නුදුටු වැරැද්ද
… මේ පැරණි යුගයේ කී දෙනෙක් සොයිදොලා, ජුවන් අප්පුලා ගෙන් ගුටි කන්න ඇද්ද ? ඒ එදා කාලයයි. ලෙහෙසියෙන් ගැහැණියෙක් තමන්ගේ මිනිහට එකට එක කිව්වේ නැති කාලයක් ඒ. අදත් එහෙමද ? මේ අතරේ ඒ කාලේ සිටි උගත් පඬිවරුත් මෙහෙම කියලා තියෙනවා…”සිනා නොමසෙන් දසන් දක්වා” … ඒත් අර ‘ගැහැණිය’ පාලනය කරන්නයි. ඒ නිසා මෙවැනි කවි පෙළක් එදා අළුත් කතාවක් කියන්න ඇති … “සිංහළ රජ කාලේ නොවේ- මේ දැන් කාලේ – ගෑණුන්ටත් සිදාදියේ නටන්න ලැබුනේ…” කාලය මැව් වෙනසක අරුමේ … … අවාසනාවට , ජුවන් අප්පු , සොයිදෝ ට ගුටි බැට දෙන විට අමුඩ ලේන්සුව බිම වැටෙන ආකාරය ඇති පින්තූරය කාවෝ කා දමා ඇත. එහෙත් අනෙක් පින්තූර වල ස්වරූපයෙන්, ඒ ජවනිකාව ඔබට මවා ගන්නට හැකි වේයයි සිතමි …
කවදාවත් නැතුව – එදා උදයේම නාලා ගෙට ආ ජුවන් අප්පුට – සොයිදො හොඳට කන්න දුන්නා..
සොයිදගේ කරදරේ – දැන් ටික දවසක පටන් කුස්සියෙ වහල් පලයක් – සෙවිල්ලා දෙන්නට කියාලා…
උඹට නැහැ මොළයක් – මම දැන් ඇලෙන් නෑවා කල් ඇතිව කීව නම් ඒක කරලයි මම නාන්නේ…
දන් ඉතින් එහෙනම් – වැඩට නොයන හින්දා ඒ වැඩේ කර දෙන්නම් – ඔහු අමුඩෙ සෙව්වා…
සොයිදා කුස්සියේ – හැලි වලන් ගෙට ඇද්දා ජුවන් අප්පුත් අමුඩය – නැති බැවින් සිය බිරිය අමතා…
යෝදියේ මෙහෙ වරෙන් – සොයාපන් මගේ අමුඩය උඹගෙ මහ ලොකු වස්තුව – කළු වලන් විතරදැයි ඇහුවා…
සොයිදත් හැම තැනම – අහුමුලු වලත් වැල්වල සේව් නමුත් කළු අමුඩය – ඈට වත් තව නෑ හමු වුණේ…
මගේ අමුඩෙ කෝ බොල – තෝ සොයන හැටි තාමත් කියමින් ජුවන් අප්පුත් – සොයිදො හාමිටම බැණ වැදුනා…
අනේ මම මොනවා කරන්නද? මම ගත්තද ? ඔයා ඇළ ළඟ දාලා – එන්න ඇති ඒක මෙහි නැත්තේ…
මේ වරද තම වෙත – පැටවුණු ඇගේ වදනින් ලිපළු ලුණු කටය මෙන් – ජුවන් අප්පුට කෝප නැගුනා…
මේ ගෙදර මොකවත් – ඕනෑ වෙලාවට නැහැ ඒක ඒ ඩිංගට ගෙන – කොයිබ හරි උඹ දමන්නට ඇති…
මම නම් මේ වැලෙයි – හැමදාමත් වනන්නේ ඒ ඒ තැන දමන්නට උඹට මෙන් ඔල්මාද නෑ මට…
ගෙයි තියෙන දේ ගැන – කිසිම සැලකීමක් නැති උඹට අරපරෙස්සම – කියන එක ගෑවිලත් නෑ…
මේ ලෙස බණින විට – ගැහැණුන්ටම නගන දොස් මෙහෙම පිරිමින් මැව්වට – සොයිදො මහා බඹුට දොස් කීවා…
හරි ගෑණු මිනිහට – කියනවද බොල එකටෙක වහපිය කට කියාගෙන – ජුවන් ඇය ඉදිරියට පැන්නා…
හොස්ස මිරිකා බිම -පෙරළා පෙරළා සොයිදොගෙ පිටට ගුටි මුර දෙන කොට – ජුවන් අප්පුගෙ කොන්ඩේ ලිහුනා…
කපුටු අත්තටුවක් – සදිසි අර කළු අමුඩය ඒ අතර තෙත කොන්ඩේ – තිබිලා ඇය ලඟට වැටුනා…
ඇළට ගොස් නාලා – එය කෙස් වැටියෙ දවටා බැඳන් ආ සැටි සිහිවී – ජුවන් අප්පුට තරු විසි වුණා…
සිය වරද නොසොයා – නිදොස් වන්නට කොතනත් ඉක්මන්වන දනන්හට – පසු තැවෙන්න වේය නිරතුරු…
පසු වදන 1 :- … මේ කවිය ඇති ‘කතා කවිත්ත’ නම් කවි 17 ක් ඇති පොතේ එක් පින්තූරයක, ‘මහගම සේකර’ යයි ලියා තිබුනා මතකයි. මේ එක් ආරකට යන පින්තූර, එක් පුද්ගලයෙක් ඇඳි පින්තූර බව ඔබට පෙනේවි. මේ කවි පොත අඩුම ගානේ අවුරුදු 50 ක් වත් පරණයි. පොතේ කවරය නැහැ. කව්රු මේවා ලිව්වද දන්නේ නැහැ. සමහරවිට මෙය මහගම සේකර මහතාගේ තරුණ කාලයේ කෘතියක් වෙන්න පුළුවන්. හැකි විදියට ඒ නිර්මාණ කොපි කර පල කරන්නම්…
Leave a Reply