පොඩ්ඩාගේ ලෝකය 10 – බලු කපුටු දානය. (පොත ප්‍රින්ට් කළා)…

 
වෙසක් කාලයට ගමේම දන්සැල් තුනක් පැවැත්වේ. වෙසක් බලන්න හොරණට යන විට දකින්න ලැබෙන දන්සැල් දහ පහළොවකි. මේ එකම තැනකින් වත් දෙන දාන වලින් ගමේ ඉන්නා බල්ලන්ට නම් පලක් නැත. මේ බල්ලන් කාට බිරුවද, අප කීප දෙනෙක් සමඟ හිතවත් වී ඇත්තේ අප යන යන තැන ඔවුන් පස්සෙන් එන නිසා මෙන්ම, කන බොන දෙයක් වුවද අප ඔවුන් සමඟ හවුලේ බුදින හෙයිණි.
 
මහ රෑ අප ගමන් යන හේතුවෙන් බල්ලන්ගේ මිත්රත්වය ඉතා වැදගත් විය. විශේෂයෙන්ම රාත්රී කාලයේ නිවාස වලට හොරෙන්, වෑතර සිනමා ශාලාවේ චිත්රපට බලන්නට යාම සිරිතක් කර ගෙන සිටි නිසා, අප පිරිසක් ගියද බල්ලන්ව නිශ්ශබ්ද කර තැබීම වැදගත් විය. මේ යන ගමනේදී අවට ඇති පොල් ගස් වලින් කුරුම්බා කැඩීම වැනි අවස්ථා සඳහා බල්ලන් ගේ බිරීම නැවැත්විය යුතු විය.
 
රෑ දොළහට හන්දියේ බේකරියෙන් බාන සුදු පාන් උණු උණුවේ මුලින්ම කන්නේ අපි විසිණි. එයින් කොටසක් සිනමා හළ තෙක් යන පාරේ සිටින බල්ලන්ට දීමට රැගෙන යන්නෙමු. සිනමා හළ ගැනද කිවහොත්; එකළ ගැලරියේ හැර වෙන පංතියක චිත්රපට බලන්නට අපට මුදල් නොතිබිණි. ගැලරියේ චිත්රපට නරබන්නේ කොල්ලෝ සහ ගංජා කාරයන් පමණි. එහි බිම සිමෙන්ති නොතිබුනේ සුදු වැළි දමා තිබිණ. චිත්ර පටය බලා එතනම මුත්රා කර ඒම, අපට විනෝදයක් විය. යම් හෙයකින් චිත්ර පටය අතර මඟදී පටිය කැඩී ගිය විට කියන හූ වරුසාවට අප මහත් සහයෝගයක් දුන්නෙමු.
 
මේ ගමන් වලදී ඉතා වැදගත් දෙයක් කිරීම අනිවාර්ය විය. එනම් ගමේ සීමාව ඇති තුන් මන් හන්දියේ සාමාන්යයෙන් තියා ඇති පෙරේත තටු ගෙන විත් අපට එකල ප්රශ්න ඇති කල අයගේ නිවාස වල ඉදිරියෙන් තැබීම විය. මේවා හොර රහසේ කල යුතු විය. පෙරේත තටුවේ තබා ඇති තැබිලි ගෙඩි සහ, කොකිස් කැවුම් වැනි රසකැවිළි අපට අග්ර භෝජනයක් විය.මේවා කනවා තියා අල්ලන්නවත් කෙනෙක් කැමති වුනේ නැත්තේ, එමගින් භූත දෝෂ ඇතිවෙනවා යයි විශ්වාසය නිසා විය. එහෙත් අපට නම් ඇති වූ භූත දෝෂයක් නැත.
 
ගැමියෙක් විසින් එසේ තබන ලද පෙරේත තටුවක ඇති බත් පිඟාන රාත්රී කාලයේ පිළුණු වී ඇති හෙයින් එය කෑමට අප උත්සාහ නොකලමු. නමුත් අප රාත්රියේ ගමන් යනවිට අප පස්සෙන් එන බල්ලන්ට ඒ බත් පිඟාන දෙන්නෙමු..
 
විශේෂ රැකියාවක් නොකළ ගමේ සිටි මෙතියෙස් අයියා සමඟ බල්ලෝ බොහෝ දෙනෙක් හිතවත් වන්නේ, ඔහු රාත්රී කාලයේ ඇලේ දොළේ වක්කඩේ මාළු බාන හෙයිනි. ඔහු තනිකඩයෙකි. මාළු බා, ඔවුන් බැද එයින් කොටසක් බල්ලන් බළලුන්ට දීම ඔහුගේ සිරිත විය. අප ඔහුට මෙතියෙස් අයියා කීවද, ඔහු මැදිවියේ කෙනෙක් විය.
 
මේ දන්සැල් වලින් මෙන්ම ඊට පෙර ඇති අවුරුදු උළෙලේ කරන කියන කිසි දෙයකින් ගමේ සිටින බල්ලන් බළලුන්ට ඇති වැඩක් නැති හෙයින් බලු කපුටු දානයක් දෙමු යන යෝජනාව අපට ලැබුනේ මෙතියෙස් අයියා ගෙනි. දැන් මේ දානය දීමට පොසොන් මාසයද සමාප්ත වන තුරු අප සිටියෙමු. අඩුම ගානේ බල්ලන් දෙතුන් සීයකට දානය දිය යුතුය. බල්ලන් ඇති කරන ගෙවල් වල ලැයිස්තුවක් අප ගත්තෙමු. මේ දානය ගැන ගමේ අයව දැනුවත් කළෙමු.
 
ලස්සනට වටකුරුව ලියන්නට හැකි කෙල්ලන්ට කියා දැන්වීම් අතින් ලියා, ගමට එන පාර දිගේ ඇති ලොකු මාර ගස් වල ඇලෙව්වෙමු. ඒ කාලයේ යාලු වෙන්න ඔන්න මෙන්න කියා සිටි ලස්සණ සීතා ගේ අකුරු හෙණ කැත වුවද ඇයව මුරුංගා ඇත්තේ තබා දැන්වීමක් ලියා ගැනීමෙන්, වඩ වඩා ලකුණු දමා ගැනීමට හැකි විය. ඒ ඇය විසින් පොල් ගෙඩි අකුරෙන් ලියු එක දැන්වීමක් මෙසේ විය.
මහා බලු කපුටු දානය.
 
සත් ගුණවත් දානපතියන්ගේ නොමසුරු පරිත්යාගය මගින් ‘මෙත් සිසිළ අවිහිංසා සංවිධානය’ මගින් ප්රථම වරට ඉදිරිපත් කෙරෙන මහා බලු කපුටු දානය ජූලි මස හත්වන දින උත්කර්ෂවත්ව පැවැත්වේ. ඔබගේ බල්ලාවත් මේ දානයට සහභාගී කර බල්ලන්ට දිනක් හෝ නිදහස දී සහ ඔවුන් විනෝදයට පත් කිරීමේ අප්රමාන පුණ්ය කර්මය සිදු කරගන්න මෙන් මෙත් සිතින් සිහිපත් කරමි.
මෙයට සභාපති,
ලලිත් කරුණාරත්න.
 
දැන් ඊළඟට කරන්න ඇත්තේ බල්ලන් සහ කපුටන් සඳහා කෑම පිළියෙළ කිරීමයි. අම්මාට කියා පින්සෙන්ඩුවී, වී තම්බන කල්දේරම ඉල්ලා ගතිමි. ලොකු පරිමාණයට කරෝල හොද්දක් හැදිය යුතු විය. එක එක යහළුවන් හොද්ද බැගින් ගෙන ඒමට පොරොන්දු වූහ. කාක්කන්ට ගිතෙල් මිශ්ර කරන ලද කිරි බත් දීමට එක ගෙදරකින් පොරොන්දු වී තිබිණ. බේකරියෙන් පරණ වූ පාන් සහ බනිස් ලැබිණි.
 
