මළවුන්ට ගෞරව කල හැකි හොඳම ක්‍රමය කුමක්ද ?

IMG00974-20110218-1038මේ ප්‍රශ්ණයට විවිධ ආකාරයේ පිළිතුරු තිබිය හැක. මිය ගිය දිනයේ නම් දේහයට ආචාර කරන්නට යන අතර, සමහරවිට මල් වඩමක් ගෙන යාමද සිදුවේ. ගම් වල නම්, මළ ගෙදරට සීණි කිලෝ එකක් දෙකක් ගෙනයාම සිරිතකි.

පසු දිනෙක, කෙනෙක් මළවුන්ට ගෞරව කරන්නට ආගමික වතාවත් වල යෙදෙන අතර, තවත් කෙනෙක් සිතෙන් පමණක් මිය ගිය තැනැත්තා අනුස්මරණය කරනු ඇත. කෙසේ වුවද මේ ආගමික වතාවත් මෙන්ම, අනුස්මරණයන්ද කාලයාගේ ඇවෑමෙන් ක්ෂය වී අවසානයේ නැත්තටම නැති වී යනු ඇත. මියගිය පුද්ගලයා මෙන්ම මිය ගිය දිනයද දිනෙක අමතක වේ. එය ස්වභාවික දෙයකි. එය එසේ නම් කුමක් නිසා මිය ගිය කෙනෙක් වෙනුවෙන් සොහොන් කොත් තනන්නේද ?

ඔබ විශාල සොහොන් භූමියකට ගොස් තිබේද ? විශේෂයෙන් ගහ කොළ ඇති රටක, සොහොන් භූමියකට යෑම ඉතා සුන්දර අත්දැකීමක් වේ. එහෙත් ඒ සොහොන් භුමියේ යකුන් පෙරේතයන් සහ මිය ගියවුන්ගේ ආත්ම ඇතැයි සිතා යන කෙනෙක්ට නම් නූල් බැඳීමට පවා සිදු වන්නට ඉඩ ඇත. බොරැල්ලේ කනත්ත බැලීමට වටින තැනකි. එය උදේ 7 සිට සවස 4 තෙක් විවෘත කර ඇත. සියළුම ආකාරයේ ආගමික ස්ථාන ඇති එහි, එක් අඩුපාඩුවක් වන්නේ, එවැනි නිසළ පරිසරයක තිබිය යුතු පුස්තකාලයක් නැති වීම පමණි.

තවත් කෙනෙක්, මෙහි බාර් එකක් තිබිය යුතු යයි තර්ක කරනු ඇත. එහිද වරදක් නැත.

යුදෙව් මිතුරෙක් සමඟ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට සමීප සොහොන් භුමියකට ගිය විටදී ගත්, ඔහුගේ පියාගේද මුත්තෙක් වන සොහොනක් පින්තුරයේ තිබේ. මේ සොහොන් ගැන ඉතිහාසය සොයා පරම්පරාවේ සුල මුල සොයා ගත හැකි වුවද ඉන් පලක් නම් නැත්තේ, අද දින මේ සඳහා DNA පරීක්‍ෂණ සහ මෘධුකාංග පහසුවෙන් කල හැකි බැවිනි.

පරිසර හිතවේදියෙක් වන මිත්‍රයා කියා සිටියේ, මේ ආකාරයේ සොහොන් වලින් ලොවට ඇති ප්‍රයෝජනයක් නැති බවය. නමුත් ඔවුන්ගේ ආගමේ ආකාරයට මිය ගිය තැනැත්තා ලෝකයේ අවසාන දිනයේ කෙරෙන අවසාන විනිශ්චය තෙක් සොහොනේ සිටී. මෙය ඉස්ලාමයේද විශ්වාසය වේ. එහෙත් ස්වභාවික හෝ මිනිස් අතෙන් කෙරෙන ක්‍රියාකාරකම් නිසා, ලෝකයේ අවසානය තියා, සියවස් කීපයක් වත් දේහයේ කොටස් නොතියෙනු ඇත. වාසනාවට මේ යතාර්ථය දැන් දැන් මිනිසුන් තේරුම් ගනිමින් සිටිති.

මිය ගිය ආදරණීයයන් වෙනුවෙන්, භක්තියෙන් තනන ලද සොහොන් කොත් විනාශ කිරීමක් මෙහි නොකියැවේ. එහෙත් ඒ සොහොන් කොත් අසළට ගොස් අනුස්මරණය කරන්න කෙනෙක් නැතිනම්, ඒ සොහොන් කොත් ගරා වැටී ජරා ජීර්ණ වී ඇත්නම්, එයින් ඇති ඵලය කුමක්ද ?

ලංකාවේ තත්වය ගැන සොයා බැලුවහොත් එය මෙසේ වේ.

මළවුන් ගැන කියන විට ලංකාවේ ඇති සොහොන් භුමිද සංවාදයට බඳුන් වේ. කොළබ බොරැල්ලේ කනත්තේ වර්ග ප්‍රමාණය අක්කර 48ක් වේ. දිනෙන් දින වැඩිවන ඉඩම් මිළ අනුව කොළබ නගරය මධ්‍යයේ ඇති මේ භුමි ප්‍රමාණය කොතරම් වේද ? දළ ගණනයක් කළහොත්, එනම් එහි එක පර්චසයක් ලක්ෂ 40ක් නම්, මේ සොහොන් භුමිය  රුපියල් ලක්ෂ 30,270 ක් හෙවත් රුපියල් මිලියන 3000 ක් පමණ වේ. මෙය විශාල මුදලකි. මේ භුමිය මීට වඩා ප්‍රයෝජනවත් සේ ජීවත් වන්නන්ටද භාවිතා කිරීමට සූසර කල නොහැකිද ?

කෙසේ වුවද මිය ගිය අය ජීවත් නොවන හෙයින්, මේ භුමිය මිය ගිය අයට නම් පලක් නැත.

ඔබ මේ භුමියේ ඇවිද තිබේ නම්, මේ භුමියේ ඇති සමහර සොහොන් අවුරුදු සිය ගානක් පැරණි බව අවබෝධ කර ගන්නවා ඇත. බෞද්ධ හින්දු, ෂින්ටෝ, මුස්ලිම්, රෝමානු කතෝලික, කතෝලික, ඇන්ග්ලිකන් යනාදී විවිධ ආගම් සහ විවිධ ජාතීන්ට අයත් බොහෝ මළ ගිය ඇත්තෝ මෙහි සාමයෙන් වාසය කරති. සාමයෙන් වාසය කරනවාය යි කියුවේ, පණ පිටින් සිටිනවා මෙන් නොව, මියගිය පසු මිණී මරා ගැනීමක් එහි නොවන හෙයිණි.

එහෙත් ජාතිය ආගම කුමක් වුවද, ඒ සොහොන් වල තැන්පත් කර ඇති මිනිස් කොටස්ද මේ වන විට පස් බවට හැරී, මිහිකතේ කොටස්ව තිබෙනු ඇත.

සත්‍ය වශයෙන්ම මිනිසෙක් මිය ගිය විට සොහොනක් තැනීමේ තේරුමක් තිබේද යන්න විවාදයට භාජනය වන දෙයකි. විශේෂයෙන්ම වැඩිවන ජනගහනය හමුවේ, සීමිත සම්පතක් වන භූමියෙන් කොටසක් මිය ගිය කෙනෙක්ට වෙන් කිරීම කොතරම් දුරට සදාචාර සම්පන්නද යන්න ගැටළුවකි. විශේෂයෙන්ම ජනාකීර්ණ ස්ථාන වල සොහොන් තැනීම ?

6a00d83534a43169e200e54f29d9158834-800wiමිය ගිය කෙනෙක් අනුස්මරණය කිරීමට ඊට වඩා හොඳ ක්‍රමයක් නැතිද යන ප්‍රශ්නය සිතට නැගේ. එසේ අනුස්මරණයක් කලද, මිය ගිය පුද්ගලයාට ඒ ගැන අවබෝධයක් ඇති වේද යන්න කිසිදා නොවිසඳෙන ප්‍රශ්ණයකි. එය එසේ නම් කල යුත්තේ, කාලයක් ගොස් අමතක වන කොන්ක්‍රීට් ඉදි කිරීම් හේතුවෙන් භුමිය විනාශ නොකර, එම පුද්ගලයාගේද නමටද ගෞරවයක් වන සේ ප්‍රයෝජනවත් ගොඩනැගීමක් කිරීමය. එහෙත් කුඩා ඉඩ ප්‍රමාණයක එය කිරීම අපහසු හෙයින්, එහි නුග, කොස්, නැදුන් හෝ තේක්ක වැනි කාලයක් පවතින ගසක් සිටවීම වඩාත් සුදුසු දෙයක් වනු ඇත.

එයින් ලොව වැඩිවෙමින් පවතින කාබන් විමෝචනයවත් අඩුවනු ඇත. 

සමහර අවස්ථාවලදී පවුලේ සුසාන භුමිය යයි කියැවෙන විටදී බොරැල්ලේ සුසාන භුමියේ, එක් එක් පැරණි පවුල් වලට අයත් සොහොන් කොටස් පුවත් පත් වල විකිණීමට ඇත. මෙය පරිසරයට ආදරේ කරන, එවැනි දෙයකට ආයෝජනය කල හැකි මුදල් තිබෙන කෙනෙක්ට මිළට ගත හැකි දෙයක් වේ. ඒ මිළට ගන්නා කොටසේ ගසක් වැවීමේ කතිකාවතක් ඇති වන්නේ නම්, අඩුම තරමේ තවත් සියවස් භාගයකින් හෝ කොළබ නගරය මධ්‍යයේ අපූරු උද්‍යානයක් නිර්මාණය වනු ඇත.

විශේෂයෙන්ම වාහන වල දුම්, කාබන් විමෝචනය ඇති නගරයක් මධ්‍යයේ උද්‍යානයක් තිබීම පරිසරය අතින් ඉතා හොඳ දෙයකි. අන්තර්ජාලයේ සහ ලංකාවේද මේ හා සම්බන්ද විස්තර සොයා බැලූ විට පහත විස්තර සොයා ගැනීමට හැකි විය. 

ඇමරිකාවේ උතුරු කැරොලිනාවේ, මහළු සංගීත ගුරුවරියක් මිය ගිය විට, ඒ පව්ලේ අය කියා සිටියේ ඇය සඳහා කරන ගෞරවාචාරය උදෙසා, විගස පරවන මල් වලට මුදල් නොගෙවා ඒ මුදල් වලින් ගමේ පල්ලියේ ඇති පැරණි වුනු ඕර්ගනය නඩත්තු කිරීමට හැකි බවය. මේ අමුතු ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන්, පැරණි ඕර්ගනය නඩත්තු කිරීමට නොව, නව ඕගණයක් ඒ එකතු වූ මුදලින් ගත හැකි විය.

එංගලන්තයේ ඉතා උස පුද්ගලයෙක් මිය ගිය විට, ඥාතීන් කියා සිටියේ ඔහුට ගෞරවයක් සේ දිගැති ඇඳක් සඳහා ආරෝග්‍යශාලාවට මුදල් බැර කරන ලෙසය. උස මිනිසුන් මිය ගිය විට, දේහවල පාද නවා තැබීම අවසන් විය. දිගැති ඇඳන් කීපයකට මුදල් එකතු විය.

ඇමරිකාවේ ප්‍රින්ස්ටන් සරසවියේ උපාධිධාරියෙක් මෙන්ම පාපන්දු ක්‍රීඩකයෙක් වූ යුධ භටයෙක් වියට්නාමයේ මිය ගියේය. ඔහුගේ ඥාතීන්ද හිතවතුන්ද එකතු වී, ඔහුගේ නමින් ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ආරම්භ කළහ. 

ඇමරිකානු ජනාධිපති කෙනෙක් වූ කෙනඩි සහ මාටින් ලුතර් කින් මියගිය විට, ඒ භුමදානයන් සඳහා මල් නොඑවන සේ ඉල්ලීම් කෙරිණ. රවින්ද්‍රනාත් තාගෝර් හින්දුවෙක් වුවද, ඔහුගේ මළගම සරළ සහ චාම් සේ මිණී පෙට්ටියක් හෝ නැතිව කිරීම අන්තිම කැමැත්ත විය.

සුප්‍රසිද්ධ බෞද්ධ යතිවරයෙක් වූ පොකුණුවිට රජ මහා විහාරයේ වාසය කල, ‘රේරුකානේ චන්දවිමල තෙරුන් වහන්සේගේ’ අන්තිම කැමැත්ත වූයේ, මියගිය වහාම හැකි ඉක්මනින් දේහය දැවීමටය. ඒ සඳහා ලී මැස්සක් පමණක් භාවිතා කරන්නට උපදෙස් ලැබී තිබිණ.        

ඉහත ලියු ‘මිය ගිය කෙනෙක් වෙනුවෙන් ගසක් සිටවීම අලුත් දෙයක් නොවේ. 1969 වසරේ නිව්යෝක් නගරයේ තිබී උද්භිද විද්‍යා සංගමය මගින්, “A tree for New York” නමින් වැඩ සටහනක් දියත් කරන ලදී. ඒ අනුව මිය ගිය කෙනෙක් වෙනුවෙන් එම සංගමයට ලැබෙන මුදලින් ගසක් සිටවීම, ගසක් කප්පාදු කිරීම, සංගමයේ උන්නතිය සඳහා මුදල් එකතු කෙරිණ. 

මේ ආකාරයේ භූමදාන සහ ආදාහන වලට කියන්නේ Nature burial කියාය. එවැනි මළගම් ජපානයේ, එංගලන්තයේ ඕස්ට්‍රේලියාවේ කැනඩාව වැනි රටවල් වල දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතී. ඇත අතීතයේ අපගේ මුතුන් මිත්තන් මිය ගිය විට, ඒ දේහ ටික කලකට හෝ නරක නොවී තබා ගන්නට ‘ෆෝමැල්ඩිහයිඩ්’ භාවිතා කලේ නැත. භූමියට අහිතකර රසායනික ද්‍රව්‍යයක් මළගමක් හරහා එකතු වුනේ නැත. අප පොළවෙන් නැගී සිටියෙමු. දිනෙක පොළවට පස් විය යුත්තෙමු.   

ජීවිතයේ මෙන්ම මරණයේද යම් අරුතක් ඇත. ඒ අරුත් නිසා ලොවේ ජීවත්ව සිටින මිනිසුන්ට කුඩා හෝ සෙතක් සැළසෙන ආකාරයේ දෙයක් කිරීම වටී. 

මිය ගිය අන් අය සඳහා සමහරවිට තීරණ ගැනීමට අපට නොහැකි වුවද, අපගේ මරණය සඳහා අපට තීරණ ගැනීමට හැකියාව ඇත.

මක්නිසාදයත් ජීවිතයේ අයිතිය මෙන්ම, මරණයේ අයිතියද අපගේම හෙයිණි.        

 

One thought on “මළවුන්ට ගෞරව කල හැකි හොඳම ක්‍රමය කුමක්ද ?

Add yours

  1. /// දළ ගණනයක් කළහොත්, එනම් එහි එක පර්චසයක් ලක්ෂ 40ක් නම්, මේ සොහොන් භුමිය රුපියල් ලක්ෂ 30,270 ක් හෙවත් රුපියල් මිලියන 3000 ක් පමණ වේ. මෙය විශාල මුදලකි. ///

    ගණනයේදී බිංදුවක් හැලිලා, ඒ වගේම ඔය හරියේ පර්චස් එකක් ලක්ෂ 100 ටත් වඩා ගොඩක් වැඩි වෙයි, විශේෂයෙන්ම ලොකු ඉඩමක් නිසා…

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: