මිනිස් චාරිකා [1] – ආරම්භය.

වට ප්‍රමාණය සැතැප්ම 25,000ක් සහ විෂ්කම්භය සැතැප්ම 8000 ක් වන අප සිටින ලෝකය කුඩා ද විශාලද කියන්න හැක්කේ, තවත් දෙයකට සාපේක්ෂව එය සංසන්දනය කිරීමෙන් පමණි. මධ්‍යතන යුගයේ නම් මිනිසා විශ්වාස කලේ ලෝකය පැතළි බවත් තරු යනු ඒ පැතළි ලොව වසා ඇති පියනක ඇති කුඩා සිදුරු බවත්, ඒ සිදුරු තුලින් ස්වර්ගයේ දීප්තිමත් ආලෝකය ලොවට වැටෙන බවත්ය.

දේව දූතයන් ඒ සිදුරු තුලින් ලොවට පියාසර කර, මියයන මිනිසුන්ගේ ආත්මයන් සදාකාලික දෙව් ලොවට හෝ සදාකාලික නිරයට රැගෙන යති. අවසාන ඒබ්‍රහමික ආගම වන ඉස්ලාමයේ ආකාරයට,  ලොව වටා කැරකෙන හිරු හවසට මඩ වළකට බසී.

ග්‍රීක ඉතිහාසය අනුව, බයිබලය ලෝකයේ සම්භවය ගැන අදහස් දක්වන්නේය. ලොව උපන් මුල්ම මිනිසා වන ආදම් ගේ වයස අවුරුදු 930ක් විය. ඔහුගේ ඉළ ඇටයකින් මැවූ බිරින්දෑ ජීවත් වූ කාලය නම් මට කවදාවත් බයිබලයේ සොයා ගැනීමට නොහැකි විය. කිසියම් බැතිමතෙක් එය අපට කියා දෙනවා නම් මැනවි. ඔහුගේ පුත්, ‘සෙත්’ අවුරුදු 912ක් ජීවත් වූයේය.

ඊශ්‍රායෙල් ජාතිකයන් ඊජිප්තුවේ සිටි කාලය වසර 430කි. ඊශ්‍රායලයේ රජකම් කල ‘සෝල් රජු’ වසර 42ක් රාජ්‍යය කළේය. ටොලමි ගේ ඉතිහාස පොත් වල බැබිලෝනියානු රජ වරුන් රාජ්‍යය ගත කල කාලය ලියා තිබේ.

මේ ආකාරයේ දත්ත හරහා ගණන් කිරීමේ ක්‍රමය නීරස වුවද, ඒ අයුරෙන් ලෝකය නිර්මාණය කල දිනය සොයා ගැනීමේ ශ්‍රේෂ්ට කාර්යය ගණනය කිරීම හෙවත්, 17 වන සියවසේ අද්විතීයම  සොයා ගැනීම කල කෙනෙක් සිටියේය.

එනම් ආරච්බිෂොප් කෙනෙක් වූ, අයිරිස් ජාතික පූජ්‍ය පාද ‘ජේම්ස් අෂර්’ පියතුමා  [James Ussher] කියා සිටියේ, ලෝකය නිර්මාණය කල දිනය ක්‍රිස්තු පූර්ව 4004 දී යන්න ය. එකල මෙන්ම අදටත් එය සමහරුන්ට අනභිභවනීය සොයා ගැනීමක් විය. තව දුරටත් එම ගණනය ශුක්ෂම කිරීමට ඒ ගෞරවනීය පූජක තුමා සාහසික වෙමින්, ලෝකය දෙවියන් වහන්සේ විසින් මවන ලද්දේ හරියටම ක්‍රිස්තු පූර්ව 4004 ඔක්තෝබර් මාසයේ හවස 6 ට සෙනසුරාදා දිනයක දී බව එතුමා සොයා ගත්තේය.

මේ අවස්ථාවේ, එම සෙනසුරාදාට පෙර දිනය සිකුරාදා ද යන්න අසන්න කෙනෙක් නොසිටීම ඔහුගේ භාග්‍යයට හේතුවක් විය. කෙසේ වුවද ඒ ප්‍රශ්ණය ඔහුගෙන් ඇසුවා නම්, ප්‍රශ්ණය ඇසූ තැනැත්තාව පල්ලියෙන් අල්ලා, පසු කලෙක බෘනෝ ඝාතනය කලාක් මෙන් පණ පිටින් ගිණි තියා මරන්නට ඉඩ තිබිණ. .

නමුත් ඔහුට වැරදුණා යයි සිතන්නට අපහසුව ඇත්තේ, ඒ ආකාරයේම දත්ත රැගෙන මේ කාලයට සමාන කාල සීමාවන්හී ලෝකය මැව්වා කියන තවත් අය සිටින හෙයිණි. එනම් දෙවන ශත වර්ෂයේ සිටි, ‘ශාන්ත තියෝපිලස්’ [St. Theophilus of Antioch] අනුමාන කලේ, ලොව මැවූ වසර ක්‍රිස්තු පූර්ව 5529 දී යන්නය.