පොල්ගස්ඕවිට පොළට ගොස් ඌරල් වූ කරෝල කිලෝ ගානක් මිළදී ගත්තෙමු. ගමේ කඩයක් දමා ගෙන සිටි කරෝලිස් මුදළාලිගෙන් ලැබුණු පොල් ගෙඩි විස්සක් පමණ ලෙලි ගසා ගත්තෙමු. තෙපානිස් ගේ අත් ට්රැක්ටරය මේ තනන ලද කෑම ගෙනයාමට යොදා ගතිමු. ඔහු ඒ සඳහා ඩීසල් මිල පමණක් ගෙන උදව් කිරීම අපට මහත් පහසුවක් විය. බලු කපුටු දානය ගමේ කිහිප තැනක පැවැත්වුවත් ප්රධාන ස්ථානය වූයේ පාසැලේ පිට්ටනියට යාබද රබර් වත්තේ විය. අප බලාපොරොත්තු වූ පරිදි බල්ලන් දෙසීයක් නොවුනද , බල්ලන් සෑහෙන ප්රමාණයක් මේ වත්තට ගෙන විත්, රබර් ගස් වල බැඳ තබා තිබුණහ.
 
අපේ බල්ලාට නම දමා තිබ්බේ නංගී විසිණි. අය වැය වාර්තාවේ මොකක්දෝ දෙයක මිළ වැඩි කල නිසා නංගී ඌට දමා තිබුණු නම වූයේ එකළ සිටි මුදල් ඇමතිවරයාගේ නම විය. මේ බල්ලා දරුණු වර්ගයේ එකෙක් වූ නිසා චේන් එකකින් බැඳ ගෙන යා යුතුය.
 
කෙසෙල් කොළ වලට බෙදන ලද කෑම බල්ලන් ඉදිරියේ තබන ලදී. කෑම බෙදා අහවර වූ විට, බල්ලන් බැඳ තිබුණු ලණු ගලවන ලදී. වෙන්නට ඇති ලොකුම ඇබැද්දිය වුනේ මෙන්න මෙතනදීය. කෑම පැත්තක දමා බල්ලන් එකිනෙකා පොර කන්නට පටන් ගැනීම අප කිසිසේත් බලාපොරොත්තු නොවුණු දෙයකි. නා නා ප්රකාරයේ බල්ලන් ගේ බිරුම් හඬ ලෝකයම ගිල ගත්තාක් මෙන් විය. මොනවා කරනවාද යන්න තේරුම් ගන්නට හැකියාවක් අපට නැති විය.
මේ කලබගෑනිය බලන්නට ගමේ භාගයක් දුවගෙන පැමිණියහ. ලනු වලින් මදු ගැසීමේ හැකියාව ඇති වැඩිහිටියන් කිහිප දෙනෙක් විසින් පැයක් පමණ මහන්සි වී බල්ලන් බැඳ අවසාන කරන විට බල්ලෝ දෙදෙනෙක් මිය ගොස්, තවත් බල්ලෝ ගණනාවක් තුවාල වී තිබිණ. මේ වන විට චේන් කඩා ගෙන දරුණු වේෂයක් ගත් අපේ බල්ලා රොනියාගේ කණ ඉරී තිබිණ.
 
මෙසේ බල්ලන් එකිනෙකා මරා ගන්නට හේතුව වූයේ ගමේ රස්තියාදුවේ සිටි වරත්තු බල්ලන්වද බලු කපුටු දානයට බැඳ ගෙන පැමිණි හෙයින් බව වැඩිහිටියෝ කීහ. කළබලය සමථයකට පත් වන විට අම්මාගේ කල්දේරම පෙරළී තැලී තිබිණ. බල්ලාගේ කණ මැසීම සඳහා ගෙන යායුතුව තිබිණ. මේවා වන විට තාත්තා නිවසේ සිටියේ නැත. එහෙත් ඔහු ආ විගස පැවසුවේ,
 
… “තෝ නම්, තුම්පනේ එකෙක් මිසක අපේ ගමේ එකෙක් නම් නොවේ”… යන්නය. තරහ නිවුණු පසු ඔහු කීවේ මෙවැනි වැඩක් කල එකම පුද්ගලයා රජ කාලයේ සිටි සරණංකර හාමුදුරුවෝ යන්නය. පෙනෙන විදියට හාමුදුරුවෝ මට වඩා ලොකු දෙයක් කර ඇත. එනම් ඒ දානය බල්ලන් දාහකට දෙන ලද්දකි. මහා ඝෝෂාව ඇසී රජ්ජුරුවන්ට, රාජ පුරුෂයන් යවන්නට සිදු විය. හේතුව පසුව දැනගත් රජ්ජුරුවෝ කිව්වේ, … “සංඝ රාජ වුනත්, ගම තුම්පනේ”…යන්නය.
 
ගමේ සියල්ලන්ගේ දෝෂාරෝපණය අවසානයේ පැමිණියේ මේ මහා බලු කපුටු දානය යෝජනා කල මෙතියෙස් අයියා වෙතය. ඔහු සති ගණනක් ගමේ සිටියේ නැත. ඊළඟ වග උත්තරකරුවා වූ මා දින කීපයක් පාසැල් නොගොස් සිටියෙමි. මිය ගිය බල්ලන් ගෙන් එකෙක් සීතා ගේ නිවසේ සිටි බල්ලෙකි. එහෙයින් ඒ පෙම් සබඳතාව එතැනින්ම නැවතුණි.
 
අම්මා මගේ හඳහන ගමේ ගුරුන්නාන්සේ ට පෙන්වූ විට ඔහු කියා ඇත්තේ දරුණු අපල ඇති බවත්, නරක ඇසුරෙන් මාව ඉවත් කර තැබිය යුතු බවත්ය. රාත්රී කාලයේ ගමන් බිමන් යෑමෙන් වැළකිය යුතු බවද කියා තිබිණි.
 
පසු වදන :- … “ඔන්න පොත ප්රින්ට් කළා. ඔය තියෙන්නේ එක කොටසක්. හැබැයි මේක වෙළඳ දැන්වීමක් නම් නොවේ මොකද, මට ඒකෙන් සල්ලි ලැබෙන්නේ නැහැ. ඒ විස්තර පොතේ ඇති. මිළ රුපියල් 350/= යි,… මරදානේ දුම්රිය පොළ සිට ඒ පැත්තෙන්ම මීටර් දෙසීයක් පමණ ආනන්ද විද්යාලය දෙසට ඇවිදගෙන යන විට ‘සුරස’ පොත් කඩේ පොත ගන්න තියෙනවා”…
 
…”මේ ලිපි පොතක් විදියට ලියන්න කියූ අයටත්, අනෙක් අයටත් ස්තුති !

One thought on “පොඩ්ඩාගේ ලෝකය 10 – බලු කපුටු දානය. (පොත ප්‍රින්ට් කළා)…

Add yours

  1. // වෑතර සිනමා ශාලාවේ
    මේක තිවුනේ කොයි ඉස්සව්වේද

    //ඌට දමා තිබුණු නම වූයේ එකළ සිටි මුදල් ඇමතිවරයාගේ නම විය
    නඟා උපාලි විජේවර්දනගේ නෑයෙක් වෙන්න ඕනි 🙂
    මෑන්ගේ පත්තරේක කාර්ටුන් එකකත් ඔය බලුසන් හිටියලු.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: