ඔබ ‘ආදම් සහ ඒව’ ගැන අසා ඇතැයි සිතමි. ‘ඒව ගේ උයන’ නම් ස්ථානයක් තිබුණා යයි බයිබලයේ කියැවේ. මේ ගස වැවී ඇත්තේ එම උයන ගැන සලකුණක් ලෙසින් යයි බහරේනයේ ප්‍රචලිත දෙයකි. තවත් ජන ප්‍රවාදයක් අනුව මේ ගස පුරාණ සුමේරියන් දෙවියෙක් වන, ‘ඉන්කි’ විසින් පැළ කරන ලද්දකි. අළුත් දෙවියන් පැමිණි නිසා, ඒ පැරණි දෙවියා එළියට විසිවී ඇති හෙයින්, දැනට ඔහුට නහින දෙහින කාලයේ කරන්න ඉතිරිව ඇත්තේ මේ ගස බලා ගැනීම පමණක් දෝ යයි සිතේ.
මේ ඔබ දකින්නේ, බහරේනයේ ඇති අවුරුදු හාර සීයක් හෝ ඊටත් වඩා පැරණි ගසකි. එය පිහිටා ඇත්තේ බහරේනයේ අගනුවර වන ‘මනාමා’ සිට පැය භාගයකින් පමණ යා හැකි, ‘සජරාට්-අල් හයාට්’ ප්‍රදේශයේ දැඩි හිරු රැස් ඇති මරු කතරක් මැදය. ක්ෂිතිජයේ ඈත පෙනෙන තෙක් මානයේ කිසිම ගසක් පෙනෙන්නේ නොමැති තැනක මෙය වැවී ඇත. මේ ගහේ සිංහළ නම කුමක්ද, කුමන වර්ගයේ ගසක් දැයි නොදනිමි. එහෙත් ටෙක්සාස් වැනි කාන්තාර ප්‍රදේශ වල මේවා සුලභය. ඉංග්‍රීසියෙන් නම් මෙයට කියන්නේ ‘mesquites’ කියාය.
ඕනෑම මැද පෙරදිග රටක මෙන්ම, බහරේනයේද ග්‍රීෂ්ම කාලයේ ඇති වන උෂ්ණත්වය ඉතා අධික වේ. එළිමහනේ උෂ්ණත්වය ඇතැම් විට අංශක 55 පමණ අගයකට යයි. ලෝක උෂ්ණත්වය මේ තරම් වැඩි වන්නට පෙර බහරේනයේ මේ පළාතද සමහරවිට මෙතෙක් උෂ්ණාධික ස්ථානයක් නොවන්නට ඇත. ඒ අනුව සමහරවිට මේ ගස මෙහි පැළ වෙන්නට ඇත. ඇතැම් විට මේ ගස පැවතීම සඳහා ජල සීරාව පසේ තිබුනා වෙන්නටද ඇත. නැතහොත් මේ ගසේ මුල් මීටර් පණහක් පමණ පොළව යටට ගොස් ජලය සොයා ගන්නේ යයි කියාද කෙනෙක් කියත්. කෙසේ හෝ එය අදත් නිරුපද්‍රිතව තිබීම නම් පුදුමයක් සේ පෙනේ.
මෙහි ඇති අනෙක් පුදුමය නම්, මේ ගස් වර්ගයේ නිජ බිම ඇමරිකාව වීමය. මෙයට අවුරුදු හාරසීයකට පෙර ඇමරිකාවෙන් මේ පළාතට පැමිණි කෙනෙක් නැත. එසේ කෙනෙක් මෙහි පැමිණියද, මේ චණ්ඩ හිරු රසින් දැවෙන කාන්තාරයක් මැද ගසක් වවන්නට හේතුවක් නැත.
එසේ හෙයින් මෙවැනි ගහක් ඇති වීම අසාමාන්‍ය සිද්දියක් සේ බහරේනයේ ජනතාව සිතයි. එසේ හෙයින්ම මෙම ගසට දී ඇති නම වන්නේ, ‘ජීවන ගස’ හෙවත් “The tree of life”යන්නය. පළාතේ පවතින උෂ්ණත්වය පමණක් නොව, කෙනෙක් විසි වී යන තරමේ අධික සුළං ඉදිරියේද මේ ගස පවතී. වැලි සමඟ මුසුව එසේ හමන සුළං ධාරා, රත් වූ පෝරණුවකින් එන සුළං මෙනි.
මෙතනට ගිය මට මේ ගස පැවතීමට වඩා පුදුමයක් වූයේ, මේ ගසට මේ පළාතේ ඇති මිනිසුන්ගේ සැලකීම ගැන ඇසීමෙනි. ග්‍රීෂ්ම සෘතුව නොමැති කාලයේ බොහෝ මිනිසුන් මේ ගස බලන්නට පැමිණේ. ගණන් බලා ඇති අයුරෙන් අවුරුද්දකට මේ ගස බලන්නට, පනස් දාහක මිනිසුන් එති. එසේම මේ ගස අවට කූඩාරම් ගසා ඔවුන් ජීවත් වෙති. එය හරියට තරමක සැණකෙළියක් වැනිය. එහි එන වෙළෙන්දෝ මිනිසුන්ට කෑම බීම සපයති. මේ සැණකෙළිය සඳහා බහරේනයේ කාන්තාරයක් මැද, ගසක් පැවතීමේ දුර්ලභතාවයක් හැර වෙන කිසිම හේතුවක් මේ සඳහා නැත.
මේ ගස අවට ඇති භුමිය වටේ තාප්ප ගසා තැබීමෙන්, එයට බහරේන ආණ්ඩුවෙන් ඇති සැළකිල්ල ඔබට පෙනෙනු ඇත. බහරේන් ගුවන් තොටුපලේ, මේ ගස ඇඳි පින්තුර සහ කෝප්ප කෙනෙක්ට සිහිවටන සේ මිළදී ගත හැක. එය බහරේන වැසියන්ට ජාතික වස්තුවකි. ගසක වටිනාකම දැන ගැනීමට රටක් කාන්තාරයක් විය යුතුය යයි මට මෙන්ම ඔබද මෙහි පැමිණියහොත් සිතනු ඇත.
ලවක් දෙවක් නොමැතිව ගස් කපා විනාශ කරන, ලෝකයේ වාර්ථා ගත පැරණිම වෘක්ෂය වන ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය සමච්චලයට ලක් කරන, විල්පත්තුවේ ගෙවල් හදන, එහි ගෙවල් හදන්නට ඉඩ දුන්, ජීවිතේ එක් වතාවක් හෝ ගසක් වැලක් වවා නැති, ලංකාවේ සිටින සමහර ගොන් මැට්ටන්ට බහරේන් ජනතාව ගෙන් ගත යුතු බොහෝ දෑ තිබේ.
බහරේනයෙන් එළියට යාමට පෙර ගසේ පින්තුරය ඇඳ ඇති කෝප්පයක් මිළදී ගතිමි.
Leave a Reply