තවද ප්‍රංශ ජාතිකයෙක් වූ ජෝශප් [Joseph Juste Scaliger] දෙවියන්ට බැතිබරව ලියූ De emendatione temporum නම් පුස්තකයේ ආකාරයට මේ මැවීම සිදු වූයේ ක්‍රිස්තු පූර්ව 3949 දී විය.  

ඒ ශ්‍රේෂ්ට පූජකවරුන්ට අවඥා කිරීම හොඳ නැත. මක්නිසාද යත්, ඔවුන් එකළ බයිබලයෙන් සහ ඉතිහාස ග්‍රන්ථ මගින් ලබා ගැනීමට හැකි වූ නිවැරදිම දත්ත අනුව ඒ සොයා ගැනීම් කල හෙයිණි. එමෙන්ම බයිබලයට වරදින්න නම් කිසිසේත්ම නොහැක යයි බොහෝ අය කියති.   

අද වුවද මේ මත එසේම පිළිගන්නා අය සිටිති. එහෙත් මේ ආගමික විශ්වාස වලට එරෙහිව ගිය කීප දෙනෙක් නිසා සත්‍යය සොයා ගැන්මට හැකිවී මිනිසාගේ මතයන් වෙනස් වූ බව දනිමු. පොළව තව දුරටත් විශ්වයේ මධ්‍යය නොවන බව පෙන්වා දුන් ඔවුන් පොළව මෙන් වස්තූන් 11,000 ක් එකට එක ගෑවෙන්න තැබුවහොත්, ඒ දුර හිරුට ඇති දුර බව ඒ මිනිසුන් පෙන්වා දුන්හ.

ඊටත් පසුව හිරුද විශ්වයේ මධ්‍යය නොවන බවත්, හිරු යනු විශ්වයේ ඇති තවත් එකම එක  සාමාන්‍ය තාරකාවක් බවත් සොයා ගන්නා ලදී.

ඒ එක් එක් තාරකාවක් අතර ඇති දුරද සිතා ගන්නට නොහැකි තරම් දුරකි. දළ උදාහරණයකින් කිවහොත්, මේ ළිපියේ හරහට ගසන ලද ඉරක්, අපේ හිරු සහ අපට අසලින්ම ඇති හිරුට ඇති දුර පෙන්වයි යයි සිතන්න. ඒ අඳින ඉරේ එක කොනක ඇති තිතක අපේ සෞර ග්‍රහ මණ්ඩලය ඇතැයි සිතමු.  

ඒ තිතේ අපේ ලෝකය මෙන් දස  දහස් ගුණයක ලෝක ඇහිරිය හැක.

මුලින් කී සේ මිනිසා වරක් සිතුවේ, ලෝකයේ වයස අවුරුදු 6000 ක් පමණක් වෙතැයි කියාය. ඒ නිගමනයට හේතුව ආගම් වලින් ලැබුණු අවබෝධය විය. එහෙත් අද දින එහි වයස ඊට බොහෝ වැඩි බව අප දන්නෙමු. මෙයට වසර මිලියන ගණනාවකට පෙර වායු අවස්ථාවේ – ‘නෙබියුලා අවස්ථාවක’ තිබුණු, එතෙක් තාරකා මෙන් සැකසුනේ නැති ආකාරයට පදාර්ථය පැවතිණි.

ඉන් පසු දළ වශයෙන් වසර මිලියන 15000 කට පමණ පසු එය කෙමෙන් ඝන බවට පත් විය යන්න විද්‍යාඥයන් කියති.

ඉන් පසු ගිණි බෝලයක් ව පැවතුණු ලෝකය කාලයක් ඒ ආකාරයෙන්ම පැවත, දැවැන්ත කුණාටු, පොළව සෙලවීම් වැනි ප්‍රචණ්ඩ විපර්යාස වලට පසු, කෙමෙන් සිසිලණය වීම සිදු වුයේය. ඉන් පසු ලෝකයේ  ජීවිතය ආරම්භ වීමේ මුල් පියවර වලට පැමිණි බව පෙනේ. . එහෙත් ජීවයේ මුල්ම ස්වභාවය කුමක්දැයි යන්නත්, එය කොහේ කොතැනක කිනම් අයුරකින් සිදු වූයේද යන්නත්, අවසානයේ මිනිස් සංහතිය ආරම්භ වූයේ කෙසේද යන්න සොයා ගැනීම සදාකාලික අභිරහසක් වී තිබෙනු ඇත.

මිනිස් සංහතිය ලොව ආරම්භ වූ කාලයට පෙර කාලය ගැන අදහසක් ගත හැකි එක් ආකාරයක් වන්නේ, ෆොසිල බවට හැරවුණු ප්‍රාථමිකම ආකාරයේ අස්ථි පද්ධතියක් නොමැති ජළයේ ජීවත් වූ ජෙලි මාළු මෙන්ම, ඉක්බිතිව ඇති වූ රයිනෝසිරස් වැනි සත්ව කොටස් වලිනි. විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් වලින් පෙනී යන කාරණයක් වන්නේ, ජීවය මුලින්ම ඇති වී තිබෙන්නේ සාගර වල යන්නය.

සාගර වල ඇති වූ ප්‍රාථමික සතුන් ගෙන් ජළයේ මෙන්ම ගොඩබිමද සිටිය හැකි බඩ ගා ගෙන ගිය හැකි සතුන් දෙවනුවට ඇති විය. එනම් මේ දෙවන යුගය වූයේ ‘උරගයන්ගේ යුගය’ නමිනි. එහෙත් මේ උරගයන් අප අද දකින ප්‍රමාණයේ නොව, හිසේ සිට වල්ගයට ඇති දුර අඩි සීයේ පමණ දැවැන්ත සත්වයන් විය. එහෙත් නොයෙක් ආකාරයේ අහිතකර දේශගුණික තත්වයන්, ආහාර මඳ බව සහ තවත් විෂම පරිසර තත්වයන් අනුව ඔවුන් වඳ වී තෙවන යුගය ආරම්භ විය.    

තෙවන යුගය සිව්පාවන් සහ කුරුල්ලන් ආරම්භ වූ කාලය විය. ඉනුත් පසුව තවත් දියුණු සත්වයන් වන වඳුරන්, චිම්පන්සීන් සහ ගොරිල්ලන් වැනි සතුන්ගේ ඇති වීම සිදු විය. එහෙත් මේ සතුන් සහ මිනිසා අතර ඇති සම්බන්දය ගැන කීමට විවිධ ආකාරයේ තර්ක අදත් ඇති නිසා, හරියටම මිනිස් සම්භවයේ ආරම්භය ගැන කීම උගහටය.

නමුත් සමහරවිට කිසියම් නොදන්නා හේතුවක් නිසා,’මේ සත්වයන්ගෙන් එක් කොට්ටාශයක් දියුණු සතුන් බවට පරිණාමනය වෙන්නට ඇත’ යන්න ජනප්‍රියම මතය වේ. එසේම ඒ කාලය ගැන හැදෑරීමට ෆොසිල වාර්ථා හැර වෙන දෙයක් නැති බව පැහැදිළිය. නමුත් පැහැදිළිවම අපගේ මුතුන් මිත්තන් ඒ සතුන්ට වඩා ඥානවන්ත විය.

ඔවුන් දෙපයින් ඇවිදීම ආරම්භ කළහ. ගල්, ගල් පතුරු, වැනි දෑ ආයුධ සේ භාවිතා කළහ.

ඊජිප්තියානු බැබිලෝනියානු වාර්ථා ලියන තුරු, එනම් ක්‍රිස්තු පූර්ව 6000 ක් පමණ කාලයක් යනතුරු ඒ අපේ ආදීතම මුතුන් මිත්තන් ජීවත් ව සිටි කාලය ලිඛිතව වාර්ථා වීමක් වී නැත.

ඉතිහාසය විෂයයක් සේ අප කුඩා කල ඉගෙන ගත්තද, අද තත්වය එසේ නොවේ. ඉතිහාසය විෂය මාලාවෙන් ඉවත් කලේ හේතුවක් ඇතිවය. එනම්, ඉතිහාසය නොදන්නා කෙනෙක් වර්තමානය සහ අනාගතය දෙස බලන ආකාරය වෙනස් කිරීමටය. එය වෙනම කතාවකි.

සමහරවිට ඔබද මා මෙන්ම, මිනිසා කොහේ කුමන ආකාරයට නිර්මාණය වූයේද යන ප්‍රශ්ණය දෙස කුතුහලයෙන් යුතුව බලනවා ඇත. මෙහිදී ඉහත ආකාරයේ තොරතුරු අන්තර් ජාලයෙන් හෝ පොත් පත් මගින් සොයා ගැනීමේ අපහසුවක් නැත. මෙහි අපහසුව එන්නේ මේ මොහොතේ නොවේ. කෙමෙන් විකාශනය වූ මිනිසා යන කුඩා පැළය දැවැන්ත ගසක් වන විට, ඒ එක් එක් අතු අනෙක් අතු සමඟ ගැටීම වූ ආකාරය විශ්ලේෂණය කිරීමේදීය.

ඒවා සත්‍ය වශයෙන්ම තේරුම් ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවේ.

