පබඳකින් කොටසක් විමසමු. [දශක අටක් පමණ පරණ, ලිපියකින් උපුටා ගැනිණි.]


… කිබුළා ගොඩට ඇදී සුදුසු තැනකට වී මුඛය අයයි. යහළුවෝ ඔහු වට කර ගනිති. ඇතැමෙක් දකුණු පසැ වෙති. ඇතැමෙක් වමත් පසැ වෙති. ඇතැමෙක් නොපැකිලැව මුව තුළට මැ යෙත්. කිබුලාට එතරම් සැපක් කොයින්ද? හේ ඇස් තවත් තදින් පියා ගෙන, මඳකුදු නොසැලී ඒ සුඛය සිත් පුරා විදී.

ඔහුගේ දත් අතරෙහි ද, කිසිලි ආදී මෘදු තන්හී ද වූ කූඩැල්ලන්, කුඩා බෙල්ලන් ආදී වූ කුඩා සත්වයන් ඔහුට දෙන කරදර ක්‍රමයෙන් නවත්වති. කිබුලා සතුන්ගෙන් මිදීමේ සමාපත්තියට ද, යහළුවෝ මේ සතුන් කෑමේ සමාපත්තියටද පැමිණෙති. මෙය යහළු කම තර වීමට ප්‍රමාණවත් නොවේද ?

චේදය නිමි.

මේ පබැඳුම් කොටසේ වැකි දසයෙකි. සියල්ලෝම සරළ වාක්‍යයෝය. වැකි කෙටි වීම මෙහි ඇති උසස් ගුණයකි. දිගම වැකියෙහි ඇත්තේද පද 22 කි. දිග වැකියයි ගැනෙන කියමන් හා සසඳන එද කෙටි වැකියක් බව පෙනේ. පුරුදු වැන්නවුන් විසින් හුරු විය යුතු මෙබඳු කෙටි වැකි ලිවීමය. කෙටි පද කෙටි වැකියෙහි යෙදීම කණේ මී වක් කිරීමක් වැනිය. දිග වැකියෙහි අදහස් දුකසේ සිතට නගා ගත යුතු වෙයි. ලියන විට වියරණ වැට පහසුවෙන් බිඳෙයි. ලියන්නා ඉබේ වල් වැදෙයි.

ගුරුළු ගෝමීන්ගේද, කුමාරණතුංග මුනිදාසයන් ගේ ද පොත් කෙටි වැකියෙන් බැබලී ඇත. සිංහල රචන කලායෙහි ඈබෑසිය කැමැත්තවුන් විසින් මේ දෙදෙනා ගුරුකොට ගත යුතුය.

පබැඳුමක සියලු වැකි කොට විය යුතු ද?  සැබැවින්ම නැත. එක තරමින් විය යුතුද ? ඒත් නැත. ඉහතින් දැක්වුණු කොටසේ වැකි ද දිගින් නොයෙක් තරම් බව ඔබට පෙනේ. විශේෂයෙන්ම විස්තර යක දී දිග වැකි සපල පරිදි යෙදිය හැකිය. එකම තරමේ වැකි නිබඳ යෙන් යෙදීම අමන කිරියාවෙක් වේ. අවධාරණය නොලැබෙන තන්හී එක් බඳු පදවලින් සෑම වැකියක්ම පටන් ගැන්මෙන් එහි මිහිරියාව වැනසෙයි.’තවද’, ‘ඉක්බිති’, ‘ඉන්පසූ’ , ‘ඊළඟට වැනි පද යොදා වැකි පටන් ගැන්ම කල යුතු නැත.

වැකියෙක අඟ පසඟ මේ මේ තන්හී විය යුතු යයි නියමයක් කළ හැකි නොවේ. එහෙත් බොහෝ කියමන්හී උක්තය මුලින්ද, කර්මය මැදින්ද, ආඛ්‍යාතය අගින්ද යෙදෙයි. වුවමනා තන්හී මේ පිළිවෙල රිසි පරිදි වෙනස් වේ. රිසි පරිදි අඟ පසඟ විහිදුවා ලියැවුණු වැකිය ලීලා දක්වමින් නටන නළුවකු වැනිය. එක වැකියෙකින් එක් අදහසක්ම දැක්වීමෙන් නිරවුල් බව රැකේ. එකට නොගැලපෙන අදහස් දෙකක් එක් වැකියකින් ගැට නොගසන්න.

නිවැරදි ලෙස වැකි ගොතන්නට පුරුදු වන්නවුන් විසින් කියමනක් ගැට ගැසීමේදී නිතර සිදුවන වැරැදි කවරේදැයි හැඳිනිය යුතුය. සිතට නැගෙන හැඟුමක් නිවැරදි සේ හැඟවීමට සූකර නොවන්නේද මේ පිළිබඳ පුරුද්ද නැත්තවුන්ටය. පැරැණි උසස් පත පොතේද වැරැදි තැන් නැත්තේම නොවේ. උගන්නවුන් විසින් එබඳු තැන් දත යුත්තේ ඒ අනුවැ වරදවා ලිවීම පිණිස නොවේ. පබැඳුම් කිරීමේදී ඒ වරදින් වැළැක්වීම පිණිසය.

නො සීහෙන පද නො බඳින්න. මෙය බෙහෙවින් සිදු වන වරදකි. උදාහරණයක් සේ ‘ශෂ්‍ය මාරුව’ යන වචන දෙකෙන් කියවෙන දේ බලන්න. මෙය ඉඳුරා වැරදිය. මක්නිසාද යත්, ශෂ්‍ය යන්න සකු වදනකි. ‘මාරුව’ යන්න හෙළ වදනකි. ඒ දෙක එක් කිරීම ගොනකු ද, බූරුවකු ද එක් වියෙහි යෙදීමක් වැනිය. ඒ ආකාරයේ වහර කීපයක් මෙසේ වේ. ‘සූ සැට අක්ෂර වර්ග’, ‘අලුත් ක්‍රමය’, ‘විචිත්‍ර සල්පිල’. මේවා සදොස් වෙයි. සකුව, ඉංගිරිසිය ආදී පර බසට ගැතිව එහි පද ඇද යොදන්නට තැත් කරන්නවුන් අතරින් මේ වරද සිදු වෙයි.  

පසු වදන 1 :- අද දින මිනිසුන් ලියන කියන හැටි එදා සිටි සිංහල පඬියන් දන්නේ නම්, ඔවුන් බෙල්ලේ වැලක් දාගෙන මැරෙනු ඇත.      

‘නමුත්’ යන වචනය භාවිතා කරන නිවැරදි අයුරක් ගැන බලමු. ‘නමුත්’  යන වචනය ‘එහෙත්’ යන අරුතෙහි ලා වැකියෙක මුල යෙදීම සාවද්‍යය. උදාහරණයක් සේ මේ වාක්‍ය දෙක බලන්න. 1. පියා අද ගෙදර එන බව කීය. 2. නමුත් හේ තවම නො ආය. මේ වැකි දෙකම එක්කොට යෙදීමේදී,  ‘නමුත්’ යනු යෙදිය හැක. එනම්,

… “පියා අද ගෙදර එන බව කී නමුත් හේ තාම නො ආය”…   

පසු වදන 2:- මගේ පියාගේ පොත් අල්මාරියක් අදින විට 1940 වසරේ පමණ ඔහුගේ අකුරෙන් ලියු උපාධි නිබන්දන කීපයක් හමු විය. ඉහත ඔබ කියවූයේ එහි ඇති එක ලිපියක කොටසකි.

අදටද ඒ වියරණ නීති නිවැරදිය.       

 

     

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: