රවින්ද්‍රනාත් තාගෝර් බුදුන් දුටු ආකාරය.

වෙසක් පුණු පොහෝදා මෙලොව පහළවූ අත්‍යුත්කෘෂ්ට පුද්ගලයා වශයෙන්  සළකන බුදු සමිඳුන්ට මගේ හද පත්ලෙන් නැග එන ගෞරවය ශීර්ෂ ප්‍රණාමයෙන් පුද කරමි. මේ වූකලී දවසේ අවශ්‍යතාවයට කරන පූජාවක් නොව, නිරන්තරයෙන් මගේ හදවත යන ගඳ කිළියේ කෙරෙන පූජාවකි.

මා වරක් බුද්ධ ගයාවට ගියෙමි. ස්වකීය පාද ස්පර්ශයෙන්, ‘මේ මහ පොළව සුපරිශුද්ධ කල බුදුරදුන් මෙතෙන්ට වැඩි සේක’… යන අදහසින් මගේ ගත සිත මෝහනයට පත් විය. උන් වහන්සේ මෙලොව ජීවමානව වැඩ සිටි සමයේ මාද ජීවත්ව සිටියේ නම්, උන් වහන්සේගේ සුපරිශුද්ධත්තාව, මගේ මනස සහ කය වෙනුවෙන් බල පවත්වන්නට තිබුණි නොවේදැයි මා වේදනාවෙන් කල්පනා කලෙමි.

“වර්තමානයට හසුවන ප්‍රමාණය අත්‍යන්තයෙන්ම සීමිත යයි”, ඒ සමඟම මට හැඟිනි. තත්කාලීන සිද්ධීන් පිළිබඳ රජසින් ගහන වූ වර්තමානය අපැහැදිළිය. කාලයෙන් ඈත් වන්නට , ඈත් වන්නට අපගේ දර්ශණ පථය ව්‍යාකූල වන බව ඉතිහාසයෙන් සාධනය කර ඇත්තේය. එසේ වූ විට අප අතර සිටි පුද්ගලයන්ගේ අත්‍යුත්කෘෂ්ට පුද්ගලයන්ගේ ශ්‍රේෂ්ටතාවය සහ, උත්කර්ෂවත් භාවය අවබෝධ කර ගැන්මට අපොහොසත් වන්නෙමු.

පටු අදහස් ඇත්තවුන්ගේ ද්වේශපරවශ බව සහ හා විරුද්ධවාදීන්ගෙන් බුදුන් වහන්සේ කී වරක් නම් හිංසා පීඩාවන්ට භාජනය වන්නට ඇත්ද? බොරුවෙන් හා මුලාවෙන් උන් වහන්සේගේ ශ්‍රේෂ්ටත්වයට හානි කිරීමට, උන්වහන්සේ අපකීර්තියට සහ අපහාසයට පත් කිරීමට කී වරක් නම් තැත් කරන ලද්දේද ? උන්වහන්සේට ආසන්නව ජීවත් වූ සිය ගණන් ස්ත්‍රී පුරුෂයන්ට, ඔවුන් හා උන්වහන්සේ අතර ඇති විශාල අධ්‍යාත්මික පරිසරය වටහා ගත නොහැකි විය.

මනුෂ්‍යයාගේ පෘතග්ජන, සුලභ වාසස්ථානයන්හී, උන් වහන්සේගේ දුර්ලභ උත්කෘෂ්ට බව හඳුනා ගත නොහැකිය. එබැවින් උන් වහන්සේ ජීවත් වූ සමයේ මා ජීවත් නොවී, තත්කාල සිද්ධීන්ගෙන් නැගුනු රජසෙන් මගේ දෑස් අඳුරු නොවීම භාග්‍යයකි. මනුෂ්‍යයන් අතර උපදින භාග්‍යවන්තයෝ උපන් මොහොතේම සනාතනිකව තමන්ට හිමි තැන ලබා ගනිති. වත්මන් මොහොතේ සිට අතීතයටත් අනාගතයටත් එබී බලති. එදා ගයාවේදී ඒ බව මට ප්‍රත්‍යක්ෂ විය.

ඈත එපිට ජපානයේ සිට මහා සමුද්‍රය තරණය කරමින්, ස්වකීය පාප කර්මයන් කමා කර ගැන්මට පැමිණි දරිද්‍ර ධීවරයෙක් මා එදා දුටුවෙමි. සන්ධ්‍යාව කෙමෙන් කෙමෙන් දෙගොඩහරියේ හුදකලාවේ හා නිහඬතාවයේ ගිලී ගියේය.

ඔහු තවමත් දැඟිලි බැඳ ගත්  සමවැදුණු ධ්‍යානයෙන් යුතුව, ‘බුද්ධං සරණං ගච්චාමි”, හෙවත්, “මා බුදු සරණ යමි” යයි   කියන්නේය.

මනුෂ්‍ය වර්ගයාගේ දුක නැති කිරීමේ වීරෝධාර ප්‍රයත්නය සඳහා ඒ ශාක්‍ය කුමාරයා මහා රෑ ස්වකීය මාලිගයෙන් නික්ම ගොස් දැනට සියවස් බොහෝ ගණනක් ගෙවී ගොස්ය.

එහෙත් ගයාවට පැමිණි ඒ දිළිඳු වන්දනාකරුවා සිය හදවතට පීඩා කල ඒ මහා දුක නැති කර ගැනීමට උන්වහන්සේගේ සරණ සෙවීය.

ඉන්ද්‍රියයන්ට ගෝචර වන මෙලොව ඇතිතාක් අන් හැමදේකටම වඩා බුදුන් සජීවී බව, සැබෑ බව ඒ පශ්චාත්තාපී වන්දනා කරුවාට වැටහිණි. ගැලවීම පැතූ, ක්‍ෂමාව පැතූ ඒ දිළිඳු පව්කාරයාගේ ජීවිතය බුදුරදුන්ගේ අකාලිකත්වය සහ අමරණීයත්වය හා සම්බන්ද විය. ඒ දිළින්දාගේ අධ්‍යාත්මික අපේක්ෂාවේ ආලෝකයෙන් ඔහුට මනුෂ්‍යයන් අතරේ ශ්‍රේෂ්ට මනුෂ්‍යයා දෘෂ්‍යමාන විය.    

බුදුන් තම ස්වකීය සමකාලීනයන් අතර මහා බලපරාක්‍රමයෙන් යුත් රජ කෙනෙක් හෝ දිග විජයෙහි යෙදුණු මහා සෙනෙවියෙකු ලෙස පෙනී සිටියේ නම් එතුමන්හට තත්කාලීන සමාජය කෙරෙහි ලෙහෙසියෙන් බලපාන්නටද, එම සමාජයේ ගෞරවොපහාරය ලබාගන්නටද ඉඩ තිබිණ. එවැනි ගෞරවයක් කාලයේ වැලි තලාවෙන් වැසී අතීතයේ වැළලී යනවාටත් සැකයක් නැත. එතුමන් එවැනි රජෙක් හෝ සෙනෙවියකු වී නම් එතුමන්ගේ ශ්‍රී විභූතියෙන් එතුමන්ගේ පාලිතයන් භය භිරාන්ත වනු ඇත.

දිළින්දන් එතුමන්ගේ එයිස්චර්යයෙන් මවිතයට පත්වනු ඇත. දුර්වලයන් එතුමන්ගේ තේජෝ බල පරාක්‍රමයෙන් පුදුම වනු ඇත. එහෙත් සකළ කාලයම පසුබිම් කොට ඒ ශ්‍රේෂ්ට පුද්ගලයානන් තේරුම් ගත හැක්කේ අධ්‍යාත්මයේ සම්පූර්ණත්වය පතන්නාහට පමණි.

මනුෂ්‍යන්ගේ හදවත් තුල සිහසුන් අරා මහයෝගී බුදු රජාණන් වහන්සේ වැඩ සිටින්නේ, කාලයේ සීමාවන් ඉක්මවමිනි. ඒ නිසාම උන් වහන්සේගේ අවබෝධයේ උත්කර්ශවත්වය ව්‍යාප්ත විය. කෙළසුන්ගෙන් පීඩාවට පත්, ස්වකීය දුර්වලත්වය පිළිබඳ වේදනාත්මක අවබෝධයෙන් යුතු මිනිසා හැමවිටම එනු ඇත්තේ උන්වහන්සේ වෙතටයි. ඇවිත්, ‘මම බුදු සරණ යමි’ යි කියනු ඇත.

යුගයෙන් යුගය, කාලයෙන් කාලය මනුෂ්‍යයා උන් වහන්සේගේ අභිව්‍යක්තිය යථාර්ථයෙන් අවබෝධ කොට ගන්නේ, සවකීය අධ්‍යාත්මයේ මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේගේ සජීවත්වය ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමෙහිය. අප වැනි පෘතග්ජනයන් හඳුන්වනු ලබන්නේ අප හා අන්‍යයන් අතර ඇති සම්බන්දයෙනි. අප අයත් පන්තිය ජාතිය, සමාජය සම්බන්දයෙනි.

ස්වයං විභූශණනත්වයෙන් යුත් අනුන්ගෙන් ණයට ගත් ආලෝකයකින් නොදිලුණු, සත්‍යය පිලිබඳ සවකීය ආලෝකයෙන්ම බැබළුණු පුද්ගලයන් මෙලොව උපත ලබා ඇත්තේ කලාතුරෙකිනි. තමාගේ බුද්ධි බල මහිමය පිළිබඳව, තමන්ගේ උගැන්ම හා ව්‍යක්තභාවය පිළිබඳව, තමන්ගේ වීරෝධාරභාවය හා රාෂ්ට්‍ර පාලන ශුරත්වය පිළිබඳව, කීර්තිමත් වූ ස්වකීය කාමනාවන් අනුව ඉතිහාසය සහ අනාගතය හැඩ ගැස්වූ බොහෝ දෙනා තුලින් අපට මනුෂ්‍යත්වයේ විවිධ අංශයන් අපට දැකිය හැකිය.

එහෙත්, මනුෂ්‍යත්වය පිලිබඳ පූර්ණ ප්‍රකාශනයක් දැකිය හැක්කේ තමන්ගේ පෞරුශත්වයෙන් සකළ කාලීන, සකළ භොමික මනුෂ්‍ය වර්ගයා නියෝජනය කරන උන්වහන්සේ කෙරෙහි පමණි. යුගයේ, ජාතියේ හෝ කුල ගෝත්‍රයේ සම්මත වැටකඩොළු වලින් කොටු නොවූ උන්වහන්සේගේ සවිඥාණකත්වයෙන් පමණි.

මනුෂ්‍යයා ස්වකීයතත්වය සත්‍ය තුල අනාවරණය කරයි. උපනිශද්හී සඳහන්ව ඇත්තේද ඒ සත්‍යයයි. “සකළ සජීව සත්වයන් තමන් යයි හඳුනාගන්නා තැනැත්තා පමණි, සත්‍යය අවබෝධ කර ගන්නේ” . එසේ සත්‍යය දකින්නා සම්පූර්ණ මනුෂ්‍යයා වන්නේය. හෙතම ස්වකීය මානුෂිකත්වය පිළිබඳ උත්කෘෂ්ටයෙන් විභූෂිත වන්නේය. උපනිෂද් මෙසේ කියයි. “තමා අන් හැම තුළත්, අන් හැම තමා තුළත් දකින්නාහට ආවරණය වී සිටිය නොහැකිය”.

හෙතෙම සකළ කාලයටම අනාවරණය වී සිටිනේය. එසේම මෙම අභිව්‍යක්තිය,ප්‍රකාශනාව, වර්තමාන මනුෂ්‍යයන් අතුරෙන් බහුතර සංඛ්‍යාවක් තුල සැඟව පවත්නේය. ඔවුන් තුල අපට සත්‍යයේ අංශු මාත්‍රයන් දැකිය හැක. එසේ වුවද බොහෝ දේ දර්ශනයෙන් සැඟවී ඇත්තේය. පෘථිවිය ප්‍රථමයෙන්ම නිර්මාණය කල අවස්ථාවේදී මුළු මහත් ගෝලයම ජලජ ධුමයකින් පැවත්නේය. එම ජලජ ධුමය පලා ගෙන ආ ඉතා උස් ගිරි ශිඛරයන් මුලින්ම දර්ශණය විය.

එසේම වර්තමාන මනුෂ්‍යයන්ගෙන් බොහෝ දෙනා ස්වාර්ථපරවශභාවයෙනුත්, පුහු ගර්වයෙනුත් වැසී සිටින්නාහ. ඔවුන්ගේ සවිඥානයද වැසී ඇත්තේය. අධ්‍යාත්මික වහල් භාවයෙන් විනිර්මුක්තවූ සත්‍යය අසංවර්ධිතව ඔවුන් තුළ පවත්නේය. මිනිසුන්ගේ නිර්මාණයන් තවමත් අසම්පූර්ණය.

සත්‍යය, යතාර්ථය, කිසියම් ස්වයංප්‍රභාත්මක, අත්‍යුන්ත, මනුෂ්‍ය ඥාණාතික්‍රාන්ත පුද්ගලයකු තුලින් හදිසියේ අනාවරණය නොවිණි නම්, අසම්පූර්ණත්වය පිළිබඳ වලා පටලයකින් මිනිසා තුල සැඟවී ඇති සත්‍යය අප වටහා ගන්නේ කෙසේද ?

මනුෂ්‍යයාගේ මහත් භාග්‍යයට මෙන් ඔහුගේ යතාර්ථ ස්වභාවය, සකළ මානව වංශය හදවතින් වැළඳගත් බුදුන් තුළින් උත්කෘෂ්ටතත්වයට පත් විය. හේ එසේ නම්, එතුමන් අපගේ දර්ශනපථයෙන් වසාලිය හැක්කේ කුමකටද ?

කාලය, අවකාශය, ස්ථානය හෝ පටු අපේක්ෂාවන් පිළිබඳ කටුකොහොල් හා වැටකඩොලු වලට උන්වහන්සේ පිළිබඳ දර්ශනය අවහිර කල හැකිද ?      

පසුවදන:- … රවින්ද්‍රනාත් තාගෝර්ගේ ලිපියක පැරණි පරිවර්ථනයකි. පරිවර්ථකයා නොදනී. මෙය පැරණි “දින දින” නම් කී සඟරාවක ලියා තිබිණි. පැරණි සිංහළ වලින් ලියා ඇති නිසා කියැවීම තරමක් අපහසු වුවද, එය විශිෂ්ට ලිපියක් බව පෙනේ. එහි වැඩිමනත්ම විශේෂය වන්නේ, අබෞද්ධයෙක් බුදුන් වහන්සේ ගැන ලියූ ලිපියක් හෙයිනි…

බුදුන් වහන්සේගේ දර්ශනය ලංකාවේ ප්‍රචලිත වන්නට හේතුව ඒ සංකල්ප  මෙතෙක් දරා සිටි සඟ පරපුර සහ පන්සල් ව්‍යුහය වේ. මේ දර්ශනය ලංකාවෙන් තුරන් කරන්නට ගන්නා අසාර්ථක උත්සාහ කොතෙකුත් දැකිය හැක. අන්තර් ජාලයේ සමහර නූගතුන් ලියන දෙයින්, එනම් වැරදියට පන්සල් සහ සඟ පරපුර ගැන ලියන දෙයින් එය හොඳින් පෙනේ.

නමුත් අබෞද්ධයෙක් බුදුන් වහන්සේ ගැන කියන ලියන දෙයින් ඒ මත නිෂ්ප්‍රභා වන්නේය. බුදුන් වහන්සේ ගැන මේ ආකාරයේ ලිපි ලියා ඇති එකම අබෞද්ධයා තාගෝර් පමණක් නොවේ.                                        

One thought on “රවින්ද්‍රනාත් තාගෝර් බුදුන් දුටු ආකාරය.

Add yours

  1. මෙතෙක් මා කියවපු ලිපි වලින් ලස්සනම ලිපිය. දෙනට 3 පාරක් කියෙව්වා. මම ඔබගෙ බ්ලොග් එක හෙමදාම කියවනවා. ඔබ ඉතා විශිෂ්ඨ ලෙස දෙනුම බෙදනවා.

    Like

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