ගම් වලට නම් ආ හැටි.

පසුගිය දිනෙක මරදානේ පොලිසිය අසළින් ඇවිදින විට එක් හෝටලයක් දුටුවෙමි. එහි නම ‘ධවලගිරි’ විය. කුමක් නිසා එයට ‘සුදු කන්ද’ යන නම තිබ්බේද යන්න නොදනිමි. එහි නාම පූවරුවද රතු පැහැයක් ගනී. මේ සිද්ධියත් ගම් වලට නම් වැටුණු ආකාරය ගැන කලකට පෙර එකතු වී කල සාකච්චාවක් සිහිපත් විය.
 
කෙසේ වුවද මේ විස්තර බොහොමයකට කෘතඥතාවය පල කල යුත්තේ මට නොව, තන්තිරිමලේ ගරු චන්දරතන නාහිමි, කර්නල් අනිල් අමරසේකර මහතාට, නැසීගිය ජනාධිපති නීතිඥ නේරු ගුණතිලක මහතා, ජ්යෙෂ්ට පොලිස් අධිකාරී ආයුපාල මහතා, නම නොදත් ගුරු මහතෙක් සහ සර්වෝදයේ එකළ සේවය කල මානෙල් කුලතුංග මහතාට ය.
 
මක්නිසාදයත් ඒ භීෂණ සමයේ දිනක යම් පොදු ව්යාපෘතියක් කිරීමට මටත් ඒ අය සමඟ සහභාගී වන්නට අවස්ථාවක් ලැබුණු නිසාය.
 
පහනක් දැල්වීම මරු කැඳවන රාත්රියක උතුරේ එක දිනෙක මේ සාකච්චාව කළෙමු. මරදානේ සිට දිගු ගමනක් යන අතරතුර, ඒ පැරණි සාකච්චාව වූ අයුරු,, ‘මරදාන’ යන නම හැදී තියෙන ආකාරය විශ්ලේෂණය කල අවස්ථාවේ සිහි විය. එහෙත් මා මේ ග්රාම නාම අර්ථ දැක්වීමේ විශේෂඥයෙක් නොවේ. එසේ හෙයින් මේවා සිද්ධාන්ත වශයෙන් පිළිගැනීම නොකළ යුතුය.
 
‘ගිරිය’ යන්නේ තේරුම පර්වතය වේ. අස් ගිරිය, සීගිරිය, රාජගිරිය, අතුරුගිරිය, සේ නම් දැම්මාට හෝටල් වලට සිංහගිරිය, හස්තිගිරිය, ධවලගිරිය සේ නම් කරන්න ඇත්තේ ඒ ඒ හෝටල් හිමියන්ට අවශ්ය හෙයින් වන්නට ඇත. එහි අවුලක් නැත. දුප්පත් ධනපාල ලා මෙන්ම මෝඩ ඥානවතී ලා සිටිති. කෙසේ හෝ ග්රාම නාම එසේම නැත.
 
රජෙක් කිසි දිනෙක සිටි නිවසක් රාජගිරිය වන්නට ඇත. පර්වතයට කියන තවත් නමක් වන්නේ ‘පාන’ සේ දැන ගතිමි. ඒ නමෙන් පළුටුපාන, පානදුරේ, නම්බපාන එන්නට ඇත.
 
එසේම දෙනිය, ඕවිට [දෙහිඕවිට] , පාත [ගල්පාත], වැල්ල [දික්වැල්ල] , ගල, සේ නම් ලැබෙන්න ඇත්තේ, ඒ ඒ ප්රදේශ වලට පර්වත වැනි ආවේනික හේතු නිසාය. මේ ග්රාම නාම ගැන වර්තමානයේ සොයා බැලීමට සිත් දුන් හෙයින්, ‘මරදාන තැනුනේ කෙසේදැයි මා හිතවතෙක් වන සිංහල ව්යතෙක් ගෙන් ඇසූ විට ඔහු කියා සිටියේ, ‘මර’ යන්න වැලි වලට නමක් යන්නය. එනම් ‘මරදාන’ පෙරකළ වැලි බහුල ප්රදේශයක් වන්නට ඇත.
 
‘මරදන්වැල්ල’ යනු ගොරෝසු වැල්ල යන්න හිතවතාගේ අදහස විය.
 
සමහර ග්රාම නාමයන් ගැන සිතන විට ඒ නම ලැබුනේ කෙසේදැයි තේරුම් ගන්නට පහසු නැත. උදාහරණයක් සේ ‘බෙත්මෙගොඩ’ යන්න ගනිමු. මේ ගැන විපරම් කිරීමේදී ‘බෙත්මෙ’ යන්න ජළය අධිකව ඇති තැන සේ කියැවේ. බණ්ඩාරගම දකින්නට ඇති මේ ප්රදේශය ඇත්ත වශයෙන්ම පහත භූමියකි. අතීතයේ ජළ ගැලුම් තිබූ තැනකි. එහෙත් ‘ගොඩ’ යන්නට තේරුම් ලැබෙන ගමක නමකි. එය දොඩම්ගොඩ වේ.
 
තවත් වැඩියෙන්ම ඇති ග්රාම නාමයක ‘ගම’ යන්න ඇත. වල්ගම නම් කුමක්ද ? කැලෑ භූමියයි.
 
ලංකාවේ ග්රාම නාම වල ‘ගොඩ’ යන්නද බොහෝ ඇත. අම්බලන්ගොඩ, බලන්ගොඩ, පූගොඩ ඒ සඳහා උදාහරණ දෙකකි. මෙහි අම්බලන්ගොඩ තැනී ඇති අයුරු පැහැදිළිය. එනම් මිනිසුන්ට ගිමන් හරින්නට ඇති තරම් අම්බලන් තිබුණු හෙයින් විය යුතුය. බලන්ගොඩ සහ පූගොඩ කෙසේ තැනුනා දැයි නොදනිමි. ‘පූ’ යනු ‘කැවුම්’ යයි මතකයේ කොනක තිබේ. කොහේ හෝ පැරණි සිංහල සාහිත්ය පොතක එසේ තිබුනා මතකය.
 
වැල්ල යන්න මගින් තැනුණු ග්රාම නාම නම් පැහැදිළිය. උදාහරණ සේ දික්වැල්ල, කළුවැල්ල, හංවැල්ල. මෙහි හංවැල්ල හැදුණු ආකාරය දන්නා පින්වතෙක් මටත් එය කියා දෙන්න. මා මෙහිදී ඔබට කියන්නේ පිළිතුරු බොහොමයක් නොව ගැටළු බොහොමයකි. උදාහරණයක් සේ ගාල්ල, මාතර හෝ හෝමාගම නම් හැදුණු හැටි මා දන්නේ නැත. මේ ග්රාම නාම ගැන මීට වඩා ක්රමවත් ගවේෂණයක් අපේ සිංහල ප්රවීනයන් විසින් කිරීම වැදගත් බව නම් අවධාරණය කරමි.
 
එළිය යන්නෙන් තැනුණු නම්, – සඳමල්එළිය, නුවරඑළිය, සීතාඑළිය, හාවාඑළිය, මෙහි එළිය යන්න සමහරවිට වැඩියෙන් එළි කල තැනක් වෙන්නට ඇත. නැතිනම් කිසියම් කෙනෙක් නිසා ගෞරවනීය ස්ථානයක් වූ තැනක් වෙන්න ඇත. උදාහරණය:- සීතාඑළිය. එහෙත් මේ ස්ථානය ඉතාමත් සීතල තැනක් නිසා, සීතල ඇති ස්ථානය සේ වුනා වෙන්නටත් ඇත. හාවාඑළිය යනු හාවන් වැඩියෙන් ගැවසුණු තැනක්ද? එහෙත් සඳමල්එළිය ?
 
සඳ ඇති කාලයට පිපෙන කුමුදු වැනි මල් වර්ගයක් වත් මේ පළාතේ තිබුනාද?
 
එසේම ‘පෙ’ සහ ‘වල’ යන්නෙන් අවසාන වන ග්රාම නම්ද ඇත. මේ නම කෙසේ තැනුනේද යන්නට උත්තරයක් හිතවතෙක්ගෙන් ලැබිණි. ‘පෙ’ මෙන්ම ‘වල’ යනු කැලෑවයි. දැන් දොම්පෙ, දොඩම්පෙ, බෝපෙ සහ දොඩම්වල, බෝවල, යනු කුමක් නිසා තැනුණු වචන යයි ඔබ දනී.
 
‘හාලපිටිය’ යන්නේ තේරුම මා දැනගත්තේ මෙසේය. වීදියගොඩ දේවාලයට සහල් හෙවත් හාල් ගෙනයන ස්ථානය ‘හාලපිටිය’ විය. ‘කනත්තගොඩ’ මිනී වැලලූ ස්ථානය විය. ‘හේන්ගොඩ’, බොහෝ ගොවිතැන් බත් කල හේන් ඇති ස්ථානය විය. ගස් නිසා ග්රාම තැනුණු අවස්ථාද ඇත. ‘වැලමිල්ල’ එයට උදාහරණයකි. එය අතීතයේ දැවැන්ත මිල්ල ගස් වැල් මෙන් එතී තිබුණු වනාශ්රිත ප්රදේශයකි.
 
‘කොඩිගමුව’ පසුව ‘ගොඩිගමුව’ විය. එනම් එකල වීදිය බණ්ඩාර සටනකින් ජයගෙන කොඩි එසවූ තැන විය. තවත් කෙනෙක් කියන්නේ පන්සලට දේවාලයට කොඩි සැපයූ ගම කියාය.
 
මේ ආකාරයට ග්රාම නාම තැනෙන්නට ඉවහල් වූ වචන එමට ඇත. පුරාණ මාර්ග සිතියමකින් ලබාගත් ග්රාම නම් වල අග කෑලි කීපයක් ලියමි. වාන [කලවාන], දූව [ගෝනදූව], උල්ල [ගිරිඋල්ල], කඩුව’[හික්කඩුව], වැව [ඉබ්බන්වැව], ගොල්ල , බොඩ [කඳුබොඩ], වේල්ල , වක, වල [බෝවල], වළ [මඩවළ] ඇල්ල [කිරිඇල්ල] …මේ ආකාරයේ වචන දහස් ගණනක් ඔබට සොයා ගත හැක. මෙහි වල සහ වළ යන්නේ විශේෂයක් ඇත.
 
වල යනු ‘වනය’ යන අර්ථයද වළ යනු ‘ආවාටය’ යන අර්ථය ද ගෙන ඒ.
 
කට වහර නිසා ගමක හෝ ප්රදේශයක නම වෙනස්වීමට හොඳ උදාහරණයක් වන්නේ ‘වව්නියාව’ වේ. ‘වව්නියාව’ කියා ගමක් ප්රදේශයක් නැත. නියම නම නම් ‘වැව්නිමාව’ වේ.
එහි තේරුම වැව් තැනීමේ ප්රදේශයේ නිමාව යන්නය. මීට හේතුව සරළය. මේ ප්රදේශයෙන් එහාට වැව් තැනීම එතරම් සාර්ථක නැත. එහි පස බුරුල්ය. වැලි සහිත හෙයින් එකට ඇලෙන ස්වභාවය අඩුය.
 
කොල්ලුපිටියට ‘කොල්පෙටි’ කීමත්, කොටුවට ‘පෙටා’ කීමත්, මීගමුවට ‘නිගම්බූ’ කීමත් තවත් අන්ඩර දෙමළයකි. තවත් ටික කලකින් වැල්ලවත්තට, ‘වැල්ලවට්ටේයි’ සහ දෙහිවලට, ‘දෙහිවලෙයි’ කියා කියනු ඇත.
 
අවාසනාව වන්නේ ලංකාවේ මිනිසුන් ඉංග්රීසියෙන් කතා කරන විට මේ විකාර නම් ඒ ප්රදේශවලට භාවිතා කිරීමයි. ඉන්දියාවෙන් අප ආදර්ශයක් ගත යුතුය. සුද්දා ‘බොම්බෙ කියා දැමූ නම නැවත නිවැරදි කල ඔවුන් එය පැරණි ‘මුම්බායි’ සේ වෙනස් කළහ.
 
‘බණ්ඩාර’ යන්නද නම් බොහොමයකට එන වදනකි. බණ්ඩාරගම,බණ්ඩාරවෙල, බණ්ඩාරකොස්වත්ත, උඩරට මිනිසුන්ට මේ බණ්ඩාර නම ඇති නිසා මේ නම් හැදුනා වන්නට බැරිය. බණ්ඩාර යනු භාණ්ඩාගාරය යන අදහස දේ. පැරණි රජවරු ගම් නියම් ගම් පිටින් බුදුන් වහන්සේට පූජා කල නිසා, එමගින්ද නම් තැනී ඇත. බුත්ගමුව, බුත්පිටිය, බුජ්ජම්පල, නම් කීපයකි.
 
එසේම විහාර නිසා නම් ලැබුණු ගම් ඇත. ‘අලුවිහාරේ’ එක උදාහරණයකි. ත්රිපිටකය ග්රන්තාරූඩ කල ‘ආලෝක විහාරය’ පසුව ‘අලුවිහාරේ’ විය.
 
ග්රාම නාම ලැබුනා මෙන්ම ගම නිසා තමාගේ වාසගම ගත් අයද සිටී. මගේ හිතවතෙක්ගේ වාසගම ‘මුවන්දෙණිය’ විය. ඔහුගේ මුතුන් මිත්තන් සිටි පළාතේ මුවන් සිටි තැනිතලා භූමියක් විය.
 
ඔබටද, ඔබේ ප්රදේශයේ නම විශ්ලේෂණය කරන්නට ආරාධනය කරමි. සමහරවිට ඒ නමේ තේරුම නොදන්නවා නම්, සාකච්චාවෙන් එය සොයා ගැනීමට හැකිවනු ඇත. ඉතිහාස හෝ ස්වභාවික හේතු නිසා ලැබුණු මේ නම් වෙනස් කිරීම බලවත් වරදකි. වරදකටත් වඩා එය නිවට කමෙකි.
 
නමක් වෙනස් කිරීම ඒ පළාතේ අනන්යතාවය වෙනස් කිරීමකි. තමාගේ ආගම හෝ ජාතිය වෙනස් වූවා කියා එසේ කිරීම නොමනාය. ‘ග්රාම නාම පුරාණය’ කියා පොතක් ඇතැයි අසා නමුදු, මේ වනතෙක් එය බැලීමට නම් නොහැකි විය.
 
සුද්දන් විසින් වරද්දවා, තටම තටමා කියූ ග්රාම නමක් වන්නේ, ‘කන්ද’ යන්නය. එය අද ‘කැන්ඩි’ වී ඇත. මීට වඩා දැවැන්ත වරදක් ඔවුන් කලේ ‘සිංහලේ’’ යන්නට ‘සිලෝන්’ යයි කීමෙනි.
 
ඒ නම හරියාකාරව සුද්දා උච්චාරණය කළා නම්, එක්කෝ සුද්දාගේ වරද පෙන්වා දෙන්නට නිවැරදි නායකයෙක් එදා සිටියා නම් රට අද මීට වඩා හොඳ තැනක තියෙන්නට ඉඩ තිබිණි.

4 thoughts on “ගම් වලට නම් ආ හැටි.

Add yours

  1. //The Persians and Arabs referred to it as Sarandīb (the origin of the word “serendipity”) from Cerentivu or Siṃhaladvīpaḥ. Ceilão, the name given to Sri Lanka by the Portuguese Empire when it arrived in 1505, was transliterated into English as Ceylon.//

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: