැසීම සහ ශාප කිරීම මෙහිදී සිදු වේ. ඊළඟට වන්නේ සිරුර අභ්‍යන්තරයේ ඇති ඉන්ද්‍රීන් ඉවත් කර, පාෂාණ වලින් තැනූ බරණි වලට ඒවා අඩුක්කු කිරීමය.
විශේෂයක් වන්නේ හදවත පමණක් ඉවත් නොකිරීමය.
ඉන්ද්‍රීන්ගෙන් හිස් වූ දේහයේ ඒ ඒ අඩු තැන් වලට ‘පාම් වයින්’ සහ ‘රෙසින් වර්ග’ පුරවනු ලබන්නේ බැක්ටීරියා ආසාදනය නැවත්වීමටය. මිනිස් සිරුරේ තුන් කාලක් පමණ ඇත්තේ ජළයයි. සිරුරේ ඇති සියුම් පටක වලට හානි නොවී ඒ ජළය ඉවත් කිරීම මමීකරණයේ විශේෂඥයන්ගේ රහස වේ. ශරීරය සෝඩියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් බයිකාබනේට් අඩංගු ස්වභාවික ලවණ වලින් වටකර දින 35 ත් 40 ත් අතර කාලයක් තැබීම ඉන් පසුව සිදු වේ. ජේකබ් ගේ මරණය ඊජිප්තුවේ සිදු වූ කල, ජෝසප් එය මමිකරණය කල යුතු ආකාරය උත්පත්ති [Genesis] පරිච්චේදයේ කියැවිය හැක.
දින 35 -40 කින් පසුව දැන් ඒ ශරීරය ඇකිළී ගොස් ඇත. ඊළඟට ඒ ශරීරය භාර ගන්නේ තවත් විශේෂඥයෙකි. ඔහුගේ රාජකාරිය වන්නේ, සංකෝචනය වූ සිරුර පිම්බීමට, ලිනන් රෙදි සිරුරට ඉතා ප්‍රවේශමෙන් බහා ලීමය. ගැලවූ ඇස් වෙනුවට වටිනා මැණික් ඔබ්බවා ශරීරය තෙල් ගන්වනු ලැබේ. රාජකීයයා ජීවත්ව සිටි කාලයේදී ස්වභාවය හැකිතාක් නැවත ලබා ගැනීම මේ විශේෂඥයා සතු රාජකාරිය වේ. ඊළඟ පියවර වන්නේ ශරීරය රෙදි යාර 150කින් ශරීරය එතීමය.
සම්බුද්ධ පරිනිර්වාණය වූ පසු, ශරීරයට කල යුතු වතාවත් බුදු හිමියන් විසින් ආනන්ද තෙරුන්ට පවසන ලදී. ඒ තොරතුරු ඉහත මමිකරණයට සමානත්වයක් දරයි.
සම්පූර්ණ ඊජිප්තියානු මමිකරණයට දින 70ක් පමණ ගතවේ. දැන් ඇත්තේ මරණයේ ද්වාරයෙන් ඔබ්බේ ඇති ලෝකයට රාජකීයයාව රැගෙන යෑමය. කෙලින් සිටවන ලද මමියේ කට ඇරීම ප්‍රධාන පූජකයා කරයි. ඒ අතර ඔහු, මේ රාජකීයයා ජීවත්ව සිටින බවද, කන බොන බවද රැස්ව සිටින ජනතාවට කියා සිටී. මිය ගියා යන්න නොපෙන්වීමට සහ, මරණය සමරන මමියට සොහොන් කාමරයේ කෑම බීම, ඇඳුම් පැළඳුම් රත්තරන් සහ ඔහු හෝ ඇය ජීවත්ව සිටින කාලයේ භාවිතා කල නොයෙක් දේ තැබීම සිදු වේ. ඉහළ තලයේ රාජකීයයෙක් නම්, ඔහු සමඟ බොහෝ දෙනා සොහොනේ වැළලී යන්නේ චිරාගත සම්ප්‍රදාය අනුව වස පානයෙන් පසුවය.
සොහොන් කඩන හොරුන් මංකොල්ලකරුවන් වටිනා වස්තුන් සොහොන් ගෙවල් වල ඇති බව දැන සිටියහ. එසේ හෙයින් ඔවුන්ගෙන් මේ මමිකරණය කල මමී ඇති සොහොන් ශාලා ආරක්ෂා කිරීමට නොයෙක් ආකාරයේ රහස් ක්‍රමද එකළ භාවිතා විය. ප්‍රසිද්ධ පුද්ගලයෙක් සේ මේ සොහොන් ඇර මමී සොයා ගැනීම කල කෙනෙක් වන්නේ, ‘නැපෝලියන් බොනපාර්ට්’ වේ. මේවා දැක පුදුමයට පත්වූ ඔහු, ඔහුගේ පෙම්වතිය වූ ‘ජෝසෆින්’ ට මමී දෙකක් තෑගී කර ඇත්තේ ඇයගේ විසිත්ත කාමරයේ සැරසිල්ලක් මෙන් තබා ගැනීමටය..!!.
මමිකරණයේදී හදවත ඉවත් නොකරන වැදගත් හේතුවකි. එනම් මරණයේ ද්වාරය හරහා ඔසිරිස් දෙවියන්ගේ ශාළාව වෙත මිය ගිය කෙනෙක් පැමිණෙන විට, අනුබිස් දෙවියන් විසින් ඒ ඉවත් කරන ලද හදවත තරාදියක තබා අනෙක් පැත්තේ කුරුළු පිහාටුවක් තබා බර කිරනු ලැබේ. කිසියම් හේතුවක් නිසා හදවත කුරුළු පිහාටුවට වඩා සැහැල්ලු නම් සදාකාලික ස්වර්ගය වෙත ඔහුව යොමු වේ. කිසියම් හේතුවක් නිසා හදවත කුරුළු පිහාට්ටට වඩා බර නම්, ඒ හදවත තරාදිය අසළ ඇති නරියාට කෑමට දෙනු ලැබේ. ඉන්පසු ඒ පුද්ගලයා කියා කෙනෙක් නැත.
ඊජිප්තියානු ක්‍රමයට කෙනෙක්ට ස්වර්ගය වෙත යෑමට නම් හදවත සැහැල්ලු විය යුතුය.
අපේ හදවත කෙතෙක් නම් සැහැල්ලුද ?
ඔබ සිතන්නේ ඔබට සදාකාලික ස්වර්ගයට ගිය හැක කියාද ?
[මූලාශ්‍ර :- ඊජිප්තියානු කෞතුකාගාරය]
Leave a Reply