ලංකාවේ ජන කවි සහ මේ සියවසේ රොබට් නොක්ස් කෙනෙක්…

… එදා ගොයම් කැපීමට එකතු වෙන ගැහැණුන් මෙන්ම මිනිසුන් තරඟයට ගොයම් කවි කියන්නෝය. හිරු රැසෙන් තැවෙන ඔවුන්ගේ විඩාව නැති වන්නට, මෙසේ කවි කීම තවත් හේතුවක් විය. ගොයම් කපන කාලය කුඩා දරුවන්ටද සතුටක් ගෙන දෙන්නේය. එදා තරුණ තරුණියෝ ඔවුන්ගේ විවාහ සහකරු තෝරා ගන්නා ස්ථානයද කමත විය. ඒ අදහසෙන් ඔවුන් කියන ගෘඟාරාත්මක ආකාරයේ කවි මෙන්ම, ගොයම් කවිද නොවුනද, තව තව වර්ගයේ කවි කියන අයද කමතේ බහුල විය…
… මේ කාලයට කොහේ හෝ සිට එන, බාගෙට පිස්සු මෙන් පෙනෙන තලත්තැනී මනුස්සයෙක්, මේ කවි අසා ඒවා ඔහුගේ කොපි පොතක ලියා ගන්නට අපේ පළාතට එන්නේය. ඔහු දිග කලිසමක් ඇන්දද, කවදාවත් සපත්තු දැම්මේ නැත. ඔහුට වටාපතක් වැනි රැවුලක්ද, විශාල දිග කොන්ඩයක්ද තිබිණ. ඒ සියලු දේ ඔහුට හාස්‍යජනක පෙනුමක් ලැබීමට හේතු විය. ගමක්, රටක්, ජාතියක්, ආගමක් ඔහුට නොතිබිණි. එහෙත් පන්සලේ සම්ප්‍රදායික ආකාරයට නොසිතූ එක්තරා හිමි නමක් සමඟ නම් ඔහු බුදු දහම ගැන සාකච්චා කළ බව පැවසේ. ඇත්තටම ඔහු අපේ පළාතේ නොදැකිය හැකි තරම් පැහැපත් සමකින් යුතු විය. ඒ නිසා ඔහුට අපි රොබර්ට් නොක්ස් කීවෙමු. තවත් සමහරු ඔහුට ‘ලංසියා’ කීවෝය. දරුවන් පහු පසු පස යන හෙයින්, මගේ පියා ඔහුට දමා තිබුණු නම ‘පයිඩ් පයිපර්’ විය.
ගොයම් කැපීමෙන් පසු පුරන් වන ලියැදි වල කුඩා අප බෝල ගැසුවෙමු. එසේ නැත්නම් ඔට්ටු සෙල්ලමේ යෙදුනෙමු. මේ අතර ලියැදි වල වැටී ඇති ගොයම් කරල් අහුලන්නට දුප්පත් පහේ මිනිසුන් ගැහැණුන් යාචකයන් එති. නැවත ලියැදි සකස් කරන තුරු මේ පුරන් වූ කෙත් අපගේ සෙල්ලම් පිටි විය. මේ අතර ඔහු පොල් ගහකට පිටදී රොබර්ට් නොක්ස්, හෙවත් ලංසියා හෙවත් පයිඩ්පයිපර් ඔහුගේ සටහන් ලියන්නේය. සෙල්ලම් කර මහන්සි වූ අප ඔහු වටා රොක්ව, ඔහුගේ කියන අපුරු කතා වලට සවන් දෙන්නෙමු…
… එහෙන් මෙහෙන් තවමත් කෑලි මතක ‘නගුල් මුන්නා’ ගේ කතාව, සුර අසුර යුද්ධය, එක් ටැම් ගෙයක සිටි කුමාරි,..ඔහු කියූ කතා විය. වැඩිහිටියන් හඬ ගසන තුරු ඔහු සමඟ සිටීම අප සමහරකුගේ සිරිත විය. මේ පුද්ගලයා ගමේ මාසයක් පමණ සිටී. ඔහු කොහේ සිට ආවාද, නැවත කොහේ යනවාද කියා අපට තේරුමක් තිබුනේ නැත. කවි බොහෝ ගණනක් එක දිගට කීමට හැකි ඔහු ගේ මතක ශක්තිය පුදුමකාර විය. දිනක් අප කීප දෙනෙක් මේ කවි ලියා ගන්නේ කුමටදැයි ඇසුවෙමු. ඔහුගේ පිළිතුර වුයේ ‘සිංහළ ජන කවි පිලිබඳ පොතක් ලියන්නට’ ඔහු ඒවා එකතු කරනවා කියාය. ඔහු එසේ පොතක් ලිව්වාද කියා නොදනිමි. මා සමඟ සිටි අපේ පාසලේ ඉහළ පන්තියක සිටි දුරින් මටද නෑදෑයෙක් වන අයියා කෙනෙක්, ඒ කවි කිහිපයක් රොබර්ට් නොක්ස් ගෙන් අසා කොපි කර නොගත්තේ නම් මේ ළිපිය කවදාවත් නොළියවෙන්නට ඉඩ තිබිණ…
…රාත්‍රී කාලයේ ඔහු වැඩිහිටියන්ට ඉංග්‍රීසි ඉගැන්වූයේය. ඔහු තනිවම කතා කළේය. ‘තනියම කතා කරන්නේ පිස්සන්’ යයි ගමේ වෙද මහතා ඔහුට කිව් විට, පෙරළා ඔහු ඇසුවේ, “ඔබ නිශ්ශබ්ද වුවද, ඔබ ඔබේ හිත ඇතුලේ කොපමණ කතා කරන්නේද” යන්නය. වෙද මහතාට එවිට කට උත්තර නැති විය. ‘තනියම කතා කරන්නෝ, හුදෙකලා වුවන්ය’ යයි පෙරළා තර්ක කල ගමේ සිටි ඉංග්‍රීසි බුද්ධිමතෙක්ට ඔහු කීවේ, “I am not lonely but I enjoy my solitary life” ලෙසිණි. එයට වඩා පැහැදිළි මතකයක් මට ඔහු ගැන නැත. කෙසේ හෝ කාලයත් සමඟම මේ පුද්ගලයා අපේ ගමට ඒම නැතිවිය. ඔහුට කුමකින් කුමක් වුවාදැයි කව්රුවත් දන සිටියේ නැත. කාලයේ වැළි තලාවෙන් දශක කිහිපයක් ගිය තැන මගේ නෑදෑයා ඒ රොබට් නොක්ස් ගෙන් ඔහු ලියා ගත් කවි පොත මෑතකදී මට පෙන්නුවේ, ඒ කවි ගැන ඇති යම් සටහන්ද සමඟය. මේ දිග ඇරෙන්නේ ඒ සටහන් සහ කවි කිහිපයක් වේ…
… රජ කාලයේ මෙන්ම පසුව පැවති පැරණි වැඩවසම් සමාජයේ ජීවත්වූ කවියන් වන්දිභට්ටයන් විය. ඒ උගත් කවීන් රාජ්‍ය සම්මාන ලබමින් ජීවත් වුවද , ගම්බද සිටි සහජ දක්ෂතාවයක් ඇති මිනිස්සු ඔවුන්ගේ දුක් සහිත දිවි පෙවෙත අමතක කර ගැනීමටත්, විනෝදය සඳහාත් කවි කියුහ. එසේ නිදහසේ සිය සිතැඟි ප්‍රකාශ කර ඇති මේ කවි වලින් අපේ රටේ පැරණි ජනතාව, සංස්කෘතිය මෙන්ම සාමාන්‍ය භුගෝලාත්මක කරුණු රැසක් අනාවරණය කර ගත හැක…
… මහ නුවර සිට මතු රට තෙක් ගමන් කල මගියෙක්, ඒ ගමනේ දුර ප්‍රමාණය සඳහන් කරන අතර , ගමනේදී දකින්නට ලැබුණු මතුරට වෙල් යායේ ගොයම් නෙළු රුවැතියකගේ සියුමැළි බවද දක්වයි…
නුවර සිටන් හඟුරන්කෙතට ගව්වයි
හඟුරන්කෙතින් ගලගෙදරට ගව්වයි
ගලගෙදරින් මතුරට වෙලට ගව්වයි
මතුරට වෙලේ නෙලනා ලියට අව්වයි
… පොදු ජනතාව එදා ගමන් කලේ පයින්, බර කරත්ත වලින් හෝ ඔරු පාරු වලිනි. මෙසේ තැනින් තැන නැවතී ලැබුණු දෙයක් උයා පිහා කා විඩා අරිමින් ගමන් කල මගීන් ඒ පළාතේ දුටු දෙයක් කවියකට එක් කළහ. රැකි රක්ෂාවක් සඳහා කන්ද උඩරටට යන්න අදහස් කල තරුණයෙකුට, ඒ අදහස් කල පළාතට යෑමට මාස ගණන් ගත විය. එසේ යන්නාට කඩුගන්නාව කන්ද නැගීමේදී තමාගේ ගම රට සිහිවෙයි. මව් තුරුලේ විඳි සැප සිහි වේ. නෙත් ඉබේම කඳුලින් පිරේ. සිත වාවා ගන්නට බැරි ඔහුගේ මුවින් ගිලි හෙන්නේ කවියකි. ඒ කවියෙන් ඉබේම කඩුගන්නා ප්‍රදේශයට කවදාවත් නොගිය කෙනෙකුට වුවද, ප්‍රදේශය ගැන අදහසක් සිතට එයි…
කළුගල් තිබුණි කඩුගන්නාවේ විදාලා
අකුසල් තිබුණි අපි පූරුවෙ පව් කරලා
දෙපතුල් රිදුණි කඳුහෙල් උඩ නැගීලා
සුරතල් කෙලේ කුමටද අම්මේ නුබලා.
… කරත්ත වලින් ගමන් ගත් ඒ කාලයේ සිය දිවි පෙවෙත රැක ගන්නට දැරි අපමණ මහන්සියේ දී, ගමේ සිටින තමන්ගේ දරු දැරියන් බිරින්දෑ රැක ගැනීම යුතුකමක් හෙයින්, කරත්තවල බඩු පටවා ඈත ගම්වලට ගොස් වෙළඳාම් කල කරත්ත කරුවන් මොහොතකට සිය දුක තුනී කර ගත්තේ කවියෙනි… පුර සොඳිනා මඩකලපුව සමීපය පුරුදු වුනා කරදිය වතුර සාපය වතුර නෝනා ඇස් දෙක දන්නෙත් බැරිය අප විඳිනා දුක දනිතොත් දෙමව්පිය
බතල කන්ට බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනළ කන්ද
පූරුවෙ මගේ කරගත් පින කින්ද
සීරු ලෙස අවිත් මෙගමට පද බැන්ද
නාරු ඉඩයන්ට එතනින් මහ තුන්ද
බේරුවලට කඩ ඉම මාගල් කන්ද
… ඇතැම් ජන කවි ඇසුරෙන් ලංකාවේ නොයෙක් පළාත්වල උපදන දේ වැවිළි කර්මාන්තය ආදිය ගැන අවබෝධයක් ලැබේ. මුහුදු බඩ මහා මාර්ඝයේ ගමන් කර කොළබ පසු කරන විට දකින්න ලැබෙන්නේ නොයෙක් ආකාරයේ පළතුරු වලින් සරුසාර ප්‍රදේශයකි. බොහෝ පළතුරු වෙළෙන්දියන් එදා මෙහි සිටියෝය. ජනාකීර්ණ වීම නිසා අද මේ පළාතේ පළතුරු උයන් අතුරුදහන්ව ඇති වුවද, එදා නම් මේ පළාත් සරුසාර පළතුරු බිම් වෙන්නට ඇත. පහත කවියෙන් එය ඔප්පු වේ…
පින් සිරින් ළඳුන් වසනා විමානේ
රන් තැබිලිත් වැවිලා කොරටු ගානේ
සන් තොසින් කරපු කුසලත් පුරාණේ
මල් දෙළුම් උයන් වතු රත් මලානේ
ඉතින් බෙලි දිවුල් කසපැන් අන්නාසි
දෙළුම් උක් සකුරු රබකැන් පැණි දෝසි
ගමන් සෙල්ලමට කෑ මේ දේම නිසි
ගොසින් කමුව ගල්කිස්සේ අන්නාසි
බෙලි දෙවුල්ද වැල වරකා දොඩමේ
කතුන් පෙට්ටි පුරවා විකුණලා ගමේ
බතින් දෙයක් නැත අද පළ වැල කෑමේ
ගොසින් අපි සිටිමු දෙහිවල අම්බළමේ …
කොළබ නගරය අද මෙන් ජනාකීර්ණ වී කාර්මිකකරණය වෙන්නට පෙර මේ ප්‍රදේශවල ඉතා ශාන්ත සුන්දර පරිසරයක් තියෙන්නට ඇත…
… රාත්‍රිය පුරා කෙත රැකගන්නා ගොවියාට, ඉර උදාවීම පමා වීම මහත් කරදරයකි. ඉර උදාවන්නේ නැත්තේ සූර්ය ග්‍රහණයක් එනම් ඉර රාහු ඇල්ලීමෙන් යයි සිතන ඔහු මිතුරකුට කියන කවියක් සහ ඒ මිතුරාගේ පිළිතුරයි මේ…
සූරිය සුනෙර වට දෙවරක් ගියාදෝ
සූරිය යනෙන රථ ඇණ ඉගිළුනාදෝ
වීරිය කරන රාහුට අසූ වුණාදෝ
සූරිය උදා නූනේ එම නිසාදෝ
සූරිය සුනෙර වට දෙවරක් ගියෙත් නැතී
සූරිය යනෙන රථ ඇණ ඉගිළුනෙත් නැතී
වීරිය කරන රාහුට අසුවුනෙත් නැතී
සූරිය උදාවන්නට තව පමා නැතී
…උඩ රටට පැමිණි ගැමියා අමතක නොකළ තැනකි දළදා මාලිගය. එකළ ගැමියා තුල පවතී හුදු බැතිය නිසා දළදා මාළිගය ඔහු තුල ඇති කලේ මහත් ගෞරවාදරයකි. එයද දළදා මැදුර සහ අවට පරිසරය කවියට නැගුනේ මෙසේය…
හිසගිරිකොනින් පිහිටාලා බල මිතුරේ
ඇස ඇර බලන් දුටු පමණින් සිතම පිරේ
යසකර රුවින් කල වැඩ මෙන් එපුර වරේ
බැස වැඳ ගනින් දැක දළදා එ මන්දිරේ
මල පිපුනා වැනි වැව් දිය පිරි සිදුව
තුළ තියෙනා කණු ගෙන අරිත කාණුව
පෙල පෙලිනා කළුගල් පඩි වට කෙරුව
රළ නගින සැටි බල සකි නුවර වැව
විසල් මළුව පසුකර වාහල් දොරින
අතුල්වෙමුව එහි පඩි පෙළ නැග ගොසින
පළල් ඇතුව සැදු කච්චේරිය එතන
මඟුල් මඩුව බල සකි දැන් නඩු අසන
… කෝපි කාලයේ කොළබ මහනුවර පාර කපද්දී කැප්ටන් ඩෝසන් ඉංජිනේරුවා මැලේරියා රෝගයෙන් මරු මුවට පත් විය. අපගේ කතා නායකයා වන රොබර්ට් නොක්ස්, ඔහු ගැන බොහෝ කරුණු දනී. ඩෝසන් සිහි වීමට තනන ලද කුළුන අදත් දකින්නට පුළුවන. මේ කුළුන ආශ්‍රිතව කියැවෙන නෙළුම් කවියක් මෙසේය…
කඩුගන්නාවේ කන්දේ කුළුණ පෙනෙනවෝ
කුළුන උඩට ගොස් බැලුවම මුහුද පෙනෙනවෝ
මුහුදේ ගෝසාව මොකද නැව් කැරකෙනවෝ
නැවේ සිටින නෝනාවරු අපට පෙනෙනවෝ
… යුරෝපීය ආක්‍රමණයේ බලවේගය මුලින්ම ඇති වුයේ මුහුදු බඩ පළාතේය. සිය ජාතික ඇඳුම වන රෙද්ද හැට්ටයත්, ඔසරියත් ඉවත දමා බම්බු සාය, බඩ සාය ලෙස එදා ගැමියන් හැඳින්වූ , පසු කලක දේශ ප්‍රේමීන්ගේ උපහාසයට ලක්වූ සාය ගවුම් ඇඳගත් ස්ත්‍රීන් එකල කළුතර පානදුර මොරටුව හරහා ගිය ගැමියන්ට දකින්නට ලැබිණි. ‘නෝනා වරුන්ගේ ඇඳුම’ වශයෙන් එකල ගැමියන් තෝරාගෙන තිබුනේ මේ ගවුම් සහ සායයි. දිනක් මේ ප්‍රදේශය හරහා ගිය ගමියෙක්ට අපූරු දසුනක් දක්නට ලැබිණ. එවැනි සායක් හැඳ බණ පොතක් කියවමින් සිටි ස්ත්‍රියකි. මෙය නම් විය නොහැක්කකි. ඔහු දුටු දේ කවියට නැගුවේ මෙසේය…
පේනා ලෙසින් සොඳ සක්මන් කර ඇවිද
නෝනා ඇඳුන් ඇඳලා රැළි තියා සොඳ
ඥානා ගුනේ කිව් ලඳ බණ පොතක් සොඳ
පානාදුරේ සිටියි ලංදේසි ලඳ …
මෙසේ තවමත් වයසක ගැමියන්ට සීමා වී ඇති අප්‍රකට කවි බොහෝ ඇත. ඒවා සොයා පළ කිරීම වටිනා සාහිත්‍ය මෙහෙයයක් වෙනු ඇති. මේ කුඩා ළිපිය, සුළඟට ගහගෙන යන වළාකුලක් මෙන් අපේ ගමට පැමිණි, නැවතත් කොහේ හෝ වළාකුලක් මෙන් ගමෙන් පිට වන හිපියෙක් මෙන් වූ, ඒ කවි හැකි අයුරෙන් ග්‍රන්ථාරුඩ කල, කුඩා අපට ඒවා කියා දුන්, ඒ නුතන රොබර්ට් නොක්ස්ට උපහාරයකි. ඔහු ලියූ කවි පොතක් මා නුදුටුවෙමි. එහෙත් බොහෝ දෙනා නුදුටු ඒ පැරණි කවි වල චමත්කාරය දුටු සහ, එයින් හෙළිවන තොරතුරු එක් රැස් කල, එවැනි හුදකළා බුද්ධිමතෙක් කිසිදා නොදුටුවෙමි…
Leave a Reply