පතුලක් නොමැති ළිඳක අඩිය හොයනවා මෙන් වන මේ ප්‍රශ්ණයට තරමකින් හෝ පිළිතුරක්‌ සොයා ගත හැක්කේ, ලෝක ඉතිහාසයේ ‘වැදගත් පුරුක්’ වන රටවල් සහ සමාජ බිහි වූ ආකාරය සහ විශේෂිත පුද්ගලයන් ගැන අධ්‍යනය කිරීමෙන් පමණි. එහෙත් එහි ලා බොහෝ ආගම් වලින් ලැබෙන තොරතුරු අධ්‍යනය කිරීම  හුදෙක් කාලය කා දැමීමක් පමණි.

යම් වැදගත් දෙයක් ආගම් අදහස් සහිත ග්‍රන්ථ වලින් දැන ගන්නට අවශ්‍යම නම් ‘සප්ත සූර්යෝද්ගම සූත්‍රය’’, ‘රාජාවළිය’ වැනි ග්‍රන්ථ මෙන්ම ලොව මැවීමේ හින්දු සංකල්ප කියවීම වැදගත් වේ.      

ඉතිරි කොටස පසුව ….

පසු වදන :- ඉතිරි කොටස ලියන තුරු ඔබට නිවසේදී කල හැකි ක්‍රියාකාරකම් මෙසේ වේ. එනම් බයිබලයේ මිනිස් සම්භවය ගැන කියන  ‘උත්පත්ති කතාව’ [Genesis] දෙවන පරිච්චේදය -21 චේදය ගූගල් කර හෝ බලා, මේ මා පහත ලියන දේ බොරුද බලන්න. තවද මා මෙතෙක් තේරුම් ගත් නැති, අවසානයේ අසා ඇති ප්‍රශ්ණය මටද තේරුම් කර දෙනු මැනවි.

 

එහි ඇති දේ මෙසේ වේ.

 

21- එවිට දෙව් සමිඳාණන් මිනිසාව [ආදම්ව] බර නින්දකට පත් කල සේක. ඔහු නිදා ගෙන සිටියදී දෙව් සමිඳාණන් ඔහුගේ ඉළ ඇටයක්‌ ගෙන ඒ ස්ථානය වසා දැමි සේක.
22.- උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉළ ඇටයෙන් ස්ත්‍රියක් [ඒව]  මවා, ඔහු වෙත ගෙනා සේක.
23.- ඉන්පසු මිනිසාට කතා කොට, …” දැන් ඉතින් මිනිසාගේ ඇටයකින් ගත් හෙයින්, මැයට ස්ත්‍රී යයි කියනු ලැබේ.
24.- මිනිසා තම පියාද, තම මවද හැර තම භාර්යාවට බැඳෙන්නේ එබැවින්ය.   

මගේ ප්‍රශ්ණය :- ආදම් සහ ඒවට දෙමව්පියන් සිටියේ නැත්නම්, දෙමව්පියන් ගැන දැන  ගත්තේ කෙසේද ?

එමෙන්ම… අමතර කාරණයක් මතක් වේ. එනම් ජීවිතේට, ආදම් ගේ පුත් ‘සෙත්’, අල්ලපු ගෙදර මිනිහා මෙන් වේ යයි ආදම් ට කිව නොහැකිය…]

2 thoughts on “මිනිස් චාරිකා [1] – ආරම්භය.

Add yours

  1. ආදම්ගේ තාත්තත්, අම්මත් යෙහෝවා දෙවි නේද? ඉතින් ඔහු දෙවිට විරුද්ධව ස්ත්‍රිය සමඟ එක්වුනා නේද?
    දෙවියන් වහන්සේ දින 6කින් ලෝකය මැව්වා කියන දෙයට මට වෙනත් පැහැදිලි කිරීමක් තියෙනවා. සාපේක්ෂතාවාදයේදී කාලය මානයක් හැටියට සලකනවා. අවකාශයේ මාන තුනයි කාලයයි. මාන 4යි. නමුත් යෙහෝවා දෙවි ඉන්නේ මේ අවකාශ කාලයට පිටතින් නම් එතුමාගේ කාලය වෙනත් 5වන මානයක් විය හැකියි. මැවීම කියන දෙයටත් වෙනත් අර්ථ කථනයක් දෙන්න පුළුවන්. දෙවි මිනිසාව මැව්වා කියන දෙයින් අදහස් වෙන්නේ මිනිසාගේ බිහිවීම සහ වඳවීම කියන සිද්ධි දෙක අතර සියල්ල මැවීමනම්. එනම් දෙවි මවා ඇත්තේ පිළිමයක් නෙමෙයි, 3Dඇනිමේශන් එකක්. තව විදියකට කිව්වොත් ඔ්නෑම සිදුවීමක් සිදුනොවීමක් කරන්න දෙවියන් වහන්සේට පුළුවන්.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: