අපූරු මිනිස්සු- මහාචාර්ය සුචරිත ගම්ලත් – කලාව සහ සමාජ විප්ලවය. – [දෙවන කොටස]

   … [මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා විසින් රුහුණු විශ්ව විද්‍යාලයේ එළියකන්දේ කළා ෆීටයේදී , 1979 නොවැම්බර් මස කරන ලද දේශණයකදී ලියා ගත්තෙමි. මෙහි පළවන කොටස මුලින් පළ විය. එයට සමහර අය ප්‍රශංසා කල අතර සමහරු මා ලියු පසු වදනට චෝදනා කළහ. එහෙත් කිසි තැනක මහාචාර්ය තුමා කී දේ වෙනස් නොකලෙමි. එමෙන්ම ගල් සහ මල් උපේක්ෂාවෙන් භාර ගනිමි. ඔබම විනිශ්චයකරු වේ….] …

ටෝල්ස්ටෝයි ආගම් වාදියෙක් වුවද ඔහු සාර් රදළ පාලනයේ ඇති කුරිරු සහ ජරා ජීර්ණ බව පිළිකුලෙන් යුතුව කරුණු කාරනා පෙන්වූ කෙනෙක් විය. ඔහු තරම් සාර් පාලනය සහ පැරණි රදළ නිළධාරින්ගේ කුමන්ත්‍රණ සහ අයථා දූෂිත පාලනය ගැන කරුණු කී වෙනත් කෙනෙක් නැති තරම්ය.

රුසියානු විශ්ව විද්‍යාල සිසුන්, … “ සාර් පෙළපත බංග වේවා ‘ සේ  සටන් පාඨ කියමින්, පෝස්ටර ඔසවා ගනිමින් වීදි බසිනු ලැබීය. නමුත් සාර රජ පෙළපත මගින් එකළ හික්මවනු ලැබූ ආචාර්ය, මහාචාර්ය වරු ඒ පෝස්ටර් හකුළා ගන්නට යයි බල කරමින්, මේ ශිෂ්‍යයන් ගේ සටන් පිළිවෙත අනුගමනය නොකලා පමණක් නොව, ඔවුන් පාවා දීමද කලහ. මේ සටන කම්කරුවන් අතරට පවා පැතිර ගියේය.

මේ සටනට පණ පෙවුවේ ටෝල්ස්ටෝයි ගේ සත්‍ය වූ කලා කෘතින් විය.

අනභිභවනීය කලා කෘතියක දරුණු බව ධනපති පාලකයන් හොඳින් දනී. එහෙයින් ඒ කලා කෘති හැකිතාක් මර්දනය කල යුතු බවද ඔවුන් දනී. එය රුසියාවේ පමණක් වන දෙයක් නොව ලෝකයේ සෑම අස්සක් මුල්ලක් පුරාම වන දෙයකි. කළා කෘති නිර්මාණය මෙන්ම එවැනි කෘතියක් නිර්මාණය වීමේ පසුබිම පවා ඉවත් කිරීමට ඔවුන් උත්සුක වන්නේ එබැවිනි. මෙය ලංකාවේ සිදු වන ආකාරය ඉතා සියුම් වේ.

උදාහරණයක් සේ විශ්ව විද්‍යාල වල කලාව ඉගැන්වීම, රස විඳීම අවමයක් කර ඇත. බීතෝවන්, මෝසාර්ට් හෝ අල්ලපු රටේ රවි ශංකර් ගේ සංගීතය පවා විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට අහිමි කර ඇත. ඒ වෙනුවට කලාව කියා ඇල් මැරුණු වල් පල් සිසුන්ට අනාවරණය කිරීම සිදුවේ. මේ අතර ලංකාවේ තිබුණු පැරණි කලාව ඔවුන්ට අහිමි කර ඇත.

උදාහරණයක් සේ, අද දින ශිෂ්‍යයා පරාක්‍රමබාහු සමයේ කරන ලද ‘කව් සිළුමිණ’ කුමක්දැයි කියාවත් නොදනී. සාමාන්‍ය මිනිසුන් ගැන කුමක් කියන්නෙම්ද?

කලාව මෙසේ සමාජයෙන් සහ විශ්ව විද්‍යාල වලින් සියුම්ව ඉවත් කර ඇත්තේ කලාවේ ඇති පුපුරන ස්වභාවය, ස්වභාවික බල ශක්තිය, පාලකයන් දන්නා හෙයිණි. මේ පාලනයට හොඳම ක්‍රමයක් වන්නේ විවිධ ආකාරයේ කලා පාලක මණ්ඩල ස්ථාපනය කිරීම වේ. මේ අතර සමාජයට ඒ ධනපති කුමන්ත්‍රණ කළා කෘති තුලින් ඉදිරිපත් කරන කලා කරුවන්ට අනියත චෝදනා එල්ල කරමින් සිර භාරයට ගැනීම සිදු වේ. එයට උදාහරණ සේ ධම්ම ජාගොඩ, ගුණදාස කපුගේ වැනි අය ගත හැක.

මේ ප්‍රවණතාවය 1950 කාලයේ සිට ආරම්භ වූ බව පෙනෙන්න ඇති දෙයකි. ලංකාවේ ආර්ථික ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට ඇමරිකාව විසින් හෝ ඇමරිකාව දැනුවත්ව මුල් කාලයේ ඩොලර් කොල පොම්ප කිරීම ආරම්භ විය. ලංකාවේ පේරාදෙණිය වැනි උසස් තලයේ විශ්ව විද්‍යාල ඇති කරන ලදී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉගෙන ගැන්මට අවට රටවල් වලින් ශිෂ්‍යයන් අදත් එහි පැමිණේ. එහෙත් ඒ තත්වය කෙමෙන් අභාවයට යන බවක් පෙනේ. එහි අනාගතය අඳුරුය.

විද්‍යා හා කලා ඥානය එවැනි විශ්ව විද්‍යාල වලින් පැතිර ගියේය. ඒ හේතුවෙන් සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි අය බිහි විය. මේ යන තත්වය හමුවේ ඒ ආකාරයේ උසස් කලා කරුවන් අනාගතයේද බිහිවේදැයි යන්න ඉතා සැක සහිතය. නමුත් ඉහත සඳහන් කලාකරුවන් වුවද ධනපති පන්තියේ සට කපට කම් වලට අසු වූ බව හොඳින් පෙනී යන හේතු ඇත.

එනම් ඔවුන් පන්ති සමාජයේ ඇති දූෂිත තත්වයක් කලාව තුලින් නිරූපණය කිරීමට වඩා ‘පුද්ගලවාදයක් ‘ ඇති කිරීම සහ ඒ නිසා ධනපති පන්තියේ දූෂණ හුවා දැක්වීමක් එතරම්ම සිදු නොවුණු නිසාය. නමුත් ඔවුන් ගත් මඟ තරමක් නිවැරදි විය. එසේ හෙයින් තවත් ඈතට ගොස් සත්‍ය වූ මෙන්ම ධනපති පන්තියට පහර ගැසීමට කලා නිර්මාණ කරන්නට පෙර, ඊනියා ධනපති පන්තියෙන්ම ඔවුන් ශුක්ෂම සේ මිළට ගනු ලැබීය.

උදාහරණයක් සේ ලොකුම කලාකරුවෙක් වන එදිරිවීර සරච්චන්ද්‍ර ට තානාපති කමක් හෙවත් ඇමක් දෙන ලදී.

ඔවුන් නොදැනුවත්වම කැරළිකාර තරුණ කලාකරුවන් මැඩ පැවැත්වීම සඳහා අතකොළු සේ යොදා ගන්නා ලදී. උදාහරණයක් සේ, මාර්ටින් වික්‍රමසිංහ විසින් තරුණ පෙළ නිර්දය සේ විවේචනය කිරීම කරන ලදී. ගුණදාස අමරසේකර තමන් තරුණ කලාකරුවෙක්ව සිටින කල නිර්මාණය කල කලා කෘති පුද්ගලවාදයෙන් යුතු හෙවත්, පුද්ගලවාදී කවි හෙයින් නියම කලා කෘති නොවේ යයි තමන්ටම ගරහා ගන්නා ලදී.එය පැහැදිළිවම තරුණ කලාකරුවන් සමඟ ඇති ද්වේශය නිසා කල දෙයක් බව පැහැදිළිය.

කලාව තව දුරටත් ධනපති පන්තියේ අතට ගැනීමට සංස්කෘතික අමාත්‍යාංශය වැනි දේ පිහිටුවන ලදී. සන්නිවේදන මාධ්‍ය, විශ්ව විද්‍යාල පීඨ, ගුවන් විදුළිය, සඟරා මැඩීම සාමාන්‍ය සිරිතක් වී ඇත. එය අලුත් කලා කෘති මර්ධනය කිරීමේ එක් ක්‍රමයකි. මේ අයුරෙන් කරන ලද මර්ධනයන් හමුවේ අද දින කලා කෘති සහ ලංකාවේ කළා කරුවන්ගේ නිර්මාණ ශක්තිය දැවී ඇත. ‘කලාව නමැති පුෂ්පය’, ‘ධනපති ක්‍රමය’ නම් ගින්න විසින් දවා හළු කර ඇත.

කලාකරුවන් ඇත්ත නොකියන තත්වයකට පත්කර ඇති බවට ගත හැකි හොඳම උදාහරණයක් වන්නේ එදිරිවීර සරච්චන්ද්‍ර ගේ “හෙට එච්චර කරුවල නැහැ” යන පොත වේ. මේ පොත 1977 කැරැල්ල අරභයා ලියන ලදී. එය සත්‍ය වශයෙන්ම නවකතාවක් නොව, අත්සන් සහිතව ගැසූ කැලෑ පත්තරයකි. කලාව යනු යථාර්ථයයි. සරච්චන්ද්‍ර මෙහි බරපතල වරදක් කර තිබේ.

තරුණයන් යනු කව්ද? තරුණයන් යනු රටේ ජීව නාළිය වේ. තරුණ තරුණියන්ගේ අධි සංවේදී බව වෙනස් කල හැකි දෙයක් නොවේ. ප්‍රහාර, බෝම්බ හැදීම, කල්ලි ගැසී සටන් කිරීම තරුණ මදයේම තවත් යතාර්ථවාදී ප්‍රකාශනයන් වේ. ඒ ජවය, ඒ ශක්තිය ඔවුන් මරා දැමීමෙන් ඉවත් කිරීමෙන් වන්නේ රටක් සේ නැගිටීමට අවශ්‍ය දායකත්වය නැති කර දැමීමය.

ඔවුන් යටත් වන්නේ නැති බව පැහැදිළිය. එහෙත් සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් කියා සිටියේ ‘යටත් වුවහොත් සමාව ! යන්නය. මෙය හාස්‍යය දනවන දෙයකි. ඔවුන් යටත් කරනවාට වඩා අවශ්‍ය වන්නේ ඔවුන්ගේ පණිවිඩය අවබෝධ කර ගැනීමය.

කෙසේ හෝ ඉහත කී කැරැල්ල මා අනුමත නොකරන හේතු ඇත. එක් හේතුවක් වන්නේ එය කම්කරුවන්ගේ සහාය නැතිව කල සුළු ධනේශ්වර කැරැල්ලක් හෙයිණි. එහෙත් එහි කැරැල්ලක ලක්ෂණ ඇති බව කිව යුතුය. වීරසූරිය ඝාතනය හේතුවෙන්ද දහස් ගණන් ශිෂ්‍යයන් පාරට බසින ලදී. මේ වීරසූරිය ඝාතනයේ ලෙයින් ලංකාවේ විප්ලවවාදී රාමුව ආලෝකමත් වූ බව පැහැදිළිය.

වීරසූරිය ඝාතනය සමාජයට නියම ආකාරයකින් සම්ප්‍රේෂණය විය. එය එක්තරා ආකාරයක කලාත්මක සේ මාධ්‍යය නිවැරදිව භාවිතා කල තොරතුරු සම්ප්‍රේෂණයක් වී රැල්ලක් ඇති විය කලාවෙන් කරන්නේ සමාජ විප්ලවයට ආධාරයයි. කලාව පන්ති සටනට විරුද්ධ නොවන තුරු ධනපති පන්තිය විනාශ කරන තුරු නියම කලාවක් බිහි නොවීමත්, නියම කලාව නිසා ධනපති පන්තිය විනාශ වීමත් එකට අත්වැල් බැඳ ගත් දෙයක් වේ.

නිමි.

{ … පසුවදන :- ඉහළම තලයේ බුද්ධිමතුන් බිහි කල, කලක් ආසියාවේ ඉහළම තලයේ විශ්ව විද්‍යාලයක් වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන කල, මෙයට අවුරුදු හතළිහකට පෙර සුචරිත ගම්ලත් මහාචාර්ය තුමා විසින් ඉහත දුටු ආකාරය සාතිශය සේ නිවැරදි බව අද ඔප්පු වී ඇත.

කලාව වෙනස් වන්නේ නැති වුවද, එය ඉදරිපත් කරන ආකාර වෙනස් වේ. රූපවාහිණියේ පෙන්වන කළා නිර්මාණයක්  සහ ගුවන් විදුළියේ ඇසෙන නිර්මාණයක වෙනසක් ඇත. එහි උපයෝගීතාවය සහ එයින් සමාජයට දෙන අදහස එම මාධ්‍ය ආකාරය මතම රැඳෙන්නේ නැත. නිදහස ලැබීමෙන් පසු දූෂණයේ අන්තයට ගිය රටකට සහ පීඩිත ජනයාට මේ ප්‍රසිද්ධ මාධ්‍ය වලින් වී ඇති සෙත කුමක්ද?

අද දින මුහුණු පොතද කලා කෘතියක් ඉදිරිපත් කිරීමේ එක්තරා මාධ්‍යයක් සේ සැළකිය හැක.මුහුණු පොත සමාජයීය සම්බන්දතා, පුද්ගලික අවශ්‍යතා සහ දත්ත හුවමාරු කර ගැනීමේ ක්‍රමයක් ලෙස භාවිතා කිරීමට භාවිතා කලද, එය ලංකාවේ කලා රසිකත්වය සහ කලා නිර්මාණ එළි දැක්වීමේ කැඩපතක් සේ භාවිතා කරන්නේ කීයෙන් කී දෙනෙක්ද ?

මුහුණු පොත අද දින බොහෝ අය විසින් භාවිතා කරන ආකාරය පිළිකුල් සහගතය.එමගින් අතලොස්සකට වඩා කලා කෘති එළි දැක්වෙන්නේ නැත. එයට සාපේක්ෂව  බහුතරයක් අද පවතින රදළ ධනපති පන්ති ආරක්ෂා කර ගැනීමට මුහුණු පොතේ යාවජීව සාමාජිකයන් ව ක්‍රියා කරන බව රහසක් නොවේ. අද ඇති කිනම් මාධ්‍යයක වුවද, මහ ඇදුරු සුචරිත ගම්ලත් ගේ දැක්ම මෙයින් ගම්‍ය වේ.

ඒ මාධ්‍යයන් ගිල ගෙන ඇත්තේ ධනපතියන් විසිණි. බොහෝ තරුණ තරුණියන් එහි අතකොළු වෙති. මාධ්‍යයන් හී ඉදිරිපත් කල හැකි කළා නිර්මාණයන්ට වඩා, ලිංගික කරුණු වඩ වඩා ජුගුප්සාජනක දෙයක් සේ එළි දැක්වීම ස්වභාවයෙන්ම අධි සංවේදී තරුණ තරුණියන් ස්වේච්චාවෙන් භාර ගෙන ඇත. එය ධනපති පන්තියේ දූෂිත පාලනය ගෙන යෑමට පිටුවහලක් බව ඔවුන් නොදනිති.

මේ නිසා රටක, සමාජයක හෝ පෞද්ගලික මට්ටමේ දහසක් ප්‍රශ්ණ අමතක කරවිය හැකි බව ඔවුන් නොදනිති.

එනම් ,”සන්නිවේදන මාධ්‍ය, විශ්ව විද්‍යාල පීඨ, ගුවන් විදුළිය, සඟරා මැඩීම සාමාන්‍ය සිරිතක් වී ඇත” සේ, මහාචාර්ය ගම්ලත් මහතා එදා පැවසුවාටත් වඩා හොඳින් එය අද අන්තර් ජාතිකවම  සිදු වේ.

ධනපති පන්තියේ අකාර්යක්ෂම පාලනය ඉදිරියේ අද දින මිනිසුන් රූකඩ බවට පත්ව ඇත. අද දින කලාවක් රස විඳීමක් හෝ කලා කෘතියක් නිර්මාණය කිරීමට නෙත සිත යොමු නොකරන තත්වයකට ධනපති පෙලැන්තිය විසින් මිනිසා තල්ලු කර ඇත. ඒ ප්‍රතිඵලය එක් එක් යුගයේ විවිධ අයුරෙන් පෙනී සිටි ධනපතියන්ගේ අශෝභන මුහුණුවරේ තවත් පැතිකඩක් වේ. මේ තත්වය නිවැරදිව තේරුම් ගත් අය අල්පයකි. ඊටත් වඩා අඩු ප්‍රමාණයක් එමගින් කිසියම් කලා කෘතියක් එළි දක්වන්නට උත්සාහ දරයි.  

මහ ඇදුරු සුචරිත ගම්ලත් ශූරින් ට බොහෝ විෂයයන් ගැන බහුශ්‍රැත දැනුමක් තිබිණි. ඔහු මාක්ස්වාදියෙක් වුවද, ඒ මාක්ස්වාදය ගෙඩි පිටින්ම ලංකාවට තල්ලු කරන අදහසකින් මේ ආකාරයේ දේශනා පැවැත්වූවා යයි පුද්ගලිකව නොසිතන්නේ ඔහු ගේ තව තවත් දේශන වලට එකල යොවුන් වියේ සිටි අපට සහභාගී වන්නට හැකි වූ නිසාය. ඔහු විදුරක් මෙන් සංවේදී යතාර්ථවාදී ලෝකයේ පය ගසා සිටින ප්‍රායෝගික මිනිසෙක් විය..

ලෝකය සුන්දර තැනක් වන්නේ එවන් මිනිසුන් ගෙනි…}

2 thoughts on “අපූරු මිනිස්සු- මහාචාර්ය සුචරිත ගම්ලත් – කලාව සහ සමාජ විප්ලවය. – [දෙවන කොටස]

Add yours

  1. කලා කෘතියක් කරන්නට යම් මුදලක් වැයවෙනවා. සමාජවාදය යටතේ මේ මුදල් ලබාගතහැක්කේ කෙසේද කියලා සුචරිත ගම්ලත් කියන්නේනෑ.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: