සැම්බියාව 6 : නිෂ්පාදන සහ ආදායම් මාර්ග

Untitled.jpgZAMBIAS-LOST-OPPORTUNITY-Large.jpgCrosby Menzies' Solar Caravan In Africa34415.jpgසැම්බියාවේ ජාතික ආදායමේ විශාලම කොටස තවමත් ජනනය වන්නේ තඹ නිෂ්පාදනයෙනි. එහෙත් තඹ ඉල්ලම් වල අවසානයට දැන් දැන් ඔවුන් සමීපව සිටිති. සැම්බියාවේ තඹ භාවිතය අවුරුදු දහසකට පමණ පෙර සිදු වූ බවට සාක්ෂි ඇත. එහෙත් තඹ මෝස්‌තර සැරසිළි මෙන්ම කණකර ආයිත්තම් තැනීම සඳහා පමණක් එදින භාවිතා විය. එදින සාමාන්‍ය පොළව කැනීම වලින් තඹ නිස්සාරණය කර 1920 පමණ කාලයේ සිට සොයාගන්නා ලද අළුත් ක්‍රම වලින් පොළව යටට ගැඹුරට හාරා,           image2.pngවඩ වඩාත් තඹ වලින් පොහොසත් පස් ස්ථර මතු කරගැන්මට හැකි විය. තඹ පමණක් නොව ඔවුන්ට කොබෝල්ට් ද ඇත. ලෝකයේ තඹ නිෂ්පාදනයේ පස් වන විශාලතම නිෂ්පාදකයා සැම්බියාවයි. කොබෝල්ට් නිස්සාරණය අතින් ඔවුන් ලෝකයේ දෙවන තැන ගනී.

 

මේ දැවැන්ත තඹ නිෂ්පාදනය නිසා රැකියා කාණ්ඩ 3000 ක් පමණ ඇතිවී තිබේ. එනම් ලෝහ විද්‍යාඥයන්, කාර්මිකයන්, කාර්මික ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන්, කොම්පියුටර් විශේෂඥයන් ඒ කීප දෙනෙකි. එදා මෙන් පොළවේ මතුපිට පරීක්ෂා කර අද දින තඹ ලබා ගන්නේ නැත. ඒ සඳහා විශේෂ වන විද්‍යුත් තරංග පොළොව වෙත ප්‍රක්ෂේප කර ඒවා පරාවර්තනයේ ඇතිවන වෙනස්කම් නිරීක්ෂණය කරමින්, 100% ක නිරවද්‍යතාවයෙන් යුතුව ඒ ඉල්ලම් සොයා ගත හැක.

ඉතා විශාල දත්ත ප්‍රමාණයකින් යුතු මේ තරංග පටිගත කල යුතුය. එසේ හෙයින් ඒ හා සම්බන්ද විශේෂඥයන් මෙන්ම ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවන්ද මේ කාර්‍යයට මේ යුගයේ අවශ්‍ය වේ. නමුත් අවාසනාවට තඹ ඉල්ලම් ඉක්මනින් නැතිවී යාම සැම්බියාවේ ශ්‍රමය මෙන්ම ඒ හා සම්බන්ද විදේශීය විශේෂඥයන්ගේ අවශ්‍යතාවයද ඉක්මනින් නැතිව යනු ඇතැයි අනුමාන කෙරේ.

ආදී කාලයේදී මේ තඹ නිස්සාරණය කලේ අඩි තිහ හතළිහක් පමණ වළවල් හාරා ඒ පස්, හුඹස් මැට්ටෙන් තැනූ විශාල කල්දේරම් වැනි භාජන, අඟුරු වලින් රත් කිරීමෙනි. මෙය විශාල ආගමික මෙන්ම මැජික් සංදර්ශන කෙරෙන අතරේ කල කාර්යයකි. ඒ අනුව, ගල් දියකර ලෝහ ගැනීමට කඳු වල දෙවියන්ගේ උපකාරය අවශ්‍ය විය. දෙවියන් සතුටු වුනේ නැති අවස්ථාවල් වල තඹ නොලැබුණි.

කෙසේ හෝ පළවන ලෝක මහා යුද්ධය වන විට තඹ වලට ඇති ඉල්ලුම මහත් සේ වැඩිවීම සැම්බියාවට විශාල වාසියක් විය. මේ කාලය වන විට තඹ නිස්සාරණය කිරීමේ අළුත් ක්‍රම භාවිතා විය. ඉන් එක් ක්‍රමයක් වූයේ ද්‍රවයක් තුල දිය කරන ලද පස් හරහා වායු බුබුළු යැවීමයි. ඒ වායු බුබුළු වලට තඹ පියරය ඇලේ. එමගින් වඩා කාර්යක්ෂමව තඹ නිස්සාරණය කර ගැනීමට හැකිවිය. 1925 වසර වන විට මේ කර්මාන්තය හොඳින් ස්ථාපිත විය. මේ කාලය වන විට මීටර් 150 කට වඩා පොළව හැරීමට හැකි විය.

එහෙත් ලෝක ව්‍යාප්තව 1930 වසරේ ඇතිවුණු මහා ආර්ථික අවපාතය නිසා, තඹ නිෂ්පාදනයට විශාල බාධා ඇති විය. මේ තත්වය දෙවන මහා ලෝක යුද්ධය තෙක් පැවතිණි. ඉන් පසුව නැවතත් තඹ සඳහා විශාල ඉල්ලුමක් ඇති විය.

නමුත් අද දින තත්වය එසේ නොවේ. තඹ වලට ඇති ඉල්ලුම වේගයෙන් පහළ බැස ඇත්තේ, තඹ නොමැතිව ඊට වඩා පහසුවෙන් තාක්‍ෂණික භාණ්ඩ තනා ගත හැකි වීමේ හේතුවෙනි. ඔබට පැහැදිළිව අද දින දැකිය හැකි උදාහරණයක් නම්, මුල් කල නිර්මාණය කල රූපවාහිණී සහ රේඩියෝ වල ඇති පරිණාමකයන් වේ. පරිණාමක වල සන්නායකය සඳහා තඹ කම්බි අවශ්‍ය වේ. මේ පරිණාමකයක් රේඩියෝවකට හෝ රූපවාහිණියකට අවශ්‍ය වන්නේ, ‘නගරයේ ප්‍රධාන විදුළිය සැපයුම’ [City power] පහත් අගයක විදුළියකට හරවා ගැනීමටය.

එහෙත් අද ඇති නවතම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වල මේ පැරණි ආකාරයේ පරිණාමක වෙනුවට වඩා නවීන බල සැපයුම් [උදාහරණයක්:- Switching power supplies] භාවිතා කෙරේ. එසේම, විදුළි සංදේශ තාක්ෂණයේ, පහළ වෝල්ටීයතාවය ඇති විදුළි සංඥාවක් ඈතට ගෙන යාම සඳහා  තඹ වලට වඩා ලාභයට Fiber optics තාක්ෂනය භාවිතා කෙරේ. කෙසේ හෝ හිටි ගමන් ඇමරිකාවෙන් ආ ඉල්ලුමක් මේ අවස්ථාවේ [එනම් 2017 වසරේ] වැඩිවීම සැම්බියාවට පිටුවහළක් වී ඇත.

දිනකදී මේ තඹ නිෂ්පාදනය නවතින දවසක් එනු ඇත. මේ බොහෝ හේතුන් නිසා, මෙම ශ්‍රම බලකාය සැම්බියාවේ කෘෂි කර්මය දියුණු කිරීමට ක්‍රමයෙන් භාවිතා කිරීමට සැලසුම් කර ඇත. එය එතරම් පහසු කටයුත්තක් නොවුණද එය ආරම්භ කිරීමට සැම්බියානු රජයට සිදු වී ඇත. තඹ නිෂ්පාදනය නැවතුනු විටෙක රටට අවශ්‍ය වන විදේශ විනිමය ලබාගන්නට හැකි ක්‍රමය කෘෂි කර්මයයි.

අද දින රටේ සියයට දහයක් පමණ භුමිය කෘෂි කර්මය සඳහා වෙන් වී ඇත. එසේම රටේ ශ්‍රම බලකායෙන් සියයට හැත්තෑවක් පමණ කුමන හෝ කෘෂි කාර්මික කටයුත්තක නියැලීම ඉතා ප්‍රශංශනීය දෙයකි. ලංකාවේ මෙන්, යටත් විජිත සමයේ ගොවි පොළවල් පවත්වා ගෙන යනු ලැබුවේ යුරෝපීයයන් විසිණි. එහෙත් සැම්බියාවට නිදහස ලැබීමත් සමඟම ඔවුන්ගේ දායකත්වය නැත්තටම නැතිව ගියේය.

ලංකාවේ වූවාක් මෙන්ම දැනුමක් නැති දේශීය මෝඩයන් මේ කාර්‍යයට ඇත ගැසීම නිසා මෙන්ම, නිදහස ලැබීමෙන් පසු ඇති වූ දේශපාලන අරගල නිසා, කෘෂි කර්මයද නැත්තටම නැතිවුනා කිවහොත් එය වරදක් නොවේ. එහෙත් ජනාධිපති ‘කෙනත් කවුන්ඩා’ සහ රජය ඒ ගැන සැලකීමෙන් කටයුතු කල බවද කියැවේ.

ලංකාවේ අප බත් කනවා මෙන්ම, සැම්බියාවේ දිනපතා මෙන් අනුභවයට ගන්නේ ‘මේයිස්’ හෙවත් බඩ ඉරිඟු වේ. පසු කලක ඇති වූ ගොවිපොළවල් ඉතා සම්ප්‍රදානුකූල ආකාරයේ ඒවා වීම නිසා, එහි නිෂ්පාදනය අඩු වීමට හේතු විය. එමෙන්ම කලින් කල ආ නියඟය නිසා රටට අවශ්‍ය බඩ ඉරිඟු ප්‍රමාණය වගා කර ගන්නට නොහැකි විය. මේ නිසා රටින් පිට යන විදේශ විනිමය අඩු කරවීමට අල බීජ රටේම නිෂ්පාදනය කිරීම සිදු විය. ඒ අතර පෘතුගීසින් විසින් 16 වන සියවසේ ජනප්‍රිය කරවන ලද තිරිඟු භාවිතයට පැමිණීම, එනම් පාන් කෑමට පුරුදු වීම නිසා රටෙන් විනිමය එළියට යන්නේය.

ක්‍රමවත් වාරිමාර්ග භාවිතා කරන්නේ මේ ගොවිපොළවල් වලින් සියයට එකක් පමණි. මෙය ලංකාව සා සසඳා බලන විට ඉතා දුර්වල අගයකි. මෙයට හේතු වී ඇත්තේ මිනිසුන්ගේ සාපේක්‍ෂ දැනුම අඩු වීම සහ පැරණි ආකාරයෙන් වැඩ කිරීමය. මේ නිසා ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන නියඟය යන සාධකය අනුව විශාල සේ වෙනස් වේ. මේ හේතුව නිසා, රජය මගින් සාපේක්ෂව ජලය වැඩියෙන් අවශ්‍ය කරන බඩ ඉරිඟු වෙනුවට, සෝගම් සහ මිලට් වගා කිරීමට ගොවියන් උනන්දු කරනු ලැබේ. ආදායම් මාර්ග ගැන කියන විටදී, රටෙන් පිටට ගලා යන ආදායම අඩු කිරීම ගැනද වචනයක් කිව යුතුය. ශක්තිය ලබා ගැන්ම සඳහා හිරු එළිය ලබා ගැනීමෙන් ෆොසිල ඉන්ධන භාවිතා නොකිරීම ගැන මිනිසුන්ට අවබෝධයක් ලැබෙමින් පවතී. ආන්ඩුවෙන් ඒ ගැන ප්‍රචාරයක් කෙරේ.

තේ නිෂ්පාදනය සැම්බියාවට අලුත් දෙයකි. එය තේ සඳහා යෝග්‍ය දේශගුණයක් ඇති ‘ලුවාපුලා දිස්ත්‍රික්කයේ’ සිදු කෙරේ. දේශීය සැම්බියානුවන්ට කුඩා පරිමාණයෙන් තේ වවන්නට උන්නදු කෙරේ. 1970 වසරේ පමණ මේ තේ වගාවට වැඩියෙන්ම දායක වූවෝ ලංකාවේ තේ කර්මාන්තය කඩා වැටෙන විට ලංකාවෙන් පිටවූ ශ්‍රී ලාංකිකයන් යයි කියති.

සැම්බියාවේ කපු නිෂ්පාදනය කෙරෙන රටකි. කපු නිෂ්පාදනය කිරීමට අනිවාර්යයෙන්ම කෘමි නාශක අවශ්‍ය වේ. කෘෂි නිෂ්පාදන සිදු කරන භූමීන් හී මේ කපු නිෂ්පාදනය කිරීම තහනම් වේ. එසේ හෙයින් පාලනය කරන ලද තත්ත්ව හෙවත් තෝරා ගන්නා භූමින් වල කපු නිෂ්පාදනය කෙරේ.

වැරදි ආකාරයෙන් රසායනික පොහොර මෙන්ම කෘමි මර්ධන රසායනික ද්‍රව්‍ය හෙවත් කෘමි කාශක භාවිතයද සැම්බියාවේ කෘෂි කර්මාන්තයට බාධාවකි. මේ නිසා අවසානයේ සැම්බියානු ගොවීන්ගේ නිෂ්පාදන වල විෂ සහිත බව වැඩි වේ. මේ තත්වය ලංකාවේ නුවර එළියේ සහ බණ්ඩාරවෙල වවන එළවලු වලට සමාන වේ. එසේ හෙයින් කාබනික එළවළු ගැන රජය මගින් ජනතාව දැනුවත් කෙරේ. සැම්බියාවේ ගොවීන් සාපේක්ෂව නූගත්ය.

ලංකාවේ ගොවීන් නම්, ගොවිතැනෙන් ලැබෙන ආදායම ගැන පමණක් සිතා මේ වරදවල් දැන දැන කිරීම ගැන රජයේ කෘෂි කර්මාන්ත දෙපාර්තමේන්තුව සහ රජයේ අදාළ නිළධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පෙනේ.

සැම්බියාවේ සිටින ගවයන් ප්‍රමාණය අති විශාලය. එහෙත් මේ ගවයන් පාරම්පරිකව සලකන්නේ කෙනෙක් සතු ධනය ලෙසය. ගව සම්පත කෙනෙක්ගේ සමාජ තත්වයේ සහ ධනවත් බවේ ලකුණක් වේ. මේ ආකාරයේ අසමතුලිත සත්ව විශේෂ ජීවත් වීමට පරිසර ප්‍රශ්ණයකි. ගවයන් විසින් ඕනෑවට වඩා පොළොව උලා කෑම නිසා පස් වල ඇති සාරවත් භාවය නැති වී දුහුවිළි පමණක් ඇති පොළවක් ඇති වේ. ගවයන් වැඩි ප්‍රමාණයක් දැකිය හැකි ලංකාවේ නැගෙනහිර පළාතේ මේ ප්‍රශ්ණය පවතින්නට ඉඩ බොහෝ වැඩිය.

සැම්බියාවේ මෙන් ගවයන් බෝ කිරීම වැඩි කලොත් හෝ, නිදැල්ලේ හැරිය හොත් ලංකාවටද අයත් වන්නේ මේ ඉරණමමය. එළුවන් නිසා පස නිසරු වීම මෙයටත් වඩා වැඩි වේ.

යටත් විජිත කාලයේ නම්, කෘෂි කර්මය ගැන මනා දැනුමක් ඇති යුරෝපීයයන් එම කෘෂි කාර්මික කටයුතු වල නියැලුනු හෙයින් මෙන්ම ඔවුන්ට ඔවුන්ගේම ගොවිපොළවල් හිමියන් වූ හෙයින්ද, ඔවුන් මේ පස සංරක්‍ෂණය ක්‍රමවත්ව සිදු කලහ. ඔවුන් එදින සමෝච්ච රේඛා ආකාරයෙන් අගල් කැණීමට කටයුතු කලහ. එවිට වර්ෂා ජලය පහළට සෝදා ගෙන රූරා වැටෙන්නේ නැත. අද ඇතිව ඇත්තේ එයට ඉඳුරා වෙනස් තත්වයකි. සෑම වසරකම සැම්බියාවේ පොලවේ මතුපිට ඇති සාරවත් පස් ටොන් මිලියන තුනක් නැතිව යයි සේ ගණන් බලා ඇත. මේ කණගාටු දායක සිද්ධිය ඇති වන්නට ප්‍රධාන හේතු වන්නේ, ගවයන් විසින් උලා කෑම, කැලෑ හෙළි කිරීම සහ වැරදි ආකාරයේ කෘෂි කාර්මික කටයුතුය.

ඔබ හොඳින් මේ ළිපියේ කරුණු නිරීක්ෂණ කළහොත්, සැම්බියාව, එහි ජනතාව, කෘෂි කර්මය වැනි දේ ලංකාවට සමාන බව පෙනෙනු ඇත. නගර සහ වීථි වල පැරණි කාලයේ වහළුන් දම්වැලින් බැඳී අඳුරු යුගය සංකේතවත් කරන පින්තුර ඇත. ඒ එක් පින්තුරයක් මෙහි ඇත. යමින් නිදහස්ව රට දියුණු කල යුතු බව කියන දැන්වීම් පත්‍රිකා ප්‍රචාරය කෙරේ.

අවසානයේ, ලංකාව මෙන්ම සැම්බියාවටද අදාළ පොදු සාධකයක් ගැන සිතමු. ගහ කොළ වැවීම සඳහා අවශ්‍ය වන නිරෝගී පස ඇතිවීමට වසර සිය ගණනක් හෝ සමහරවිට වසර දහස් ගණනක් ගත වන්නේය. එහෙත් ඒ පස පැය කිහිපයකින් නිසරු වීමට හැක. මෙය ඕනෑම රටකට පොදු තත්වයකි. උදාහරණයක් සේ පුරාණ ලංකාවේ ගංගා නාමයන් බලන්න. කළු ගඟ, නිල්වලා ගඟ උදාහරණ කීපයකි. එසේ නම් දෙනු ලැබුයේ, ඒ ගංගා වල ජලයේ ස්වභාවය දැකීමෙනි.

උදාහරණයක් සේ, එසේ හැඳින්වූ ‘නිල්වළා නදිය’ බලන්න. එහි නමෙන්ම පෙනෙන්නේ, එය මඩ රහිත බවය. අද එය නිරීක්ෂණය කර බලන්න. ඔබ එයට ‘මඩවළා නදිය’ යයි නම් කරනු ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: