සැම්බියාව 1 – සාමාන්‍ය වත ගොත.

DSC00844

කාලයක් යන තුරු සැම්බියාවේ විස්තර, එහි අසල්වාසීන් වන සිම්බාබ්වේ, කෙන්යාව හෝ ටැන්සානියාව විස්තර මෙන් බටහිර මාධ්‍යවල ප්‍රචාරය වුනේ නැත. සමහරවිට පසුගිය දශක දෙක පමණ තුල දේශපාලනමය වශයෙන් එය ස්ථාවර වීමද එක හේතුවක් වන්නට ඇත. සාමාන්‍යයෙන් රටේ බොහෝ කොටස් මුහුදු මට්ටමෙන් මීටර් දාහක් පමණ ඉහළ ඇති නිසා, ආර්ද්‍රතාවය අඩු, ප්‍රසන්න දේශගුණයක් පවතී. එහෙත් එය විශාළය. ස්විස්ටර්ලන්තය, ප්‍රංශය ඕස්ට්‍රියාව සහ හංගේරියාව එකට ගත් විට පමණ එය විශාලව, රටේ හැඩය දැවැන්ත සමනළයෙක් පියාපත් විහිදා ඉන්නවා මෙන් පෙනේ. මෙය කෙතරම් විශාලදැයි කියන්නට මා කුඩා උදාහරණයක් ඔබට කියමි.

සැම්බියානු හිතවතෙක් සමඟ එහි කෘෂි කර්මය සහ වාරිමාර්ගය ගැන කතා කලෙමි. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වුවද, පව්ලේ අය ගොවියන් බව කීවේය. ඔහුටද පව්ලෙන් උරුම වූ ඉඩම් ඇති බව කීවේය. ඔහුට අයිති ඒ ඉඩම් ප්‍රමාණය අක්කර හය දාහකි ….!! එහෙත් ඒ ප්‍රමාණය මධ්‍යම තරමේ ගොවියෙක්ට අයිති ඉඩම් ප්‍රමාණය බව ඔහු කීවේය.මේ වත්තේ හෙවත් ගම්මානයේ, නිවාස බොහොමයකට ජල විදුළිය ලැබෙන්නේ ඔහු විසින් එහි යන ගංගාවක් හරස් කිරීමෙනි.

මෙසේ අති විශාල ඉඩම් ප්‍රමාණයක් බොහෝ අයට ඇති තවත් හේතුවක් වන්නේ, රටේ තරමට වඩා අඩු ජනගහණයයි. එය මිලියන අටක් පමණ වේ. මේ රට බටහිර ජාතීන් විසින් එතරම් ආක්‍රමණය නොකිරීමට හේතුව වන්නේ, රටේ විශාලත්වය මෙන්ම, එය Land locked රටක්, එනම් මුහුදක් නැති රටක් යන හේතු නිසාය. අප අතීතය ගැන කතා කළහොත්, රටේ මිනිසුන් සිටි බවට ලකුණු අවුරුදු දෙලක්ෂයකට පමණ ඈතට විහිදෙන බව සොයා ගෙන ඇත. ලී වලින් නිම කරන ලද හෙල්ල ඇති ආයුධ භාවිතා කල ඔවුන් පළතුරු එක් කිරීම, මසුන් මැරීම සහ වන සතුන් දඩයම් කිරීම කලහ. එහෙත් ඔවුන් පස සකසා ගොවිතැන් කල බවට සාධක නැත්තේය. මේ ගල් යුගයේ මිනිසුන්ගෙන් දැනට ඉතිරිව ඉන්නා කෙනෙක් නැත. එහෙත් සැම්බියාවේ වැඩියෙන්ම විසිර ඇති ‘බන්ටු’ නම් වූ ගෝත්‍රය ඔවුන්ගෙන් පැවැත එන්නේය.

ඕනෑම ප්‍රාථමික දේව ආගමක ඇති ලක්ෂණය වන ‘මහ දෙවියා’ ඔවුන්ගේ ආගමේ මූලය විය. ස්වභාව ධර්මයේ ලක්ෂණ හඳුනා ගත නොහැකි වූ ඔවුන්, ඒ අකුණු ගැසීම්, වළාකුළු තැනී ඇතිවන වර්ෂාවන් සහ, කඳු පොළවේ සිටවනු ලැබුවේ එම මහ දෙවියා විසින් යයි විශ්වාස කලහ. මැජික් සහ මායාවල් විශ්වාස කල ඔවුන්ගේ ජීවිත සිදුවීම්, ඒ අතර දෝලනය විය. වැඩවසම් ක්‍රමයක් තිබුණු සැම්බියාවේ ගම් වල ග්‍රාම ප්‍රධානියෙක්ද, අවසානයේ ඒ ග්‍රාම ප්‍රධානින්ට නායක වූ ප්‍රාන්ත රජෙක්ද සිටියේය. ඊජිප්තුවේ විශ්වාස කළා මෙන් මේ රජුටද දිව්‍යමය බවක් ආරෝපණය කර තිබුණි.

‘ෆෙයිරා’ යන මුහුදට කිට්ටු ප්‍රදේශය හැර, දහ අටවන සියවස තෙක් සැම්බියාව හඳුනා ගෙන තිබුනේ රත්තරන් ඇති රටක් ලෙසිණි. එහෙත් අරාබි මුස්ලිම් වරුන් මේ රටවල් කෘර සේ කොල්ල කා මිනිසුන් සේ වහළුන් බවට රැගෙන ගියහ. පසු කලක මේ වහල් වෙළඳාම මුසල්මානුවන්ගෙන් බටහිර ජාතීන් අත්පත් කරගන්නා ලදී. එයට එක් හේතුවක් වූයේ බ්‍රසීලයේ උක් වැවීම සහ එයින් ආරම්භ කරන ලද සීණි කර්මාන්තයට වහළුන් බොහෝ අවශ්‍ය වූ හෙයිනි. මේ ලාභ ගෙන දෙන වහල් වෙළඳාම මුසල්මානුවන්ගෙන් බටහිර ජාතීන් උදුරා ගත්හ. ප්‍රථමයෙන්ම පෘතුගීසීන් විසින් සැම්බියාව ආක්‍රමණය කරන ලදී.

මුල් කාලයේ භාණ්ඩ සඳහා මුදල් භාවිතා කල බවක් නොපෙනේ. එනම් මුදල් සඳහා ලුනු, යකඩ වලින් තැනි දේවල්, මැටි වලින් තැනූ හැලි වැනි දේ, ඇඳුම් සහ සුවඳ විළවුන් ගන්නා ලදී. [… කරුණාකර මුදලේ විකාශය ගැන ඇති වැඩි විස්තර සඳහා, ‘මුදල් නෝට්ටුව විකාශනය වී අවසානද’ යන ළිපිය සර්ච් කර බලන්න …] එහෙත් ඉහත භාණ්ඩ වලට පසු, එනම් මුදල් මේ භාණ්ඩ හුවමාරුව සඳහා එන්නට පෙර ඇත් දළද මුදල් වෙනුවට හුවමාරු විය. එයට විශේෂ හේතුවක් තිබිණ. ඉන්දියාවේ ඇත් දළ වලට විශේෂ ඉල්ලුමක් තිබුනේ, ආසියානු ඇත් දළ වලට වඩා කපා හැඩයක් දමා යම් යම් උපකරණ සහ සැරසිළි තැනීම සඳහා අප්‍රිකාණු ඇත් දල වඩා මෘදු වීම හේතුවෙනි.

කුඩා කාලයේ පටන් තිබුණු එක්තරා මෝඩ අදහසක් සහ ආශාවක් ඉටු කර ගැනීමේ අදහසක්, සැම්බියාවට පැමිණි පසු නැවත මගේ සිතට පැමිණියේය. එනම් ඇත් දළ යුවලක හිමි කාරයෙක් වීමටය. ඒ දළ දෙකක් දෙවන වතාවටද ආසාවෙන් අල්ලා බලා, අදහස අත හැර දැමුවේ, වෙළඳපොලේ එම ඇත් දළ යුවළ ඇති කැබිනෙට්ටුව හිස් වුවහොත්, තවත් ඇතෙක්ගේ ජීවිතය නැසෙන හෙයිනි. පළවන වතාවට මේ අදහස ඇති වූයේ උතුරු සුඩානයේදීය. එය වෙනම කතාවකි. නැවත සැම්බියාවේ විස්තර වලට.

දහ අටවන සියවසේ සිට තවත් වැදගත් ද්‍රව්‍යයක් වූ තඹ හෙවත් කොපර් වලටද ඉල්ලුමක් තිබුණි. එහෙත් ඒ ඉල්ලුම ඇති වූයේ මෝස්‌තර සහ කණකර ආයිත්තම් සඳහා විය. එහෙත් තඹ නිධි පස්වන සියවස තෙක් ඈතට යන්නේය. මුලින්ම මෙහි පැමිණි බටහිර ජාතීන් වන පෘතුගීසින් ආකර්ෂණය වූයේ කොපර් වලට වඩා රත්තරන් වලටය.

ඉහත කී ෆෙයිරා යන ස්ථානය හරහා මේ ද්‍රව්‍ය බටහිරට ඇදිණි. කෙසේ හෝ පෘතුගීසින් කොතරම් සැම්බියාවේ වස්තුව සහ මිනිසුන් වහළුන් බවට රැගෙන ගියද, සැම්බියාවට ඇති ප්‍රසිද්ධිය විශාල සේ වැඩි වීමට වෙනත් සම්පූර්ණ වෙනස් හේතුවක් උපයෝගී විය. මේ සඳහා එංගලන්තයේ උපන් විශේෂ පුද්ගලයෙක් හේතු විය. ඔහු මිෂනාරි වරයෙක් සහ දොස්තර කෙනෙක් වූ, ‘ඩේවිඩ් ලිවින්ග්ස්ටෝන්’ වේ. සුද්දා යන යන තැන රැජිනගේ නම ඇලවීම හෝ බයිබලයේ නමක් අලවන හෙයින්, ස්වදේශිකයන් විසින් මෙතෙක් ‘මොසි-ඕ-ටුන්යා’ ලෙස හැඳින්වූ දැවැන්ත දිය ඇල්ලට වික්ටෝරියා දිය ඇල්ල කියා නම් දුන්නේය. මේ ආකාරයට, ලංකාවේ ඇති බතලේගල කන්දට ‘බයිබල් රොක්’ කියා නම දුන්නා කියා ඔබ දනී.

ලිවින්ග්ස්ටෝන් ගේ වචනවලින්ම කියන ආකාරයට, “මා දැවැන්ත සැම්බිසි ගංගාවට ආකර්ෂණය වීමි. එය මගේ ජීවිතයට ත්‍යාගයක් මෙන් විය”… “දෙවියන්ට බිය වන්න- මහන්සි වී වැඩ කරන්න” යන්න ඔහුගේ උත්දෘත පාටය විය. ඔහු සැම්බියාවේ නොයෙක් පළාත්වල සංචාරය කලේය. අවුරුදු දාසයකට පසු නැවත එංගලන්තයට ගිය ඔහුව ජාතික වීරයෙක් ලෙස පිළිගන්නා ලදී. ඔහුගේ ප්‍රසිද්ධම දේශනය වන කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සෙනෙට් නිවාසයේදී, එම දේශනය ඔහු අවසන් කලේ මෙසේය.

…”මා ඔබගේ අවධානය අප්‍රිකාව වෙත යොමු වන්නට ආයාචනය කරන්නෙමි”…” තවත් අවුරුදු කීපයකින් මා අප්‍රිකාවෙන් ඉවත් වන බව දැනේ”…”එහෙත්, එය නැවත වැසෙන්නට ඉඩ නොහරින්න”…”මා වෙළඳාම සහ ක්‍රිස්තියානිය සඳහා නැවත අප්‍රිකාවට යන්නෙමි”…” එහෙත් මා ආරම්භ කල දේ මෙතනින් නවතා දැමීමට ඉඩ නොහරින්න”…

ලිවින්ග්ස්ටෝන් ගේ එක්තරා සිහිනයක් වූයේ නයිල් නදියේ ආරම්භය සෙවීමය. නවීන විද්‍යාව දියුණු අවදියක මෙය එතරම් අපහසු දෙයක් නොවුවද, එදා මහා ඝන කැලෑව සහ ඝෝර සර්පයන් සහ වන සතුන් අබියස මෙය යෝධ ප්‍රයත්නයක් විය. 1873 වසරේ, ඔහුගේ 60 වන උපන්දිනයේ, බන්වෙයිලු ගංගාවේ කලල් භුමිය හරහා ඔහු සංචාරය කරන විට, යම් රෝග තත්වයක් නිසා ඇති වූ ශරීරයේ අභ්‍යන්තර ළේ ගැලීම් නිසා ඔහු ජීවිතයෙන් සමු ගත්තේය.  පසුව ඔහුගේ ශරීරය එංගලන්තයට ගෙන යන ලදුව, අද දින එය වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ මිහිදන් කර ඇත. අවසානයේ ඔහු විශ්වාස කල, ‘දිව්‍යමය සැලැස්ම’ වූ එංගලන්තයේ කාර්මික විප්ලවය සඳහා වූ අමු ද්‍රව්‍ය අප්‍රිකාවෙන් ලැබීම සඳහා ඔහු කල මෙහෙය බොහෝ ප්‍රයෝජනවත් විය.

ලිවින්ග්ස්ටෝන් ගේ මරණයෙන් ‘පෘසියන් අධිරාජ්‍යය’ හෙවත් එවකට බලවත් වූ ජර්මන් අධිරාජ්‍යයේ අප්‍රිකාවේ සීමා තේරුම් බේරුම් කරගන්නා ලදී. 1885 සහ ඉන් පසුව අප්‍රිකාණු සහ මුස්ලිම් වහල් වෙළඳුන්ට මේ නව යුරෝපීය වහල් වෙළඳාමෙන් තර්ජන ඇති විය. කෙසේ හෝ ලිවින්ග්ස්ටෝන් ගේ අප්‍රිකා ජීවිතයෙන් එංගලන්තයට වැඩි ඵල නෙලා දුන්නේ යුරෝපීය මිෂනාරි වරුන්ය. ඔවුන් සැම්බියාවේ සිටින ‘ආත්මයක් නැති මිනිසුන්’ හෙවත් ‘කකුල් දෙකේ ශක්තිමත් සතුන්’ ගැන එංගලන්තයට වාර්ථා කලහ. ඒ අනුව එංගලන්තයට වහළුන් සැපයීමේ මුල් ඔත්තු කරුවන් වූයේ මේ දෙව්ගැතියන්ය.

එසේම ‘කටන්ගා’ වැනි ප්‍රදේශ වල ඇති තඹ නිධි ගැන ඔවුන් එංගලන්තයට විස්තර සැපයූහ. එංගලන්තය ඒ අනුව ගොස් තඹ මෙන්ම සැම්බියාවේ දකුණු පස ලබාගත හැකි ඇති දියමන්ති ගැනද උනන්දු වූහ. මේ ආකාරයේ කටයුතු නිසා අවසානයේ පෘතුගීසි ජාතින් වැනි අනෙක් සියලුම ජාතීන් අභිබවා එංගලන්තයේ බලය සැම්බියාවේ තහවුරු විය. එතැන් සිට සැම්බියාවට නිදහස ලැබෙන තෙක් කාලය වෙනම කතාවකි. එය මෙවැනි කෙටි ලිපියකින් කීම අපහසු, ලංකාවට නිදහස ලැබුණු දා සිට සිදු වූ දේ ඇති වැනි වූ සංකීර්ණ කතාවක් වේ.

දෙවන මහා ලෝක සංග්‍රාම අවදියේදී, බොහෝ සැම්බියානුවන්ට යුරෝපයට යාමට හැකිවීම සහ යුද්ධයෙන් පසු ඔවුන් ලබාගත් දේශපාලන අත්දැකීම් පසු කලක රට නිදහස් වූ සමයේ දේශපාලන පක්ෂ ඇති කිරීමට ප්‍රයෝජනවත් විය. වෙනත් අයුරකින් කියනවා මෙන්, ලංකාවේ සිදු වුනා මෙන්ම, කළු සුද්දන් රැසක් රටට පැමිණියෝය. සැම්බියාව එංගලන්තයෙන් නිදහස ලබා ගත්තේ 1964 වසරේදීය. 1964 ඔක්තෝබර් 23 වන දින මධ්‍යම රාත්‍රියට මිනිත්තු දෙකකට පෙර, අවසාන වතාවට එංගලන්තයේ ජාතික ගීය වාදනය විය.

පසු දින රට පාලනය, ‘ජනාධිපති කෙනත් කවුන්ඩා’ විසින් බාර ගන්නා ලදී. සිරිමා බණ්ඩාරනායක මැතිණිය බලයේ සිටි කාලයේ ලංකාවේ පැවතුණු නොබැඳි සමුළුවට ඔහුද සහභාගී වූ බැව් ඔබ සමහරෙක්ට මතක තියෙන්නට පුළුවන. මේ සමුළුවේ ප්‍රතිඵලයක් සේ බොහෝ ශ්‍රී ලාංකිකයන්ට සැම්බියාවේ රැකියා ඇබෑර්තු ඇති විය. විශේෂයෙන් ගුරු වෘතිය සඳහා බොහෝ ශ්‍රී ලාංකිකයන් සැම්බියාවට ගියහ.

එහෙත් නිදහස ලැබූ පමණින් සැම්බියාවේ දියුණුව සීඝ්‍ර නොවන්නට එක් හේතුවක් වූයේ, තඹ යන ප්‍රධාන ද්‍රව්‍යය මත පමණක් ආර්ථිකය රැඳී තිබුණු හෙයිණි. නිදහසෙන් පසුවද, කෘෂි කර්මය සුදු ජාතිකයන් අතේ තිබිණ. රටට මුහුදක් නැති නිසා, එහි ආර්ථිකය රොඩේෂියාව, දකුණු අප්‍රිකාව, මොසැම්බික් සහ ඇන්ගෝලා යන රටවල් මත තඹ රැඳීනි. අනෙක් අතට ඔවුන්ව යටත් කර සිටි එංගලන්තය විසින් රටේ අධ්‍යාපනය සඳහා කිසිම ආකාරයේ ප්‍රයෝජනයක් ලබා නොදුන් බවද සැම්බියානු ජාතිකයන් අදද මැසිවිලි නගති.

නිදහස ලැබෙන විට මේ දැවැන්ත රටේ සිටියේ එංගලන්තයේ ඉගෙන ගත් උපාධිධාරීන් සියයක්, එක දොස්තර කෙනෙක් සහ එක ඉංජිනේරුවෙක් පමණි. ඔවුන් අතර එක ගැහැණියෙක් වත් සිටියේ නැති බව ඔවුන් කියති. නිදහසට පෙර සැම්බියානුවෙක්ට රජයේ ආයතනයක ලබා ගත හැකි  ඉහළම වෘත්තීය වූයේ ප්‍රධාන ළිපිකරු බව පමණි.

මෙසේ නිදහස ලබාගන්නට පෙර 1955 වසරේ කරීබා වේල්ල තනා විශාල ජල විදුළි බල මධ්‍යස්ථානයක් ඇති කිරීමට එංගලන්තයේ අනුග්‍රහයෙන් ආරම්භ විය. එයද තැනුවේ එංගලන්තයට තඹ ලබා ගැනීමේ ඒකායන අරමුණෙනි. එනම් එම තඹ නිධි වලට අවශ්‍ය වන බලය ලබා ගැන්මටය.

මේ ඔබ දකින්නේ එම විශාල වේල්ල උඩ සිට ගත් සැම්බිසි ගඟේ පින්තුරයකි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: