සැම්බියාව 5 : ජන සමාජය, ප්‍රාදේශීය පළාත් සහ නගර වල විස්තර.

1Untitled2

සැම්බියාවේ අගනුවර වන ලුසාකා, ලිවින්ග්ස්ටෝන් සහ තඹ පටිය [Copper belt] ලෙස හඳුන්වන තඹ යහමින් ඇති ප්‍රදේශය ආශ්‍රිත නගර, ඇමරිකාවේ හෝ යුරෝපයේ ඇති නගර තරම් විශාල නැත. ඒ නගර වල සිටින මිනිසුන් බොහෝ දෙනා දුප්පතුන් ද වේ. එහෙත් ඔවුන් සමහරවිට අනෙක් සෑම රටකටම වඩා සතුටෙන් ජීවත් වෙනවාදෝ කියා නම් සිතේ.

වෙළඳපොළකට එක් රැස් වන ගැහැණුන් මෙන්ම පිරිමින් හැඳ සිටින සරුවාල නොයෙක් පැහැයෙන් යුතු වේ. විශේෂයෙන්ම ගැහැණුන්ගේ ඇඳුම් කහ, කොළ, රතු සුදු හෝ බොහෝ පාට එකට ඇතිව මසා ඇත. මේ දීප්තිමත් ඇඳුම් සහ එකිනෙකා සමඟ තොර තෝංචියක් නැතිව කතා කිරීම ඔවුන්ගේ ජීවිත වල ඇති සරළ කම සහ, සතුටු සහගත බව පෙන්වයි.

ගැහැණුන් දරුවන් ගෙන යන්නේ පිටේ බැඳ ගෙනය. එපමණක් නොව පිටි කෙටීම, කුඹුරේ වැඩ කරන විට පවා, දරුවා පිටේ බැඳ ගෙන වැඩ කරනවා දැකිය හැක. …”අපි නම් ළමයින් ඔහොම වඩා ගෙන යන්නේ නැහැ”…කියා මා කියූ විටෙක, එක ගැහැණියෙක් කිව්වේ,…”ඔබ මුනින් අතට වැටුනහොත් දරුවාට කුමක් වේද යයි? කියාය… “අනෙක් දේ එසේ වඩාගෙන ඔබ අනෙක් වැඩ කරන්නේ කෙසේද ? යන්න තව ගැහැණියක් ඇසීය. කතාවේ ඇත්තක් නැතිවා නොවේ. මම නිරුත්තර වුනෙමි.

කොහොමත් පොඩි උන් නම්, ඒ ආකාරයට උන්ව පිටේ බැඳ ගෙන යනවාට කැමති ඇතැයි සිතේ. ඉදිරියෙන් එන සීතල සුළං මෙන්ම රත් වූ වාතයෙන්ද දරුවාට කරදරයක් නැත. තවද දරුවා පිටේ ඇත්තේ ඔතා ගෙනය. මොකක් හෝ හේතුවකට එවිට උන් අඬන්නේද නැත. සමහරවිට උන්ට මේ අප්‍රිකාණු අම්මලාගේ අක්කරයක ප්‍රමාණයේ මෙට්ටයක් වැනි පස්ස පැත්ත උඩ, හොඳ සනීපයක් දැනෙනවා ඇත.

ලුසාකා නගරය ජනාකීර්ණ වන්නට වූයේ එහි උතුරු සහ නැගෙනහිරෙන් පැමිණෙන දුම්රිය මාර්ග සහ මහා මාර්ග එකතු වන මධ්‍යස්ථානයක් හෙයිනි. ලුසාකා සිට උතුරට වැටෙන මාර්ගයේ කිලෝ මීටර් දෙසීයක් පමණ ඇත්තේ තඹ පටිය [Copper belt] ලෙස හඳුන්වන තඹ නිධි ඇති ප්‍රදේශයයි. යටත් විජිත කාලයේ අග නගරය වූයේ ලිවින්ග්ස්ටෝන් නගරයයි. එහෙත් 935 වසරේ ලුසාකා නගරය අග නගරය වශයෙන් තෝරා ගන්නා ලදුව ප්‍රධාන වෙළඳ පොළවල්, නාගරික මධ්‍යස්ථාන, රජයේ ගොඩනැගිළි එහි කෙමෙන් ගොඩ නැගුණි.

ප්‍රධාන විදෙස් සංචාරක ආකර්ෂණය ඇත්තේ ලිවින්ග්ස්ටෝන් නගරයේය. එනම් වික්ටෝරියා ඇල්ල මේ ප්‍රදේශයේ සිම්බාබ්වේ රට මායිමේ පිහිටා තිබීමය. ලිවින්ග්ස්ටෝන් නගරයේ ඇති කෞතුකාගාරයේ සැම්බියාවට අදාලවූ ඓයිතිහාසික දේවල් බොහෝ ඇත. පැරණි වෙස් මුහුණු මෙන්ම එහි මුලින්ම මේ ප්‍රදේශයට පැමිණි විදේශ ජාතිකයා වූ එංගලන්තයේ උපන් ‘ඩේවිඩ් ලිවින්ග්ස්ටෝන්’ සම්බන්ද විස්තරද , ඔහු වෙනුවෙන් තනන ලද ස්මාරකයද ඇත.

ලුසාකා නගරයේ සිට උතුරට වැටී ඇති පාරේ , තවත් විශාල නගර වූ කිව්වේ, එන්ඩොලා, චින්ගෝලා සහ මුෆුලිරා වැනි නගර ඇත. මේවායේ ප්‍රධාන කර්මාන්තය වන්නේ ‘තඹ නිස්සාරණය’ වුවද, නිමි ඇඳුම්, පයිප්ප තැනීම, ආහාර සම්බන්ද කර්මාන්තයන්ද පවතී. අප්‍රිකාවේ ඇති අනෙක් බොහෝ නගරවලට ඇති පොදු ප්‍රශ්නයක් වන, ගමේ සිට මිනිසුන් නගරයට ඇදීම ලුසාකා නගරයටද බලපා ඇත. විශේෂයෙන් තරුණ තරුණියන් රැකියා සොයා නගරයට ඇදුනද, බොහෝ විට ඒ බලාපොරොත්තු කඩ වී, අවසානයේ නගරයේ මුඩුක්කු පරිසරවලට යොමු වේ.

එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ, ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු වීම මෙන්ම ගණිකා වෘත්තීය හේතුවෙන් ඇතිවන ඒඩ්ස් වසංගතය ඇති වීමය. ඒඩ්ස් වසංගතය මර්දනය කිරීම පිණිස රේඩියෝවේ, රූපවාහිණියේ මෙන්ම නගරවළ ඇති පෝස්ටර මගින්ද ඒ සම්බන්දව ප්‍රසිද්ධියක් දෙනු ලැබේ.

මේ අතර නගරයේ හිඟන්නන් ගේ ප්‍රමාණයද වැඩි වන්නේ, මේ ගම්මාන වලින් නගරයට සංක්‍රමණය වන මිනිස් ගංගාව හේතුවෙනි. කෙසේ හෝ හිඟා කෑම ලුසාකා හී තහනම් කර ඇත. මේ සඳහා සැළකියයුතු මට්ටමක ප්‍රශන්ශනීය ආකාරයක ශුභ සාධන සේවා ක්‍රියාත්මක වේ. “සිඟා කෑමට දිරි නොගන්වන්න” සේ නගරයේ දැන්වීම් ලියා ඇත. මේ ආකාරයට නගරයට පැමිණ හිඟන්නන් සේ ජීවත් වන කොටස් හඳුනා ඔවුන්ට දිරි ගැන්වීමේ දීමනා දී නැවත ඔවුන් පැමිණි ප්‍රදේශ වලට යාමට රජය විසින් උදව් කරනු ලැබේ. එහෙත් එය ඉතා අපහසු දෙයකි.

කෙසේ හෝ මේ දුගී ජනතාව ජීවත් වීමට ඉතා කුඩා ආදායමක් ලැබෙන ‘සපත්තු පිස දැමීම’ වැනි රැකියාවල් වලට යොමු වේ. සැම්බියාවේදී ඔබේ සපත්තුව කැඩී ගිය විට එය විසි කර අලුත් සපත්තුවක් ගැනීමට අවශ්‍ය නැත. ‘ක්වාචා’ කිහිපයකට එය ඔබට පාරේදීම අලුත් වැඩියා කර ගත හැක. එසේ නැත්නම්, ඔබගේ ඇඳුම හදිසියේ ඉරී ගියේ නම්, පාරේම සිටින ඇඳුම් මසන්නන් එය හනික අලුත්වැඩියා කර දෙනු ඇත.

ඔවුන් බස් නවත්වන තැන හෝ ගහක් යට හෝ පදික වේදිකාවේ හෝ ඕනෑම තැනක සොයාගත හැක. කකුලෙන් හෝ අතෙන් කරකවන ඇඳුම් මහන මැෂිමක් ඇතිව පාරක් අයිනේ සිටින්නෙක් සොයා ගැනීම ඉතා පහසුය. තඹ කර්මාන්තය සඳහා කම්කරුවන් අවශ්‍ය වූ දශක තුනකට පෙර අතීත යුගයේ නම්, පිරිමියෙක් මේ ඇඳුම් මැහීමේ යෙදෙන්නේ නැත. එහෙත් අද දින ඒ තත්වය කෙමෙන් වෙනස්ව යන්නේය.

ආණ්ඩුව විසින් මේ ගම්මාන වල සිට සංක්‍රමණය වන ජනතාව, එම ප්‍රදේශවලම නවත්වා තැබීමට දිරි දීම වස් බොහෝ සේවාවන් කෙරුනද, මේ නගරයට සංක්‍රමණය වීම වළක්වන්නට නොහැක. එහෙත් ලුසාකා වල සිටින මේ ජනගහනයට අමතරව තවත් විශේෂ කොටසකි. එනම් ධනවත් වෙළෙන්දන්, දේශපාලනඥයන්, මධ්‍යම පාංතික නිළධාරීන් වැනි අයයි. මේ අය සැම්බියාව එංගලන්තයට යටත් කාලයේ එම සුදු ජාතිකයන් විසූ, ජනගහණය අඩු එහෙත් සුඛෝපභෝගී සේ තැනූ විශාල නිවාස වල ජීවත් වේ.

යටත් විජිත වාදයේ සපත්තුවට පෑගී සිටින යුගයට වඩා සැම්බියාවේ මිනිසුන් අද දින සමාජයේ වඩා වැඩි ශ්‍රම කොටසකට සම්බන්ද වේ. ස්ත්‍රීන් පවා ඉහළ තලයේ රැකියාවල් කරනු පෙනේ. සැම්බියාවේ මාධ්‍ය ජාලයේ පොදු රූපවාහිණී සේවා මෙන්ම පුද්ගලික සේවාවන් ද ඇත. මේවායේ තත්වය කෙමෙන් හොඳ තත්වයට එන බට ලකුණු පෙනේ.

පොදු මහ ජනතාවගේ ගමනා ගමනය දුම්රිය මෙන්ම කුඩා වෑන් රථ වේ. මේ වෑන් රථයක යා හැකි ප්‍රමාණය මිනිසුන් දහ දෙනෙක් පමණ වේ. ලංකාවේද මේ ආකාරයේ වෑන් රථ වලින් මගී ප්‍රවාහණය කිරීම මෙයට දශක කීපයකට පෙර පැවතුනා ඔබට මතක ඇතැයි සිතමි. මෙවැනි වෑන් රථයක ඔබ ගමනක් යන්නේ නම්, යාබද අසුනේ සිටි මගියා අසන ප්‍රශ්න වලට උත්තර දෙන්නට සිදු වනු ඇත. එසේ නැත්නම් ඔහු හෝ ඇය ඔබට චීන ලාභ බඩුවක් වෑන් එකේදීම විකුණන්නට උත්සාහ කරනු ඇත. නැතහොත්, සිට ගෙන යන ඔහුගේ මල්ල, හිඳ ගෙන යන ඔබට ගෙනයන්න සිදු වනු ඇත. ඒ මල්ලේ කුකුල් පැටව් හෝ බිත්තර තියෙන්නට පුළුවන.

මේ රටේ බොහෝ ස්ථාන සහ මිනිස් ගති පැවතුම් ලංකාවේ මිනිසුන්ට සමාන වේ. උදාහරණයක් සේ බස් නැවතුමේ පින්තුරය බලන්න. එය ලංකාවේ බස් නැවතුමක් මෙන් වේ. එකම වෙනස නම්, වහින වෙලාවට වහළයට වැටෙන ජලය එක් වීමට ටැංකි තනා තිබීමය. මේ ජළය බස් නැවතුම සහ බස් සේදීම වැනි දෙයට ගනී.

Untitled3

සැම්බියාවේ අන්තර් ජාතික පාසැල් වල දැකිය හැකි සුලභ දසුනක් වන්නේ, කළු පැහැ, දුබුරු පැහැ මෙන්ම සුදු පැහැ දරුවන්ද ඒවායේ ඉගෙනීම ලබනු බවයි. මේ සුදු පැහැ දරුවන් බොහෝ විට සැම්බියාවේ ජීවත් වන බටහිර විදේශ ජාතිකයන්ගේ දරුවන් වේ. ඒ අතර ඉන්දියානු, පකිස්ථාන මෙන්ම ශ්‍රී ලාංකික දරුවන්ද සිටී. විශ්ව විද්‍යාල සීයක් පමණ ඇත. නිදහස් අධ්‍යාපනය මෙන්ම මුදල් ගෙවා කරන අධ්‍යාපනයද එහි පවතී. විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නා දේශීය ශිෂ්‍යාවන් බොහෝ විට අධ්‍යනය කරන්නේ මිනිස් ආචරණ සහ සමාජ අධ්‍යයනය යන විෂයන් වේ.

අනෙක් අප්‍රිකාණු රටවල් බොහොමයක මෙන්, නැටුම් සහ සංගීතය ජන ජීවිතයට තදින් බද්ධවී ඇති දෙයකි. එය විනෝදයට පමණක් නොව, සෞඛ්‍යය, සෞභාග්‍යය, ආරක්ෂාව, දරු උපත හෝ මරණය වැනි බොහෝ දේට සම්බන්දය. මේ අතර ඉන්දියානු නැටුම් පන්තියක් ගැනද දැන්වීමක් මා දුටුවෙමි. ‘රෝහණ විජේවීර’ මහතා දශක ගණනාවකට පෙර ලියු ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ නම් පොතේ කියන කරුණු සත්‍යයක් කරමින්, මේ ඉන්දියානුවන් වෙළඳාම සහ අනෙකුත් ක්ෂේත්‍ර වලට ඔවුන්ගේ අත පොවා සිටිති. එසේම ඔවුන් සාපේක්ෂ වශයෙන් දේශීය සැම්බියානුවන්ට වඩා ධනවත් අය වෙති.

ඔබ දකින පින්තුරයේ සැම්බියානුවන්ගේ පාරම්පරික නිවාස පෙනේ. පිරිමියෙක් ගැහැණියක් සහේට ගත් විට, අනිවාර්යයෙන්ම තම දෙමාපියන්ගෙන් ඉවත් විය යුතුය යන්න සම්ප්‍රදායක නීතිය වේ. එම විවාහය සඳහා පිරිමියා ඉහත ආකාරයේ නිවාසය තනන්නේ බට පැළලි සහ සැම්බියාවට ආවේනික තණ පත් මගිනි. ඉන් පසු ඔහුගේ බිරිය විසින් මැටි සහ වතුර අනා තනන ලද මිශ්‍රණයකින් එම නිවසේ බිත්ති ආවරණය කරන්නේය. මේ නිවාස දකින විට ප්‍රාථමික ලක්‍ෂණ පෙන්වුවද, ඇත්ත වශයෙන්ම ඉතාමත් සැප පහසු ඒවා යයි ආරංචි විය. සැම්බියානු හිතවතෙක්ගේ ආගන්තුක සත්කාරය ලැබීමට වාසනාව ලැබුණු හෙයින් එය සත්‍ය බව තේරුම් ගතිමි.

මේවා ලංකාවේ ගම්මානවල තිබුණු පොල් අතු නිවාස සිහි ගන්වයි. එහෙත් ලංකාවේ පොල් අතු නිවාස වහළයන්ට වඩා දීර්ඝ කාලයක් මේ නිවාස වල වහළය පවතී. හේතුව වන්නේ, ඒ සඳහා ගන්නා බට පැළලි වැනි දේ එකිනෙකට තදින් බැඳ ඇති හෙයිනි. එකම අවුල වන්නේ, කුරුල්ලන් කූඩු තැනීමය. එසේ හෙයින් කුරුල්ලන්ට නම් මේවාට එන්නට ඉඩ නොදේ.

ඔවුන් ඒ පැල්පත් ආලෝකකරණය කරන්නේ, කිසියම් ඝනකම කැකුණ තෙල් වැනි තෙල් ළාම්පු වලින් බව විස්තර කෙරිණ. ඒ තෙල් භූමිතෙල් මෙන් සැහැල්ලු නැති නිසා, මේ නිවාස ගිනි ගැනීමේ අවදානම අඩු වේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: